තන්තිරිමලේ පුද බිමේ සුන්දරත්වය අපූරුවට පෙනෙන්නේ ලස්සනට හඳ පායන දවස්වල රැටයි. අක්කර දෙසීයකට වඩා භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරී තිබෙන විවිධ හැඩයන්ගෙන් යුත් මහ ගල්තලාව මතට නැඟ අවට පරිසරය දිහා දෑස් යොමද්දී තමයි ඇත්තටම තන්තිරිමලේ පුදබිම කොයිතරම් සුන්දරයි ද කියලා හිතෙන්නෙ.
![]() |
තන්තිරිමලේ චන්දරතන නාහිමි |
මහ වනාන්තරය තමයි, හැම පැත්තෙන්ම ඈතින් කළුවට දිස්වෙන්නෙ. විල්පත්තුව ජාතික වනෝද්‍යානය තමයි බටහිර පැත්තෙ ඉඳන් වයඹ පැත්තට පෙනෙන්නෙ. වන සතුන් බොහෝ ගැවසුණත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය ?ට හරිම නිසංසලයි. ඒ නිසංසලකම යම් තරමකට හෝ බිඳෙන්නෙ රැහැයියෙක් හරි කිරළෙක් හරි කෑගහද්දී තමයි.
මේ පොසොන් පොහොය සමයේ සඳ එළියෙන් නැහැවුණු තන්තිරිමලේ පුද බිම ”ලංකාදීප” පොසොන් ආලෝක පූජාවෙන් ඒකාලෝක වුණාම ඒ ලස්සන දෙගුණ තෙගුණ වී විචිත‍්‍රවත්ව මැවෙන්නෙ හරිම සුන්දර දර්ශනයක්. ඒ දසුනින් සිත් පහන්වූ සැදැහැවතුන් සාධු නාද පවත්වද්දී ඒ හඬ තන්තිරිමලේ මහ ගල්තලාවේ හැපී දෝංකාර දෙද්දී සවනට දැනෙන මිහිර වචනයෙන් කියන්න බැරි තරම්.
මේ පින් බිමට ඓතිහාසික අතින් හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්. මහා වංශයේ සඳහන් වෙන අන්දමට දෙවැනි පෑතිස් මහ නිරිඳුන් අනුරාධපුරයේ සිට රජකළ සමයේ සඟමිත් මහ තෙරණිය දඹදිව සිට සිරිමා බෝ සමිඳුන් ලක්බිමට වැඩම වූ කථා පුවතේ තන්තිරිමලේ ගැන සඳහන් වෙන්නෙ සුවිශේෂී ලෙසයි.
දඹදිව සිට සිරිමා බෝ සමිඳුන් වැඩමවාගෙන සහපිරිවර සමග නැවෙන් පැමිණ දඹකොළ පටුනෙන් ලක් බිමට ගොඩ බට සඟමිත් මහතෙරණිය ඉමහත් ගෞරවයෙන් පිළිගත් දෙවැනි පෑතිස් මහ නිරිඳුන්, ඒ පිරිස අනුරාධපුරය බලා පෙරහරෙන් කැඳවාගෙන පැමිණෙද්දී තන්තිරිමලේ මහ ගල්තලාව මත රැුයක් පහන් කළ බවයි මහා වංශයේ සඳහන් වෙන්නෙ.
එදා තන්තිරිමලේ ප‍්‍රදේශය හැඳින්වුනේ තිවක්ක බමුණු ගම ලෙසයි. ඒ එවකට එම ප‍්‍රදේශය ”තිවක්ක” නම් බමුණකු විසින් පාලනය කළ නිසයි. ප‍්‍රාදේශීය පාලකයකු වූ මේ තිවක්ක බමුණා, දෙවැනි පෑතිස් මහ නිරිඳුන්ගේ ඉතා සමීපතමයකු ලෙසයි ජනප‍්‍රවාදයේ සඳහන් වන්නෙ.
ඒ නිසයි, සිරිමා බෝ සමිඳුන් වැඩමවාගෙන පැමිණි සඟමිත් මහ තෙරණිය ඇතුළු පිරිසට අනුරාධපුරය බලා පැමිණෙන ගමනේදී රැයක් පහන් වනතුරු ආරක්ෂාවත් නවාතැන් පහසුකම් සැලසීමටත් එදා තිවක්ක බමුණාගේ පාලනය යටතේ පැවැති ස්වභා සුන්දරත්වයෙන් අතිරමණීය වූ මේ පින්බිම දෙවැනි පෑතිස් මහ නිරිඳුන් තෝරාගන්නට ඇත්තෙ.
සිරිමා බෝ සමිඳුන් අනුරාධපුර මහමෙව්නා උයනේ උඩමළුවේ රෝපණය කෙරුණු රාජ්‍ය උත්සවයේදීත් තිවක්ක බමුණු තෙමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ප‍්‍රභූවරයෙක්. මහාවංශයේ සඳහන් පරිදි ඒ බව සනාථ වෙන කරුණක් තමයි, දෙවැනි පෑතිස් මහ නිරිඳුන් සිරිමා බෝධීන් වහන්සේ උඩමළුවේ රෝපණය කළ අවස්ථාවේ බෝධීන් වහන්සේගෙන් පැනනැගුණු අංකුර අටෙන් එක් බෝ අංකුරයක් තිවක්ක බමුණු ගමේ රෝපණය කිරීම සඳහා බමුණු තෙමේට භාරදීම.
අදටත් තන්තිරිමලේ මහ ගල් තලාව මත වැඩවසන බෝධීන් වහන්සේ එදා තිවක්ක බමුණා විසින් මහමෙව්නාවෙන් රැුගෙනවිත් රෝපණය කළ සිරිමා බෝධීන් වහන්සේගෙන් පැන නැඟුණු බෝ අංකුර අටෙන් එකක් බවයි ජනප‍්‍රවාදයේ සඳහන් වෙන්නෙ. සැදැහැවතුන් අෂ්ඨඵල බෝධීන් වහන්සේ ලෙස එම බෝධිය හඳුන්වන්නෙ ඒ නිසයි.
පුරා විද්‍යාත්මක අතිනුත් තන්තිරිමලේට හිමිවන්නෙ සුවිශේෂී ස්ථානයක්. ස්වභාවිකව පිහිටි කළුගලේ නෙළා තිබෙන සමාධි පිළිමයට වගේම සැතපෙන පිළිමයටත් තන්තිරිමලේට පැමිණෙන කාගේත් අවධානය යොමුවෙන්නෙ එම පිළිමවල සුවිශේෂත්වය නිසයි.
තන්තිරිමලේ නැගෙනහිර දෙසින් ඇති ගල්තලාවට පහළින් තිබෙන ජලය පිරුණු පොකුණ නෙළුම් මල් වලින් පිරිලා තිබෙන නිසා හරිම අලංකාරයි. මේ පුදබිමේ අලංකාරය තව තවත් වැඩි කෙරෙන ස්වභාවික නිර්මාණයක් තමයි මේ පොකුණ.
පොකුණට ඉහළින් ඇති ගල මත ගලින්ම ඉදිකරන ලද කුඩා ගොඩනැගිල්ල හඳුන්වන්නෙ පොත් ගුල ලෙසයි. මෙම පොකුණ ළඟ අතීතයේදී භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩවසන්නට ඇති බව විශ්වාස කළ හැකි සාධකයක් තමයි, ඒ අසල ගල් තලාවේ නටබුන් වී තිබෙන පටානඝරය. පුරාවිද්‍යාඥයිනුත් මේ අදහසම දරනවා.
තන්තිරිමලේ පුද බිම අවට ප‍්‍රදේශ වලිනුත් මේ වන විට ආගමික අතින් වැදගත් නටබුන් බොහෝමයක් හමුවී තිබෙනවා. බුද්ධ ප‍්‍රතිමා, ගල්කණු, සෙල්ලිපි, ගරාවැටුණු දාගැබ් ඒ අතරින් ප‍්‍රධානයි. මේවා බොහෝමයක් නිදන් හොරුන් විසින් විනාශකර තිබීම ඉතා ඛේදජනකයි.
තන්තිරිමලේ ලෙන් කීපයක අදටත් දක්නට ඉතිරිවී තිබෙන විවිධ හැඩයන්ගෙන් යුත් චිත‍්‍ර සටහන් ගල් යුගයේ ජීවත්වූවන්ගේ බවටයි විශ්වාස කරන්නෙ. ඒ අනුව තන්තිරිමලේ ගල් යුගයේ සිට මිනිස් වාසයක්ව පැවැති බව තහවුරු වෙන බවයි පුරාවිද්‍යාඥයින්ගේ මතය. කොහොමටත් තවමත් මෙම ලෙන් චිත‍්‍ර ගැන ගැඹුරින් පර්යේෂණයක් කර නොමැති බවයි පැවසෙන්නෙ.
අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු පසු බොහෝ කලක් වන ගතව පැවැති ඓතිහාසික තන්තිරිමලේ පුද බිම හා ඒ අවට ප‍්‍රදේශය අද පවතින තත්ත්වයට දියුණු කිරීමට තන්තිරිමලේ රජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ උතුරු නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කුඩා කෝන්ගස්කඩ විමලඤාණ නායක හාමුදුරුවෝ තමයි මූලික වුණේ. අනපේක්ෂිත මොහොතක සිදුවූ උන්වහන්සේගේ අපත්වීමත් තිස් වසරකට ආසන්න කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ලවූ තර්ජනත් නිසා තන්තිරිමලේ දියුණුවට යම් යම් බලපෑම් ඇති වුණත් රජයේ සහ ආරක්ෂක අංශවල සහයෝගය මත සුන්දර පරිසරයක් රැුකගෙන දවසින් දවස දියුණුව කරා ගමන් කිරීමට වත්මන් විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන් දරන්නෙ අප‍්‍රතිහත ධෛර්යයක්.
තන්තිරිමලේ පුද බිමත්, ප‍්‍රදේශයත් අද වන විට ලබා තිබෙන්නෙ විශාල දියුණුවක්. චන්දරතන නාහිමියන් පවසන්නේ ඒ දියුණුව උදාවන්නට ප‍්‍රධාන වශයෙන්ම මීට දසවසරකට පෙර විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහත්මාණන්ගේ මඟ පෙන්වීම යටතේ එම පුවත්පත් සමාගම ආරම්භ කළ ”ලංකාදීප තන්තිරිමලේ පොසොන් අලෝක පූජාව” බලපෑ බවයි.
තන්තිරිමලේ පුදබිම ගැන ලක්වාසී බොදු බැතිමතුන්ගේ පමණක් නොව ලෝකවාසී බොදු බැතිමතුන්ගේත් අවධානය යොමුවූයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව තුළින් ලැබුණු ප‍්‍රචාරය නිසා බවයි උන්වහන්සේ පවසන්නෙ. රාජ්‍ය අනුග‍්‍රහය මේ තරමින් ලැබෙන්නටත් ආලෝක පූජාව බෙහෙවින් බලපෑ බව උන්වහන්සේ සිහිපත් කරන්නේ කෘතවේදීත්වය පළකරමිනුයි. නොකඩවා දසවසරක් තිස්සේ පවත්වන ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් බැබළුනු තන්තිරිමලේ පුදබිම තවත් චිරාත් කාලයක් එලෙසින්ම බැබලෙනු ඇතැයි යන්න තන්තිරිමලේ නාහිමියන්ගේ අපේක්ෂාවයි.
පොසොන් සමයේදී ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් විචිත‍්‍රවත්ව සදහම් සිසිලෙන් නැහැවෙන තන්තිරිමලේ පින් බිම පොසොන් සමයේදී මෙන්ම වසර පුරාම සැදැහැවතුන් වන්දනා කිරීමට පැමිණෙන්නෙ තම ජීවිත කාලය තුළ වරක් හෝ දැකගත යුතු පුදබිමක් ලෙස ඔවුන් සලකන නිසයි. ඒ වගේම වරක් පැමිණි කෙනෙක් නැවත වරක් තන්තිරිමලේට පැමිණෙන්න, මේ ඓතිහාසික පුදබිමේ ස්වභාවික සුන්දරත්වය ද හේතුවන බව නොඅනුමානය.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාදීප ආලෝකයෙන් එළියවෙන තන්තිරිමලේ පුද බිම