IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 මහා ධනස්කන්දයකට උරුමකම් කියූ පවුලක ඉපදුණු කුමාර වෙල්ගම, අගනගරයේ වෙසෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් පෞද්ගලික මිනිසෙකු ලෙස ජීවත්වනු වෙනුවට 1989 භිෂණ සමයේ ද තමන් උපන් මතුගමට පැමිණ දුෂ්කරම කාල සමයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජනතාවාදි දේශපාලන ගමනක් ආරම්භ කළේය.

ඔහු අභියෝගවලට අභියෝග කිරීමේ ශක්තිය ඇත්තෙක විය. 1994දී ඔහු සහ මම පළමු වරට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එතැන් සිට අඛණ්ඩව වසර 30ක් පුරා දිස්ත්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත ඉතා ඉහළින් දිනාගැනීමට තරම් භූමියේ දේශපාලකයන් බවට පත්විය.

ආණ්ඩු කිහිපයක ප්‍රභල ඇමතිකම් දැරූ ඔහුද නායකයන් ඉදිරියේ ශක්තිමත්ම තම මතය වෙනුවෙන් පෙනී සිටි සෘජු දේශපාලකයෙක් වූයේය.

2015දී මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මහින්ද සුළඟ ආරම්භ කරමින් ඉදිරිපෙළ නායකයකු වූ එතුමා 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට එරෙහිව ප්‍රසිද්ධියේ එරෙහි වූ එකම පොහොට්ටු මන්ත්‍රීවරයා විය.

 ‘‘ගෝඨාභය දැම්මොත්, රට විනාශ වෙනවා’’ එදා ඔහු පෙන්වූ අවදානම  පොහොට්ටුව පිළිගත්තේ නැත. කුමාරවෙල්ගම සැලුනේ ද නැත. ඔහු පොහොට්ටුවෙන් පිට දේශපාලනයක් ආරම්භ කළේය.

2019දී ඔහු සහ මම ස.ජ.බ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමු. අප අතර තිබුණේ සහෝදරාත්මක මැතිවරණ ව්‍යාපාරයකි. ඔහු කිසි දිනෙක, මාගේ තරඟකරුවා වූයේ නැත. මම ද, කිසි දිනෙක ඔහුගේ තරඟකරුවා නොවමි.

ඉතා කුඩා මනාප පරතරයකින්, මම පළමුවැනියා බවටත් ඔහු දෙවැනියා බවටත් පත් කරමින්  ඡන්දය නිමවිය. එහෙත් සැබවින්ම මම සහ ඔහු අතර පළමුවැනියකු හෝ දෙවැනියකු නැත.

ඔහු කී ලෙසටම ගෝඨාභය බලයට පත්වී වසර දෙකකින් රටම විනාශ විය. 

අරගලයක් පැනනැගුණි. මුලදී මානුෂිකවාදි වූ අරගලය, පසුව ප්‍රචණ්ඩකාරී වුයේ වෛරී පක්ෂ එය කරා පැමිණීමෙනි. එකී ප්‍රචණ්ඩකාරීන් ගෝඨාභයට පළමුවෙන් එරෙහි වූ කුමාර වෙල්ගමට පවා පහර දීමට තරම් දේශපාලන අඳ    බාලයන් විය.                                                                                                    

කුමාර ගමන්ගත් මෝටර් රථය මහමඟදී නවතාගෙන ඔහුට දරුණු ලෙස පහරදී, එම මෝටර් රථයටම දමා ගිනි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ වෙල්ගමගේ මනුෂ්‍යත්වය ගැන දන්නා එක් පුද්ගලයකු සිය ජීවිතය ගැන පවා නොතකා සිදු කළ සටනක් නිසාවෙනි.

එම සිදුවීමෙන් ඇති වූ තුවාල සහ අභ්‍යන්තර හානිවීම්  නිසා එදායින් පසු කිසි දිනෙක පෙර පුරුදු සෞඛ්‍ය තත්වයට පැමිණීමට වෙල්ගමට හැකිවූයේ නැත. ගෙවුණු වසර තුනක කාලය තුළ  වැඩි දින ගණනක් ගත කළේ රෝහලකය. ඔහුගේ මරණය මේතරම් ඉක්මනට, එම පහරදීම ද එක් ප්‍රධාන හේතුවක් වූවාට සැක නැත.

කුමාර වෙල්ගම සැබැවින්ම, මිනිසුන් අතර සැබෑ මිනිසෙකි. ඔහුට උස් පහත් භේද තිබුණේ නැත.

මා මිත්‍ර කුමාර, අප සියලු දෙනා යන ගමනක්, ඔබ මට පෙර ගොස් ඇත. ජීවත් වූ කාලය තුළ ඔබ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කර ඇත. ඒ සියලු යහපත ඔබට ආශිර්වාදයක් වේවා. උතුම් වූ නිවනින් ඔබ සැනසේවා.!

 

(***)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

වෛද්‍ය රාජිත සේනාරත්න



අදහස් (0)

දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 145 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 182 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site