භානුක අමරසිංහ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපනයන අංශය වෙත එල්ල වූ බලපෑම දරා ගැනීම අසීරු බව ශ්‍රී ලංකා නැව්කරුවන්ගේ කවුන්සිලයේ සභාපති ට්‍රිෂර්මාන් ෆ්‍රින්ක් මහතා පවසයි. ඊයේ (23දා) ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වුණු එම කවුන්සිලයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවේදී ලංකාදීප FT වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම මෙම බලපෑම කොවිඩ් හෝ සුනාමි වැනි අවස්ථාවේදී අපනයනකරුවන්ට එල්ල වූ බලපෑමට වඩා වැඩි බව ඒ මහතාගේ අදහස වී තිබේ. “මේ අවුරුද්දේ මැද සිට එල්ල වූ ට්‍රම්ප්ගේ තීරු බදු පීඩනය, සරල කළ වැට් බදු (SVAT) අහෝසිය, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා වන පහසුකම් කපා දැමීම් වගේම බදු අය කරගැනීම් ඉහළ දැමීම් නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් යන කාරණාත් සමගින්ම එල්ල වූ මෙම දිට්වා බලපෑම අපනයනකරුවන්ට වඩාත් දරුණු වී තිබෙනවා.“
මෙහිදී දිට්වා නිසා අපනයන පාදක නිෂ්පාදන කර්මාන්තශාලා රැසකටම සිදුව ඇති හානි නිසා නිෂ්පාදන අඩාල වී තිබෙන බවත්, තවමත් නිෂ්පාදන ආරම්භ කළ නොහැකි කර්මාන්තශාලා රැසක්ද ඒ අතර පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය. “මූලිකවම තේ, පොල් සහ රබර් නිෂ්පාදන හානියට පත්ව තිබෙනවා. මෙහි බලපෑම ගැන පැහැදිලි අදහසක් ඉදිරි මාසය, දෙක ඇතුළතදී ලැබෙන අපනයන ආදායම හරහා දැකගත හැකි වේවි. ඔහු පවසා සිටියේය.
ඒ අනුව අද වන විට මෙම උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපනයනකරුවන් අතර දැඩි පීඩනයක් නිර්මාණය වෙමින් පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අපනයන අංශයට එල්ල වූ දිට්වා බලපෑම දරාගන්න අසීරුයි