ආර්ථිකය සම්බන්ධ කතා බොහෝය. කොරෝනාවෙන් ආර්ථිකය අර්බුදයකට ලක්වූ බවට ඇතැම් අය තර්ක කරති. එහෙත් කොරෝනාවෙන් සිදුවූයේ තිබූ ප්‍රශ්න උග්‍රවීම පමණි. අද මේ රට මුහුණ දෙන්නේ නිදහසින් පසු දරුණුම ගෙවුම්ශේෂ අර්බුදයටය. විදේශ විනිමය අතින් මෙතරම් අමාරු තැනකට රට තල්ලුවී තිබුණේ නැත. මුහුණ දෙන අර්බුදයෙන් එළියට ඒමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. එයට ප්‍රධාන හේතුව ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තියයි. තිබෙන විකල්ප සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාත්මකව කරුණු විශ්ලේෂණය නොකර හුදෙක් දේශපාලන වශයෙන් කටයුතු කිරීමෙන් ප්‍රශ්නය තවත් උග්‍රවී තිබේ.
කොරෝනාව නිසා ආණ්ඩුව කියනා තරම් සාර්ව ආර්ථිකයට ගැටලුවක් වී නැත. අපනයන අඩු වුවද ඊට සාපේක්ෂව ආනයන ද සෑහෙන්න පමණ අඩුවී තිබේ.
මේවායේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ජංගම ගිණුමේ හිඟයද අඩුවීමය. ගැටලුවක් වන්නේ ජංගම ගිණුමේ හිඟය වැඩිවූවොත්ය. එම හිඟය වැඩි වන්නේ අපනයනයට වඩා ආනයන බෙහෙවින්ම වැඩිවන විටය. එහෙත් ආනයන සහ අපනයන යන දෙකම අඩුවීමත් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ 2020 වසරේදී වැඩිවීමත් නිසා කියන තරම් බලපෑමක් ආර්ථිකයට සිදුව නැත. ඒ වගේම තෙල් මිල පහළයාමේ වාසිය ද ලැබුණි. මහ බැංකුව සඳහන් කරන ආකාරයට ආර්ථික වර්ධනය සෘණ වී ඇත්තේ එක කාර්තුවක පමණි. තුන්වැනි සහ හතරවැනි කාර්තුවල ආර්ථික වර්ධනය ධන වූ බව මහ බැංකුව පෙන්නා දී තිබේ. එසේ නම් මේ විදහා දක්වන්නේ සිතූතරම් බැරෑරුම් තැනකට කොරෝනාව හේතුවෙන් ආර්ථිකය තල්ලුවී නැති බවය. මහ බැංකුවේත් භාණ්ඩාගාරයේත් දත්ත වලින් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ආර්ථිකයේ යම් පාලනයක් ඔවුන් අත පවතින ස්වභාවයකි. එක් යථාර්ථයක් වන්නේ මෙයයි.
තවත් පැත්තකින් කොරෝනාවෙන් ජනතාව අසරණ වී සිටිති. රට වසා දමා තිබුණි. කර්මාන්ත අඩපණ වුණි. මේ නිසා යම් පසුබෑමක් රටේ ඇතිවූවේය. ඒ නිසා ඇතැම් අයට ආණ්ඩුවෙන් රු. 5000 ක දීමනාවක් ලබාදීමට ද පියවර ගත්තේය. විවිධ අංශවලට සහන ලබාදෙන බව ප්‍රකාශ කළේය. එහෙත් ආණ්ඩුවේ දත්ත වලින් පෙන්නුම් කරන්නේ කියන තරම් අර්බුදයකට රට මුහුණදී නොමැති ස්වභාවයකි.
අපි ඇත්ත කතා කළ යුත්තෙමු. බැරෑරුම් ප්‍රශ්නයක් රටේ තිබේ. කලින් කලට පත්වූ ආණ්ඩු කළේ මොනවාද? දිගින් දිගටම කර තිබෙන්නේ ආදායමට වඩා පරිභෝජනය කිරීමය.
එක් පැත්තකින් රජය බදු අයකර ඒවා වියදම් කරයි. අය කරගන්නා බදුවලට වියදම් කිරීම ඉහළ යමින් තිබේ. තවත් පැත්තකින් ආයෝජනය කෙරේ. ආයෝජනයට යොදවන්නේ දේශීය ඉතුරුම්ය. එහෙත් දේශීය ඉතිරි කිරීම් ඇත්තේ අඩුම අගයකය. එනිසා මෙහි පරතරයද පුළුල්ය. ආදායමත් වියදමත් නැතිනම් පරිභෝජනයත් අතර ඇත්තේ ද පුළුල් පරතරයකි. මේ දෙකේ අවසන් ප්‍රතිඵලය ජංගම ගිණුමේ ශේෂයයි. විදෙස් රටවල් සමග කරන සියලු ගනුදෙනුද මෙයට අයත්ය. ජංගම ගිණුමේ හිඟය වැඩිවීම යනු බරපතළ කාරණාවකි. නිදහසින් පසු වසර කීපයක් ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතියත් ඉන්පසු දිගින් දිගටම ඇත්තේ හිඟයකි. ප්‍රශ්නයේ මූලය ඇත්තේ එතැනය.
දිගින් දිගටම වැඩිවන විදේශ ණය සහ ඉහළ පොලී අනුපාතවලට ණය ගැනීමෙන් ඇතිව තිබෙන පීඩනය තවත් කාරණාවකි. සරළව ගතහොත් අපට ඇත්තේ මේ ප්‍රශ්න දෙකය. මේ ප්‍රශ්න දෙක විසඳා ගැනීම අපට තිබෙන අභියෝගයයි. අවශ්‍යතාවයි. මේ ප්‍රශ්න කොරෝනාවේ බලපෑමෙන් ඇතිවූවක්ය කොරෝනාව තුරන්වූ පසු ප්‍රශ්නය විසඳේවියැයි කවුරුන් හෝ කියන්නේ නම් ඒවා සිල්ලර කතා පමණි. පසුගිය ආණ්ඩුවේ වැඩවලින් ප්‍රශ්න නිර්මාණය වූ බව කීමද ප්‍රායෝගික නැත. ඇත්තට ප්‍රශ්නය හඳුනාගෙන එයට විසඳුම් සෙවීමට නම් දේශපාලන පාට කණ්නාඩියෙන් එහාට යායුතුය. ගිය ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන කාරණයෙන් ඔබ්බට යා යුතුය.
රට මුහුණ දෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩයන ආකාරය පිළිබඳ සංවාදයක් ඇතිකළ යුත්තේ එලෙසිනි. දේශපාලනඥයන්, විද්වතුන්, වෘත්තීයවේදීන් ඒ සංවාදයේ සිටිය යුතුය. බෝලය එහෙට මෙහෙට පාස්කරමින් තවදුරටත් ඉදිරියට යාමට නොහැක. ඇත්ත එයයි. නිදහසින් පසු මුහුණ දෙන දැවැන්තම අර්බුදයේ රට සිරව ඇති බව කිසි විටෙකත් අපි අමතක නොකළ යුත්තෙමු.
වරායට පැමිණ ඇති භාණ්ඩ නිදහස් කර ගැනීමට ඩොලර් නැති බව ඇතැම් අය කියති. කලු කඩයේ ඩොලරය විකිණෙන්නේ රුපියල් 216 කටය. හෙට දිනයේ එය තවත් ඉහළ යන්නට පුළුවන. නීති පනවමින් ආනයන තහනම් කරමින් මේ ප්‍රශ්නය තවත් වසාගෙන සිටීමේ හැකියාවක් නැත. අද වන විට රට එක තැනකට තල්ලුවී තිබේ. උද්දච්චකමෙන් තීන්දු ගැනීමෙන් කෙටිකාලීන දේශපාලන වාසි අපේක්ෂාවෙන් කටයුතු කිරීමෙන් හෝ කොරෝනාවේ බලපෑමෙන් රට වැටුණා යැයි කීමෙන් පවතින අර්බුදයට විසඳුමක් සෙවිය නොහැක.
තෙල් මිල වැඩි කිරීමට ආණ්ඩුව පසුගියදා පියවර ගත්තේය. රජයේ ආදායමට වඩා වියදම වැඩිවී ඇති පසුබිමක තවදුරටත් සුබසාධන වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවන්නකි. ආදායමට වඩා වියදම වැඩිවීම මූලික ගැටලුවක් වශයෙන් පෙන්නා දෙන අතර තෙල් මිල සංශෝධනය නොකළ යුතුයැයි කීමේ හැකියාවක් මට නැත.
තෙල් මිලේ සංශෝධන අවශ්‍යය. ඒ සංශෝධන ප්‍රතිගාමී වැඩපිළිවෙළක් වශයෙන් කිරීම වැරැදිය.
අඩු ආදායමක් ඇති අයකුත් වැඩි ආදායමක් ලබන අයකුත් එක මිලට තෙල් ලීටරයක් මිලදී ගන්නා විට සහනාධාරයෙන් සියයට හැටක් ලැබෙන්නේ වැඩිම ආදායම් ලබන සියයට විස්සටය. අඩු ආදායම් ලබන සියයට විස්සට ලැබෙන්නේ සහනාධාරයෙන් සියයට පහකි. අඩු මිලට තෙල් විකුණන විට වැඩි ආදායම් ඇති අය වැඩියෙන් තෙල් පරිභෝජනය කරති. එහෙත් අසරණ අයට ධනවතුන් භාවිත කරන යානවාහන හෝ උපකරණ නැත.
එනිසා සහනාධාර ක්‍රමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ යුතුය. මිලේ යම් උච්චාවචනයකට ඉඩදිය යුත්තේ සීමාවකට යටත්වය. එයට සමීකරණයක් අවශ්‍යය. සහනාධාරය දියයුතු පුද්ගලයාට එය දිය යුතුය.
ලෝකයේ දියුණු රටවල, දියුණු වෙමින් පවතින රටවල, ප්‍රගතිශීලී රටවල මෙවන් වැඩසටහන් ක්‍රියාත්මකය. දේශපාලන බොරුවෙන් සියල්ල වසාගෙන නොසිටින රටවල මෙවන් වැඩවලට ඉඩ තිබේ. රාමුවෙන් එහා ගොස් මේ කාරණා දෙස බැලිය යුත්තේ ඒ නිසාය.
උද්ඝෝෂණය අවශ්‍ය කුමටද? පසුගිය වසරේ මැයි ජුනි වන විට පෙට්‍රල් ලීටරයක් වරායට ගොඩබෑවේ රුපියල් 25.06 කටය. ජනතාව වෙනුවෙන් වූ ආණ්ඩුව කළේ එම මුදලට රුපියල් 106 ක බද්දක් ගැසීමය. එසේ කර රුපියල් 142 ට තිබූ පෙට්‍රල් ලීටරය රුපියල් 137 ට අඩුකර ජනතාවට දුන්නේ රුපියල් පහක වාසියකි.
උද්ඝෝෂණ කෙරෙන්නේ එවැනි අසාධාරණකම්වලට එරෙහිවය. සමීකරණය පැවතියා නම් මේ අවස්ථාවෙත් ජනතාවට සහනයක් ලැබෙනු ඇත. සහනය ලැබිය යුතු අවස්ථාවේ සහනය නොදී ජනතාව පීඩාවට පත්වන ආකාරයට බදු අයකිරීම වැරැදිය. එයට අපට ඇත්තේ විරෝධයකි. මෙතැනින් එහාට ක්‍රමවේදය වෙනස්කර ගැනීමට අපට හැකි විය යුතුය.
ආනයන තහනම් කිරීම අමනෝඥ ක්‍රියාවකි. ආනයන තහනම් කර දියුණු වී ඇත්තේ කුමන රටද? 1970 – 1977 දක්වා ආනයන තහනම් කර තිබුණි. අවසන් ප්‍රතිඵලය වූයේ ජනතාවට කන්න නැතිවීමය.
එනිසා වෙළෙඳපොළ ආර්ථිකය ඇති රටක මේවා කළ හැකි දේවල් නොවේ. කෙටි කාලීනව ආනයනය සීමා කිරීමකට එකඟ විය හැකිය. එහෙත් ඒ සීමා කිරීම් කළ යුත්තේ ආනයන බදු හරහා පමණි. එසේ නැතිව කෙනකුගේ වුවමනාවට හිටි ගමන් සියල්ල තහනම් කළ නොහැක. වෙළෙඳපොළ ආර්ථිකයක් එලෙස වැඩ කරන්නේ නැත.
පොහොර ආනයනය තහනම් කර ඇත්තේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අංශක 190 කින් එකවර හරවන්නට බව කියූවද ඒවා එසේ වන්නේ නැත.
මේ ආනයන තහනම් කර ඇත්තේ ඩොලර් නැති නිසාය. වගාවට අවශ්‍ය පොහොර වෙනුවට ආදේශකයක් නොමැතිව පොහොර ආනයනය නැවැත්වූ විට මේ ආණ්ඩුවම කියන ජාතික නිෂ්පාදන වැඩපිළිවෙළ කඩාකප්පල් වන්නේ නැතිද? නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් නැතිවන පසුබිමක රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ කෙසේදැයි අපට වැටහෙන්නේ නැත. එනිසා මේ අය අනුගමනය කරන උපාය මාර්ගය වැරැදිය. එනිසා විශ්ලේෂණයක් නොකර, දත්ත සන්සන්දනය නොකර ගෙන තිබෙන හදිසි තීරණවලින් සිදුවන්නේ මේ රටේ ජනතාව සාගතයකට මුහුණදීමය. මේ ආකාරයට මේ රට ගොඩගැනීමට හැකියාවක් නැත. වරාය නගරයේ ආයෝජන, සෙලන්දිවා හරහා විදේශ අමාත්‍යංශය ඇතුළු ගොඩනැගිලි විකිණීමෙන්, රටවල් අසූවකින් ආයෝජන ගැලීමෙන් මේ ප්‍රශ්න විසඳීමට සිහින දැකීම වැරැදිය.
ජී.එස්.පී. අවිනිශ්චිතය. රටේ ඩොලර් හිඟය ණය ශ්‍රේණිගත කිරීමේ පහළටම වැටීමට ඇත්තේ තවත් එක් ශ්‍රේණියකි. එනිසා ණය ගැනීම අපහසුය. මෙයින් උඩට ඒමට නම් රජයේ ආදායම් වැඩිවිය යුතුය. ණය කළමනාකරණය කරගැනීමට හැකි විය යුතුය. එහෙත් එවැන්නක් පෙනෙනතෙක් මානයක නැත. දත්ත වෙනස් කර ජාත්‍යන්තරය මුළාකිරීමේ හැකියාවක් නැත. ඇත්ත වසන්කර ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ හැකියාවක් නැත. වොයිස් කට් දීමෙන් විද්‍යුත් නාලිකාවල තනියම වළං බිඳීමෙන් ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැතිබව දැඩිව අවබෝධ කරගත යුතුය.
මුදල් හුවමාරු වැඩසටහන් කෙටිකාලීන ණය බව අමතක නොකළ යුතුය. මෙසේ මුදල් හුවමාරු කරගැනීමේදී මුදල් ලබාදෙන රට සැලකිය යුතු පොලියක් අයකර ගනී. බංග්ලාදේශයෙන් ගන්නේ එවැනි කෙටිකාලීන ණයකි. ඒ වගේම ඉන්දියාවෙන්ද තවත් ඩො.මි. 400 ක් ලබාගැනීමට කටයුතු කරමින් තිබේ. මේවා පැහැදිලි කෙටිකාලීන ණයයි.
දැන් මේ රටේ ආර්ථිකය තිබෙන්නේ ගිනි කන්දක් උඩය. අවදානම කොතරම් දැයි එයින්ම පැහැදිලිය. බොරු වැඩ කිරීමෙන් මේ අර්බුදය විසඳිය නොහැක. ප්‍රශ්නය හරිහැටි තේරුම් ගෙන හරි උත්තරය සැපයිය යුතුය. මෝඩ වැඩ කිරීමෙන් කෙනකුගේ සමාගමක් බංකොලොත් වෙනවා නම් ප්‍රශ්නයක් නැත. එහෙත් මේ අපේ රට බව අමතක නොකළ යුතුය. දුර දක්නා නුවණින් කටයුතු නොකර මිලියන 21 ක් වන මේ රටේ ජනතාවට කන්න නැති වුවොත් ඊට වග කියන්නෝ කවරහුද? ප්‍රශ්නයේ බැරෑරුම් කම පෙන්නාදීමට උත්සාහ කරන්නේ ඒ නිසාය.
කවුරු කැමැති වුවත් අකමැති වුවත් කිරීමට සිදුවන ක්‍රියාවලියක් තිබේ. මුලින්ම පෙන්නා දුන් මූලික ගැටලු දෙකට විසඳුම් සෙවිය යුතුය. එනිසා එක් පැත්තකින් පරිභෝජනය සීමා කිරීමට සිදුවනු ඇත. බදු අඩුකිරීම හරහා මේ ආණ්ඩුව ආදායම රු. බිලියන 600 කින් අඩුකර ගත්තේය. ගෙවුණු වසරේ රටේ ආදායම රු. බිලියන 1370 කි. මෙම පසුබිමේ එක් පැත්තකින් ආදායම වැඩිකර ගන්නා අතර පරිභෝජනය නැතිනම් වියදම අඩුකරගත යුතුය. ආදායම වැඩිකර ගැනීමේදී බදු නැතිව වෙනත් ආදායමක් තිබේද? විදේශ අමාත්‍යාංශය ඇතුළු දේපල විකිණීමෙන් යම් ආදායමක් ලබාගන්නට පුළුවන. එතැනින් එහාට සිදුවන්නේ කුමක්ද? බදු සංශෝධනයක් නොකර මේ ගමන යාමට හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය අපට තේරෙන ආර්ථික විද්‍යාවක් නොවේ.
ආණ්ඩුවට රුපියල් 100 ක ආදායමක් ලැබෙන විට එයින් රුපියල් 75 ක් වැය වෙන්නේ පොලී ගෙවීමටය. හිරවීමේ තරම එයින් පැහැදිලිය. රාජ්‍ය සේවක පඩි නඩි, විශ්‍රාම වැටුප්, සහනාධාර දියයුතුව තිබේ. ආයෝජනයට සරිලන ඉතුරුම් නැත. මේ ප්‍රශ්න දෙක විසඳා ගන්නා දිගුකාලීන වැඩපිළිවෙළක් සකසාගත යුතුව තිබේ.
හිරවී තිබෙන ණය ප්‍රශ්නය විසඳාගත යුතුය. ඒ වෙනුවෙන් අපට උදව් වන්නේ කවුද? චීනයෙන් අපට අවශ්‍ය මුදල් දෙනවාද? නැමීබියාවට, ලාඕසයට, පාකිස්තානයට වුණේ කුමක්ද? එම රටවලට චීනය මුදල් දුන්නේ නැත. අපේ ණය කන්ද තිබෙන්නේ ඇ. ඩොලර් බිලියන 14 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගැනීමෙනි. මෙය ප්‍රතිව්‍යුහගත කළ යුතුය. මාස 36 ක ප්‍රතිව්‍යුහගත කිරීමක් හරහා මාස 36 ක පොලී ගෙවීම සහ මාස 48 ක වාරික ගෙවීම කල්දාගත යුතුය. එසේ නැතිව විකල්පයක් අපට නැත. සිතන තරම් ඉක්මනට සංචාරක කර්මාන්තය පිබිදෙන්නේ නැත. අපනයන එකවර සියයට පන්සියයකින් වැඩිවන්නේ නැත. රට එවැන්නකට සූදානමක් නැත. අවශ්‍ය ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර නැත. මේ නිසා ණය ගැටලුවෙන් එළියට ඒමට නොහැකි වී තිබේ. ඇති එකම විකල්පය ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමය. ඇත්ත එයයි. එයට මුහුණදිය යුතුය.
(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නොපෙනෙන ආර්ථික විපත්තිය
sunanada Tuesday, 29 June 2021 03:31 PM
මොහුගේ විශ්ලේෂණයට අනුව අද රටේ බරපතල ප්‍රශ්නයක් ඇතිවී ඇත්තේ දැරිය නොහැකි ලෙස නය ගැනීමයි. නමුත්, තමන්ගේ පාලන සමයේ විශාල ලෙස විදේශීය නය ගත් රජයක සාමාජිකයෙකු වන මොහුට, රටේ වර්තමාන නය තත්වය පිළිබඳව කරුණු දැක්වීමට සදාචාරාත්මක අයිතියක් නැති බවයි මගේ අදහස.
chandima Tuesday, 29 June 2021 04:26 PM
ඔය තරම් කරුණු කාරණා දැනගෙන මොකද එහෙනම් අවුරුදු 4 1/2 ක් පොල් ගෑවේ..?
Cisco Wednesday, 30 June 2021 10:17 AM
මේ අය විපක්ෂෙ ඉන්නවිට නම් මහ ලොකු ආර්ථික ඹස්තාද්ලා. තමන් කරන විට නිකම්ම සිල්ලර කෑලි. මේ ආර්ථික අමාරැවට ප්‍රධාන හේතුව 2015 ට කලින් ටික ටික හොරාකාපු මහ බැංකුව මේ අයගේ ආණ්ඩුවෙන් ඉහගෙන කෑම සහ මේ අයගේ කාලයේ සංවර්ධනය වලපල්ලට යවලා ආර්ථික වර්ධන වේගය අඩපන කිරීම. දැන් මේ වසංගතය. පුද්ගලික සමාගමක් ආරම්භ කරන්නෙ කොහොමද කියලවත් හරියට දන්නෙ නැති උගතෙක් මේ. ඒ නිසානෙ 2015 ආණ්ඩුව ගත්ත ගමන් හයට් ගෙඩනැගිල්ල ලගට ගිහින් රැපියල් හතලිහක මූලික කොටස් වලින් කොහොමද ඒ සමාගම පටන්ගත්තෙ කායල ප්‍රශ්න කල පුද්ගලයා
Chris Wednesday, 30 June 2021 01:53 PM
විපක්ෂයෙන්ද ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවක් නොපෙනේ. ආහාර සහ එන්නත් බෙදාහැරීම අවුල් සහගත වී, මිනිසුන්ට ආහාර සහ රැකී රක්ෂා පවා අහිමිව තිබියදී, අපගේ මුහුදු හා වෙරළ පරිසරය විනාශව තිබියදී විපක්ෂව ප්‍රමුඛතාව දී ඇත්තේ ඉන්ධන මිල වැඩිකළ අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය...
DK Friday, 02 July 2021 08:01 PM
කොරෝනාවෙන් ආර්ථිකයට වන මැතකාලීන බලපෑමට වඩා අධ්‍යාපනය අක්‍රමවත් වීම නිසා රටේ අනාගතයට දිගුකාලීනව සිදුවන අහිතකර බලපෑම අතිශය විශාලයි. එනමුත් ඒ පිලිබඳ විපක්ෂය දක්වන නිද්‍රාශීලී ප්‍රතිපත්තිය කණගාටුදායකයි.