ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූයේ අලුත්ම දේවල් එසේත් නොමැති නම් මේතාක් නොවූ විරූ දේවල් සිදුකරන පොරොන්දුව මතයි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වසර ගණනාවක් තිස්සේ ඉදිරියට දැමු තේමාව වූයේ “76 වසරක ශාපයක්” පිළිබඳ කතාවයි. ඒ අනුව ඔවුන්ට අලුත්ම දේවල් කිරීම සඳහා දැඩි අවශ්‍යතාවක් තිබෙන බව පෙනී යයි.
එහෙත් ප්‍රශ්නය වන්නේ අවශ්‍යතාව තිබුණ ද එවැන්නක් ඇත්ත වශයෙන්ම සිදු කිරීමට ඔවුන්ට නව පරිකල්පන හැකියාවක් තිබේ ද යන්නයි. ඒ නිසාම සාමාන්‍යයෙන් ඔවුන්ගේ බසින් “76 වසරේ ශාපලත් පක්ෂයක්” බලයට පැමිණි පසු කරන වර්ගයේ අලුත් දෙයක් හෝ කිරීමට මාලිමා ආණ්ඩුවට නොහැකි වී තිබෙන බව පෙනෙන්නට තිබේ. එම ඉච්ඡාභංගය ආණ්ඩු දේහය පුරා පැතිර තිබෙන බව ඔවුන්ගේ සමාජ හැසිරීමෙන් හා ප්‍රකාශවලින් පෙනේ.
මුලින්ම කිව යුත්තේ මේ ව්‍යාපෘතිය ලංකාව වැනි රටකට මේ අවස්ථාවේ දී නුසුදුසු බවයි. දකුණු ආසියාවේ පිරිසුදුම රටක් ලෙස විදේශිකයන් අතර පවා නම් දරා සිටින ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ප්‍රමුඛතාව පිරිසුදු බව නොවේ. සමාජ දේහය පුරා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යන්න රැව් නොදෙන්නේ මේ නිසා ය. සාමාන්‍යයෙන් ඉන්දියාව වැනි රටකට මෙය උචිත ය. ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ මෝදි පාලනය විසින් එය මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරනු ලැබ අදටත් ක්‍රියාත්මක ය. ‘ස්වච් භාරත්’ යනු ඊට හින්දි භාෂාවෙන් දී තිබෙන නමයි. මාලිමා ආණ්ඩුව විසින් ක්ලීන් ශ්‍රී ලංකා ලෙස යොදා ගත්තේ මේ ඉන්දියානු ව්‍යාපෘතියේ කොපියක් බව පැහැදිලිය.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආණ්ඩුව පටන් ගත්තේ “දැනෙන යමක්” කිරීමට ආරම්භයක් ලෙස ය. ජනාධිපතිවරයාම ජාතික උත්සවයකින් අදාළ ව්‍යපෘතිය ආරම්භ කළේ ඊට යම් බරක් දෙනු පිණිස ය. ආරම්භක උත්සවයේ දී අදාළ වැඩ සටහන හුදු භෞතික පිරිසුදු කිරීමකින් එපිට යන දෙයක් බව ජනාධිපතිරයා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, එම හුදු ප්‍රකාශය හැර වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශ හෝ නිර්වචන නම් රටට ඉදිරිපත් කර නැත. මෙවන් ජාතික තලයේ වැඩසටහනක දී අමාත්‍යාංශ මට්ටමේ සිට ග්‍රාමසේවා කොට්ඨාසය දක්වා දැනුවත් කිරීම් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුවද එවැන්නක් සිදු වූ බවට නිරීක්ෂණය කළ නොහැක.
කරුණු කාරණා එසේ වුවද අවසානයේ ක්ලීන් ශ්‍රී ලංකා ජනගත වන්නට ගත්තේ එක් වරම පොලීසිය පාරට පැන බස් හා ත්‍රීරෝද රථවල ස්ටිකර් හා වෙනත් අමතර උපාංග ගැලවීමට පටන් ගැනීමත් සමගය. එය නම් හොඳටෝම දැනෙන්ට ගත්තේ ය. මේ හදිසි කඩා පැනීම පිළිබඳ අදාළ රථවලට පූර්ව දැනුම් දීමක් කර නොතිබූ අතර වළං කඩේට පැන ඇනගෙන යනසේ පොලීසිය ක්‍රියාකරන බවක් පෙනෙන්නට විය. එහි කරුණු දෙකක් පිළිබඳ පොලීසිය කටයුතු කරන බව පෙනී ගියේය. එකක් වාහන අලංකරණ කොටස් ගලවා ඉවත් කිරීමයි. එය පෞද්ගලික බස් රථ හා ත්‍රීරෝද රථ යන දෙකටම අදාළ විය. අංක දෙක වූයේ පෞද්ගලික බස් රථවල මාර්ග වැරැදි සම්බන්ධයෙන් එක්වරම තදින් කටයුතු කිරීමය.
ඉහත කාරණා දෙකම සම්බන්ධයෙන්ම ක්‍රියා කිරීමේ දී ආණ්ඩුව පෙන්වා සිටියේ ඉතාම අපරිණත බවකි. අප එසේ කියන්නේ හේතු කීපයක් නිසා ය. මුලින්ම කිව යුත්තේ වසර ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව පැවති වාහන නවීකරණ උපකරණ එක්වරම ඉවත් කරන ලෙස කීම අතිශයින්ම ප්‍රායෝගික නොවන තීන්දුවකි. පොලීසිය දැක දැක මේවා බස් රථ හා ත්‍රීරෝද රථවල සවිකර ධාවනයේ යෙදුණේය. නින්දෙන් අවදි වූවා සේ එක්වරම මේවා අනතුරුදායක බව පොලීසියට වැටහීම අප තේරුම්ගත යුත්තේ කෙසේ ද? ඇත්ත වශයෙන්ම එවැනි දෙයක් කිරීමට අවශ්‍ය වූවේ නම් කළ යුතුව තිබුණේ සාධාරණ කාලයක් රියැදුරන්ට ලබා දීමෙන් පසු මෙවැනි මෙහෙයුමකට එළැඹීමයි.
හදිසියේ ගහෙන් ගෙඩි එන්නා සේ මෙවැන්නක් කිරීමට යාම රටේ ආර්ථිකය ක්‍රියාකරන ආකාරය පිළිබඳ නොදැනුමින් ගත් තීරණයක් බව ද කිව යුතු ය. මේ අලංකරණ කටයුතු සිදුකරන කර්මාන්තයක් රටපුරා පැතිරී තිබේ. ඒ මුළු කර්මාන්තයම එක රැයින් දැන් ආණ්ඩුව විසින් හාන්සි කරනු ලැබ ඇත. ඒවායින් ජීවත් වූ තරුණ තරුණියන් ඇතුළු පවුල් රැසකම රැකියා විරහිත වී තිබේ. ස්ටිකර් සහ සෙසු උපකරණ හා උපාංග නිෂ්පාදනය කරන ස්ථාන, ඒවා බෙදාහරින පිරිස්, මෙම අලංකරණ ස්ථාන පවත්වාගෙන යන අය හා ඒවාහි සේවය කරන සේවකයන් යන සියලු දෙනා අද සිය කර්මාන්තය අහිමි කරගෙන අවදානමක සිටිති.
මෙම අලංකරණ ස්ථාන මෙරට සෑම නගරයකම කීපයක්ම දක්නට ඇති අතර රට පුරා කුඩා නගරවල පවා ඒවා දක්නට හැකි ය. ඒ අනුව මේ තුළ සංසරණය වූ මුදල කෝටි ගණනින් ගණනය කළ හැක. මෙම ලියුම්කරු පාදුක්ක ප්‍රදේශයේ මේවැනි ස්ථානයක හිමිකරු ලෙස කටයුතු කරන තරුණයකුට කතා කළ අතර ඔහු සඳහන් කළේ මෙහෙයුම පටන්ගත් දින සිට කිසිවකු තම සේවය ලබා ගැනීමට නොපැමිණි බවයි. තව දින දෙක තුනක් බලා තම ව්‍යාපරික ස්ථානය වසා දමන බව ඔහු අපට දුකින් බරව කීවේය. මේ වැනි කතා මේ වන විට රටපුරාම ඇති බව අපගේ අවබෝධයයි.
මෙම කර්මාන්තය හා බැඳුණු තවත් අංශයක් වන්නේ සුදූ යකඩ කර්මාන්තයයි. එම කර්මාන්තය තුළ ද සැලකිය යුතු පිරිසක් ව්‍යාපාරවල නියැළී සිටි අතර අද ඔවුහු ද යන එනමං නැතිව ගොස් සිටිති. මේ අතර මල්කම් හා ලියකම් කර්මාන්තද මීට බැඳී ස්වයං රැකියා ලෙස රටපුරා ව්‍යාප්තව තිබේ. ඒවා ආශ්‍රිතව වැඩිපුරම සේවය කළෝ තරුණ හා මැදිවියේ කාන්තාවෝය. ඔවුන්ට ඒ ඔස්සේ සැලකිය යුතු ආදායමක් උපයා ගැනීමට හැකිවිය.
ආණ්ඩුව මේ කඩිකුලප්පුව සිදුකරන ලද්දේ ඉහත කර්මාන්ත පිළිබඳ හා ඒවායින් යැපුණ පිරිස් ගැන කිසිදු අවබෝධයකින් තොරව ය. රටට බරක් නොවී තමාගේ ම ආදායමක් සරිකරගෙන ඉදිරියට ගිය කර්මාන්තය එක රැයකින් විනාශ කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු වේ. අද දින එක්තරා ප්‍රවෘත්ති නාලිකාවක විකාශය වූයේ ත්‍රීරෝද සඳහා අව් සහ වැසි ආවරණ නිෂ්පාදනය කරන තරුණ තරුණියන් 80 දෙනෙකු පමණ සේවයේ නියුතු කර්මාන්තයක් වසා දැමීමට එහි හිමිකරු කටයුතු කරගෙන යන බවයි.
දැන් එම තරුණ තරුණියන් 80 දෙනා තම ජීවිකාව සඳහා කුමක් කළ යුතු ද? මේ අය වෙනත් කර්මාන්තයකට යොමු කළ යුතුව තිබේ. එහෙත් එවැන්නක් කිරීම මසකින් දෙකකින් නොව, වසරකින්වත් කළ නොහැක්කකි. ඒ අනුව, මොවුන්ට අස්වැසුම වැනි සමාජ සුබසාධන වැඩපිළිවෙළක සහාය හැර අන් යමක් නැත. එය කොතරම් ඛේදවාචකයක්දැයි සිතා බලන්න. කිසිවෙකුගෙන් යැපුණේ නැති මොවුන්ට අද තම යැපීම සඳහා ආණ්ඩුවේ සරණ පැතීමට සිදුව තිබේ. දුරදිග නොබලා ආණ්ඩුව ගත් මෝඩ තීරණය ඒ තරම් ඛේදනීය ප්‍රතිඵල දැනටමත් අත්කර දී ඇත.
අනෙක් පැත්තෙන් පොලීසිය සිවිල් පිට පෞද්ගලික බස්වලට නංවා ඔවුන්ගේ වැරැදි සොයා ඒවාට දඩ ලියයි. ලංකාවේ මාර්ගවල විනය හැදීම සඳහා එය කිසිදු පිටිවහලක් නොවේ. පෞද්ගලික බස් රේස් දුවන්නේ ඔවුන්ට නියමිත කාලසටහනක් නැති නිසා ය. ඒ අනුව තම ඊළඟ වාරය කෙසේ හෝ ගැනීම සඳහා ඔවුහු නිරන්තරව එකිනෙකා පරයා යන තරගයක නියැළෙති. එය නැවැත්වීමට නම් ඔවුන්ට කාලසටහනක් ලබා දී සේවය නියාමනය කළ යුතු වේ. සත්‍ය වශයෙන්ම ලංකාව පිරිසුදු කිරීම යනු එවැනි දේ ය. හිතුමනාපේ රියැදුරන්ට දඩපිට දඩ ගැසීම නොවේ.
මේ තීරණය සාධාරණීකරණය කරන පිරිසක් ද සිටිති. ඔවුන්ට රටේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ඇත්තේ නැත. සියල්ල ඉබේ සිදුවන බව සිතන මොවුහු තම ආත්මාර්ථකාමී ආශාව වෙනුවෙන් අනෙකා බිලිදීම අනුමත කරති. ඇතැම්විට යුරෝපයේ බස් රථයක ඡායාරූපයක් හෝ වීඩියෝවක් දැක ඒ ආකාරයට තමාටත් ගමන් කිරීමට අයිතියක් නැතිදැයි ඔවුහු අසති. එක්තරා කාලයක තරුණ නළුවකු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට විත් විලාප තබමින් කීවේ “මටත් ලැම්බෝගිනියක් ගෙනත් දියං අම්මේ” යනුවෙනි. එය සිදු කළේ පාලක පන්තිය හා ජනතාව අතර ඊර්ෂ්‍යාව මතුකොට දේශපාලනිකව ආණ්ඩුව කෙරෙහි කලකිරවීම සඳහා ය. එවැනි දේශපාලන ව්‍යාජ රංගනවලට පිටින්, දැන් දැන් ඇත්ත වශයෙන්ම යුරෝපා ආකාරයේ සැප අපේක්ෂා කරන පරම්පරාවක් මෙරට බිහි වී සිටිති. එහෙත් ඉරණම්කාරී කාරණය වන්නේ අප රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිය ගුණයක් විශාල එම රටවල ‘සැප’ අපට ලබා ගැනීම කොතරම් යථාර්ථවාදී ද යන්න නොසිතීමයි. එවන් පිරිස් යුරෝපා සැප මෙරට ද ඉල්ලති. ආණ්ඩුද ඒවා ගැන අවබෝධයක් නොමැති ව එකී ඉල්ලීම්වලට ප්‍රමුඛතාව දෙමින් පුංචි මිනිසාගේ කර්මාන්ත හා ජීවිකාව විනාශ කරන ආකාරයේ මුග්ධ ක්‍රියාවල නියැළෙයි.
ඒ අනුව අප ආණ්ඩුවට කියා සිටින්නේ, ඔබට යමක් සිදුකර පෙන්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ තීරණ ගැනීමට පෙර ක්‍රියාත්මක කිරීමට යන තීන්දුව හා වැඩපිළිවෙළ ගැන මුලින් පූර්ණ අධ්‍යයනයක් සිදුකර එසේ කිරීමයි. එසේ නොවන්නට පීඩිත ජනතාව තවත් පීඩාවට පත්වන අතර බස් වැඩ වර්ජන තර්ජන හමුවේ මේ වැඩසටහන ආණ්ඩුවට අකුළා ගැනීමට සිදුවී නිකරුණේ අපහසුතාවට පත්වීම වැනි දෙය නැවත වරක් සිදු නොවීමට ද වගබලාගත හැකිය.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
COMMENTS
දැන් මෙතුමා කියන විදියට යම්කිසි වැරැදි දෙයක් දිගටම කරලා තියෙනවා නම් ඒක නිවැරැදි කරන එක වැරැදි වැඩක්. දැන් එයාලාට රැකියා නැති වෙන නිසා ආයෙත් මේවා බස්වල දාන්න දෙන්න ඕනෑ කියලා මෙතුමා කියන්නේ. උදාහරණයකට ක්ෂණික නූඩ්ල්ස් වලින් පිළිකා හැදෙනවා කියලා ඔප්පුවෙලා ආණ්ඩුවෙන් ඒවා තහනම් කළොත් ඒ කොම්පැණි වහලා දාන්න කිව්වොත් මිනිස්සුන්ගේ රස්සා නැති වෙනවා කියලා දිගටම වස නූඩ්ල්ස් කවන්න දෙන්න කියන ගොන් ආචාර්යවරුත් ලංකාවේ ඉන්නවා..
පනින්න පෙර සිතා බලන්න.
බස් කාරයෝ බස් නැවැත්තුවොත් ? රටේ ඇති බහුතරයක් ජනතාව බස් කාරයන්ට උත්තර දෙන්න මේ සැරේ සූදානම් වුනේ. අපි අපේ ලංගමේ හිරවෙලා යනවා. බස් නැවැත්තුවාම බස් කොන්දාගෙයි, මග මරුවාගෙයි රස්සා නැතිවුණාට රටේ මිනිස්සු වැරදි කාරයෝද? ආණ්ඩුව වැරැදිද? බස් මාෆියාව "ඉල්ලන් කන්න" හදන්නේ. වැඩිය දැඟලුවොත් සියලුම බස් රජයට පවරාගෙන " පුහුණු කරන ලද විනීත කාර්ය මණ්ඩලයකින් සේවයේ යෙදවිය යුතුයි. ලංගමයට අලුතින් බස් එකතුකළ යුතුයි. ප්‍රයිවට් බස් මුදලාලිලා සමග රජය කිසිම සංවාදයකට, නොයා යුතුයි !!!
"Clean sri lanka" අවාසනාවකට වැඩසටහනේ අරුත, දැක්ම සහ ඉලක්ක ගැන ජනමාධ්‍යට හරි අවබෝධයක් නෑ වගේ. එහෙම නම් සාමාන්‍ය ජනයාට කුමන කතාද? මාධ්‍ය සහ ජනයා දෙකම මෙතරම්ම නූගත්ද? හඳ පෙන්නුවාම ඇඟිල්ල බලනවා. මේ විග්‍රහය නම් අවුල්. අපේ ගෙදර පෙදරේරු, වැඩසටහන මීට වඩා හොඳින් තේරුම් අරන්...
හැමදාම ගැලරිය චූන් කරකර ඉන්න බැහැ. දවසක ඔක්කොම තුරුම්පු ඉවර වෙනවා. දැනටමත් හිස් බව ඔප්පු වෙලා ඉවරයි.
මෙයා සුදු යකඩ කඩ කාරයෙක් ... මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. කර්මාන්ත ගැන කියනවා. කසිප්පුවලින් කී දෙනෙක් යැපෙනවද?
මොනවා හරි දෙයක් ඉක්මණට කරලා පෙන්වන්න ඕනැ
ලංකාවේ කාලසටහනක් නැති මාර්ග අංකයක් නොමැත. කාලසටහන් තිබුනට ඒවා අනුගමනය නොකරන පීරිස් ඇත. මොහු රියදුරන්ගේ රේස් යාම කාගේ හරි පිට පැටවීමක් කර ඇත. සුදුයකඩ ස්ටිකර් මේ බස්රථයට අවශ්‍යය දෙයක් නොවේ.
"ආණ්ඩුව රටට දැනෙන දෙයක් කිරීමේ දැඩි අවශ්‍යතාවෙන් පෙලෙන බව පෙනේ" පලමු වැකිය, මේක ලියපු එකාගේ හිතේ තියන එකක් නේද ඒ. ආණ්ඩුව ට එහෙම එකක් තියනවා කියලා මට නම් තාම හිතිලා නෑ.
සාලිය, ඔයාට අවුරුදු 5ටම එහෙම හිතෙන එකක් නෑ. ඉඳලා හිටලා බත් ටිකකුත් කන්න හොඳේ...
සැලිය මිදි වල්ල නිසා අනතුරකට පත් වූ තවත් එක පුද්ගලයෙක්...
පවතින නීතියට අනුගත වෙන්නේ නැත්තම් ජනතාව, එයට අනුගත කරලීම රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරලීමේ ආයතනවල වැඩක් හා රාජකාරියක් වේ. එලෙස ක්‍රියාත්මක වෙලා නැතිනම් එය කෙසේ හෝ ක්‍රියාතමක කළ යුතුවේ. මහජනයා රටේ නීතිය නොදනීම නිදහසට කාරණාවක් නොවේ. සරලම කාරණය, නිෂ්පාදකයා විසින් වාහනයට යම් දෙයක් එකතුකර නැතිනම්, එය එකතුකිරීම අවසර රැගෙන කළයුතුයි. සුළුතරයකගේ බඩ වියත වෙනුවෙන්, බහුතරයකගේ ජීවිත අවදානමේ හෙලීම අනුමත නොකරමි...