IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


දැක්මක් නැතිවීමේ ප්‍රතිවිපාක

පාස්කු දින ප්‍රහාරය එල්ල වී අදට මාසයකි. මේ ප්‍රහාරයෙන් පසු රටේ සාමය බිඳී ගියේය. තවමත් එය යථා තත්ත්වයට පත්ව නොමැත. සමාජයේ යම් බියක්, භීතිකාවක් හට ගෙන තිබේ. අප්‍රේල් 21 ප්‍රහාරය සහ ඉන් පසුව සිදු වූ සිද්ධි දාමය මෙයට හේතුවකි. නිදහසින් පසුව මෙවන් අභියෝග රාශියකට අපි මුහුණ දුන්නෙමු. 1972 කුමන්ත්‍රණය, 1971 තරුණ කැරැල්ල, 1983 කළු ජූලිය ඒ සමඟ ඇති වූ යුද්ධය, 88--89 දෙවැනි කැරැල්ල එයට උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය. එහෙත් මෙවර එල්ල වූ අභියෝගය මේ සියල්ලට වඩා වෙනස්ය. ගෝලීය ත්‍රස්තවාදය හා සම්බන්ධව තිබීම එයට හේතුවය. 

අභ්‍යන්තරව ඇති වූ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව අපට තිබුණි. එහෙත් මෙවර අභියෝගය ජය ගැනීම පහසු නොවන බව ද අමතක නොකළ යුතුය. 

පළමු අභියෝග දෙක ජය ගත්තේ විධායක ජනපතිවරයකු නොවේ. පාර්ලිමේන්තුවෙනි. හමුදාවත් පොලිසියත් කුමන්ත්‍රණය කළ අවස්ථාවේත් ඇමැති මණ්ඩලය එයට මුහුණ දුන්නේය. අද සිටින පරම්පරාවට ඒවා මතක නැත. එහෙත් වත්මන් තත්ත්වයේ ස්වභාවයත් ස්වරූපයත් වෙනස්ය. මෙය ගෝලීය ත්‍රස්තවාදයේ දිගුවකි. ඒ වගේම ආගම සම්බන්ධ කාරණාවක් ද මෙහි තිබේ. එය සංවේදීය. වහාබ් වාදය ආගමටත් දේශපාලනයටත් මුසු වූ ප්‍රවණතාවකි. ඒ වගේම මෙය නිකම්ම ත්‍රස්තවාදයක් ද නොවේ. 21 වැනි සියවසේ තාක්ෂණය සමඟ මුසු වූ ත්‍රස්තවාදයකි. ඒ වගේම බුද්ධිමතුන් මේවාට සම්බන්ධ වීම සහ නායකයත්වය දීම ද ප්‍රමුඛ ලක්ෂණයකි. එනිසා මේ අභියෝගය සියලු කාරණාවලින් වෙනස්ය. 

ලෝකයේ අනෙක් රටවලින් මෙම ත්‍රස්තවාදය පරාජය වීමත් සමඟ එය දකුණු ආසියාවට ව්‍යාප්ත වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. ලෝකයේ මුස්ලිම් ජනගහනයෙන් වැඩි කොටසක් සිටින්නේ ද දකුණු ආසියා කලාපයේය. දකුණු ආසියාවේ සියලු රටවල අඩු වැඩි වශයෙන් මේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වී තිබේ. එහෙත් විදෙස් බුද්ධි අංශවලින් අපට තොරතුරු ලැබී තිබියදීත් ඒවා සම්බන්ධ පියවර නොගැනීමෙන් රටේ මහා විනාශයක් සිදු වුණි. 62 කුමන්ත්‍රණයේදී කලින් තොරතුරු ලැබුණි. 71 දී ද බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබුණි. මෙවර තොරතුරු ලැබී අදාළ යම් යම් අංශවලට මේවා දැනුම් දී තිබියදීත් විනාශයක් වූයේ කෙසේ දැයි අබිරහසකි. තීරණාත්මක තොරතුරු ඉහළට යාම වැළැක්වීමේ යම් කුමන්ත්‍රණයක් තිබුණා දැයි ප්‍රශ්නයකි. ඒ සමඟ තවත් ප්‍රශ්නාර්ථ රාශියක් මතු වන බව ද අමතක නොකළ යුතුය. ප්‍රහාරයෙන් පසු තත්ත්වය පාලනය ද අවධානයට ගත යුතුය. ටියුෂන් පන්තියට ළමයින් ගිය ද පාසල්වලට පැමිණෙන්නේ නැත. මෙයින් පෙනෙන්නේ සමාජයේ බියක් ඇති වී තිබෙන බවය. එසේ බිය ඇති වීමට ද හේතු තිබේ. බෙලිඅත්ත, කිරිබත්ගොඩ සහ ඇඹිලිපිටිය යන නගර තුන හැරුණු විට අනෙක් සෑම නගරයකම පාහේ මුස්ලිම්වරු ජීවත් වෙති. ඒ සිංහල ජනතාව ද සමඟය. එනිසා බියක් ඇති වීම සාධාරණය. 88--89 කාලයේදී මෙවන් බියක් තිබුණි. ඒ ජ.වි.පෙ. මතු වූයේ සිංහල ජන සමාජයෙන් වීම නිසාය. ජනවර්ග දෙක මිශ්‍රව ජීවත් වන තැන යම් සිද්ධියකදී බියක් ඇතිවීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නකි. ඊට අමතරව කෘත්‍රිමව බියක් ඇති කළා දැයි වෙනමම ප්‍රශ්නයකි. 

බලධාරීන්ගේ නොසැලකිල්ල හෝ යම් තැනක වරදක් සිදුව ඇති බව ද මේ හරහා ප්‍රකට කෙරෙන්නකි. කිසිසේත්ම සුදුසු නැති අය යම් යම් තනතුරුවලට පත් කර තිබීම ද මෙයට හේතුවකි. සැක සංකා රාශියක් සමාජයේ ජනිතවීමට පාලක පන්තියේ වැඩපිළිවෙළ බලපා තිබේ. 

ජනතාව තුළ ඇති වූ භීතිය තවම තුරන් වී නොමැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දින තුනක විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්වුණි. එය ඉතා ශෝචනීයය. රටේ බරපතළ සිද්ධියක් ඇති වූ විට ඒ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ආරක්ෂක ඇමැති හෝ අගමැති හෝ අදාළ ඇමැතිවරයා ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු අපි නොදුටුවෙමු. ගෝලීය ත්‍රස්තවාදය යැයි වචනයෙන් කීවාට වැඩක් නැත. ජනතාවට එය වැටහෙන්නේ නැත. මේවා පැහැදිලිව කිව යුතුය. මේ කිසිවක් ගැන සාමාන්‍ය ජනතාව දැනුම්වත් කළේ නැත. ඒ පසුබිමේ පවතින දේශපාලන සංස්කෘතිය තුළ මෙය මුස්ලිම්වරුන්ගේ ප්‍රශ්නයක් වශයෙන් අර්ථ ගැන්වෙන තැනට යොමු වුණි. අපට පහර දුන් නිසා දැන් පහර දිය යුතුය යන මතය සමාජයේ නිර්මාණය වූවේය. ප්‍රමාණවත් පරිදි සාකච්ඡාවට ගත්තේ නැත. සරලව සැලකූ ආකාරයක් පෙනෙන්නට තිබුණි. දින විසි එකක් යනු සුළු කාලයක් නොවේ. අප්‍රේල් 21 වැනිදා සිට මැයි 13 වැනිදා දක්වා කාලය තුළ ගත් පියවර ප්‍රමාණවත් ද යන ප්‍රශ්නය තිබේ. මාධ්‍යයෙන් පෙන්නුවේ ද භීතිය වර්ධනය වන කාරණාය. තවමත් ඒ භීතිය පහව ගොස් නැත්තේ ඒ නිසාය. 

සමස්ත මුස්ලිම් සමාජය මෙයට දායක වූයේ නැත. අන්තවාදී කල්ලියක් පමණක් මෙයට සම්බන්ධ වූ බව පැහැදිලිය. මේවා කරුණු කාරණා සහිතව සමාජයට පැහැදිලි කිරීමට බලධාරීන් කටයුතු කළා නම් මුස්ලිම් සමාජයට විරෝධයක් එල්ල වන්නේ නැත. මිනුවන්ගොඩ ප්‍රහාර වැනි ප්‍රහාර වළක්වා ගන්නට එය හේතුවක් වන්නට තිබුණි. ඒ නිසා මේ සිද්ධිය කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තිබේ. එකිනෙකාට බෝලය පාස් කිරීමෙන් මෙවන් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැක. එය අවධාරණය කළ යුතුම කරුණකි. 

ජනපති අගමැති ගැටුම මේවාට මුල් වූ බවට ද මතයක් ප්‍රකාශ වනු වරින් වර පෙනෙන්නට තිබුණි. 2015 දී මෙරට නිර්මාණය වූයේ අමුතුම ස්වභාවයක ආණ්ඩුවකි. ලෝකයේ තිබෙන්නේ මූලික වශයෙන් ආණ්ඩු ක්‍රම දෙකකි. විධායක ජනාධිපති ක්‍රමය ඉන් එකකි. පාර්ලිමේන්තු ක්‍රමය අනෙකය. එහෙත් අද මේ රටේ ආණ්ඩු ක්‍රමය ඒ දෙකටම අයත් නොවී අතර මඟ හිර වී තිබේ. ජනාධිපතිගේ බලතල අඩු කළ ද අගමැතිවරයාට ඇති බලයක් ද නැත. ප්‍රතිපත්ති ගැටුම් නිර්මාණය වූවේය. අවිශ්වාසය ද ඇති වුණි. මේ පසුබිම ද රටේ යම් යම් සිද්ධිවලට බලපාන්නට ඇතැයි සිතිය හැකිය. ආණ්ඩුවේ කඹ ඇඳීමෙන් රට ආරාජිකත්වයට පත් වුණි. සියල්ල අවසානයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති වුණි. ආණ්ඩුවක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන විට ඒ හරහා තර්ජනයක් ඇති වීම වැළැක්විය නොහැක. තවමත් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට අපොහොසත් වීමෙන් පෙන්නුම් කරන්නේ කළමනාකරණයේ දුර්වලතාවකි. 

කුලියාපිටිය, හෙට්ටිපොළ සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල සිදු වූ පහරදීම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අතුරු සිද්ධියකි. මෙය තවත් කෝලාහලයක පෙර නිමිත්තක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මෙහි තවත් සාධකයක් තිබේ. තවත් මාස හත අටකින් මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. එහිදී පාලන බලය වෙනස් වන්නට පුළුවන. ඒ නිසා දෙපාර්ශ්වයේම දේශපාලනඥයන් උත්සාහ ගන්නේ මෙම සිද්ධිය තමන්ට අවාසියක් වීම වළක්වා ගැනීමටය. තමන් වෙත වාසිය සලසා ගැනීමටය. එය සූදුවක් මෙන් ක්‍රියාත්මක වී තිබේ. කෙරෙන කතාවලින්ම එය පැහැදිලිය. 1962 කුමන්ත්‍රණයදී කුමන සැක පැවැතිය ද මුළු පාර්ලිමේන්තුවම එකට සිටියේය. 1971 කැරැල්ල අවස්ථාවේදී ද එම ලක්ෂණය ප්‍රකට වුණි. 88-89 දී ද එවන් තත්ත්වයක් දක්නට තිබුණි. කළු ජූලියේදී ද යම් යම් සිද්ධිවලට මුල පිරුව ද අවසානයේදී පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක් ස්ථාවරයකට ගොනු වූහ. දෙමළ මිනිසුන් 479 දෙනකු කළු ජූලියේ පළමු රාත්‍රියේදී ඝාතනය කෙරුණි. මේ ඝාතන කෙරුණේ වෙනත් පාර්ශ්වයකින් වුවත් එහි වගකීම වමේ බලවේග මත පැවරුවේය. එසේ කළේ ජාත්‍යන්තර මානව හිමිකම්වලින් ගැලවීමටය. මෙලෙස ක්‍රියා කිරීම ජේ.ආර්ගේ දක්ෂ උපක්‍රමයකි. මෙවර එවැන්නක් නොවූවද දේශපාලන වාසි ලබා ගැනීමේ න්‍යාය පත්‍රයක් යටින් දිවෙන බව පැහැදිලිය. 

වෛරය සමාජ ගත වී තිබේ. මෙය ලොකු ප්‍රශ්නයකි. මේවා හුදෙක්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හෝ ඉන් පසුව ඇති වූ පහර දීම්වලින්ම ඇති වූවක් නොවේ. නිදහස ලැබී වසර 71 කි. ජාතික සමගිය ගොඩනැගීමට අපට තවමත් හැකිව නැත. ආගමික සංහිඳියාවක් ගොඩනැගීමට තවමත් අසමත්ය. ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට හැකියාවක් ලැබී නැත. අධ්‍යාපනයෙන් පවා බෙදා වෙන් කරන තත්ත්වයක් රටේ නිර්මාණය කර තිබේ. ජාතීන් වශයෙන් වර්ග කර පාසල් පිහිටුවා තිබේ. 

එහෙත් එදා එවන් තත්ත්වයක් තිබුණේ නැත. ජාති භේදයක් නැතිව සියල්ලෝ එකට අධ්‍යාපනය ලැබූහ. පසු කාලීනව ඒවා වෙනස් වූවේය. එලෙස බෙදී යාමෙන් එකිනෙකා නොදන්නා තැනට පත් වුණි. යම් මානසික තත්ත්වයක් ගොඩනැඟීමට වසර ගණනාවක් තිස්සේ පැවැති මෙම පසුබිම ද බලපෑවේය. මෙය වෙනම කොමිසමක් පත් කර කරුණු සෙවිය යුත්තකි. දේශපාලන සංස්කෘතියට සිදුව ඇත්තේ කුමක්ද? 

එදා පාර්ලිමේන්තුවේ පැවැති අර්ථවත් වාද විවාද අද නැත. එදා සිටි මුස්ලිම් නායකයෝ හොඳින් සිංහල කතා කළහ. සිංහල සමාජය සමඟ හොඳින් ගනුදෙනු කළහ. අද ඒ තත්ත්වය වියැකී ගොසිනි. 

1978 පසු බිහි වූ විවෘත ආර්ථිකය ද මේ ප්‍රශ්නයට යම් ආකාරයකට බලපෑවේය. අරාබි රටවල රැකියාවල නියුතු මෙරට පිරිස මිලියන දෙකකට වැඩිය. මුස්ලිම් කාන්තාවන් අරාබි රටවල රැකියාවලට ගියේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. මොවුන් සේවය කළේ සුන්නි, වහාබ් නිවාසවලය. මේ පසුබිමේ ඔවුහු අරාබිකරණයට යට වූහ. වසර තිහ හතළිහක් තිස්සේ අරාබි සංස්කෘතියට අනුගත වූ පිරිසක් අපේ රටේ නිර්මාණය වන්නේ මේ හරහාය. මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමක් එදා තිබුණේ නැත. කළේ හිස ආවරණය කිරීම පමණි. අලුත් පරම්පරාව මෙයට හාත්පසින්ම වෙනස්ය. ඔවුහු අන් ජාතීන් සමඟ බද්ධ නොවූහ. ශ්‍රී ලාංකික ජාතිය වෙන්ව සිටීමක් මේ හරහා පෙනෙන්නට තිබේ. ඒ නිසා මේ තුළ සංස්කෘතික කාරණා ද ඇති බව අමතක නොකළ යුතුය. 

කොතැනක හෝ වරදකින් විනාශයක් වූවේය. රට අස්ථාවරත්වයට පත් වූවේය. දැන් කළ යුත්තේ රට සාමාන්‍ය තත්තවයට පත් කිරීමට ආරක්ෂක අංශවලට ඉඩ දීමය. අනෙක් අය කට වසාගෙන සිටීම නුවණට හුරුය. මේ ත්‍රස්තවාදයේ මිලිටරිකරණය මැඬලීමට, පාලනයට ආරක්ෂක අංශවලට පුළුවන. ඒ වගේම මත වාදීමය ප්‍රශ්නයක් ද මෙතැන තිබේ. එම ප්‍රශ්නය විසඳීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. 

එය විසඳිය යුත්තේ මුස්ලිම් ප්‍රජාවය. මුස්ලිම් ආගමික නායකත්වය සහ මුස්ලිම් දේශපාලන නායකත්වය එහිදී පෙරමුණ ගත යුතුය. මුස්ලිම් බුද්ධිමතුන්ට ද එතැනදී පැවරෙන වගකීමක් තිබේ. මුස්ලිම් ආගමික ස්ථරය සහ දේශපාලන ස්ථරය එකට බද්ධ වී ඇති බව ද අමතක නොකළ යුතුය. ඒ අන්‍යෝන්‍ය වුවමනා සඳහාය. බෞද්ධ සමාජයේ දේශපාලන ක්ෂේත්‍රයේ එවන් බද්ධ වීමක් නැත. කෙසේ වුවත් මුස්ලිම් සමාජයේ විය යුතු මතවාදී වෙනස ඉහත කී මුස්ලිම් සමාජ ස්ථර තුන හරහා කළ හැකිය. සියලු ආගමික නායකයන් එක් වී අලුත් වැඩපිළිවෙළකට යාමේ වුවමනාව ද මේ හරහා මතුව පෙනෙන්නකි. දැක්මක්, වැඩපිළිවෙළක්, උපාය මාර්ගයක් නොමැති වීම සියල්ලට හේතු වී තිබේ. ගෝලීය ත්‍රස්තවාදයට මේ රටට ඇතුළු වීමට අවශ්‍ය සරු බිම නිර්මාණය වී පැවැතියේ ඒ හරහාය. 

අරාබිකරණයෙන් මිදී ශ්‍රී ලාංකික සංස්කෘතියට අනුගත විය යුතු බව උගත් මුස්ලිම් සමාජයේ බහුතරයේ අදහස වී තිබේ. එම මතවාදය තවත් ශක්තිමත් කළ යුතුය. වර්තමානයේ සිටින ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන් මෙවැන්නක් බලාපොරොත්තු විය හැකි ද යන්න ප්‍රශ්නය තිබේ. 

අන්තවාදයක් මතු වන විට එය ප්‍රතික්‍රියා දක්වන්නේ තවත් අන්තවාදයකිනි. අන්තවාදයක් යම් සමාජයක තනිව වැඩෙන්නේ නැත. සිංහල බෞද්ධ අන්තවාදයක් ද සමාජයේ තිබිය හැකිය. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් නොසිටින්නට මීගමුව ප්‍රදේශය මහා විනාශයකට ලක් වන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් නිසි ලෙස කළමනාකරණය කළ හොත් මෙම අවස්ථාව හැරවුම් ලක්ෂයකි. ආරක්ෂක අංශවලට ආරක්ෂාව බාර දී ආණ්ඩුව දේශපාලනිකව ප්‍රශ්න විසඳිය යුතුය. 

මේ සියල්ල යට බරපතළ ආර්ථික කාරණයක් ද තිබේ. මෙරට ආර්ථිකයේ සියයට 14 ක් රජයේ සේවකයෝය. සියයට 26 ක් විධිමත් පෞද්ගලික අංශයයි. සියයට 60 ක් අවිධිමත් පෞද්ගලික අංශයයි. ගෙවුණු මාසයේදී මේ අවිධිමත් අංශය සිඟමනට වැටී තිබේ. මේ අති බහුතරය සිංහල බෞද්ධ බව ද අමතක නොකළ යුතුය. ඒ නිසා මේ යථාර්ථය ද වටහාගෙන කටයුතු කිරීම අවශ්‍යය. තිබෙන්නේ රටේ පැවැත්ම, ජාතික පිළිබඳ ප්‍රශ්නයක් බව අවබෝධ කර ගත යුතුය. ඒ නිසා ප්‍රතිපත්ති ගැටුම් පසෙක තබා සියලු දෙනා එක තැනකට එක් වී මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුය.

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (0)

දැක්මක් නැතිවීමේ ප්‍රතිවිපාක

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 387 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 341 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 268 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1313 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 66 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 648 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 542 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 142 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1163 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site