පංගුපේරුවක් නොබලා අයියා මලෝ දෙදෙනා තම වෘත්තිය වෙනුවෙන් කැපවූහ. ඒ අයියා මලෝ දෙදෙනා ආරියශීල වික‍්‍රමනායක හා රුවන් වික‍්‍රමනායකය. නැවේ කප්පිත්තගේ රාජකාරියේ සිට සියලූ රාජකාරී ඔවුන්ගේ දෑතට හුරුය. ඒ සියල්ල ඒ සොහොයුරන්ගේ සිතට සතුටකි. එහෙත් මුහුද යට කිමිදීම ලේසී පහසු වෘත්තියක් වන්නේ නැත. ශාරීරික මෙන්ම මානසිකවත් නීරෝගි කෙනකුට මිස කිමිදුම්කරුවකු ලෙස අවදානම දෙවුර දරා මහ දිය කඳ දෙබෑ කර ගනිමින් ‘සැඟවුණු ලෝකය’ සොයා යාම කෙනකුට කළ නොහැක්කකි. කිමිදුම් ජීවිතය හා සබැඳුණු මතක සමුදායක් මේ දෙසොහොයුරන්ගේ මතක ගබඩාව තුළ වෙයි. වික්ටෝරියා ජලාශයේ බැම්ම පතුලේ අඩි 400ක් වතුර යට තිබුණු දොරටුවක් අරින්නට ගිය ගමන ඒ මතක කන්දරාව අතර සුවිශේෂිත මතකයකි. ඒ 1984 වසරේ වූ සිදුවීමකි. ස්වයංකී‍්‍රයව විවර විය යුතු ඒ දොරටුව එපරිදි විවර වූයේ නැත. ජලාශයේ වතුර අතිරික්තයකි. ඒ වැඩි ජල කඳ දොරටුව විවර කර මුදා හැරිය යුතුය. එහෙත් කොතැනක හෝ වැරදීමක්, නැත්නම් ගැටලූවක් පවතින බව වික්ටෝරියා ව්‍යාපෘතිය බාරව සිටි සියල්ලන්ටම වැටහී ගියේය. වාං දමන ජලකඳ මුදා හරිනු වස් දොරටුව විවර කරන්නට නම් සිදුව ඇත්තේ කුමක්දැයි විමසා බලන්නට අඩි හාරසියයක දිය කඳ තරණය කොට එහි පතුල සොයා යා යුතුමය. වගකීම දරන්නේ කවුද? සුද්දා පිළිතුරක් අපේක්‍ෂාවෙන් තරංග නඟන දියකඳ දෙස බලා සිටිය දී මාස්ටර් ඩයිවර්ස් ආරියශීල හා රුවන් සොහොයුරෝ ඒ වගකීම කරට ගත්හ. මහ මුහුදේ රළ තරම් ඝනත්වයක් නැති ඒ නැවුම් ජල කඳ සිසාරා පතුලට යාම අවදානමකි. මින් පෙර ලංකාවේ කිසිම කිමිදුම්කරුවෙක් එතැනට ගොස් තිබුණේ ද නැත. මේ කටයුත්ත මහමුහුද යට ලෝකය සොයා යාමට වඩා ජීවිතය හා මරණය අතර වන භාරදුර කටයුත්තක් වග ඔවුන්ට නොහැඟුණා ද නොවේ. එහෙත් ඒ සියල්ල මැද ඔවුහු වගකීම භාර ගත්හ. ජලය යට සෑම අඩි තිස් තුනකදීම පීඩනය රාත්තල් 14කින් වැඩිවෙයි. අඩි හාර සියයක් යන විට කෙනකුට දැනෙන පීඩනය කොතෙක්දැයි ඒ අනුව ඔබට වැටහෙනු ඇත. එය සාමාන්‍ය ශරීරයකට ඔරොත්තු නොදෙන පීඩනයකි. අධික පීඩනයක් දරා ගන්නට සිදු වූ විට ඇතැමකුගේ අත පයෙහි ලේ හෘදයට එකතුවෙයි. නිරෝගී හෘදයක් නැත්නම් එසේ වැඩිවන රුධිරය පොම්ප කරන්නට හෘදය අසමත් වීම හේතුවෙන් දිය යටදී පපුවේ අමාරුව වැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. මින් පෙර ඔවුහු එතරම් ගැඹුරු දියකට කිමිදී ගොස් තිබුණේ නැත. ඇතැම් විට කෙනෙකු එතරම් පීඩන තත්ත්වයක් යටතේ ඝනත්වය අඩු  ගැඹුරු දිය කඳන සොයා යද්දී ප‍්‍රකෘති සිහිය දුරු වී යන තත්ත්වයකට පත්විය හැකිය. එවිට එම කිමිදුම්කරුවා විකාර ලෙස හැසිරෙන්නට පටන් ගනියි. එවැනි පසුබිමක් නිර්මාණය වෙන්නේ මොළයට දැනෙන අධික පීඩනය හේතුවෙනි. ඔක්සිජන් ටැංකිය ගලවා විසිකර දමන්නට එවැනි ප‍්‍රකෘති සිහිය ගිලිහුණු මොහොතක කිමිදුම්කරුවකු පෙළඹෙන්නට පුළුවන. එහෙත් රාජකාරිය දේවකාරියක් සේ සලකා ඊට කැපවිය යුතුය. අඩි හාරසිය ගණනක් පතුලට කිමිද ගොස් කළ යුතු කාර්ය විනාඩි හතක් ඇතුළත නිමකළ යුතුය. විනාඩි හතකට වඩා ඒ දියපතුලේ රැඳී සිටිය නොහැක. ඉන්පසු පැය එකහමාරක පමණ කාලයක් ගෙන දිය මතුපිටට පැමිණිය යුතුය. ඊට අඩු කාලයකදී දිය මතුපිටට නොපැමිණිය යුත්තේ නයිට‍්‍රජන් වායුව වැඩිවී ශරීරයෙන් ලේ ගලන තත්ත්වයක් ඇති විය හැකි බැවිනි. කිමිදුම්කරුවෙක් දිය යටට යද්දී ලණුවක් රැගෙන යයි. ඒ ලණුවේ එක් කෙළවරක් බාර දෙන්නේ තමාට ඉතාමත් විශ්වාසවන්තයකුටය. එදා ආරියශීල වික‍්‍රමනායක මහතා වික්ටෝරියා දියකඳ තරණය කරද්දී ඒ ලණුවේ කෙළවර බාර දුන්නේ තම මළණුවන්ටය. තමා යහතින් ප‍්‍රකෘති තත්ත්වයේ දිය යට සිටින බව දැනුම් දෙන්නේ ඒ ලණුව වරින් වර ගැස්සීමෙනි. දිය යට සිටින පුද්ගලයාගේ ජීවිතය රැඳී ඇතැයි තේරුම් ගත හැක්කේ ඒ දෙන සංඥාව මතය. රුවන් වික‍්‍රමනායක ද තම සොහොයුරා සමඟම ලණුවත් රැගෙන මීටර් 300ක් දුර ගොස් නැවතුණේය. ඉතිරි දුර ආරියශීල වික‍්‍රමනායක මහතා ගියේය. එදා දියකඳ තරණය කරන්නට පෙර ඔහු තම සොහොයුරාට මෙසේ කීවේය. මල්ලි මම ලණුවෙන් සංඥා දෙන එක නතර වුණොත් ඔයා මාව හොයාගෙන වතුර යටට එන්න එපා. එහෙම වුණොත් මට වෙන අන්තරාවම  ඔයාටත් වෙයි. මම සංඥා දෙන එක නතර වුණොත් ඔයා මාව අමතක කරලා මෙතැනින් එහාට යන්න. ඒ පණිවිඩය ගැඹුරේ රැඳී තිබුණේ අතිශය සංවේදී ඉරණම් කතාවකි. ඒ වෙන්වෙන මොහොත හැඟීම්බර මොහොතක් විය. එහෙත් තම අත රැඳී ලණුවට සංඥා නිවැරදිව ලැබෙන විට රුවන් තම සොහොයුරාගේ ජීවිතය වෙනුවෙන් දෙවියන්ට පින් දුන්නේය. ඒ සෑම සංඥාවක්ම ධ්වනිත කළේ ”නුඹේ අය්යණ්ඩි නිරුපද්‍රිතයි.” යන පණිවිඩයයි. මට වතුර යට ඉන්න පුළුවන් විනාඩි හතයි. මම බලන්න උත්සාහ කළේ ගහක් ගැලවිලා ඇවිත් දොරටුව ළඟ හිරවෙලාද කියලා. අන්ධකාරයට මොකුත් පේන්නේ නෑ. මට හිතුණා මට ගොඩට එන්න බැරිවෙයි කියලා. අද වගේ නෙවෙයි එදා අපි ඇන්ද ඇඳුමත් බරයි. මට හිතුනා මගේ ඔළුව හැප්පෙයි කියලා. ඇත්තටම ලිහා ගන්න බැරි වෙන්න ලණුව ගැටගහලා. එම ලණුවේ කොනත් විශ්වසවන්තයකුට බාර දෙන්නේ එය ඒ තරම්ම අවදානම් නිසා. මම මල්ලිට කියලා ගියේ මම පල්ලෙහාට යද්දී මම මුලින් දෙන සංඥාව වෙනස් කරලා එකවරක් ලණුව ගස්සලා දෙන සංඥාව වෙනුවට දෙවරක් ලණුව ගස්සලා සංඥාව දුන්නොත් මම දෙන සංඥාව වැරුද්දුවොත් ඔයා මාව උඩට ඇදලා ගන්න කියලා. මම පතුලටම ගියාම වෙනමම විදිහේ සංඥාවක් දෙන්නම් කියලා. ඒ වගේම සංඥා දෙන එක නතර වුණොත් ඔයා ලණුව අතහැරලා දාන්න කියලා. වික්ටෝරියා ජලාශයේ දොරටුව නොහැරෙන හේතුව බලන්න මට තුන් වතාවක් මේ වගේ අවදානම දරාගෙන යන්න වුණා. දෙවතාවෙම ගිහින් ආවම ව්‍යාපෘතිය බාර සුද්දෝ මට චෝදනා කළා ඔයා බොරු කළේ. ඔයා මඟට ගිහින් ආවේ. දිය යටටම ගියේ නෑ කියලා. සුද්දෝ ගොඩාක් මැද එදා මම මා වෙනුවෙන්ම තර්ක කළා. දෙවැනියට ගිය වතාවේ මම අවබෝධ කර ගත්තා දොරටුව ඇරෙන්න නම් ඒ දොරටුවට කොක්කක් වැනි යකඩ වයර් එකක් දැමිය යුතුයි කියලා. මම තුන් වැනි වතාවේ දියයට ගියේ මම මේ යන්නේ අන්තිම වතාවට කියලා. දෙවැනි වතාවේ සුද්දෝ ඒ වයර් එක යන්ත‍්‍ර මගින් දිය යටට දමද්දී මට ඒක අතට අහුවුනේ නෑ. මම කළුවරේ අත පත ගෑවත් මට එය අහුවුනේ නෑ. තුන්වැනි වතාවේ මම එයත් මගේම අයට කරන්න බාරදීලා තමා දිය යටට ගියේ. තුන්වැනි වතාවේ තමා එය නිවැරදිවම කළේ. මම ඒ රාජකාරිය හරියටම කරලා දිය මතු පිටට ආවම සුද්දො මට නඟපු හැම චෝදනාවක්ම නිකම්ම බිඳ හෙළුණා. මරණය පෙනෙන මානයකදී ජීවිතය පිළිබඳව වන ආසාව හා කැමැත්ත උගසට තබා දිය යට කරන සටන ආස්වාදයක් ද වන බව ඔවුන් කියන්නේ ඒ අතීතය නැවත සිහිපත් කරද්දී නැඟෙන මන්දස්මිතයක්ද සමඟිනි.
සටහන - සංජීවිකා සමරතුංග
කිමිඳුම් කටයුතු ඇරඹීමට පෙර (සුදු ඇඳුමින් සැරසී බිම හිඳගෙන සිටින්නේ ආරියශීල වික‍්‍රමනායකය, සිටගෙන සිටින්නේ රුවන් වික‍්‍රමනායකය)