“ඉතිහාසය අවසන්”ය යන්න 1992 දී ඇමරිකානු දේශපාලන චින්තකයකු වන ෆ්‍රැන්සිස් ෆුකුයාමා විසින් තම “ඉතිහාසයේ අවසානය සහ අවසාන මිනිසා” යන කෘතිය හරහා ජනප්‍රිය කරන ලද ප්‍රකාශයකි. ඒ සෝවියට් රුසියාව කඩා වැටීමත් සමග පැන නැගි නවතම භූ දේශපාලන තත්වය තේරුම් කිරීමට ය. එහි අර්ථය නම්, ඉතිහාසය තවදුරටත් නොපවතී යන්න නොව, මේ සුවිශේෂි කඩඉමේ සිට ඉතිහාසය යනු අන් ඉතිහාස නොව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ම ඉතිහාසය පමණක්ම යන්නයි. ඒ අනුව, කොතරම් අනාගතයට ගිය ද එය එකී ලිබරල්වාදයේ ඉතිහාසයයි. ඒ අර්ථයෙන් ඉතිහාසය අවසන් යන්න ප්‍රකාශ විය.
මාලිමා ආණ්ඩුව විසින් යෝජිත ප්‍රතිසංස්කරණ හරහා ද සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ ඉතිහාසය අවසන් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් යෝජිත ප්‍රතිසංස්කරණ හරහා හඳුන්වා දෙන අනිවාර්යය විෂයන් පහ අතර ඉතිහාස විෂය නැත. එය විකල්ප විෂයයක් ලෙස අවශ්‍ය නම් තෝරා ගැනීමට නියමිත ගොඩට දමා තිබුණි. වෙනත් ඉතිහාසවලට මාලිමා ආණ්ඩුව ද බියක් දක්වන බව පෙනේ. ඔවුන්ට තමන්ගේ ඉතිහාසය හැර, මෙරට වසර දහස් ගණනක ඉතිහාසය ‘අරහංද’? එම සංදර්භය තුළ, මෙම ලිපියෙන් ඉතිහාසය අප අමතක කළ යුතු ද, එහි විපාක කෙසේ ද ආදි කාරණා සාකච්ඡා කෙරෙනු ඇත.
අපට අපගේ වසර 2000 ඉක්මවූ ඉතිසාහය තුළ ජාතියක් ලෙස ආඩම්බර විය හැකි සියලු කාරණා තිබේ. ජයග්‍රහණ සහ පරාජයන් ද තිබේ. ඉදිරියට පැමිණීම් මෙන්ම පසුබෑම් ද තිබේ. අපගේ ආර්ථික ඉතිහාසය ගත්ත ද, අපගේ සමාජ දේශපාලන සංවිධානය ගත්ත ද, අපගේ රණශූරත්වය ගත්ත ද අප ඒ සියල්ලෙහි පූර්ණ ජීවිත ගෙවා ඇත. කාලයේ වැලිතලාවල ලියවුණු ඒ ඉතිහාසය අපගේ වර්තමාන ජීවිතවල පදනම ය. බොහෝ දේවල පදනම අපට නොපෙනෙන නිසා ඉතිහාසයේ පදනම ද අපට නොපෙනී තිබෙනු ඇත. එහෙත් ඉන් අදහස් වන්නේ එම පදනම නැති බව නොවේ. ඒ නිසා, අපට අපගේ ඉතිහාසය පරිණාමය වූ ආකාරය, එහි විවිධ සිදුවීම් සහ කාල පරිච්ඡේද හරහා ඉගෙනගත හැකි බොහෝ දේවල් තිබේ.
එමෙන්ම ඉතිහාසය යනු ලංකාවේ අපේ ඉතිහාසය පමණක් නොවේ. ඒ තුළ ලෝක ඉතිහාසය ද ඇතුළත් ය. වර්තමානයේ ලෝකය තුළ බැලූ බැලූ තැන ගැටුම් නිර්මාණය වී සහ නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලිව පෙනී යන්නකි. අපට මෙම ගැටුම් තේරුම් ගැනීමට නම් ඉතිහාස දැනුම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම දැනුම නොමැති ව අපට එකී සිදුවීම් ගැන කිසිදු අවබෝධයක් ලබා ගැනීමට හැකියාව නොලැබේ. ඊට අමතර ව, ලෝක ඉතිහාසය තුළ, අප ක්‍රියාකර තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට ද ඉහත ලෝක ඉතිහාසය පිළිබඳ දැනුම අවශ්‍ය වේ.
සෑම ජාතික රාජ්‍යයක්ම උත්සාහ ගන්නේ එම රාජ්‍ය ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමට ය. එහෙත් අපට ශ්‍රේෂ්ඨ ජාතියක් වීමට නොහැකි ඇයි ද යන්න විමසා බැලීමේ දී මතුවන ප්‍රධාන සාධකයක් නම් අපට අපගේ ඉතිහාසය ගැන හීනමානී තත්වයක් පැවැතීම බව කිව හැකි ය. එම හැඟීම ඇති කර ඇත්තේ අප අපගේ ඉතිහාසය නිවැරැදිව හදාරා නැතිවීම ය. එමෙන්ම ලෝක ඉතිහාසය ගැන දැනුම මද බව ද ඊට හේතු වී තිබේ. අපට ඉතා රණකාමී ඉතිහාසයක් පැවතුණි. නිරන්තරයෙන් ම ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණ හමුවේ අප වරින් වර දශක ගණන් යුද වැදී මෙරට ස්වාධීපත්‍ය ආරක්ෂා කරගෙන ඇත. අපගේ සංස්කෘතික වටිනාකම් රැකගෙන ඇත. ඒත් සමගම මෙරට වැසියන්ට සාපේක්ෂ හොඳ ජීවිතයක් ද ලබා දී ඇත.
ඉතිහාසය මතු නොව, ඕනෑම විෂයයක් පාසල් තුළ ඉගැන්වීම කරනු ලබන්නේ ජාතික අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. ඒවා හුදකලා ක්‍රියා නොවේ. අධ්‍යාපනය සහ අපගේ වර්තමානය සහ අනාගතය අතර පැහැදිලි සම්බන්ධතාවක් තිබේ. පාසලින් අප ගොඩ නගන්නේ ඒ සම්බන්ධයයි. එවන් පරමාදර්ශී දැක්මක් සහිතව සියලු ගුරුවරුන් තම කාර්ය කරතැයි සිතිය නොහැකි වූව ද, අධ්‍යාපනයේ අරමුණ එය විය යුතු බවට විවාදයක් නැත.
ඉතිහාසය ඉගෙනීම හරහා අපට ඉටුකරගත හැකි අරමුණු මොනවා ද? පළමු වැන්න නම් අපට අපගේ මෙන්ම සමස්ත මානව ඉතිහාසයේ චින්තන මාදිලි පිළිබඳ ඉතිහාස විෂය තුළින් මිස අන් කවර තැනකින් වුව දැනුමක් ලබාගත නොහැකි වීමයි. චින්තන මාදිලි පිළිබඳ අතීත දත්ත වර්තමානයට සම්බන්ධ කරගත් විට ඉන් ලැබෙන නව දැනුම අපගේ වර්තමානයට සහ අනාගතයට ඉතා වැදගත් වන්නකි. ඇතැම් විට අපට නොදැනීම මෙම දැනුම ගලා එයි. එනම් අපට සෑම අවස්ථාවක ම සවිඥානිකව අතීත සිදුවීමක්, වර්තමාන සිදුවීමක් සමග එකට තබා තේරම් ගැනීමට අවශ්‍ය නොවනු ඇත. ඉතිහාස පාඩමෙන්, එකී වර්තමාන සිදුවීම තේරුම් ගැනීමට අවශ්‍ය දැනුම අප තුළ වේලාසනම ගොඩ නගා තිබෙනු ඇත. ඇත්ත වශයෙන්ම, ඒ අනුව බලන විට ඉතිහාස දැනුම යනු ද කිසියම් ආකාරයක මොඩලයකි, ආදර්ශකයකි. තර්කනයකි.
ඉතිහාසය යනු පර්යායකි. පර්යාය රැසක එකතුවකි. වෙනත් වචනවලින් කිවහොත් ඉතිහාසය තුළ අපට හමුවන්නේ විවිධ ගැටලුවලට විවිධ අය විසින් ලබා දෙනු ලැබූ විසඳුම් ය. ඇතැම් විට ගැටලුවට නිසි විසඳුම ලැබී තිබේ. ඇතැම් විට ලැබී නැත. කුමක් වුව ද අප ද එවැනි ගැටලුවකට මුහුණ දුනහොත් ඒ අවස්ථාවේ දී කුමන ආකාරයේ විසඳුමකට යා යුතු ද යන්න ගැන එම ඉතිහාස පාඩම ඔස්සේ දැනුමක් ලැබේ. ඉතිහාසය ඉගෙනීම ඔස්සේ අප ලබන දෙවැනි දැනුම් ප්‍රවර්ගය එයයි.
ඉතිහාස කතා නිරන්තරව සත්‍ය විය යුතු නැත. මුලින්ම අප මතක තබාගත යුත්තේ සත්‍ය යනු සාපේක්ෂ දෙයක් බවයි. යමක් සත්‍ය ද අසත්‍ය ද යන්න කෙනකුට නිශ්චිත අදහසකට ඒමට නොහැකි ය. ඒ මන්ද යත් අපට අපගේ ම ආත්ම මූලික දැනුම් පද්ධති හරහා අපගේ “සත්‍ය” බලපෑමට ලක්වන හෙයිනි. ඒ අනුව, අපට දේවල් පිළිබඳ පූර්ණ වාස්තවික දැනුමක් ලැබිය හැකි නොවේ. ඉතිහාසය යනු ද විවිධ අවස්ථාවල ද විවිධ පුද්ගලයන් විසින් ලේඛනගත කරන ලද්දකි. ඔවුන්ට විවිධ අභිලාෂ තිබෙන්නට ඇත. එහෙත් අප ඒ සියල්ලම ඉතිහාසය බව අප තේරුම් ගත යුතු ය. එසේ කිරීමෙන් පමණක් ම ඉතිහාසය පිළිබඳ අවබෝධයක් අපට ලබාගත හැකි වේ.
ඉතිහාසයෙන් අප ලබන ඉහත විවිධ ආකාරයේ දැනුම් යනු තවත් ආකාරයකින් අප අත්කර ගන්නා නිපුණතා බව ද සිහිපත් කළ යුතු ය. මන්ද එය හුදු දැනුමක් ලෙස පමණක් නොතිබී, අපට යම් ගැටලුවකට විසඳුමක් ලබා ගැනීම සඳහා නිපුණතාවක් ද වන හෙයිනි.
වර්තමාන ආණ්ඩුව මෙවන් ඉතා වැදගත් දැනුම් පද්ධතියකි මෙරට අනාගත පුරවැසින්ගෙන් වසා තැබීමට උත්සාහ කරන්නේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ, මෙරට අනාගත පරම්පරාව අක්මුල් නැති ජාතියක් බවට පත්කර අභියෝග හමුවේ වල්මත් කිරීමට ද? නැතිනම් මෙරට ඉතිසාහයට වෛර කරන, එහි ජයග්‍රහණ හෙළා දකින පිරිසකගේ මනදොළ සපිරීම ද?
අනෙක් ගැටලුව නම් ඉහත යෝජික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පසුගිය කාලය පුරා මෙරට කිසිදු ආකාරයක සංවාදයක් පැවැතියේ නැත. පුරවැසියන්ගේ තබා, අධ්‍යාපනයට ඍජුව සම්බන්ධ පාර්ශවවල පවා අදහස් විමසූවේ නැත. ගහෙන් ගෙඩි එන්නා සේ එක්වරම 2030න් පසු ක්‍රියාත්මක වීමට නියමිත ක්‍රමය ලෙස හැඳින්වූ යෝජනාවක් එළි දැක්වී තිබේ. මිලියන 4 ඉක්මවූ මෙරට සිසු පරම්පරාවක, එසේම රටේ ඉදිරි අනාගතයම තබා තිබෙන පදනම වන් මෙම ප්‍රතිසංස්කරණ කවුරුන් විසින් කෙසේ යෝජනා කරන ලද්දේ ද? මේ පිළිබඳ කරන ලද අවශ්‍යතා විශ්ලේෂණය කුමක්ද?
පසුගිය මාස කීපය පුරාම ආණ්ඩුව තමන් සිටින බව පෙන්වීමට මෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ය. පළමුවැන්න නම්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි. අද ඊට ආගිය අතක් නැත. විශාල ජාතික ධනයක් වියදම් කරමින් රට පුරා ක්‍රියාමක කළ දෙයින් සිදුවූ යහපත කුමක්ද? පොලිසිය දමා බස්වල සහ ත්‍රිරෝද රථවල කෑලි ගැලවීමක් පටන් ගත් අතර, ඊට විරෝධය ඒමත් සමගම එය නතර කර දැමුණි. සැලසුමක් නැතිව පටන් ගත් දේවලට මීට වඩා නරක ඉරණමක් තිබිය නොහැකි ය. මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් ද එක එක්කෙනා ඉල්ලා අස්වෙමින් යන බව වාර්තා වේ.
දෙවැනියට පටන් ගත් වන සතුන් ගණන් කිරීම ද සැලසුමක් ඇතිව කරන ලද්දක් ලෙස සිතිය නොහැකි ය. එම සංගණනය කිසිදු විද්‍යාත්මක පදනමක් මත කරන ලද්දක් නොවන බව ඇතැම් සතුන් සම්බන්ධයෙන් සපයන ලද දත්තවලින් පෙනී යයි. ඒ අනුව, එය ද හුදු ඝෝෂාව පමණක් ඉතිරි කළ නිරර්ථක ක්‍රියාවකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු ඉහත එවන් ව්‍යාපෘති සේ ආවාට ගියාට සිදු කර නැවත අතහැර දැමිය යුතු සහ හැකි එකක් නොවේ. මන්ද එවන් ක්‍රමයක් දශක ගණනාවකට බලපාන බැවිනි. ඉදිරියට එමින් තිබෙන්නේ, ඉතා සංකීර්ණ ලෝකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන් ම කෘත්‍රිම බුද්ධි ආශ්‍රිතව ගොඩ නැගෙමින් තිබෙන වර්ධනයන් ඉතා භයානක බව කිව යුතු වේ. ඊට ‘භයානක’ යන වචනය හැර භාවිත කළ හැකි අන් වචනයක් නැත. එමගින් අපට උරුම කර දෙන ලෝකයේ හැඩරුව පවා තවමත් සිතා ගැනීමට නොහැකි වී ඇත. අපට පමණක් නොව, එම පද්ධති බිහිවෙමින් තිබෙන රටවල පුරවැසියන්ට ද එය එසේ ය. ඒ කෙසේ වෙතත්, කුමන තත්වයක් තුළ හෝ අප ජාතියක් ලෙස පැවැතීමට නම්, අපට අප ගැන මෙන්ම ලෝකය ගැන ද මනා දැනුමක් අවශ්‍ය කෙරේ. ඒ දැනුම සංවිධිතව ලබාදෙන විෂයය නම් ඉතිහාසයයි. ඒ අනුව, ආණ්ඩුව කිසියම් අරමුණකින් මෙරට පුරවැසියා ඉතිහාසයෙන් වෙන් කර තැබීමට ගන්නා උත්සාහය පරාජය කිරීමට අප එකාවන්ව නැගී සිටිය යුතු ය.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉතිහාසය අමතක කළ යුතුද?
බද්රානි Friday, 18 July 2025 08:24 PM
බඩ ගෝස්තරවාදී දේශපාලනයෙන් මනස ඔද්දල්වී සිටින ආචාරියාගේ දේශපාලනික ලිපියට "ඉතිහාසය පාවිච්චි" කර තිබීම පාඨකයා කුල්මත් කරන සුළුයි.." කටු අත්තක් අතට ගත් බේබද්දෙකු සේ" ආචාරියා ඉතිහාසය හතර අතේ වනයි... ඒ විපරිත ඉතිහාසය ඇඟට වැදුනොත්, සීරීමක් ඇතිවී තුවාලයක් ඇතිවීම හැර වෙනත් දෙයක් නම්, නැත.. නමුත්, ඒ අපබ්‍රන්ශ ඉතිහාස කතාන්දරය මොළය හා හදවත කිචි කවයි... රජාලා වෙන්නට තටමන දේශපාලන නායකයින්ව රජාලටම අන්දවා, කුසගිනි නිවා ගැනීමට ඇබ්බැහි වී සිටින ආචාරියා අනාගත පරපුරත් ඉතිහාස රජ කතාවලටම හිරකර තැබීමට දඟලයි..."දිය යටින් ගින්දර ගෙනයාමට වෙරදරන" මේ හනුමන්තාගේ නැට්ට ගිනිගෙන තිබෙනවා මදිවාට, රටටත්, ගිනිතැබීමට නේද මේ අර අඳින්නේ..?