IMG-LOGO

අධ්‍යාපන වෙනස්කම් කොයිබටද?

මේ අවුරුද්දේ ගෙවුණු මාස 06 ක කාලයේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන ඇමැතිනි වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව බොහෝ දේ කීවා ය. ඇය යෝජනා කළ ප්‍රතිසංස්කරණ ලබන වසරේ, 2026 වසර ආරම්භයේ සිට ක්‍රියාවට නගන බවත් කීවා ය. විධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සතු පාදක පියවර විය යුත්තේ පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේ සාධාරණ, ප්‍රායෝගික පිළිවෙතකි. එය අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය සමාජ ගැටලු‍වකි. මගේ මතකය නිවැරැදි නම්, 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව, පළමු වසරට ළමයින් ඇතුළත් කර ගනු ලබන විට, පන්තියකට ඇතුළු කළ යුතු උපරිම සංඛ්‍යාව සිසුන් 35 නොඉක්ම විය යුතුය. එහෙත් විශේෂයෙන් කොළඹ අතිශය ජනප්‍රිය, අධි ඉල්ලු‍මක් ඇති පාසල්වල පන්තියක ඉන්නා සිසු සංඛ්‍යාව 45 ක් පමණ වන්නේ යැයි ගුරුවරු කියති.

නාගරික ජනප්‍රිය පාසල් සදහා පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම මේ රටේ දශක දෙක තුනක සිට තරගකාරී දූෂිත ක්‍රියා පිළිවෙතකි. හැම අවුරුද්දකම දහස් ගණනක් තරුණ මවුපියන් හවුල්වන ඒ දැවැන්ත දූෂණ ක්‍රියාවලිය, අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය කියූ ප්‍රතිසංස්කරණ කිසිවක් නොමැතිව, පරණ පුරුදු ලෙසින්ම ක්‍රියාවට නැගෙන වග අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කියන්නේ ය. 2026 වසරේ ජනවාරි මාසයේ සිට පළමු වසර සඳහා ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධ අංක 25/2025 දරණ චක්‍ර ලේඛය සුපුරුදු පරිදිම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉකුත් දා නිකුත් කරනු ලැබීය.

එකී චක්‍ර ලේඛයෙහි පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමට ඉල්ලු‍ම් පත් ඉදිරිපත් කළ යුතු පිළිවෙතත් ඒ සඳහා තිබිය යුතු සුදුසුකම් සහ ඒ සුදුසුකම් වෙනුවෙන් ලකුණු ලබාදීමේ පටිපාටිය ඇතුළු කොන්දේසි සියල්ලත් ළමයින් තෝරා ගන්නා පිළවෙතත් විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කළ යුතු පිළිවෙතත් සඳහන්ව ඇත.

සෑම වසරකම කිසිදු සංශෝධනයක් නැතිව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කරනු ලබන පිටු 50 ක් පමණ වන මෙම චක්‍රලේඛයට අනුව, පළමු වසරට ළමයින් තෝරා ගන්නා “ගණ” සයක් (6) ඇත. ඉන් පළමුවැන්න “පාසලට ආසන්න” පදිංචිකරුවන් ය. (වගන්ති 03.1). ඉල්ලු‍ම්කාර මවුපියන්ගේ හෝ භාරකරුගේ හෝ පදිංචිය අනුව, මුළු ලකුණු 100 න් උපරිම ලකුණු 20 ක් “පාසලට ඇති ආසන්නතාව” සඳහා ලබා ගත හැකිය. (වගන්තිය 7.2.1.1). එම වගන්තියෙහි අවසානයට “තද කළු” අකුරින් අවධාරණය කර ඇත්තේ, “මෙම ගණය යටතේ ඉහත කරුණුවලට අදාළව පදිංචිය තහවුරු කිරීම සඳහා හිමිවන ලකුණු උපයා ඇති අයැදුම්කරුවන්ට පමණක් මින් ඉදිරියට ඇති කොටස් සඳහා ලකුණු ලබා දිය යුතුය” යන්න ය. ඉන් කියන්නේ පාසලට ඇති “ආසන්නතාව” ළමයා තේරීමේදී තීරණාත්මක සාධකයක් වන බවය.

පාසලට ඇතුළත් කර ගන්නා ළමයින්ගෙන් සියයට 50 ක්ම පාසලට ඇති “ආසන්නතාව” මත තෝරා ගනු ලබන පළමු “ගණයට” අයත් ළමයින්ය. එහෙත් මේ චක්‍ර ලේඛයෙහි කොතැනකවත් ඉල්ලු‍ම්කරුගේ හෙවත් දරුවාගේ මවුපියන්ගේ නැතිනම් භාරකරුගේ පදිංචියෙහි “පාසලට ඇති ආසන්නතාව” අර්ථ ගන්වා නැත. අවම තරමින් පදිංචි නිවෙසේ සිට පාසලට තිබිය යුතු උපරිම දුර ප්‍රමාණය මෙපමණ යැයි සඳහන්ව නැත. පළමුවරට පාසල හා පදිංචිය අතර තිබිය යුතු උපරිම දුර, සැතපුම් 02 ක් යැයි තීන්දු කරනු ලැබුවේ 1963 දී බණ්ඩාරනායක අගමැතිනිය යටතේ පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමෙන් පසුව ය. එහෙත් “සැතපුම්” අහෝසි වී දැනට අවුරුදු 45 කට වැඩි ය. දැන් ඇත්තේ “කිලෝ මීටර්” ය. එබැවින් පාසලේ සිට ඉල්ලු‍ම්කරුගේ නිවෙස දක්වා වන උපරිම දුර, වෘත්තයක “අරය” ලෙස ගතහොත් හෝ කෙටිම මාර්ගය අනුව කිලෝ මීටර් කොපමණදැයි අමාත්‍යාංශය නිල වශයෙන් කිව යුතුව ඇත.

මේ චක්‍රලේඛයට අනුව, එය තීන්දු කිරීමේ බලය පැවරෙන්නේ විදුහල්පති හෝ විදුහල්පතිනිය ප්‍රමුඛ ළමයින් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ය. චක්‍රලේඛයෙහි 6.2.6 වගන්තියට අනුව, “පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා පත් කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට, ළමයින් තෝරා ගැනීමට අදාළව සියලු‍ම සාධක සලකා බලා, සුදුසු පරිදි තීරණගෙන ක්‍රියාත්මක කිරීමේ බලතල හිමිවේ.” එහිම තවදුරටත් සඳහන් කෙරෙන්නේ, “චක්‍ර ලේඛයෙහි සඳහන් කරුණු පිළිබඳ විග්‍රහ කර ගැනීම ද, තෝරා ගැනීමේ ගැටලු‍ පිළිබඳ තීරණ ගැනීම ද, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ වගකීම වේ” යනුවෙනි. එබැවින් පාසලට ඇති “ආසන්නතාව”, දුර ප්‍රමාණය, ඔවුන්ගේ අභිමතය අනුව ඔවුන්ට තීන්දු කළ හැකිය.

විදුහල්පතිට හෝ විදුහල්පතිනියට හා ඔහු හෝ ඇය පත්කර ගන්නා පළමු වසරට ළමයින් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට මෙවැනි අර්ථ විරහිත, අසීමාන්තික බලතල ලබා දීමේ දී ඔවුන් මවුපියන්ගේ නැතිනම් භාරකරුගේ පදිංචියෙහි “පාසලට ඇති ආසන්නතාව” මෙතෙක් අර්ථ ගන්වා ගෙන ඇත්තේ කිලෝ මීටර 50 ට 80 ට වැඩි දුර ප්‍රමාණවලින් යැයි කියන්නේ, කොළඹ නගරයේ අතිජනප්‍රිය ජාතික පාසල් අවට නවතා ඇති සිසු සිසුවියන් දෛනිකව ප්‍රවාහනය කරන පාසල් සේවා වාහන ය. එම වාහනවල හොරණ, අලු‍ත්ගම, ඇහැළියගොඩ, වරකාපොළ, ගම්පහ, වෙන්නප්පුව වැනි ප්‍රදේශ දක්වා ධාවනය කෙරෙන බවට දැන්වීම් අලවා තිබීමට අමතරව, එම “පාසල් සේවා” වාහන සඳහා පළාත් සභා අවසර ලබා දී ඇතැයිද කී විට, “පාසලට ඇති ආසන්නතාව” මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල අර්ථ ගන්වා ගන්නේ කෙසේද යන්න පමණක් නොව, රාජ්‍ය ආයතන ඒවාට ලබා දෙන සුජාතභාවයත් ඒ සමස්ත ක්‍රියාපිළිවෙතම මහා විගඩමක් බවට පත් කරන්නකි.

 

ඒ විගඩම, විදුහල්පති හෝ විදුහල්පතිනිය හා පළමු වසරට ළමයින් තේරීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ද පංගුකාරයන් වන වංචනික, දූෂිත ක්‍රියා පිළිවෙතක් බැව් ඔප්පු වන්නේ, නව වසරට ඇතුළු කරගනු ලබන ළමයින්ගෙන් සියයට 50 ක් “පාසලට ආසන්න” පදිංචිකරුවන්ගේ ගණයට අයත් වන අතර, තාවකාලික හා පොරොත්තු ලේඛනවල “නම් සදහන් ළමයින්ගේ පදිංචිය, ස්ථානීය පරීක්ෂණ මගින් තහවුරු කරගත යුතුය” යනුවෙන් අදාළ චක්‍ර ලේඛයෙහි 09.3.3 වගන්තියෙහි පැහැදිලිව සඳහන් කර ඇති බැවින් ය. පසුගිය වසරවල ඔවුන් හරියාකාරව එම “ස්ථානීය පරීක්ෂණ” සිදුකර තිබුණි නම්, කිලෝ මීටර 60 - 70 ක දුර ගමන් යන පාසල් සේවා වාහන තිබිය නොහැකිය.

පසුගිය අවුරුදු කිහිපයේ කිහිප වර මම මෙය කියූවෙමි. ලියුවෙමි. යෝධ දූෂණ ජාලයක් ක්‍රියාත්මක නොවන්නේ නම්, වාර්ෂිකව කිලෝ මීටර 60 - 70 ට වැඩි දුර සිට කොළඹ මධ්‍යයේ ඇති අති ජනප්‍රිය ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කළ නොහැකිය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන්ගේ සිට පාසලේ විදුහල්පති දක්වාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් රජයේ සේවකයන් ද හවුල් වන්නාවූත් ලිඛිතව නොවුණාට දැනුවත් දේශපාලන අනුමැතියක් ද ඇති, අධ්‍යාපන ඇමැතිවරුන්ගේ සිට මුළු රටම දන්නා නමුත් කොළඹ අතිජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළු කර ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් දස ලක්ෂ ගණන් මැදපාන්තික තරුණ මවුපියන් වැය කිරීම, පසුගිය දසකයක දෙකක කාලයේ තරගකාරීව ශීඝ්‍රයෙන් වර්ධනය වූවකි. මෙරට දැවැන්තම ප්‍රසිද්ධ දූෂණය මෙය වූවත් එය කිසිවකු කතා නොකරන, සාමාන්‍ය පටිපාටියක් ලෙස දිගටම සිදුවන්නේ එවැනි විශාල බලසම්පන්න හවුලක් ඊට ඇති හෙයිනි.

ඒ සමග තව යමක් කිව යුත්තේ ළමයින් තෝරා ගැනීම සඳහා පත් කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතිය ගැන ය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු හෝ සාමාජිකාවක ‍හෝ ලෙස අදාළ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු හෝ නියෝජිතවරියක හෝ පත් කර ගැනීම අනවශ්‍ය වන්නකි. පාසලට ළමයින් තේරීමේ කාර්යයට වඩා වැඩි වැදගත් දායකත්වයක් ලබාදීමේ හැකියාවක් බොහෝ ආදි ශිෂ්‍ය සංගම් වලට ඇත. එනිසා ළමයින් තේරීමට ඔවුන් හවුල් නොකරගත යුතුය. එයට තවත් හේතුවක් ද ඇති හෙයිනි. මහ නගරවල ගොඩනැගී තිබෙන අති ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පාසලේ විදුහල්පති හෝ විදුහල්පතිනිය පත් කිරීමට ද බලපෑම් කළ හැකි දේශපාලන හයියක් ඇති සංගම් බැව් අපි දනිමු. ළමයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල තිබිය යුතු ස්වාධීනත්වය සඳහා එවැනි දේශපාලන බලපෑම් කළ හැකි ආදි ශිෂ්‍ය සංගම්වල නියෝජනයක් ඒවායේ නොතිබිය යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ, 2026 වසර සදහා පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේ මෙම ක්‍රියාපිළිවෙත හදිසියේ වෙනස් කළ නොහැකිය. එය සිදුවිය යුත්තේ දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමගින් ය. එහෙත් ළමයින් තෝරා ගැනීමේ නිවැරැදිභාවය තහවුරු කිරීමේ පියවර ගණනාවක් මේ මොහොතේ ද ගත හැකිය. වැදගත්ම පියවර වනුයේ විනිවිදභාවය හා වග වීම තහවුරු කිරීම ය. ඒ වෙනුවෙන් පළමුව සිදු විය යුත්තේ ළමයා පදිංචි නිවෙසේ සිට පාසලට ඇති උපරිම දුර ප්‍රමාණය කොපමණ දැයි ඉකුත් ජුලි 04 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛය සංශෝධනය කරමින් නිශ්චිත වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ රටට දැන්වීම ය. එය දුර ප්‍රමාණය අනුව ලකුණු මත තීන්දු කරන්නක් නොව, අනිවාර්ය සුදුසුකමක් ලෙස පැනවිය යුත්තකි. ඒ සමග දෙවැන්න විය යුත්තේ “තාවකාලික හා පොරොත්තු ලේඛනවල” නම් සදහන් ළමයින්ගේ පදිංචිය, ස්ථානීය පරීක්ෂණයකින් සනාථ කරගත් බවට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිල සහතිකයක් සමග එම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම ය. ස්ථානීය පරීක්ෂණයකින් පදිංචිය සනාථ කරගත් බවට වන සහතිකය උල්ලංඝනය වී ඇති අවස්ථාවක, එය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් හා ඉල්ලු‍ම්කරු හවුල් වූ අල්ලස් හා දූෂණ ක්‍රියාවක් ලෙස සලකා නඩු පැවරිය හැකි නිමිත්තක් ලෙස ගැසට් කළ යුතුය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ වග වීම ඇත්තේ එහි ය.

එහෙත් පාසල් සදහා ළමයින් ඇතුළත් කිරීමේ නිත්‍ය පියවර ඇතුළත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන අවශ්‍යතාව එවැනි තාවකාලික පියවර මගින් කිසි ලෙසකින් නිශේධ නොවන බව ද කිව යුතුය.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

අධ්‍යාපන වෙනස්කම් කොයිබටද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 134 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 345 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site