IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් දරුවන් කුසගින්නේ නොතබා ගැනීමට පියවර ගනිමු

බස්නාහිර හැර සෙසු සියලු‍ පළාත්වල පාසල් දරුවන්ගේ දිවා ආහාර වේල සැපයීම ඇනහිට තිබේ. එයට හේතුව බස්නාහිර හැර සෙසු පළාත්වල ආර්ථිකය සමෘද්ධිමත් වීම හේතුවෙන් අපේ දරුවන්ට පාසලෙන් ආහාර එපා යැයි මවුපියන් විසින් කරන ලද ඉල්ලීමක් යැයි වරදවා වටහාගත යුතු නැත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි පාසල් දරුවන් එම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී සිටින්නේ සැපයුම්කරුවන්ට මුදල් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ප්‍රකාශය කිරීමට හේතු වූයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඇතැම් දරුවන් නොවරදවාම පාසල් යාමට එකම හේතුව ගුරුසිත නොරිදවා ඇල්මෙන් අකුරු ඉගෙනීමට තිබෙන නොතිත් ආශාව නොවන බව පැවසිය යුතුය. අප කොතරම් පිළිගැනීමට අකැමැති වුවද පාසලෙන් ලැබෙන දිවා ආහාර වේල එසේ පාසල් යාමේ ප්‍රධානම උත්ප්‍රේරකය වශයෙන් ක්‍රියාකරන බව යථාර්ථයයි. බස්නාහිර පළාතේ වුවද කොළඹ නගරයේ පවා දිළිඳු මට්ටමේ දරුවන් පැමිණෙන කුඩා පාසල්වල තත්ත්වයද එයමය.

දිවා ආහාර වේල නොලැබුණු පමණින් දරුවන් පාසල් යාම නවත්වන්නේ යැයි අපි නොකියමු. නිවෙසේදී පිළියෙළ කර ගත හැකි කුමන හෝ ආහාරයක් දරුවන්ට ලබාදී ඔවුන් පාසල් පිටත්කර හැරීමට ක්‍රියාකරන දිළිඳු මවුපියෝද වෙති.

මෙය යහපත් තත්ත්වයක් නොවේ. පාසල් දරුවන්ට දිවා ආහාර වේල නොවරදවා ලබාදීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ ඇනහිටීම කුමන අයුරකින් හෝ වළක්වාගත යුතුය. අඩුම තරමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරී මවුපියන්ට තම දරුවන්ගේ ආහාර වේල ලබාදීමට හැකිවන තත්ත්වයක් උදා වනතුරු පාසල් දරුවන් කුසගින්නේ තැබීම අනුමත කරන කිසිවකුත් මේ රටේ නොසිටින බව අපට විශ්වාසය.

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ ලෝක බැංකු අරමුදලෙන් ආහාර සැපයුම්කරුවන්ට මේ වර්ෂයේ පෙබරවාරි සහ මාර්තු මාසවලට අදාළව රුපියල් කෝටි 87ක මුදලක් ගෙවීමට කටයුතු කරන බවය. එය නොපමාව ක්‍රියාත්මක කර පාසල් දරුවන් කුසගින්නෙන් මුදා ගැනීම සඳහා පියවර ගන්නැයි දිළිඳු මට්ටමේ සිටින ඒ නිසාම කිසිදු වරප්‍රසාදයක් නොමැතිව පීඩා විඳින මාපියන් වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු. ආහාර සැපයීමේ වැඩපිළිවෙළ නතර නොවන බවත් ඒ සඳහා සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලෝක බැංකු අරමුදලින් ඉදිරියේදී ගෙවන බවත් සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා සමහර පළාත්වල ආහාර සැපයීම සම්බන්ධයෙන් ගැටලු‍ මතුවී තිබෙන බවද පිළිගත්තේය.

අප කියන්නේ ඉදිරියේදී එවැනි ගැටලු‍ මතුවීමට ඉඩ නොතැබිය යුතු බවය. එය අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීමක් පමණක් නොවේ. මුළු රජයේම වගකීමකි. එම වගකීම පැහැර හැරීමෙන් පාසල් දිවා ආහාර වේල ඇතැම් ප්‍රදේශවල ඇනහිට තිබෙන බව පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමෙන් ජාතික ජන බලවේගයේ නායකයා කර ඇත්තේ යහපත් ක්‍රියාවක් බවද සඳහන් කරනු කැමැත්තෙමු.

පාසල් යන දරුවන් සියලු‍දෙනා පාසලේදී ලබාදෙන දිවා ආහාර වේල මත යැපෙන්නෝ නොවෙති. ඇතැම් දරුවන් එම ආහාර ලබාගන්නේ නැත. අවශ්‍යතාව තිබෙන ළමයින් තෝරාගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව අපි අසා ඇත්තෙමු. එසේ කිරීමේ වැරැද්දක් නැත. අවශ්‍යම දරුවාට පෝෂණය ලැබීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බැවිනි.

ඒ සමඟ කිවයුත්තේ ඇතැම් පළාත්වල ළමයින්ට ලබාදෙන දිවා ආහාර වේල සඳහා ඇතැම් සැපයුම්කරුවන්ට ලබාදෙන මුදල්ද ඔවුන් යටිමඩි ගසන බවය. ලබාදිය යුතු බවට නියම කර ඇති ආහාර නිසි පරිදි නොලැබෙන බවට චෝදනා එල්ල වෙන අවස්ථාද තිබේ. මේ සියල්ල සොයාබැලීම රජයට පමණක් කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා මවුපියන්ගේත් ගුරුවරුන්ගේත් සහාය ලැබිය යුතුය. එසේ විමසිලිමත්ව කටයුතු කළහොත් අක්‍රමිකතා වළක්වා ගැනීම අපහසු නොවනු ඇත.

ඒ අතරවාරයේ නිසි වෙලාවට මුදල් නොලැබුණත් පාසලට සපයන දිවා ආහාර වේල නොකඩවා ලබාදෙන සැපයුම්කරුවන්ද සිටින බවත් සඳහන් කළ යුතුය. දරුවන් කුසගින්නේ තැබිය නොහැකි නිසා තමන් මේ කාර්යය ඉටුකරන බව ඔවුන් ප්‍රකාශ කරන බවත් ඇතැම් මාපියෝත් ගුරුවරුත් කියති. එය යහපත් ක්‍රියාවක් වශයෙන් අපි අගය කරමු. සැපයුම්කරුවන්ට හිඟ මුදල් ලබාදීමේදී එසේ අඛණ්ඩව ආහාර සැපයූ පිරිසට හැකි ඉක්මනින් එය ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

(***)



අදහස් (1)

පාසල් දරුවන් කුසගින්නේ නොතබා ගැනීමට පියවර ගනිමු

DISANAYAKA Monday, 08 May 2023 08:26 AM

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීම විශිෂ්ඨයි. නමුත්, දරුවන්ට දෙන ආහාරවල ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමට සහ ආහාර පිසින ස්ථාන පිළිබඳව සොයා බැලීමට හොඳ යාන්ත්‍රණයක් නොමැත. පිසූ කුකුල්මස් නරක බව දැන ගැනීමෙන් පසු එක් පාසලක් ආහාර දීම නතර කර ඇති බව මම දුටුවෙමි. ඉතින් මේකෙන් අහිංසක ළමයින්ට හරිම අහිතකර වාතාවරණයක් ඇති වෙනවා. ඇතැම් විදුහල්පතිවරු නුසුදුසු ආහාර සපයන්නන් යොදවා මුදල් කොල්ලකති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site