IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


ඉන්දීය නිළියකගෙන් ලංකාවේ නලුවෙකුට කරාබු දෙකක්

 

තිරයේ මුහුණ දුටු පමණින් රඟපාන චරිතය කියාපාන නළුවන් ඇත්තේ කිහිප දෙනෙකි. මීට වසර 41කට පෙර අප අතරින් වියෝ වූ හීල්ලේ ලියනාරච්චි​​ගේ දොන් පියදාස ගුණසේකර එවැනි රංගන ශිල්පියෙකි.   


පියදාස ගුණසේකර තිරයට පැමිණීම ද රඟපෑමකි. ඒ මුහුණේ චරිතයට අවශ්‍ය හැම අංගයක්ම ලියැවී තිබේ.   
එහෙත් දශක තුනකට අධික කාලයක් ඔහු ශ්‍රී ලංකාවේ තිරයේ මැවූයේ දුෂ්ටයාගේ චරිතයය.   
තිරයේ දුෂ්ටයෝ බොහෝ විටෙක සැබෑ ජීවිතයේ ආදරණීය මිනිස්සු වෙති.   
පියදාස ද ආඩම්බරකාරයකු වුව ද ඔහු ආදරණීය මිනිසකු විය. 

 
ඔහුගේ පවුලේ දූ දරුවෝ නව දෙනෙකි. දියණියන් පහක් හා පුතුන් හතරකි. ඉන් වඩාත්ම අප හඳුනන්නේ ලංකා රාජිනී ගුණසේකරය. ඇය පවුලේ බාලයාය. ඇය නන්දා මාලිනියගෙන් ගායනය හැදෑරූ ගායිකාවකි. “ලාහිරු දහසක්”, “කඩඉම”, “ඉංගම්මාරුව” ආදී ටෙලිනාට්‍ය කිහිපයක චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියකි. නන්දා මාලිනී හා සුනෙත් ගෝකුලගේ “රුවැති ළඳක්” ළමා නාට්‍යයෙන් ඇය රඟපෑමට එක්වූයේ 1967 දීය.   


1980 දී පියදාස ගුණසේකර අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 20කි. ඇගේ වැඩිමහල් සොහොයුරිය වූ එනම් පවුලේ 8 වැනියා වූ වාහිනී ද රංගන ශිල්පිනියකි. “මහ රෑ හමුවූ ස්ත්‍රිය” චිත්‍රපටයේ පියදාස ගුණසේකරගේ දියණිය ලෙස ඇය රඟපෑවාය. රුවැති ළඳක් නාට්‍යයේ ද ඇය රඟපෑවාය. “චරිත තුනක්” ටෙලිනාට්‍යයෙන් පුංචි තිරයට එක්වූවාය.   
දියණියන් දෙදෙනා ගැන සඳහන් කරන්නේ විශේෂිත කරුණක් උදෙසාය.   


පියදාස ගුණසේකර ඉන්දියාවේ මදුරාසියේ (දැන් චෙන්නායි) “වාහිනී” චිත්‍රාගාරයට ගියේ “සැඩ සුළං” චිත්‍රපටයේ රඟපෑම සඳහාය. සැඩ සුළං තිරගත වූයේ 1955 වර්ෂයේය. එය ඔහුගේ රඟපෑම් රැගත් ප්‍රථම චිත්‍රපටය ලෙස සැලකෙයි. ඒ, 1953 හෝ 1954 විය යුතුය.   
එසේම එය පියදාස ගුණසේකරගේ රඟපෑම එක් දර්ශනයකට පමණක් සීමා වූ චිත්‍රපටයකි.   


“පදමට පොල් තල් ගහපල්ලා   
කරදර අමතක කරපල්ලා   
කාපල්ලා බීපල්ලා   
කරදර යකාට ගියදෙල්ලා...”   


යනුවෙන් එම දර්ශනයේ පියදාස ගුණසේකර ගායනා කරමින්ම රඟපෑවේය. එම ගීතයේ පද රචනය හා සංගීතය ආනන්ද සමරකෝන්ගේ බව කියැවෙයි.   
කෙසේ හෝ එම ගීතය චිත්‍රපටයේ තිබුණ ද ගුවන්විදුලි ප්‍රචාරය තහනම් විය. එය එක් අතකින් පියදාස ගුණසේකරයන්ගේ හිත පෙළන්නක් වූවා වන්නට ඇත. ඔහු ඉන් පසුව කිසි දින ගී ගැයුවේ නැත. “සැඩ සුළං” චිත්‍රපටයේ එම රඟපෑම පියදාස ගුණසේකරයන් හැඳින්වූයේ ඉතා සුළු චරිතයක් වශයෙනි. 

 
ගීතය තහනමට බලපෑවේ දේශපාලන හේතු බව කියැවෙයි. එහෙත් “සැඩ සුළං” රඟපෑමට යෑම ඔහුගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වූයේ ඒ කාලයේදී තම 8 වැනි දියණිය උපන් නිසායි. දියණිය උපදින විට ඔහු සිටියේ මදුරාසියේ “වාහිනී” චිත්‍රාගාරයේ රඟපෑම් කටයුතුවලය. දියණියගේ උපත ගැන කියා ගෙදරින් ඉන්දියාවට දුරකතන ඇමතුමක් දුන් විට පියදාස කියා ඇත්තේ දියණියට “වාහිනී” යන නාමය තබන ලෙසය. එවෙලේ ඔහු ප්‍රථම චිත්‍රපටය සඳහා “වාහිනී” චිත්‍රාගාරයේ සිටි බැවිනි.   


රංගන ශිල්පිනියක ලෙස ද හපන්කම් පෑ ඇය “වාහිනී” වූයේ ඒ අයුරිනි.   


එමෙන්ම පියදාස එකල සිංහල මෙන්ම ඉන්දීය චිත්‍රපටවල නැටුම් ජවනිකා ඉදිරිපත් කරමින් ජනප්‍රිය වූ පද්මිණී හා රාගිනී යන නිළියන්ට ප්‍රිය කළේය. ඔවුන්ට ඔහු කෙතරම් ප්‍රිය කළේ ද යත් බාලම දියණියට නම තැබුවේ රාගිනී යනුවෙනි.   


එහෙත් එයට ඔහුගේ බිරිඳ සුමනා එතරම් කැමැති නොවූවාය. රාගිනී ඉංග්‍රීසියෙන් ලියන විට රාජිනී යනුවෙන් ද ශබ්ද කළ හැකිය. ලංකා රාජිනී ගුණසේකර මුලින් රාගිනී වී පසුව රාජිනී වූයේ ඒ අනුවය. එහෙත් තවමත් උප්පැන්න සහතිකයේ ඇත්තේ රාගිනී යනුවෙනි.   


පියදාස ගුණසේකරයන් තම මුල්ම ගීය තහනම් වීම නිසා ගායනය අත්හැර දැම්ම ද ඔහුගේ පවුලේ අයට කලාව පිහිටන්නට ඇත්තේ උපතින්ම විය යුතුය. ඔහුගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය අයිරින් ද අල්විස් නමින් පසු කල ජනප්‍රිය ගායිකාවක වූවාය.   


ලංකා රාජිනීගේ තොරතුරු අනුව සිය පියා “සිරිසඟබෝ” වේදිකා නාට්‍යයේ රඟපා ඇත. “සැඩ සුළං” චරිතය ලැබී ඇත්තේ ඒ අනුව බව කියැවෙයි.   
එසේම සිරිසේන විමලවීරගේ “රොඩී කෙල්ල” වැනි නාට්‍යවල ඔහු රඟපෑ බව කියැවෙයි.   
“සැඩ සුළං” වලින් පසුව පියදාස ගුණසේකරයන්ට චිත්‍රපට රැසක රඟපාන්නට අවස්ථාව ලැබිණ. ඒවා බොහෝ විටක දුෂ්ට චරිත විය.   
එකල චිත්‍රපට චරිත අතර “වන මෝහිනී” චිත්‍රපටයේ චරිතය බෙහෙවින් ජනප්‍රිය විය. “බඩුත් එක්ක හොරු”, “සුබ සරණ සැප සිතේ”, “සාරවිට”, “හඳපාන”, “බිනරමලී”, “දරු දුක”, “හාර ලක්සේ”, “ළසඳා”, “හිඟන කොල්ලා” ආදී චිත්‍රපට 80ක් පමණ ඔහු රඟපෑ චිත්‍රපට ලැයිස්තුවේ වෙයි.   
දුෂ්ටයා නිසා බොහෝ විට ඔහුට සිදු වූයේ ප්‍රධාන නළුවාගෙන් පීඩා විඳින්නටය.   


ඔහු වරක් කියා තිබුණේ දුෂ්ට චරිත රඟපෑම නිසා ගාමිණී ෆොන්සේකාගෙන් බොහෝ චිත්‍රපටවලදී ගුටි කන්නට සිදු වූ බවයි.   
එහෙත් පසු කල චිත්‍රපට දර්ශන තලයක සිදු වූ බහින්බස් වීමක් නිසා පියදාස, ගාමිණී සමඟ අමනාප වූයේය. එතැන් සිට ගාමිණීත්, පියදාසත් වීරයා හා දුෂ්ටයා ලෙස තිරයේ දකින්නට අපහසු විය.   


ඔහු දුෂ්ටයා ලෙස හැමවිටම රඟපෑම නිසා ප්‍රධාන චරිතයකින් ප්‍රේක්‍ෂකයා හමු වූයේ එක් වරකි. පියදාස ප්‍රධාන චරිතයක් රඟපෑ එකම චිත්‍රපටය “හාර ලක්සේ”ය.   
ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “හාර ලක්සේ” නිපදවූයේ 1949 ජනවාරි 27 වැනිදා කොළඹ නගරයේදී සිදු වූ සුප්‍රසිද්ධ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය පාදක කරගෙනය. එහිදී ජෝන් සිල්වා නමැති රියැදුරු මරා දැමීම ටර්ෆ් ක්ලබ් එකට අයිති රුපියල් හාර ලක්‍ෂයක් සොරා ගැනීම හා ටර්​ෆ් ක්ලබ් කැෂියර්ට වෙඩි තබා තුවාල කිරීම සිදු විය.   
පියදාස එහි රඟපෑවේ යුද්ධයෙන් පසු යළි දිවයිනට පැමිණි සෙනෙවිරත්නගේ චරිතයය.   
පියදාසගේ සාර්ථක චරිත නිරූපණයක් මෙන්ම අමතක නොවන චරිතයක් වන්නේ ද “හාර ලක්සේ” සෙනෙවිරත්නය. “හාර ලක්සේ” සඳහා විචාරක සම්මාන කිහිපයක්ම ලැබුව ද පියදාස ගුණසේකර ඒ වෙනුවෙන් සම්මාන ලද බවක් සඳහන් නැත.   


“හාර ලක්සේ” ලියාගත් තිර පිටපතක් නැතිව ටයිටස් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද චිත්‍රපටයකි.   
ලංකා රාජිනී පවසන්නේ සිය පියාට හොඳ රඟපෑමක් මිස මුදල් සොයා යෑම අවශ්‍ය නොවූ බවය. ඔහු 1980 දී මෙලොවින් සදහටම සමුගත් විට චිත්‍රපට 15ක පමණ මුදල් ලැබීමට තිබිණි. ඉන් ඇතැම් නිෂ්පාදකවරුන් මුදල් ගෙවූ අතර පියා රඟපෑ චිත්‍රපටවලින් මුදල් සෙවූ ඇතැම් නිෂ්පාදකයෝ මුදල් නොදී මඟහැරියහ.   
පියදාස සිංහල චිත්‍රපට මෙන්ම “ත්‍රී යෙලෝ කැට්ස්”, “එලිෆන්ට් වෝක්” ඇතුළු විදේශ චිත්‍රපට කිහිපයක ද චරිත නිරූපණය කර ඇත.   
පියදාස ගුණසේකරයන් කොළඹ මරදානේදී උපන් අතර ඔහු අධ්‍යාපනය හැදෑරු​වේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි.  
පාසල් කාලයෙන් පසුව ඔහු කොළඹ ට්‍රෑම් රථ රියැදුරකු වශයෙන් සේවය කළේය. ඉන් පසුව ඔහු යුද හමුදාවේ සේවයට එක් වූ​​යේය. පසු කල සංචාරක මණ්ඩලයේ සංචාරක මාර්ගෝපදේශකයකු ලෙස ද කටයුතු කළේය.   


එකල විදේශ සංචාරකයන් බොහෝ විට ගමන් කළේ නැව්වලිනි. මේ නිසා පියදාසට ද සංචාරක නැව්වලට සම්බන්ධ වී කටයුතු කරන්නට සිදු විය. මුල් කාලයේ රඟපාමින්ම ඔහු රැකියාවේ ද නිරත විය. කාර්ය බහුල වෙත්ම රැකියාව ඇත්හැර දැමීය.  
ලංකා රාජිනී පවසන්නේ, ඇය කුඩා කාලයේදී නැව්වලින් ලැබෙන විවිධ රසකැවිලි වර්ග සිය පියා දරුවන්ට ගෙන ආ බවය.   
ආනන්දයේ ශිෂ්‍යයන් වූ රංජිත් ලාල් “නිම් වළල්ල” චිත්‍රපටය නිර්මාණය කිරීමේදී පියදාස ගුණසේකර ඒ සඳහා මුදල් අය කිරීමකින් ​තොරව රඟපාන්නට පොරොන්දු විය. ඊට එක් හේතුවක් වූයේ ඔහු ද ආනන්දයේ ආදි සිසුවකු වීමය. අනෙක් කරුණ ඊට සම්බන්ධ වූ පුවත්පත් කලාවේදී ඒ.ඩී. රංජිත් කුමාර හා තිබූ පෞද්ගලික සම්බන්ධයය.   
ඔහු පුවත්පත් සාකච්ඡාවලට එක්වූයේ කලාතුරකිනි. වරක් “රජ දවසක්” චිත්‍රපටයේ දර්ශන තලයේදී සම්මුඛ සාකච්ඡාවක් සඳහා මා ඇරැයුම් කළ විට ඔහු ඊට අකැමැති විය.   
පියදාසගේ ජීවිතයේ කම්පනයට ලක් කළ එක් සීදුවීමක් වන්නේ “හිඟන කොල්ලා” චිත්‍රපටයේ විජය නන්දසිරිට පිහියෙන් අනින දර්ශනයකදී විජයට ඇත්තටම තුවාල සිදුවීමයි.  
ඒ තුවාලය කෙතරම් බරපතළ වුව ද යත් රූගත කිරීම් නවත්වා විජය රෝහල්ගත කරන්නට පවා සිදු විය. එයින් කම්පනයට පත් ඔහු දින කිහිපයක්ම රූගත කිරීම්වලට සහභාගි නොවී සිටියේය.   


ලංකා රාජිනී පවසන්නේ සිය පියා හැම විටම වෙලාවට වැඩ කළ බවය. බොහෝ විටෙක කීවේ රඟපෑමේදී සේයාපට නාස්ති නොවන සේ හරියටම රඟපෑම් ඉදිරිපත් කළ යුතු බවයි.
“සැඩ සුළං” ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූවා සේම අවසන් චිත්‍රපටය වූයේ “අජාසත්ත”ය. ඔහු එහි රඟපෑවේ දේවදත්තගේ චරිතයයි.  
භක්තිමත් බෞද්ධයකු වූ පියදාස උදේ පාන්දරින්ම නැගිට බුදුන් වෙනුවෙන් මල් පහන් පූජා කළ රංගන ශිල්පියෙකි. ඒ නිසා දේවදත්ත ලෙස රඟපාන්නට සිවුර අඳින විට පිරිත් කියා, ඉන් පසුව සිවුර ගසකට අන්දවා පසුව පියදාසට ඇන්දවූයේය.   
තවත් අමතක නොවන සිදුවීමක් වන්නේ එකල ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරීමකට ගිය අවස්ථාවේදී වෛජයන්ති මාලා නම් සුප්‍රකට නිළිය හා මිතුරු වූ ඔහු ඇය එදා පැළඳ සිටි කරාබු යුවළ ඉල්ලාගෙන එය සිය බිරිඳ වූ සුමනාට තෑගී කිරීමය. 

 
ඇය එය නොපැළඳවුව ද තමාගේ නැගණියට දී ඇත. නැගණිය බොහෝ කාලයක් එය පැළඳ සිට ඇත.   
පියදාස කොතරම් දක්ෂ නළුවකු වුව ද සම්මාන ලැබූ වාර ඇත්තේ කිහිපයකි.   
1960 දී එක්සත් රසික සංගමයේ සම්මාන උළෙලේදී “සුබසරණ සැප සිතේ” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔහු සම්මාන ලැබීය. 1970 දී “දරු දුක” රඟපෑම වෙනුවෙන් “සරසවි විශේෂ සම්මානය” ද “බිනරමලී” චිත්‍රපටයේ වෙඩික්කාරයාගේ චරිතය සඳහා “සරසවි හොඳම සහාය නළු සම්මානය” ද 1974 දී සිනමාවේ දායකත්වය වෙනුවෙන් “දීපශිඛා” සම්මානයෙන් ද ඔහු පුද ලැබීය.   


1979 දී හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්‍ෂණය කරන ලද “සත්වැනි දවස” චිත්‍රපටයේ “අබ්බඩා​ගේ” චරිතය සඳහා තෝරාගෙන සිටියේ පියදාස ගුණසේකරය. ඔහු ද ඒ චරිතය රඟපාන්නට බොහෝ ආශාවෙන් සිටියේය.   
ලංකා රාජිනී පවසන්නේ අගටන්නා (මාලිනී රඟපෑ චරිතය) ලෙස ඇයත් අගටන්නාගේ සොහොයුරිය (සෝනියා දිසා) රඟපෑ චරිතය ලෙස වාහිනීත් දෙපසින් තබාගෙන ඔහු එහි දෙබස් පුහුණු වූ බවයි. එහෙත් ඒ චරිතය රඟපාන්නට ඔහුට අවස්ථාව නොලැබිණ.  


ඔහු “හිඟන කොල්ලා” චිත්‍රපටයේ රඟපෑ චරිතයට ද බොහෝ ආශා කළේය. එහෙත් එය චිත්‍රපට සම්මාන උළෙලේදී අවධානයට ලක් නොවිණ. ඒ නිසා නිෂ්පාදන අධ්‍යක්‍ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මෙන්ම පියදාස ගුණසේකර ද සම්මාන උළෙල වර්ජනය කළේය.   


පියදාස ගුණසේකරයන් අවසාන කාලය ගත කළේ කලකිරීමෙන් බව පවසන්නේ ඇගේ බාල දියණිය ලංකා රාජිනී ය. 

 
“තාත්තාට මුදල් ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ කාලෙ වෙනකොට අපේ පවුලෙ හතර දෙනෙක් විවාහ වෙලා. එක අයියා ​කෙනෙක් විදේශගත වෙලා.   


ඒත් කලාකරුවකුට ඕනෑ සල්ලි විතරක් නෙමෙයි. ඔවුන් ගැන සැලකිල්ලක් තියෙන්න ඕනෑ. කලා කටයුතුවලින් සතුටක් තියෙන්න ඕනෑ. තාත්තාගෙන් එය දුරස් වුණා.”  
පියදාස ගුණසේකර නමැති විශිෂ්ට රංගන ශිල්පියා මෙලොවින් සමුගත්තේ ආහාරපාන විෂ වීමක් හේතුවෙනි. එවිට ඔහුගේ වයස අවුරුදු 65කි.   


පියදාස ගුණසේකරයන් අප අතරින් වෙන්ව වසර 41ක් ගත වුව ද තවමත් “හාර ලක්සේ” සෙනෙවිරත්න, “වන මෝහිණී” පූසාරි, “බිනරමලී” වෙඩික්කාරයා මෙන්ම “ගෙදර හිටිය රෝස කැකුල රෝසා” කියමින් ඩොමී ජයවර්ධන සමඟ රඟපෑ “ළසඳා” චිත්‍රපටයේ චරිතය අපට අමතක නොවෙයි. ජීවිත සිනමාවෙන් මැකී ගොස් වසර ගණනාවක් ගත වුව ද ඔහු තවමත් සිනමාවේ මැවූ චරිත තුළින් රසික හදවත් තුළ ජීවමාන වෙයි.

 

 

රොඩ්නි විදාන පතිරණ  



අදහස් (3)

ඉන්දීය නිළියකගෙන් ලංකාවේ නලුවෙකුට කරාබු දෙකක්

iks. chandrasiri Saturday, 11 December 2021 06:55 PM

පොඩි කාලේ ඉඳලා මම සිංහල චිත්‍රපටි බැලුවා. පියදාස ගුණසේකර මහත්තයා ඇඟට නොදැනී රඟපාන දක්ෂ නළුවෙක්. මම ගොඩක් කැමැති නළුවෙක්... ගොඩක් කාලෙකට පස්සේ හුඟක් දෙනාට එතුමාව යළි මතක් කරදීම ගැන ස්තුතියි..!

:       0       12

arschfikaaSaturday, 11 December 2021 08:56 PM

මම පොඩිකාලේ ඉතාමත්ම ස්වභාවිකව රඟපෑම් කරන නළුවෙකි.අපරාදේ ඔහු ලංකාවට එන්නේ නැතුව චෙන්නායි වල නැවතිලා දෙමල චිත්‍රපටවල රඟපෑවා නම්.අද ඔහුගේ ජනප්‍රියතාව ගොඩාක් ඉහලයි.එම්.ගී.ආර්. චන්ද්‍රබාහු වගේ ලංකාවේ ඉපදිලා චෙන්නායි නලුවන් වෙලා ජනප්‍රිය වුන චරිත තව ගොඩක් ඇත

:       0       4

සි හියුබට් ප්‍රනාන්දු Monday, 13 December 2021 01:59 AM

පියදාස ගුණසේකර මුහුණෙන් හැගීම් මනාව පිළිබිඹු කරමින් රඟපෑම් ඉදිරිපත් කළහැකි එකල සිටි නළුවන්ගෙන් ඒක කැපිපෙනුන නළුවෙක්. හාරලක්සය, හඳපාන, කල්යානි ගංගා වගේ චිත්‍රපටි මතක්කළ හැකියි. එතුමාව මේ අයුරින් සිහිකිරීම ගැන ස්තුතියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මවුබස නැති ජාතියක ඉරණම
2024 මැයි මස 14 488 4

අපගේ අනාගත පරපුර, ජාත්‍යන්තරව පිළිගැනෙන හැකියාව සහිත ගෝලීය පුරවැසියන් බවට පත් කිරීම උදෙසා පාසල් තුළ විෂය අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය ඉංගිරිසියට හැරැවිය


රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’
2024 මැයි මස 13 779 0

එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බ


සංස්කෘතික මිනිසෙකුගේ නික්මීම
2024 මැයි මස 13 800 0

ඒ.ඩී. රංජිත් කුමාරගේ ගම කොඩි ගහ යට ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 ලොයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ හි කොස් ගස් හන්දියයි. එය අමු නගරයකි. වෙල් යායක්, කමතක් තබා හෙවණක් දෙන ගහක් කො


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 601 4

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 3214 6

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා
2024 මැයි මස 11 1528 2

බළන්ගොඩ යන නම කියූ සැනින් අපට සිහි වනුයේ දෙස් විදෙස් සුපතල ලොව පරසිදුවූ බොහෝ ගෞරවාදරයට පත් පැවිදි උතුමෙක්ගේ නාමය හා තවත් ච‍රිත කීපයකි. දෙස් විදෙස් සුප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 701 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2224 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1916 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site