IMG-LOGO

විශ්වවිද්‍යාලවලත් ළිඳ ළඟ සංගම්

නිර්මාණාත්මක හා ශ්‍රාස්ත්‍රීය පර් යේෂණ කෘති රැසක් ද ලියා පළ කළ සාලිය කුලරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. මෙවර වීමංසා සංවාදය මහාචාර්යවරයා සමග පැවැත්වෙන්නේ නූතනයේ ශාස්ත්‍රීය හා නිර්මාණ ක්ෂේත්‍රවල පවත්නා තත්වය පිළිබඳව විමසීමේ අරමුණ ඇතිවය.

ප්‍ර රටේ තරුණ පරපුර පොත පතින් හා සාහිත්‍ය කලා රසවින්දන මාර්ගවලින් ඈත් වී තාක්ෂණික මෙවලම්වල සිරගතව සිටින බවට බොහෝ දෙනා මැසිවිලි නගනවා. මේ තත්වයෙන් පෙනෙන්නේ රටේ සංස්කෘතික කඩා වැටීමක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?

යුග පරිණාමයේදී සමාජයේ වින්දනීය තත්වයන්, ඒ සඳහා පාදක වූ ශිල්ප කලා, මූලාශ්‍ර සංකල්ප වගේ දේවල් ඊළග යුගය කරා යනකොට වෙනස් තත්වයට පත් වෙනවා. එහෙම අදහස් විසරණය වෙන්න පුළුවන්. අපි පන්සිය පනස් ජාතක පොත ගැන කතා කරද්දි එහෙම නැත්නම් මාර්ටින් වික්‍රමසිංහගේ හෝ එදිරිවීර සරච්චන්ද්‍රගේ නවකතාවක් ගැන කතා කරද්දි අපේ දරු පරම්පරාවත් ඒ ගැන දැනගෙන ඉන්න පුළුවන් . ඒත් ඔවුන් අත්පත් කරගන්න හදන්නෙ ඊට වඩා වෙනත් දෙයක්.

විශ්වවිද්‍යාල ශිෂයන්ගේ වුණත් මේ ලක්ෂණ දකින්න පුළුවන්. අපි ශිෂ්‍ය කාලෙ පුළුවන් තරම් පොත පත කියවලා දැනුම සොයා ගන්න මහන්සි ගත්තා. ඒත් දැන් ශිෂ්‍යයන් පොත පත කියවීම කියන කාරණය ගැන ඒ තරම් උනන්දුවක් හා විශ්වාසයක් තබන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් වඩාත් විශ්වාසය තබන බව පෙනෙන්නේ තාක්ෂණික මෙවලම් කෙරෙහියි. පොතක තියෙන්නෙ පර් යේෂණාත්මකව ලබාගත්ත දේවල්. එහෙත් මේ තියන විද්‍යුත් මාධ්‍ය නව තාක්ෂණික මෙවලම් සහිත මාධ්‍ය ඒ විදියේ පර්යේෂණාත්මක නැහැ. මේ නිසාම අපි සම්භාව්‍ය යැ‍යි සැලකූ ආචාර ධර්මීය මිනිස් ආධ්‍යාත්මය පෝෂණය කළ පරිසරයෙන් අලු‍ත් පරපුර වේගයෙන් ගිලිහෙමින් යන තත්වයක් දකින්න පුළුවන්. සාහිත්‍යයේ විවිධ ගද්‍ය පද්‍ය නිර්මාණ මගින් වක්‍රෝක්තියෙන් හා ව්‍යංග්‍යාර්ථයෙන් පෙන්වා දුන් ගැඹුරු ජීවන අරුත් අලු‍ත් පරම්පරාවට තේරුම් ගන්න බෑ. සාහිත්‍ය නිර්මාණයක වුවත් බොහෝ විට ඔවුන් සොයන්නේ හුදු මතුපිට අදහස පමණයි.

 

ප්‍ර දුක වේදනාව විරහව දරාගැනීම, ඉවසීම, සංයමය වගේ කාරණා තරුණ සමාජයෙන් බරපතළ ලෙස ගිලිහී යමින් තිබෙන බව බොහෝ දෙනාගේ අදහසයි. තරුණ තරුණියන් දිවි නසාගැනීම් පසුගිය කාලයේ වැඩි වශයෙන් වාර්තා වුණා. උසස් සාහිත්‍ය කලා ඇසුර හා රසවින්දනය පිරිහී යාමත් මේ තත්වයට බලපා තිබෙනවාද?

ඔව්. එහි වක්‍ර බලපෑමක් මේ කාරණා පිටුපස තියෙන්න පුළුවන්. පුද්ගලයා සංවේදී කරන්න සාහිත්‍යය විශේෂයෙන් බලපානවා. සාහිත්‍යයේදී හැම විටෙකම පාහේ අවධාරණය වන්නේ සංවේදීකමයි. ආගමික මූලාශ්‍රයකටත් වැඩියෙන් සාහිත්‍යයේදී මේ සංවේදීකම මතු කෙරෙනවා. සාහිත්‍යයේදී මිනිසුන්ගේ හැසිරීමක් පාසා සිතිවිල්ලක් පාසා විවිධ උපමාන ගොඩනැගෙනවා. මේ දරාගැනීම ඉවසීම නැති වුණාම තමයි සමහර අය ජීවිතයෙන් වන්දි ගෙවන්න උත්සාහ කරන්නෙ.

මම හිතන්නෙ සාහිත්‍යකරුවන්ගෙ වගකීම වෙන්නෙත් කෙනෙකුගේ ජීවිතය තේරුම්ගන්න අවස්ථාව ලබා දෙන එකයි. අද වනවිට සමාජයේ තිබෙන නීරස මානසික වියවුල් දේශපාලන අර්බුදවගේ දේවල් තමයි නිතරම නවකතාකරුවන් තේමා කරගන්නෙ. ඔවුන් දක්ෂ නවකතාකරුවන් බව වෙනම කාරණයක්. එහෙත් පාඨකයා එයින් තවදුරටත් අර ප්‍රශ්නවල ඇලී ගැලෙන එකයි වෙන්නෙ. නවකතා තේමාවල මේ අර්බුදය නිසා ඒ නවකතාව නැවතත් කියැවීමට පාඨකයා පෙළැඹෙන්නෙ නෑ. කෙනෙක් කලා කෘතියක් ආශ්‍රය කරන්නෙ පවතින තත්වයෙන් ජීවිතය දෙස නව මානයකින් බලන්න පුළුවන්ද කියන කාරණය මත. ඒත් නූතනයේ බොහෝ නවකතාවලින් ඒ නවමානය වෙනුවට ජීවිතය කනස්සලු‍ තත්වයකට පත්වීමක් තමයි සිද්ධ වෙන්නෙ.

ඒත් මේ රටේ කලකට පෙර ජනප්‍රිය සාහිත්‍ය කියල එකක් තිබ්බ. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත වගේ නවකතා උදාහරණයට ගන්න පුළුවන්. මේවා පාඨකයන් වැළැඳගෙන කියවපු කතා. සාහිත්‍ය මම එක තැනකට ලඝු කරනවා නොවෙයි. ඒත් මේ කතාවලින් ජීවිත උත්ථානීකරණයක් සිදුවුණා. සාහිත්‍යකරුවා ජීවිතයේ ඛේදනීය තත්වයන්ගෙන් ඔබ්බට පාඨකයා ගෙන යා යුතුයි. හැම විටකම ජීවිතේ නීරස තත්වයම අවධාරණය වුණොත් වෙන්නෙ තවත් කඩා වැටීමයි. ලියෝ ටෝල්ස්ටෝයි පෙන්වන සාධු කලාව වැදගත් වන්නේ මේ වගේ තැනකයි. කලාකරුවා සමාජයේ ඉදිරියෙන් ගමන් කරන එක්තරා විදියක පෙරගමන්කරුවෙක් ය යන අදහස මෙතැන මතු කෙරෙනවා. ඒ නිසා සාහිත්‍යයේ නීරස යැයි කියන තාර්කික යැයි කියන දේට වඩා බොහොම සෞම්‍ය මනුෂ්‍යත්වය මතු කරන ජනප්‍රිය සාහිත්‍යයේ සුගැඹුරු දෙයක් අන්තර්ගත වෙන්න පුළුවන්.

සාමාන්‍ය සමාජයේ පාඨකයා හුරුවෙලා ඉන්නෙ සරල දේ කියවන්න. වැඩිපුර වෙහෙසීමකින් තොරව යම් රසවින්දනයක් ලබන්නයි ඔවුන් කැමැති. ජනප්‍රිය නවකතාවට ඔවුන් ප්‍රියයි. මමත් හිතනවා අපේ රටේ වුණත් වැඩිපුර අලෙවි වන්නේ මේ කියන ජනප්‍රිය නවකතා කියලා. කෙනෙක් නවකතාවක් කියවන්නෙ හිසේ රදේ හදාගන්න නෙවෙයි.

 

ප්‍ර ඔබ ජනප්‍රිය නවකතාව ගැන කිව්වා. ඒත් ශාස්ත්‍රීය සමාජය හා විචාරකයන් මේවා බාල බොළද මල් නවකතා හැටියට පහළ අගයකට දමා තිබුණා නේද?

එහෙම හංවඩු ගැහුවට ඇත්ත ඇති සැටියෙන් පිළිගත යුතුයි. සරුව පිත්තල, මල් නවකතා කියල මේවාට කිව්වට ඒ නවකතාවලට ප්‍රිය කරන විශාල පිරිසක් ඉන්නවා. මේ ලක්ෂණය තියෙන්නෙ එක කාලයක විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම ඒ ප්‍රවණතාව දකින්න තිබුණා. මුළු මහත් ප්‍රජාවම කිසිම අවස්ථාවක ගැඹුරු දාර්ශනික අදහස්වලින් පුබුදුවන්න බෑ. ජනප්‍රිය නවකතාවේ වර්ධනයක් සිදුවුණේ ඇයි කියන හේතුව මුල සිටම හොයා බැලීමෙන් මේ බව වටහා ගන්න පුළුවන්. මිනිසුන් දුක්ඛ වේදනාවන්ගෙන් පීඩාවන්ගෙන් පුරවන්නේ නැතිව ඔවුන්ගේ සිත් සනසන්නට නවකතාකරුවාට පුළුවන්කම තියෙන්න ඕනෑ.

 

ප්‍ර අනෙක් පැත්තෙන් මේ රටේ ශාස්ත්‍රීය විෂය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට විශ්වවිද්‍යාල වලින් වැඩි දායකත්වක් එදා ලැබුණා. ඒවායින් අගනා ශාස්ත්‍රීය පර් යේෂණ බිහි වුණා. අද තත්වය මොකද්ද?

අද තත්වය ගැන ඒ තරම් සතුටු වෙන්න බෑ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ඉදිරියට එන අය එදා වගේ ශාස්ත්‍රීය පර් යේෂණ ගැන උනන්දුවක් පෙන්වන බවක් දකින්නට නැහැ. ඒත් ඒ අය අතර ඉතා හොදින් වැඩ කටයුතු කරන ශාස්ත්‍රීය පොත පත පළ කරන කිහිප දෙනකුත් ඉන්නවා. එය සතුටට කරුණක්. ඒත් පොදුවේ ගත්තාම බොහෝ දෙනා තමන්ගේ උපාධි ටික කරගෙන පෞද්ගලික වැඩ කටයුතු ටික බලාගෙන පාඩුවේ ඉන්න තත්වයක් තමයි පෙනෙන්නෙ. ඔවුන්ට ශාස්ත්‍රීය පර් යේෂණවලට වඩා තමන්ගෙ දරුවන් ටියුෂන් පන්ති ගෙනයාම සුපර් මාර්කට් යාම වගේ වැඩ තියෙනවා. මොවුන් සිටින්නේ ශාස්ත්‍රීය අලසභාවයකින්. මොළය වෙහෙසන්න කැමැති නෑ.

හරියට ෆ්‍රාන්ස් කෆ්කාගේ ද කාස්ට්ල් නවකතාවේ එන චරිත වගේ අද ශාස්ත්‍රීය ක්ෂේත්‍ර නියෝජනය කරන බොහෝ දෙනාත් කරන්නෙ කණ්ඩායම් හැදිලා ළිඳ ළග සංගම් වගේ ඔහේ කතා කර කර ඉන්න එක. ශාස්ත්‍රීය සංවාදවල ඇලී ගැලී ශාස්ත්‍රීය පොත පතක් පළ කරන උනන්දුවක් මේ පිරිසේ දකින්නට නැහැ. අපි මේ අයට ඇත්ත කාරණය පෙන්වා දුන්නට පස්සෙ ඔවුන් ඒවා පිළිගන්න කැමැති නෑ. හරි දේ පෙන්නලා අඩුපාඩුව කියල දුන්නට පස්සෙ ඔවුන් අපි එක්ක අමනාප වෙනවා. කතා බහ නොකර බිම බලාගෙන යනවා. මේක මේ යුගයේ ලක්ෂණයක්. එහෙමත් පුළුවන්ද ශාස්ත්‍රීය දියුණුවක් ලබන්න?. මට මේ වෙලාවෙ මතක් වෙනවා සියබස්ලකරේ තියෙන කවියක්. ඒ කවිය භාෂාව සම්බන්ධයෙන් කියල තිබුණත් ශාස්ත්‍රීය සමාජයේ මේ අර්බුදයටත් මනාව ගැළපෙනවා.

 

ගවගන වේ පසස්

නදා බස් කැර සකස්

පිය සුවහට අන් හට

හුදු ගව බැව්ම සාදා

මේකෙ කියන්නේ ඉතාම මැනැවින් භාෂාව ක්‍රියාවේ යොදවන්නාහට සුරභිධේනුව මුණ ගැසෙන බවයි. එසේ නොකරන පුද්ගලයන්ට වෘෂභභාවයම, ගොන්කමම සොබාදහමෙන් පිරිනමනවා. භාෂාව කාර්යයයේ යොදවනවා කියන අරුත නිර්මාණාත්මක පර් යේෂණශීලී කාර්යයන්ට භාෂාව යොදා ගැනීමයි. ඔවුන්ට සුරභිධේනුව මුණගැහෙනවා. ඔවුන් ශාස්ත්‍රීයව දියුණුවට පත්වෙනවා. අනේ අපිට ඕව ඕනෑ නෑ, මේ ඉන්න ටිකේ මොකටද ඕවට මහන්සි වෙලා දුක් විඳින්නෙ, ඔය පොත් පත් ලියලා කාටද හරි ගියේ, අනේ ඊට වඩා මොකක් හරි කරගෙන ඉන්නව කියලා හිතන අයට අත්වන්නේ වෘෂභභාවයමයි. ගොන්බවමයි.

 

ප්‍ර භාෂාව, සාහිත්‍ය පර්යේෂණය නොතකා හරින සමාජය අයාලේ යන බව උගතුන් නිතර පෙන්වා දෙන කාරණයක්. ඔබේ අදහස කුමක්ද?

ඒක ඇත්තක්. අපි ඉන්නෙ ශික්ෂණයකට පත් වූ සමාජයක නම් මිනිසුන්ගේ ඇවතුම් පැවතුම්වල හරිම සංයත ලක්ෂණ තියෙන්න ඕනෑ. ඒත් වත්මන් සමාජයේ එහෙම එකක් නෑ. වැඩිය නෙවෙයි පාරට බැස්සාම ඒක පේනවා. රස විහීන වූ සමාජය මනුෂ්‍යත්වයෙනුත් හීන වූ එකක්.

වනන්තේන බහු වෘක්ෂාදී

වෘක්ෂ චන්ද දුල්ලභා

බහූ ලෝකේ මනුෂ්‍යාච

සත්පුරුෂා අතිදුර්ලභා

වනාන්තරයක චන්දන වෘක්ෂ දුර්ලභ වන්නා වගේ මනුෂ්‍යා ලෝකයේ සත් පුරුෂයන් දුර්ලභ බවයි මෙයින් කියැවෙන්නේ. මෙයි ව්‍යංගයෙන් තව දෙයක් කියනවා. ඒ තමයි සත්පුරුෂයන් නිර්මාණය වෙන්නෙ සාහිත්‍යයෙන් බව. සාහිත්‍යයෙන් අද ඒ කාර්යය නිසි පරිදි සිදු නොවන නිසා අර චන්දන වෘක්ෂ දුර්ලභ වනවා වගේ සමාජයේ සත්පුරුෂයනුත් දුර්ලභ වෙලා තියෙනවා එහෙමයි කියලා අපට නිහඬව ඉන්න බෑ.

 

(***)
සටහන
ගාමිණී කන්දේපොළ



අදහස් (0)

විශ්වවිද්‍යාලවලත් ළිඳ ළඟ සංගම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 133 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 345 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site