IMG-LOGO

ට්‍රම්ප් බද්දේ තිත්ත ඇත්ත

ශ්‍රී ලංකා ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 30ක අතිරේක තීරුබද්දක් තවත් දින 15කින් පසු ගෙවීමට සිදුවනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවා ඇති ලිපියේ ඒ බව සඳහන් කර තිබේ.

එම ලිපිය ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලැබීමෙන් පසු මාධ්‍ය ඇමතූ රජයේ ඇමැතිවරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ මීට පෙර ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කර තිබූ සියයට 44ක තීරුබදු හා සසඳන විට මෙම බදු අනුපාතය ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශාල ජයග්‍රහණයක් බවය. ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස ඇමරිකානු රජයේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡා අතිශය සාර්ථක වී ඇති බවත්, අනෙක් රටවලට අදාළව අඩු කර ඇති බදු ප්‍රතිශතවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට විශාල බදු අඩු කිරීමක් සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර එම බදු අනුපාත තවත් අඩු කර ගැනීමට කටයුතු කරන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා අද වනවිට සියයට 11ක තීරු බද්දක් ක්‍රියාත්මක වේ. මෙම මාධ්‍ය සාකච්ඡාවේදී රජයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ අලු‍තින් පනවා ඇති සියයට 30ක බද්ද දැනට පවතින සියයට 11ක බදු ප්‍රතිශතයට අමතරව බවය. ඒ අනුව ඇමරිකාවට අපනයනය කරන අපේ භාණ්ඩ වෙනුවෙන් දැනට පවතින සියයට 11ක තීරු බද්ද වෙනුවට සියයට 41ක තීරු බද්දක් ගෙවීමට අගෝස්තු පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවට සිදුවේ. සියයට 11ක පවතින බද්ද වෙනුවට සියයට 41ක බද්දක් ගෙවීමට සිදුවීම කවර ආකාරයක ජයග්‍රහණයක් දැයි ප්‍රශ්න කිරීමට සිදුවන නමුත් ඇතැමකුගේ එම ජයග්‍රහණය පිළිබඳ ප්‍රකාශ රටට ඛේදවාචකයක් වීමට ඇත්තේ තවත් දින 15ක කාල සීමාවක් බව අවබෝධ කරගත යුතුව ඇත. කිසියම් හේතුවක් නිසා ඇමරිකාව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම කල් දැමුවොත් මිස එය වැළැක්වීමට පවතින තත්වය යටතේ කිසිවකුටත් ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බව පෙනේ.

ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන ප්‍රධාන නිෂ්පාදනය වන්නේ ඇඟලු‍ම් ය. පසුගිය කාලපරිච්ඡේදය හා සසඳන විට මේ වර්ෂයේ දී ඇඟලු‍ම් අපනයනයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ. 2024 වසරේ මුල් මාස පහ තුළ ඇඟලු‍ම් අපනයනය හා සසඳන විට මේ වසරේ මුල් මාස පහ තුළ ඇඟලු‍ම් අපනයනය සියයට 9.2කින් වර්ධනය වි ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා නිකුත් කරන ලද විදේශ වෙළෙඳාම් පිළිබඳ වාර්තාවලින් හෙළිවේ.

2024 වසරේ එම කාලසීමාව තුළ ඩොලර් මිලියන එක්දහස් නවසිය හැට එකක ඇඟලු‍ම් අපනයනය කර ඇති අතර 2025 එම කාලසීමාව තුළ ඩොලර් මිලියන දෙදහස් එකසිය හතළිස් එකක ඇඟලු‍ම් අපනයනය කර තිබේ. එය ඩොලර් මිලියන එකසිය අසූවක වැඩිවීමකි. ඇඟලු‍ම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදුව ඇති වර්ධනය සහ එම අංශයෙන් රටේ අපනයන ඉපයුම් සඳහා ලබාදෙන දායකත්වය පිළිබඳව වටහා ගැනීමට එම තොරතුරු ආධාර වනු ඇත.

රටේ විදේශ විනිමය ඉපයීම් සම්බන්ධව සලකා බලන විට අප විසින් විදේශවලට යවනු ලබන නිෂ්පාදන අතරින් වැඩිම ආදායමක් ලබා දෙනුයේ රෙදිපිළි සහ ඇඟලු‍ම් නිෂ්පාදන අංශයෙනි. 2024 වසරේදී එම අංශයෙන් ඩොලර් බිලියන 5.06ක ආදායමක් රටට ලැබුණි. කෝවිඩ් ව්‍යසනය උග්‍ර අවස්ථාවේ දී පවා රටට වැඩිම ආදායමක් ලබා දුන්නේ මෙම අංශයෙනි. 2020 වසරේ දී ඉන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.42ක් විය. 2021 දී එය ඩොලර් බිලියන 5.43 දක්වා ඉහළ ගියේය. එය 2022 දී ඩොලර් බිලියන 5.95 දක්වා වර්ධනය විය. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ රටේ විදේශ විනිමය ඉපයීම සම්බන්ධයෙන් රෙදිපිළි හා ඇඟලු‍ම් නිෂ්පාදන අංශය ලබාදෙන දායකත්වයයි. එම නිෂ්පාදනවලින් සියයට 80කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. 2024 වසරේදී රටේ මුළු අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 12.77ක් විය. එයින් ඩොලර් බිලියන 2.91ක භාණ්ඩ මිලදී ගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. එය රටේ මුළු අපනයන ප්‍රමාණයෙන් සියයට 22.5ක ප්‍රමාණයකි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව විදේශවලට භාණ්ඩ අපනයනයෙන් ලබාගන්නා සමස්ත ආදායමෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් ලැබෙනුයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් බවය.

භාණ්ඩ අපනයනයේ දී ඇමරිකාව ශ්‍රී ලංකාවට පනවන බවට මුලින් ප්‍රකාශයට පත් කළ සියයට 44ක තීරු බද්ද සියයට 30 දක්වා අඩු කිරීම රජය ලැබූ සුවිශාල ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට ඒ පිළිබඳ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී රජයේ ඇමැතිවරුන් සහ නිලධාරීන් උත්සාහ කළ ද අගෝස්තු පළමුවැනිදායින් පසු ගෙවීමට සිදුවන සියයට 41ක තීරුබද්දේ අමිහිරි ප්‍රතිඵල පිළිබඳව ඒ කිසිවකුත් අදහස් ප්‍රකාශ නොකිරීම කනගාටුවට කරුණකි. රටට විදේශ වෙළෙඳාම සම්බන්ධයෙන් මුහුණදීමට සිදුවන ඉතා බැරෑරුම් ගැටලු‍ව වන්නේ අද ඩොලරයක් වටිනා භාණ්ඩයක් අපනයනය කළ විට එය ඩොලර් 1.11ක මුදලකට වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකිවන නමුදු අගෝස්තු පළමුවැනිදා සිට එය ඩොලර් 1.41 දක්වා ඉහළ යාමයි. මෙහිදී අනෙක් රටවල් සමග වන තරගයේ දී ශ්‍රී ලංකාවට වාසි සහගත තත්වයක් ඇතිවන බවට ඇතැමුන් ප්‍රකාශ කරන නමුදු එවැනි මිල ඉහළ යාමක් හමුවේ ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් නිෂ්පාදන වෙළෙඳපොළ කඩා වැටීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

රජයේ සමහර ප්‍රකාශකයන් අදහස් කරන්නේ සියයට 44 සිට සියයට 30 දක්වා බදු අඩු කිරීම තුළ සහ අනෙක් තරගකාරී රටවල බදු අනුපාත සලකා බලන විට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ගැටලු‍ව බරපතළ නොවන බවකි. එසේ වුව ද ආර්ථික විද්‍යාවට අනුව භාණ්ඩවල ඉල්ලු‍ම තීරණය වන මුල්ම සාධකය වන්නේ භාණ්ඩයක මිලයි. මිල ඉහළ යන විට භාණ්ඩවල ඉල්ලු‍ම පහළ යාම අනිවාර්යය තත්වයකි. ඩොලර් 1.1ක නිෂ්පාදන මිලකට ඇමරිකානු වෙළෙඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩයක මිල ඩොලර් 1.41 දක්වා ඉහළ යන විට අනිවාර්යයෙන්ම අපේ නිෂ්පාදනවලට පවතින ඉල්ලු‍ම ඒ අනුප්‍රමාණයෙන් පහළ යනු ඇත. ඇමරිකානු ජනතාවගේ ආදායම් මට්ටමේ කිසිදු වෙනසක් සිදුව නැති මොහොතක එවැනි මිල ඉහළ යෑමක් හේතුවෙන් එරටට කෙරෙන අපගේ අපනයන විශාල ලෙස පහළ වැටෙනු ඇත.

අප විසින් අපනයනය කරනු ලබන සෑම භාණ්ඩ පහකින්ම එකකට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා ඇමරිකාව තුළ අපගේ භාණ්ඩ සම්බන්ධයෙන් ඇති ඉල්ලු‍මේ අඩුවීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල හානියක් ඇති කිරීමට හේතුවක් වනු ඇත. ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉහළ ඉල්ලු‍මක් ඇතිවීම කෙරෙහි මූලිකවම බලපා ඇති ප්‍රධාන සාධකයක් වන්නේ ඒවායේ පවතින ඉහළ ප්‍රමිතියයි. එසේ වුව ද ඉහළ යන මිල ගණන් හමුවේ ප්‍රමිතිය තුළ ලැබෙන වාසි සහගත තත්වය බොහෝ දුරට අඩුවීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් මෙන්ම සමහර නිලධාරීන් ද මහජනතාවගෙන් වසන් කරන්නේ අගෝස්තු පළමුවැනිදා සිට රටට මුහුණ දීමට සිදුවන මෙම භයානක තත්වයයි.

නව බද්ද හේතුවෙන් ඇඟලු‍ම් කම්හල්වල නිෂ්පාදනය අඩු කිරීමට ද, සේවකයන් ඉවත් කිරීමට ද සිදුවනු ඇත. ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති රබර් අපනයනය අඩුවීම නිසා රබර් මිල ගණන් ද පහළ වැටෙනු ඇත. එය එම අංශයේ නිෂ්පාදනය පහළ වැටී කුඩා ඉඩම් හිමියන්ගේ ආදායම සහ නිෂ්පාදනය පහළ වැටීමට ද හේතුවක් වනු ඇත.

සමස්තයක් ලෙස රටේ විදේශ වෙළෙඳාමටත්, එයින් ආර්ථිකයටත් සිදුවන හානිය පිළිබඳව පුළුල් තක්සේරුවක් සිදු කිරීමත්, ඒ සඳහා ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමත් රජයේ වගකීම වන්නේය. බදු අඩු කිරීමෙන් ලැබූ ‘ජයග්‍රහණය’ භුක්ති විඳීම හැර ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අවදානම තක්සේරු කිරීමක් හෝ මෙම ගැටලු‍ව විසඳා ගත හැකි කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන පිළියම් පිළිබඳව අවධානය යොමු කිරීමක් හෝ මේ දක්වාම සිදුව ඇති බවක් නොපෙනේ. මේ සඳහා යෙදිය හැකි කෙටිකාලීන පිළියම් හෝ විකල්ප පවත්නේ අවම මට්ටමක වුව ද නව බදු හේතුවෙන් දරුණු ව්‍යසනයක් ආර්ථිකයට ඇතිවීම වළක්වා ගත හැකි ආකාරයෙන් ඒවාට කඩිනම් පිළියම් යෙදීම වඩා වැදගත් වේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුම බණ්ඩාර



අදහස් (0)

ට්‍රම්ප් බද්දේ තිත්ත ඇත්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 134 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 345 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site