නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  කොළඹ හෝටලයක පැවැත්වූ වැඩමුළුවකට සහභාගී වූ බව කියන විදේශ මාධ්‍යවේදිනියන් දෙදෙනකු රටින් පිටුවල්කරන ලදැයි කියන කතාව පසුගිය දෙසතියේ වැඩි කතාබහකට ලක් විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියනුයේ ඔවුන් රටින් පිටුවහල් නොකළ බවයි. රජයේ ආරංචි කියනුයේ එම මාධ්‍යවේදීන් දෙදෙනා රටින් පිටුවහල් කළ බවයි. මෙය නිදහස් මාධ්‍යයට කළ මරු පහරක් බව මාධ්‍ය සංවිධාන කියයි. එදින ඇත්තටම සිදුවූයේ කුමක්දැයි දන්නේ එතැන සිටි පිරිසම පමණි. ඒ කෙසේවෙතත් සිදුවූ  දෙයට අවධානය යොමුකිරීම වටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුගිය 30 වැනිදා සිට දින තුනක විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. ඒ කොළඹ හෝටලයකය. එහි කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා ඇතුළු පිරිසක්ද ඊට සහභාගී වී සිහියහ.

වැඩමුළුව පැවැත්වෙමින් තිබිය දී තවත් විශේෂ අමුත්තෝ දෙදෙනෙක් ද එම ස්ථානයට ආහ. ඒ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමයේ (අයි.එෆ්.ජේ.) ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් සහ  එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ජින් වර්දින්ටන් ය.

ඔවුන් පැමිණ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සමග පිළිසඳරක යෙදී සිටියදී කිසිවකු බලා පොරොත්තු නොවූ මොහොතක එතැනට පැමිණියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙනි. එහි නිලධරයෝ කිහිප දෙනෙක් පැමිණ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගෙන් හා සුනිල් ජයසේකරගෙන් ප‍්‍රශ්න කිහිපයක් ඇසූහ. විදේශ මාධ්‍යවේදිනියන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඉල්ලූහ. නමුත් ඒ වන විට එම මාධ්‍යවේදීන් සතුව ගුවන් ගමන් බලපත‍්‍ර නොතිබූ අතර ඔවුන් පැවසුවේ තමන් නැවතී සිටි හෝටලයේ ඒවා දමා ආ බවයි.

ආගමන විගමන නිලධරයන්ට එම බලපත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කී බැවින් ජැකී සහ ජින් සමග සුනිල් ජයසේකර ද විදේශ මාධ්‍යවේදිනියන් නැවතී සිටි හෝටලයට ගියහ.

එතැනදි ආගමන විගමන නිලධරයෝ ඔවුන්ගෙන් දීර්ඝ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ගත්හ.

අනතුරුව එතැනට පැමිණියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ කිහිප දෙනෙකි. ඔවුහුද මාධ්‍යවේදීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත්හ. රාත‍්‍රී නවයට දහයට පමණ ගුවන් ගමන් බලපත් දෙකද රැගෙන ඔවුන් පිටව ගියේ පසු දින ඒවා බාර දෙන බව පවසමිනි.
නමුත් 31 වැනිදා ද ආගමන විගමන නිලධාරීන් හා රහස් පොලිස් නිලධාරීහු පැමිණ මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කළහ.
පසු දින ජැකී පාර්ක්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දුරකතන ඇමතුමක් දී දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බවත්, එහි ගිය මාධ්‍යවේදිනියන් දෙදෙනාගෙන් සමාව අයැද ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් භාරදී ඇති බවත්, ඉන් අනතුරුව ඔවුන් ස්ව කැමැත්තෙන් රටින් පිටව ගිය බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.

සිද්ධිය ගැන අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා මෙසේද පැවසීය.

සිද්ධියේදී මගෙනුත් ප‍්‍රශ්න කළා.  31 වැනිදාත් රෑ අටට විතර වෙනකම් ප‍්‍රශ්න කළා. අපට පැහැදිලි වුණේ නෑ මොකද වෙන්නේ කියලා. පළමු වැනිදා උදේ මාධ්‍යවේදිනියන් දෙදෙනාට කියා තිබුණා ආගමන විගමන එකට එන්න කියා. එහි නිලධාරියෙක් කිව්වලූ වැරැදි වැටහීමකින් වුණු දෙයක්. සමාවෙන්න කියා ගුවන් ගමන් බලපත් දීලා තියෙනවා. එයාලව මෙහෙන් පිටුවහල් කළා කියන කතාව සම්පූර්ණ බොරු. පාස්පොර්ට් එකේ විශේෂ සටහනක්වත් දමා නෑ.

ලෝකයේ ප‍්‍රධාන ජනමාධ්‍ය සංවිධානයක ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් ඒ දෙදෙනා. අපි අතරේ සහයෝගය වර්ධනය කර ගන්නයි ආවේ. එවැනි අයට හිරිහැරවීම රටක් හැටියට   හොද නෑ. සමහර ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් රට ගැන වැරැදි චිත‍්‍ර මැව්වත් බහුතරයක් එහෙම නෑ. ඔවුන් අපේ හතුරන් ලෙස දැකිය යුතු නෑ. ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන් හා සංවිධාන දෙස හතුරන් විදියට බලන්න  ඕන. සතුරු ආකල්පයෙන් ක‍්‍රියාකරන එක ගැන අප කනගාටු වෙනවා. එම මාධ්‍යවේදිනියකගේ ලැප්ටොප් පරිගණකයේ දත්ත රහස් පොලිසියෙන් ගත්තා. ඒවා හිරිහැර විදියටයි අප දකින්නේ. ලංකාවේ මාධ්‍ය නිදහස ගැන තියන ප‍්‍රශ්නයේ එක කොටසක් තමයි මේක.මේ සිද්ධියෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මාධ්‍යවේදිනියන්ගෙන් නොකඩවා ප‍්‍රශ්නකරමින් හිංසා කිරීම තරයේ හෙළා දකින බවයි.

ජැකී පාර්ක් සංචාරක වීසාවලින් ලංකාවට පැමිණ සාකච්ඡුාවලට එක්වීම ගැන ප‍්‍රශ්න කළ බවට ආණ්ඩුව බොරු තර්ක මතු කළත් එවැනිම වීසාවකින් ලංකාවට පැමිණි පැකර්ට සාකච්ඡා, සම්මන්ත‍්‍රණවලට සහභාගී වීමේ අවස්ථාව උදා කළ බව ද තිස්ස අත්තනායක මහතාගේ නිවේදනයේ සඳහන්ය.
ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සංගමය ද ඒ ගැන නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ මාධ්‍යවේදීනියන් දෙදෙනා අපහසුතාවට පත් කිරීම හෙළා දකින බවයි.
ඔවුන්ට ශාරීරික හිංසා කර නොමැති බවත්, රැුස්වීමට සහභාගීවී සිටින මාධ්‍යවේදිනියන් දෙදෙනා ඔවුන්ගේ අකමැත්තෙන් හෝටලයට ගෙන ගොස් ඇති බවත්, ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්නකර ඇති බවත්, මාධ්‍යවේදීන් දෙදෙනා අපරාධවලට සම්බන්ධ නැති   බවත්, ඔවුනට ලංකාවට පැමිණීමට බාධාවක් නැති බවත් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

ජැකී පාර්ක් ගෙවුනු 15 වසර තුළදී 17 වරක් ලංකාවට පැමිණීම ගැන ආගමන විගමන හා රහස් පොලිස් නිලධාරීන් ප‍්‍රශ්න කළ බව කියන එම සංගමය ඇගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ සියලූ දත්ත පිටපත් කොටගෙන ඇතැයි ද කියයි.

මෙම ක‍්‍රියාවලියෙන් ලංකාවේ මාධ්‍යවේදීන්ට ඇති තර්ජනය කියාපාන බවත් ඔවුහු කියති.

සිද්ධිය ගැන අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා,
සී අයි ඞී එක කරපු එකම දේ තමයි මේ අයගෙන් ප‍්‍රකාශයක් ගත්ත එක. සංචාරක වීසා මත ඔවුන් පැමිණ තිබුණ නිසා වෙනත් දේවලට සහභාගී වුණාද කියා දැනගන්න තමයි අප ප‍්‍රශ්න කළේ. ඉන් එහා කිසි දෙයක් අපි කළේ නෑ.

මේ ගැන විමසීමට ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා සම්බන්ධ කර ගත්තත් ඔහු පැවසුවේ, රජකාරි වැඩවල යෙදී සිටින බැවින් ප‍්‍රතිචාරයක් දැක්විය නොහැකි බවයි. ඒ ගැන දැන ගැනීමට වෙනත් වෙලාවක පැමිණෙන ලෙස ද ඔහු කීවේය.