IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අලුත් නීතිමය බලයක් ළඟදීම හිමිවන බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අපගේ ‘‘ලංකාදීප’’ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. එසේ අලුතින් ලැබෙන නීතිමය බලය වන්නේ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවලදී විවිධ සාක්ෂිකරුවන් විසින් හෙළිකරන තොරතුරු මත කෙළින්ම නඩු පැවරීමේ නීතිමය බලය කොමිසමට හිමිවීමය. ඒ අනුව අදාළ සාක්ෂිකරුවන් යළිත් කොමිසමට කැඳවීමට අවශ්‍යතාවක් නැත. එය වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉක්මන් කරවීමකි.

අල්ලස් කොමිසමේ ‘‘දත්’’ සවිමත් නැතැයි යන්න වරින්වර නැඟෙන චෝදනාවකි. ඇල්ලුවාට හපන්න බැරි මට්ටමේ කොමිසමක් වශයෙන් කාලයක් තිස්සේ අල්ලස් කොමිසම නම් දරා සිටියේය. ඒ තත්ත්වය වෙනස්කොට අලුත් ‘‘දත් සෙට් එකක්’’ සවිකොට අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට වරින්වර බලයට පත්වෙන ආණ්ඩු පොරොන්දු වූ අවස්ථා අප්‍රමාණය. එහෙත් අප හැමදාමත් දුටුවේ බලයේ සිටින පක්ෂයේ අල්ලස් කාක්කන් අල්ලාගැනීමට තරම් කොමිසම කවදාවත් ශක්තිමත් නොකළ බවය. ඊට හේතුව සිතා ගැනීම පාඨක ඔබටම බාරකරමු.

දූෂණයට, වංචාවට එරෙහිව වඩාත්ම ක්‍රියාකාරී වන දේශපාලනඥයන් හැමවිටම සිටින්නේ විපක්ෂයේය. විපක්ෂයේ සිටින විට අල්ලසට එරෙහිව යුද ප්‍රකාශ කරන ඇතැම් දේශපාලනඥයන් බලයට පත්වූ පසුව අල්ලස හෝ දූෂණය වැරුද්දක් හැටියට දකින්නේම නැත. කොහොමහරි වැඩේ කරගන්න ඕනෑ යන න්‍යායට අනුගත වන මේ ඇතැම් දේශපාලනඥයන් තමන් අතට ලැබෙන අල්ලස දැඩි ලෝභයෙන් සාක්කුවට දාගනිද්දී ඔවුන්ට අල්ලස් හෝ දූෂණ කොමිසම ශක්තිමත් කළ යුතු කතා අමතක වෙයි. මේ ඇතැම් බලවතුන්ට අල්ලස් හැටියට ලබාගන්නට සල්ලි වැටෙන්නේ ලංකාවේ බැංකු ගිණුම්වලට නොවීම අල්ලස් දැලෙන් රිංගායෑමට අවස්ථාවක් ලැබීමකි. සාක්ෂිකරුවන් හෙළිකරන තොරතුරු මත කෙළින්ම නඩු පැවරීමට හැකිවන පරිදි නීති සැකසීම අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමක් වශයෙන් සැලකිය හැකි බව ඒ අනුව සඳහන් කළහැකිය.

අල්ලස් කොමිසමට වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක වීමට නම් එය නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සමඟ පෙන්වා දිය යුතුය. උදාහරණයක් වශයෙන් නීතිමය බලතල කොතරම් ලබාදුන්නත් එය ක්‍රියාවේ යෙදවීමට ප්‍රමාණවත් තරම් නිලධාරීන් පිරිසක් ලබා නොදෙයි නම් යුක්තිය ඉටුවීම පමාවීම වැළැක්විය නොහැක. එසේ වනවිට අවශ්‍ය වැටලීම් සිදුකිරීම් ද මඟහැරීයාමට ද ඉඩ තිබේ. එසේම නිසි පරිදි සාක්ෂි ගොනුකොට නඩු පැවැරීමද කලට වෙලාවට සිදු නොවේ. විශේෂයෙන් සාක්ෂිකරුවන් යළි නොකැඳවා කෙළින්ම නඩු පැවරීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය වීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම ද අසීරු වනු ඇත. ඒ ගැනද අවධානය යොමු කිරීම අවශ්‍යම සාධකයකි.

මීට පෙර අල්ලස් කොමිසමට මෙවැනි බලයක් නොතිබීම හේතුවෙන් කොමිෂන් සභා වාර්තා පිළිබඳ විමර්ශනවලදී ඒවායේ සාක්ෂිකරුවන් නැවතත් කොමිසමට කැඳවීමට සිදුවී තිබිණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා අමතර කාලයක් මෙන්ම වියදමක් ද දැරීමට සිදුවන බවය. විමර්ශන කටයුතු ප්‍රමාද වීමට එයද ප්‍රධාන හේතුවක් වී තිබිණි. කොමිසම සඳහන් කර ඇත්තේ බැඳුම්කර වාර්තාව පිළිබඳ විමර්ශන ද මේ අනුව ඉදිරියේදී සක්‍රීය වනු ඇති බවය. මෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්වූත් කතාබහකට හේතුවූත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කෙරුණු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු නීතියේ ප්‍රමාදයක් නිසා අකර්මණ්‍ය විය යුතු නැත. අල්ලස් හෝ දූෂණ පනත යටතේ එහි වැරැදි සිදුවී ඇත්නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව අධිකරණ කටයුතු අප්‍රමාදව සිදුවීම අවශ්‍යය.

අල්ලස් පනත යටතේ වන පොදු වැරැදි හැටියට අප බොහෝ විට අසන්නේ දකින්නේ ළමයින් පාසල්වලට ඇතුළු කිරීමේදී, රථ වාහන වැරැදිවලදී සහ රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමේදී සිදුවන අල්ලස් ගැනීමය. ඊට වඩා මහා පරිමාණයෙන් සිදුවන අල්ලස් ගැනීම් අනාවරණය වෙන්නේ කලාතුරකිනි. කොමිසම එවැනි වංචනිකයන් කොටුකර ගැනීමට උත්සාහ දැරුවත් බලවත් ‘‘හස්ත’’ හේතුවෙන් ඒ පිළිබඳ කතා යටයයි. අල්ලස් දැලට වැඩි වශයෙන් හසුවන්නේ හාල්මැස්සන් බවටත් තෝරුන් මෝරුන් දැලෙන් ලිස්සා යන බවටත් පැතිර ඇති කතාවට පදනම එයයි.
එවැනි දියාරු තත්ත්වයක් ඇතිවීම වළක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව පණක් එන්නත් කෙරෙන බලය ලැබෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මේ පනතට මීට ඉහතදී අත්වූ ඉරණම අත්නොවනු ඇතැයි අපේක්ෂා කරමු. මීට ඉහතදී සිදුවූයේ පනත සම්මත කිරීම පසුවට කල්යාමකි. අල්ලස් කොමිසම පණගන්වන අලුත් සංශෝධන පනත අදම සම්මත කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලමු.



අදහස් (0)

අල්ලස් කොමිසමට පණදෙන පනත අදම සම්මත කර දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site