අංජුල මහික වීරරත්න
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීමට ජපානය විසින් යෙන් මිලියන 300 ක (රුපියල් මිලියන 565 ක්) ප්‍රදානයක් ලබාදීමට කටයුතු කර තිබේ.
මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ.
මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසළ ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28 ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14 ක්, නැගෙනහිර පළාතට රථ 08 ක් සහ උතුරු පළාතට රථ 06 ක් බැගින් ලබා දීමට නියමිතය.
වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ නිසා ලෝකයේ රටවල ආයෝජන ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත යොමුවෙමින් තිබෙන බව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය මෙහිදී සඳහන් කළාය. දූෂණ විරෝධී කටයුතු සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඉදිරියටත් ජපාන රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බවද උප අමාත්‍යවරිය සඳහන් කළාය.
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන දූෂණ විරෝධී වැඩපිළිවෙළ කිසිදු අයුරකින් පළුඳු නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජපාන රජයේ ආධාර ඇතිව මෙරට ආරම්භ කර අතරමග නැවතුණු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ජපාන රජය වෙත ස්තූතිය පළ කළේය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපාන රජය ලබා දුන් සහාය වෙනුවෙන්ද කෘතවේදීත්වය පළ කළේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ජපාන රජය වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියේදී එම අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහාය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය නංවාලීම සඳහා ජපාන ආධාර සහිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.
අපද්‍රව්‍ය කළමනාකරණ ධාරිතාව නැංවීමට ජපානයෙන් යෙන් මි. 300ක්