
 මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඇති අඩුපාඩුකම් පැහැදිලිව පෙන්වා දුන්නේය. රාජ්‍ය වියදම් රටක සමස්ත ආර්ථිකය, සමාජ සුබසාධනය සහ සංවර්ධනය කෙරෙහි සෘජුව බලපායි. අසමතුලිත, අකාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් තොර රාජ්‍ය වියදම් රටක් ණය උගුලකට (Debt Trap) හෙළනවා පමණක් නොව, පුරවැසියන්ගේ ජීවන තත්වය ද පහත හෙළයි. එබැවින් ”බුද්ධිමත් ලෙස වියදම් කිරීම” (Spending Smarter) යන සංකල්පය, මහජන මුදල් අවභාවිත නොකර, උපරිම ප්‍රතිලාභයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරයි. බුද්ධිමත් ලෙස වැය කිරීම තනි තනි පුද්ගලයාට, ආයතනයකට මෙන්ම රජයකට ද එකසේ වැදගත් වන කරුණකි.
මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඇති අඩුපාඩුකම් පැහැදිලිව පෙන්වා දුන්නේය. රාජ්‍ය වියදම් රටක සමස්ත ආර්ථිකය, සමාජ සුබසාධනය සහ සංවර්ධනය කෙරෙහි සෘජුව බලපායි. අසමතුලිත, අකාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් තොර රාජ්‍ය වියදම් රටක් ණය උගුලකට (Debt Trap) හෙළනවා පමණක් නොව, පුරවැසියන්ගේ ජීවන තත්වය ද පහත හෙළයි. එබැවින් ”බුද්ධිමත් ලෙස වියදම් කිරීම” (Spending Smarter) යන සංකල්පය, මහජන මුදල් අවභාවිත නොකර, උපරිම ප්‍රතිලාභයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරයි. බුද්ධිමත් ලෙස වැය කිරීම තනි තනි පුද්ගලයාට, ආයතනයකට මෙන්ම රජයකට ද එකසේ වැදගත් වන කරුණකි. 
එහෙත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රි ලංකාව වැනි රටක රජයක් බුද්ධිමත්ව වැය කළයුත්තේ මන්ද යන්න විමසා බැලීමටයි. මෙම ලිපියට අදාළ බොහොමයක් කරුණු මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රකාශයට පත්කරන ලද Fiscal Monitor-2025 නැමැති වාර්තාව සහ ලෝක බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත් කළ Sri Lanka Public Finance Review: Towards a Balanced Fiscal Adjustment යන ප්‍රකාශ මත පදනම් වේ. Fiscal Monitor වාර්තාවට අනුව, 2030 වනවිට ගෝලීය රාජ්‍ය ණයවල ප්‍රමාණය සියයට 100ක් දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස ඉක්මවා යෑමට ඉඩකඩ පවතින අතර එම තත්වය ලෝක යුද්ධයෙන් පසුව වාර්තා විය හැකි ඉහළතම රාජ්‍ය ණය ප්‍රමාණය වේ. මේ අතරින් සංවර්ධිත රටවල් කීපයක රාජ්‍ය ණයබර ඉහළ මට්ටමක පැවතියත් එවැනි තත්වයකට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍යවන තත්වය (මූල්‍ය වෙළෙඳපොළ සහ උපකරණ ශක්තිමත්ව පැවතීම) එම රටවල පැවතියත් දියුණු වෙමින් පවතින බොහොමයක් රටවල ණය බර සියයට 100ක් ඉක්මවායෑම එම රටවලට දැඩි පීඩනයක් එල්ලකළ හැකි බව අවධාරණය කරයි. 
ඉහතදී ද පෙන්වාදුන් පරිදි ශ්‍රී ලංකාව යනු කොරෝනා වසංගතයෙන් පසුව දැඩි රාජ්‍ය ණය අර්බුදයකට මුහුණදුන් රටක් හෙයින් රාජ්‍ය වියදම් බුද්ධිමත්ව වැය කිරීම සඳහා වඩාත් ඉහළ අවධානයක් යොමුකළ යුතු රටක් වේ. මෙම ලිපියෙන්, ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ රාජ්‍ය වියදම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කළ හැකි ආකාරය සහ ඒ සඳහා ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරනු ලබයි. මෙහි ගෙනහැර දක්වන කරුණු ඉදිරි අයවැයට අදාළව රාජ්‍ය වියදම් කළමනාකරණයේ දී අවධානය යොමුකළ යුතු අංශ පිළිබඳව සැකෙවින් කරුණු ඉදිරිපත් කරනු ලබයි.
 රාජ්‍ය වියදම් කළමනාකරණයේ  පවතින අභියෝග 
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණයේ ගැටලු රැසක් පැවතුණි. එම ගැටලුවලින් සමහරක් මගහරවා ගැනීමට 2003 වර්ෂයේ දී රාජ්‍ය ණය කළමනාකරණ පනත හඳුන්වා දුන්න ද එමගින් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වුයේ විටින් විට එම පනතට අදාළව සංශෝධන ගෙනඑමින් රාජ්‍ය ණය බර ඉහළට ගෙනඒමට කටයුතු කිරිමේ ප්‍රතිපලයක් වශයෙනි. රාජ්‍ය වියදම් කළමනාකරණය වර්තමාන තත්වය තුළ ද තවදුරටත් අභියෝගාත්මක වීමට හේතු කීපයක් ඇත. ඉන් පළමු වැන්නනම් නිෂ්ඵල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේ. දේශපාලනමය වාසි තකා ආරම්භ කරන ලද නමුත්, ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් අඩු ප්‍රතිලාභ ගෙන දුන් යටිතල පහසුකම් ව්‍යාපෘති බොහෝමයක් ශ්‍රී ලංකාවේ දැකිය හැකිය. උදාහරණයක් ලෙස, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වැනි දැවැන්ත ව්‍යාපෘති, ඒවායේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට අසමත් වී ඇත. මෙවැනි ව්‍යාපෘතිවලට වැය වූ මුදල, මහජනතාවට සෘජුව ප්‍රතිලාභ ලැබිය හැකි වෙනත් ක්ෂේත්‍ර සඳහා යොදවන්නට තිබුණි. රජය මැතිවරණ වේදිකාවේ කුමනාකාර පොරොන්දු දුන්න ද නිෂ්ඵල ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් වැළකී සිටිම කළයුතුව ඇත. 
දෙවනුව, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය අඩු වීම සහ දූෂණ ක්‍රියාකාරකම් පැවතීම, ව්‍යාපෘතිවල පිරිවැය අනවශ්‍ය ලෙස ඉහළ යෑමට හේතු වී ඇත. ඇතැම් ව්‍යාපෘති සඳහා අධික මිලට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, ඒ සඳහා වන පිරිවැය වැඩි කිරීමට බලපායි. නිදසුනක් ලෙස, අධිවේගී මාර්ග ඉදිකිරීම් වැනි දැවැන්ත ව්‍යාපෘති සඳහා අනුගමනය කරන ලද ප්‍රසම්පාදන ක්‍රමවේද, විනිවිදභාවය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කර ඇත. එබැවින් මේ වනවිට රජය වංචාව, අල්ලස සහ දූෂණයට අදාළව ගෙනයන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතු අතර රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු විධිමත්ව සිදුකිරීම කළ යුතුව ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මගින් මෑතක දී ප්‍රකාශයට පත්කළ වාර්තාවකින් දක්වා සිටියේ රාජ්‍ය අංශය තුළ තවදුරටත් අල්ලස සහ දූෂණය පවතින අතර එවැනි තත්ව මඟහරවා ගැනීමකින් තොරව යහපත් අයෝජන පරිසරයක් ගොඩනැංවිම අභියෝගයක්ව පවතින බවයි. 
තුන්වනුව, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වැනි පුනරාවර්තන වියදම්, රජයේ සමස්ත වියදම්වලින් විශාල කොටසක් නියෝජනය කරයි. මෑතකදී, ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා, රාජ්‍ය සේවකයන් සඳහා නව බඳවා ගැනීම් පිළිබඳව වාර්තා වීම, මෙම ප්‍රශ්නය තවදුරටත් උග්‍ර කරයි. මෙවැනි තත්ව යටතේ, රාජ්‍ය ආයෝජන සහ සංවර්ධන කටයුතු සඳහා ඉතිරි වන්නේ ඉතා සුළු මුදලකි. උදාහරණයක් ලෙස 2024 වර්ෂයේ දී මුළු රාජ්‍ය වියදමෙන් සියයට 87ක් පුනරාවර්තන වියදම් සඳහා වැය කරන ලදී. මුළු බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා සියයට 37ක ප්‍රමාණයක් 2024 වර්ෂයේ දී වැය කරන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය අංශය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල බව නිතර අසන්නට ලැබෙන කරුණක් වුවත් එහි විශාලත්වය අවශ්‍ය ප්‍රමාණයට සකස් කිරීමට පියවර ගැනීමක් දක්නට නොමැත. විශාල රාජ්‍ය අංශයක් පැවතිය ද එමගින් රටේ ආර්ථිකයට කරනු ලබන දායකත්වය පහළ මට්ටමක පවතින අතර රාජ්‍ය අයවැයට අදාළව විශාල බරක් එමගින් පටවා ඇති බව නොරහසකි. 
රාජ්‍ය වියදම් වලට අදාළව ඇති ඊළඟ අභියෝගය වන්නේ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අකාර්යක්ෂමතාවයි. අස්වැසුම/සමෘද්ධි සහ වෙනත් සුබසාධන වැඩසටහන් හරහා බොහෝ කාලයක් තිස්සේ ප්‍රතිලාභ ලබා දුන්න ද, ඒවා නිසි පරිදි ඉලක්කගත නොවීම නිසා, සැබෑ අවශ්‍යතා ඇති ජනතාවට එම ප්‍රතිලාභ ලැබුණේ අඩුවෙනි. අකාර්යක්ෂම ඉලක්කගත කිරීම් හේතුවෙන්, ආණ්ඩුවට විශාල මුදලක් වැය වූ නමුත්, දිළිඳුකම අවම කිරීමේදී අපේක්ෂිත ප්‍රගතිය ලබා ගැනීමට නොහැකි විය. මධ්‍යගත ක්‍රමවේදයක් යටතේ දේශපාලන මැදිහත්වීම් අවම මට්ටක් යටතේ අස්වැසුම සුබසාධන වැඩසටහන ක්‍රියාත්මකව පැවතිය ද සමහරෙක් වංචනික තොරතුරු ලබාදීම් මගින් තවදුරටත් එම වැඩසටහනේ ප්‍රතිලාභ බුක්තිවිදිමින් සිටින බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. දැනට පවුල් 19 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා ඇති අතර දැනට කෙරෙමින් පවතින සහතික කිරීමේ සමීක්ෂණය මගින් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළයාමට ඉඩකඩ පවතී. වැඩිහිටි දීමනා, ආබාධිත දීමන සහ අනෙකුත් සුබසාධන වියදම් දැනට ක්‍රියාත්මකව පවතින අතර ඒවා කොතෙක් දුරට සුදුසුතම පුද්ගලයන්ට ලැබෙන්නේ ද යන්න ගැටලුවකි. උදාහරණයක් මගින් මෑතක දී Center for Poverty Analysis මගින් කරණු ලැබූ සමීක්ෂණයක දී පෙන්වා දුන් කරුණක් වූයේ අස්වැසුම ලැබීමට සුදුසුකම් නොමැති එහෙත් දැනට එම ප්‍රතිලාභය ලබන අයගේ ප්‍රතිශතය සියයට 26ක් වන බවයි. දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස කුටුම්භ සහනාධාර සඳහා සියයට 3.7ක් පමණ වැය කරනු ලබන අතර එම ප්‍රමාණය මුළු රාජ්‍ය විදමෙන් පහෙන් එකකට (20% කට) ආසන්න මුදලක් වේ. 
 බුද්ධිමත් රාජ්‍ය වියදම්  කළමනාකරණයට විසඳුම් 
රාජ්‍ය වියදම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ප්‍රතිසංස්කරණ කීපයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. පළමුව, රාජ්‍ය වියදම්වලට අදාළව විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම වැදගත්ය. විශේෂයෙන්ම මෙහිලා රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමෙන් වංචා, දූෂණ සහ අකාර්යක්ෂමතා අවම කළ හැකිය. ඔන්ලයින් ප්‍රසම්පාදන පද්ධතියක් තුළ, සියලුම ලංසු විනිවිදභාවයකින් යුතුව සමාලෝචනය කිරීමට අවස්ථාව සැලසේ. මීට අදාළව යම් යම් වැඩකටයුතු දැනටමත් ආරම්භකර ක්‍රියාත්මකව ඇති අතර තවදුරටත් එම කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාම මෙහිලා වැදගත් වේ. 
එසේම, රාජ්‍ය අයවැය පිළිබඳ තොරතුරු සරල සහ තේරුම් ගැනීමට පහසු භාෂාවකින් ඉදිරිපත් කිරීමෙන් පුරවැසියන්ට අයවැය ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ විය හැකිය. අයවැය යෝජනා බොහොමයකට අදාළව ක්‍රියාත්මක තලයේ දී තොරතුරු ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක්ව පවතින අතර මේ නිසාම කුමන අයවැය යෝජනා ක්‍රියාත්මක්ව පවතින්නේ ද යන්න පිළිබඳව මහජනතාවට අවබෝධයක් නොමැති අවස්ථා බහුලව පවතී. එබැවින් අයවැය යෝජනාවලට අදාළව ප්‍රගතිය සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි විනිවිදභාවයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම අතිශය වැදගත් වේ. මහජන මුදල් යොදවා ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ වියදම් පිළිබඳ තොරතුරු, මහජනතාවට ප්‍රවේශ විය හැකි පරිදි ප්‍රදර්ශනය කළ යුතුය. දෙවනුව, සමාජ ආරක්ෂණ වැඩසටහන් ඉලක්කගත කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය. ඒ තුළ එම වැඩසටහන් නිසිපරිදි ඉලක්කගත කිරීම කඩිනමින් සිදුකිරීම මෙන්ම අස්වැසුම වැනි සුබසාධන වැඩසටහන් මගින් ප්‍රතිලාභ ලබන්නන්ගේ සමාජ ආර්ථික තත්වය නගාසිටුවීමට අවශ්‍යවන මැදිහත්වීම කළ යුතුව පවතී. සුබසාධන ප්‍රතිලාභ ලබන්නන්ගේ සමාජ-ආර්ථික තත්වය නගාසිටුවීමට වූ වැඩසටහන් (Graduation Schemes) ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි නියාමකවරුන්ගේ සහ සංවර්ධන නිලධාරීන්ගේ සේවය යොදාගත හැකි අතර තවමත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදකිරීම කිරීමෙන් සිදුවන්නේ සමාජ සුබසාධනය වියදම් මැදිකාලීනව සහ දිගුකාලීනව ද ඉහළ බරකින් යුතුව දැරීමට සිදුවීමය. එසේම වර්තමාන සුබසාධන වැඩසටහන්, දේශපාලන බලපෑම්වලින් තොරව, සැබෑ අවශ්‍යතා ඇති පවුල් වෙත පමණක් යොමු විය යුතුය. ඒ සඳහා ජාතික දත්ත පද්ධතියක් භාවිත කර ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනාගැනීම වැදගත්ය. 
එමෙන්ම සුබසාධන ප්‍රතිලාභ ලබන්නන්ගේ සමාජ-ආර්ථික තත්වය ඇගයීමට නවීන තාක්ෂණය යොදාගැනීම ඉතා වැදගත්ය. ප්‍රතිලාභ ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීමෙන් කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි අතර, අතරමැදි දූෂණ අවම කළ හැකිය. එසේම වංචා සහගත තොරතුරු ලබාදීම් අවම කිරීම සඳහාත් නවීන තාක්ෂණය යොදාගැනීම කළ හැකිය. මෙහිදී ප්‍රතිලාභීන් සමග සෘඡුවම කටයුතුකරනු ලබන ග්‍රාම නිලධාරීන්ගේ සහ සංවර්ධන නිලධාරීන්ගේ නිවැරදි සහ අපක්ෂපාතී මැදිහත්වීම වැදගත්ය. යම් ප්‍රදේශයක ඡිවත්වන පුද්ගලයන්ගේ සමාඡ-ආර්ථීක තත්වය පිළිබඳ මනා වැටහීමක් එවැනි නිලධාරීන් සතුව පවතින අතර යම් හෙයකින් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් නොමැති පුද්ගලයන් ප්‍රතිලාභ ලබන්නේ නම් හෝ ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් ප්‍රතිලාභ නොලබන්නේ නම් ඔවුන් අවශ්‍ය මැදිහත්වීම කළයුතුය. අදවන විට පවතින තත්වය වන්නේ කිසිවක් නොකර සිටීමය.
මෑතකදී කරනු ලැබූ ගෘහස්ථ සමීක්ෂණ කීපයකදීම පෙනීගිය කරුණක් වුයේ වංචනික තොරතුරු සැපයීමෙන් සමහරෙක් රජයේ සහනාධාර සඳහා සුදුසුකම් ලබන අතර රාජ්‍ය නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව සිටින බවයි. තුන්වනුව, අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතුය. මේ අතරින් වඩාත්ම වැදගත් වන්නේ අකාර්යක්ෂම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යි. අලාභ ලබන රාජ්‍ය ආයතන සහ රාජ්‍ය අංශයේ පවතින අකාර්යක්ෂමතා හඳුනාගෙන ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතුය. රාජ්‍ය ව්‍යාසාය ආරම්භ කරනු ලැබුයේ හේතු කීපයක් සහිතවය. ඒවා අතර ස්වාභාවික ඒකාධිකාරයක් පැවතීම, සංවර්ධන අරමුණු ජයගැනීම, මූලෝපායීක වශයෙන් වැදගත්වීම, පෞද්ගලීක අංශය ශක්තිමත්ව නොපැවතීම වැනි කරුණු රාජ්‍ය ව්‍යවසාය ආරම්භකිරීමට හේතු වුවත් අදවන විට එවායින් කුමන ඒවා තවදුරටත් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යාමට ඉවහල් වේද යන්න විමසා බැලිය යුතුය. රාජ්‍ය ව්‍යාසාය අයවැයට බරක් නොවිය යුතු අතර ඒවා රටේ සංවර්ධනයට දායක විය යුතුය. කාලයක් තිස්සේ පවතින තත්වය වනුයේ විවිධ හේතු නිසා රාජ්‍ය ව්‍යවසාය අයවැයට බරක්ව පැවතීමය. එබැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමට වැඩි අවධානයක් මෙවර අයවැය තුළ ලබාදීම කළයුතුව ඇත.
 ඉතා විශාල රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමද පලදායී නොවන කටයුත්තකි. ඉතා විශාල රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමෙන් රාජ්‍ය සේවක වැටුප් ඉතා පහළ මට්ටමක පවතින අතර දක්ෂ සහ කාර්යක්ෂම සේවකයන් රාජ්‍ය සේවයට බඳවාගැනීමට නොහැකි වී ඇත. එසේම වර්තමානයේ ක්‍රියාත්මක ඩිජිටල්කරණ ව්‍යාපෘති හේතුවෙන් රාජ්‍ය සේවක අවශ්‍යතාව පහත වැටී ඇති අතර මෙම කරුණු පිළිබඳව නිසි අවධානයක් යොමුකර රාජ්‍ය සේවයේ සේවක පිරිස පහත හෙළීමට අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් කළ යුතුය. රාජ්‍ය වියදම් කළමනාකරණයෙහිලා වැදගත්වන තවත් අංගයක් වන්නේ රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වේ. විශේෂයෙන්ම, අනාගතයේ දී ආරම්භ කිරීමට නියමිත දැවැන්ත ව්‍යාපෘති, ආයෝජනවල ප්‍රතිලාභ පිළිබඳ නිවැරදි ඇගයීමකින් පසුව පමණක් ක්‍රියාත්මක කළ යුතුය. මහා පරිමාණ ව්‍යාපෘති දේශපාලනික වශයෙන් දේශපාලනඥයන්ගේ ප්‍රතිරූප ගොඩනැංවීමට ඉවහල් වුවත් රටේ සංවර්ධනයට හේතුවී ඇතිතේ ඉතා පහළ මට්ටමකින් බව අතීත අත්දැකීම් වලින් මනාව පැහැදිලි වේ. 
විශේෂයෙන්ම, ඉවක් බවක් නැතිව රාජ්‍ය නායකයාගේ ගම් පළාතේ විවිධ ව්‍යාපෘති දියත් කිරීමේ සම්ප්‍රදාය බිඳ දැමිය යුතුය. ඒ වෙනුවට රටේ සංවර්ධනය වෙනුවෙන් හේතුවන ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. එබැවින් නිසි ප්‍රතිලාභ-පිරවැය අධ්‍යනයකින් තොරව එවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට යොමු නොවිය යුතුය. රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කිරීමේ වැඩසටහන් මගින් කඩදාසි භාවිතය අඩු කිරීම, ඩිජිටල් සේවා ව්‍යාප්ත කිරීම වැනි පියවර මගින් රාජ්‍ය ආයතනවල පුනරාවර්තන වියදම් අඩු කර ගත හැකිය. දැනට සිදුකරමින් යන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය වේගවත් කිරීමෙන් පුනරාවර්තන වියදම් පහත හෙළීමට කටයුතු කළ හැකිය. සිව්වනුව, ප්‍රාග්ධන වියදම් ප්‍රමුඛතා අනුව සකස් කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුය. මෙහිලා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතා පදනම මත යෙදවිය යුතුය. එසේම, ඵලදායී යටිතල පහසුකම් ඇති කිරීම එනම් රටේ ආර්ථික සංවර්ධනයට සෘජුවම දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ යුතුය. එවැනි ඇතැම් ව්‍යාපෘති සඳහා රජයට මුළුමනින්ම වියදම් දැරීමට සිදු නොවන පරිදි පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්ව (PPPs) ප්‍රවර්ධනය කළ හැකිය. රාජ්‍ය ආයෝජනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙහිලා ඉතා වැදගත්ය. පවතින සීමා සහිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. අවසාන වශයෙන්, දැනට වාර්තාවන පරිදි 2025 මුදල් වර්ෂය සඳහා වෙන්කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් වැයකිරීමට හැකිව ඇත්තේ සාපේක්ෂව අඩු ප්‍රතිශතයක් වන අතර විවිධ හේතු නිසා එම වියදම් දැරීම අඩපණව ඇත. මෙම තත්වය 2026 වර්ෂයේ දී මඟහරවා ගැනීම කළ යුතුය. ඒ සඳහා අවශ්‍යවන ආයතනික සහ නීතිමය වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමුකිරීම වැදගත්ය. මෙහිලා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව කටයුතු කිරීම වැදගත්වන අතර රාජ්‍ය ණය බර තිරසාර මට්ටමක දිගුකාලීනව පවත්වාගෙන යාහැකි මට්ටමට පමණක් ණය ගැනීම් කළ යුතුව ඇත. 
 නිගමනය 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය, රටේ ආර්ථික අනාගතය සඳහා තීරණාත්මක සාධකයකි. “බුද්ධිමත් ලෙස වියදම් කිරීම” යනු මහජන මුදල් වගකීමකින් යුතුව විනිවිදභාවයකින් යුතුව සහ උපරිම ප්‍රතිලාභයක් ලැබෙන පරිදි යොදවන ක්‍රමවේදයකි. ඉහත සඳහන් කළ ප්‍රතිසංස්කරණ මගින්, අකාර්යක්ෂමතාව, දූෂණය සහ ණය බර අඩු කර ගත හැකි අතර එමගින් ජනතාවගේ ජීවන තත්වය උසස් කළ හැකි, ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට මග පෑදිය හැකිය. මෙය තාවකාලික විසඳුමක් නොව, දිගුකාලීන ක්‍රියාවලියකි. සාර්ථක ප්‍රතිසංස්කරණ සඳහා රජය, පුරවැසියන්, සහ සියලු පාර්ශවකරුවන් අතර පවතින සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ. පවතින ගෝලීය අවනිශ්චිතතාව තුළ රාජ්‍ය මූල්‍ය ඉතිරිකිරීම් (Fiscal Buffers) අඛණ්ඩව පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු අතර ණය මතින් නව ව්‍යාපෘති ආරම්භ කරනවා වෙනුවට දැනට කෙරෙන රාජ්‍ය වියදම් ප්‍රමුඛතා මත වැඩි ප්‍රතිලාභ ලබාදෙන අංශ වෙතට මාරු කිරීම මෙන්ම රාජ්‍ය වියදම් ආශ්‍රිතව කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම කරුණු පිළිබදව ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු වෙතැයි අපෙක්ෂා කරමු.
අයවැය අභියෝග: සමෘද්ධිමත් ලංකාවකට රාජ්‍ය වියදම් ඵලදායි කළමනාකරණයක්