IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දූපතෙන් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා

ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි

 

මුහුදින් වටවූ කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයින පසුගිය අවුරුදු තුන හතරකට ආසන්න කාලයක් තිස්සේ දේශපාලන කුණාටුවට මැදිවෙමින් සිටියදී යන්තමින් හෝ අස්වැසිල්ලක් එරට ජනතාවට ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ඉකුත්දා පැවති ජනාධිපතිවරණයෙනි.


මාලදිවයින් රාජ්‍යයට දූපත් 1192 ක් සහ කොරල් ගොඩබිම් 26 ක් ඇතුළත්ය. එහි වැසියන් 400,000 ක් පමණ වාසය කරන අතර, එරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය මත ගොඩ නැගී ඇති අවස්ථාවක එරට ජනතා සිතුම් පැතුම් ඉටු කිරීම වෙනුවෙන් මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි තේරී පත් වීමත් සමඟින් එම ජනතාවට නැවුම් අපේක්ෂාවන් ඇති වී තිබෙන මෙහොතක, අද දියත රාජ්‍ය නායක පිටුව වෙන්වන්නේ එලෙස රටක් වෙනස් කළ රාජ්‍ය නායකයකු වූ ඔහු වෙනුවෙනි.


පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පැවැති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට පාලන බලය හෙබවූ අබ්දුල්ලා යමින් පරාජය කරමින් විපක්ෂ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලි ජයග්‍රහණය හිමිකර ගත්තේ විශාල කැපකිරීම් රැසක් මධ්‍යයේය.


පනස් හතරවැනි වියේ පසුවන සෝලී මාලදිවයිනේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥනයෙකි. 2011 වසරේ සිට මාලදිවයින් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේ ද සෝලිය. වසර ගණනක් පුරා මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම වෙනුවෙන් හඬ නැගූ පුද්ගලයෙකි. ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජමූරී පක්ෂය සහ අධාලාත් පක්ෂය ඇතුළු විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් විය.


මාලදිවයින් ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට එක්වූ  ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලී ජයගෙන ඇතැයි එම ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පළමුවෙන්ම වාර්තා කර සිටියේ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි. එම අමාත්‍යාංශය ප්‍රකාශයට  පත් කර ඇති පරිදි ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලී ඡන්ද 134,616 ක් හිමි කරගෙන ඇති අතර, එතෙක් ධුරයේ සිටි ජනපති අබ්දුල්ලා යමීන්ට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 96,132 කි. මෙම ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඉන්දියාව, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව අදහස් පළ කර තිබුණේ අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සෝලීට එල්ලවූ තර්ජන නිසාවෙනි. ජනාධිපතිවරණයේදී යමීන් දිගින් දිගටම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපනොවන්නේ නම් සම්බාධක පනවන බවට එම රාජ්‍යයන් තර්ජනය කර සිටියේය.


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමග සෝලීගේ ආධාරකරුවෝ ජය සමරන්නට මාලේ නුවර වීදිවලට එක්රොක් වන්නට වූහ. මේ අතර, තම ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කරමින් ඊබ්‍රාහිම් මොහොමඞ් සෝලී, ජනපති අබ්දුල්ලා යමීන්ගෙන් ඉල්ලා ඇත්තේ,“ජනතා කැමැත්ත පිළිගන්නා” ලෙසය. “ජනතාව දී ඇති පණිවුඩය පැහැදිලියි. මාලදිවයින් වැසියන්ට අවශ්‍ය වෙනසක්, සාමය, සාධාරණත්වය” යැයි මාධ්‍යවේදීන් අමතමින් සෝලී මාලේහිදී පැවසීය.


ඡන්ද විමසීමට පෙර බහුතර මතය වූයේ, ජනපති අබ්දුල්ලා යමීන් යළිත් වරක් ජයගනු ඇති බවටය. ඡන්ද විමසීමට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සිරගත කර සිටි අතර, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපොහොසත් වුවහොත් සම්බාධක පනවන බවට අමෙරිකාව මෙන් ම යුරෝපා සංගමය ද අනතුරු අඟවා තිබිණි.


සිය මැතිවරණ ව්‍යාපාරය අතරවාරයේදී කෙටි සංචාරයකට කොළඹට පැමිණි අවස්ථාවේදී ජනාධිපති සෝලී විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු කලාපයේ අසල්වාසී රටවල් සමග සබඳතා යළි ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බවය.


2012 වසරේදී අබ්දුල්ලා යමීන් විසින් රටෙන් නෙරපනු ලැබූ මාලදිවයින් හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් මෙම ජයග්‍රහණය පිළිබඳව ට්විටර් පණිවුඩයක් මගින් සිය සතුට පළ කර තිබේ. ඔහු පවසා ඇත්තේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාගේම ඓතිහාසික ජයග්‍රහණයක් බවය.


මාලේ නුවර ජාතික පාපාන්දු ක්‍රීඩාංගණයේ සංවිධානය කර ඇති විශේෂ උත්සවයකදී ඉකුත් සති අන්තයේදී මාලදිවයින් නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවූ අතර දිවුරුම් දීමේ උත්සවය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මීට අමතරව චීනය නියෝජනය කරමින් එරට සංචාරක අමාත්‍ය ලුඕ ෂුංග්ද, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු කලාපයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයින් සහභාගී වීමද විශේෂත්වයකි. මෙවර ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහය හිමිවූ බවත්, විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඞ් සොලීට ඉන්දියාවේ සහාය හිමිවූ අවස්ථාවක සෝලී දිවුරුම් දුන් අවස්ථාවට චීන රජයේ අමාත්‍යවරයෙකු සහභාගී වීම තරමක පුදුමසහගත දෙයක් විණි. කෙසේවෙතත් මාලදිවයිනේ විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 80 ක් චීනයෙන් ලබා ගත් ණය යැයි සඳහන් වේ. කෙසේ වෙතත් චීනයටද, ඉන්දියාවටද, නැතහොත් ස්වාධීන මධ්‍යස්ථ දේශපාලන ගමනක් යායුතුද යන්න තීරණය කළ යුත්තේ සෝලී විසිනි. නැත්නම් සිදුවන්නේ තවත් දේශපාලන තුරුම්පුවකින් තවත් නායකයෙකු පහළ වීම පමණකි.


මාලදිවයින් ජනාධිපතිවරණය පසුගියදා අවසන් වූයේ පොදු අපේක්ෂකයා ලත් අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගය. ජනාධිපති අබ්දුල්ලා යමීන් පරදවා, ඉබ්‍රහිම් මොහොමඞ් සෝලී ලද ජයකටත් වඩා එය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව විචාරකයන්ගේ පිළිගැනීමයි. වසර 30කට ආසන්න කාලයක් අබ්දුල් ගයුම් ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනයට නතුව සිටි මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවේශය ලබා වැඩි කාලයක් ගත වී නැත. ඒ නිසාමදෝ එහි මැතිවරණවලදී ඉහළ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ වනු දැකිය හැකිය.
ඒ කෙසේ වෙතත් මෙවර පැවැති ජනාධිපතිවරණයේදී ජනතාව වඩාත් උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව පෙනී යන්නේ ප්‍රතිශතය 89%ක් වීම මඟිනි. මීට වසර 5කට පෙර, එනම් 2013 වර්ෂයේදී බලයට පැමිණි අබ්දුල්ලා යමීන් මාලදිවයිනේ බලයට පත් වූයේ ජනතාව තුළ ඉහළ බලාපොරොත්තුවක් ඇති කරමිනි. එහෙත් ඔහු බලයට පැමිණ කෙටි කලක් යත්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය, භීෂණය, ඉහළ ගියේය. නීතියේ ආධිපත්‍යය ගිලිහිණි. මාධ්‍ය නිදහසට දැඩි ලෙස පහර වැදිණි.


මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාව වෙනුවෙන් බලා සිටියද, එයට අබ්දුල්ලා යමීන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේදී ඉඩක් ලබා නොදෙනු ඇතැයි බොහෝ විචාරකයන් මත පළ කර තිබිණි. ඒ අනුව ඔහු කෙසේ හෝ තම බලය මෙවරද තර කරගනු ඇතැයි විශ්වාසය තිබිණි. විශේෂයෙන්ම ආසියා කලාපයේ බලවතා වන චීනය සමග යමීන්ගේ තිබූ සමීප ඇසුර ඔහුගේ ශක්තිමත් බවට තදින්ම බලපා තිබිණි. එහෙත් කිසිවකු නොසිතූ ලෙස විපක්ෂයේ පොදු අපේක්ෂක ඉබ්‍රහිම් මොහොමඞ් සෝලී ජය ගත්තේය.


යාමීන්ගේ පාලනයේදී මාලදිවයිනේ චීන ආයෝජන ඉහළ යෑම, ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉන්දියාවට රිස්සුවේ නැත. ජනාධිපතිවරණයට පූර්වයෙහි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපොහොසත් වුවහොත් සම්බාධක පැනවීමට කටයුතු කරන බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මාලදිවයිනට අනතුරු අඟවා තිබිණි. ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත රටක් වන මාලදිවයිනෙහි පසුගිය කාලයේදී දූපත් බදුදීමේදී දූෂණ සහ වංචා සිදු වී ඇති බවද වාර්තා වේ. මේ පිටුපස යාමීන්ගේ සෙවණැල්ල පවතින බව බොහෝ විචාරකයන්ගේ විශ්වාසයයි. මාලදිවයින් විපක්ෂයේ පොදු අපේක්ෂක ඉබ්‍රහිම් මොහොමඞ් සෝලී ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ මෙබඳු පසුබිමකය. මාලදිවයින තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට විශාල සේවයක් කළ අයෙකුට ඉදිරියටත් රටක් කරවිය හැක්කේද යන්න තීරණය කළ හැක්කේ මාලේ වැසියන්ට පමණක් බවද සිහියේ තබා ගත යුතුය.

 

 


තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.

 



අදහස් (0)

දූපතෙන් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1357 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1264 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site