IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති වරප්‍රසාද කැපෙයිද?

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පත් 02 ක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වේ. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් ඇතුළු වරප්‍රසාද කිහිපයක් හිමි වේ. නිල නිවෙසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිස සහ නිල රථ එයට අයත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියට අනුව පසුව ගන්නා යම් යම් නීතිවලින් පෙර ලබාදුන් වැටුප හා විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකි බව එහි සඳහන්ය. එය රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බවත් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැකි වුවද එම වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු කළ නොහැකි බවද එම වගන්තිවල සඳහන් ය.‍

1986 අංක 4 දරන පනතේ 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ සහ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.

 යම් හෙයකින් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු යැයිද එහි සඳහන්ය. පනතේ 3 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තාට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන දීමනාවක් සෑම හිටපු ජනාධිපතිවරයකුටම ගෙවිය යුතුය. එසේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තකුගේ මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුය. එසේම නිල ප්‍රවාහන සහ අදාළ පහසුකම් සැලසිය යුතු බවද පනතේ සඳහන්ය. 4 වැනි වගන්තියට අනුව හිටපු ජනාධිපතිවරයකු මියගිය අවස්ථාවකදී ඔහුට ලැබීමට හිමිකම තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේදී ඒ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ඇගේ ජීවිත කාලයේදී ගෙවිය යුතුය. එසේම 5 වැනි වගන්තිය අනුව මෙම විශ්‍රාම වැටුප් සහ ගෙවීම් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බව දක්වා තිබේ.

හිටපු ජනාධිපතිවරුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රජයේ නිල නිවාසයක් ලබා නොගත්තේය. ඔහු සිය විශ්‍රාම දිවිය ගත කළේ, කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි සිය පාරම්පරික නිවස වූ බ්‍රේමා මැදුරේය. ඒ අනුව, විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ නිල නිවාසයක් භාර නොගත් ශ්‍රී ලංකාවේ එක ම ජනාධිපතිවරයා වන්නේ, ජේ.ආර්. ජයවර්ධනය. ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස ධුරය දරන අතරතුර අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ඔහුට හිමි නිල නිවස ඔහුගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට හිමි විය. පළමුව කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි නිවසක් ඇයට ලබා දී තිබූ අතර පසුව කොළඹ 07, ග්‍රෙගරි මාවතේ පිහිටි සී - 80 දරන නිවස ඇයට ලබා දෙන ලදී. තෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කෙටි කලක් ධූරය හෙබවූ ඩී. බී. විජේතුංග විශ්‍රාම ගැනීමෙන් පසුව වාසය කළේ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසය කරන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවසේය. එකිනෙකට සම්බන්ධ අමාත්‍ය නිල නිවාස දෙකක් එක් නිවසක් ලෙස ඩී.බී. විජේතුංග භාවිතයටගෙන තිබිණි. සිව් වැනි විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා තෝරාගත්තේ, කොළඹ 07, නිදහස් මාවතේ, අංක 27 දරන නිවසය. පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්‍රාම යාමෙන් පසු කොළඹ 07, විජේරාම මාවතේ, අංක 11 දරන නිවස ඔහුගේ නිල නිවස වශයෙන් ලබාදෙන ලදී. ජනාධිපති කාර්යාලය පවසන්නේ, ”‍විශාල මුදලක්”‍ වැය කර එම නිවස ප්‍රතිසංස්කරණය කර ඉහළ මහලට යාම සඳහා විදුලි සෝපානයක් ද සවි කළ බවය.

මේ අයුරින් වරප්‍රසාද භුක්ති විඳීමට විශාල වශයෙන් මුදල් වියදම් වේ. 2024 වසර සඳහා ද හිටපු රාජ්‍ය නායකයන් නඩත්තුව සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර තිබුණි. එම ප්‍රතිපාදනවලින් වැඩි කොටසක් වෙන් වී තිබුණේ හිටපු ජනපතිවරුන්ගේ මන්දිර සහ වාහන නඩත්තු කිරීම සඳහා ය. හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන සිව් දෙනා සඳහා රජය මෙලෙස මුදල් වෙන් කර තිබුණේය. ඊට අමතරව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද මේ යටතේ අයවැය ප්‍රතිපාදන ලැබී තිබුණි.

2023 වසරේ මෙරට සිටි ජනාධිපති වන රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනය හරහා හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ මන්දිර සහ ප්‍රභූ රථ පෙළ නඩන්තු සඳහා 2022 වර්ෂයටත් වඩා වැඩි මුදලක් වෙන් කළේය. නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර තිබූ අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ අගය හා සමාන වේ. ‘‘වෙනත්”‍ වියදම් යටතේ හිටපු ජනාධිපතිනියට 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 300 ක් වෙන් කර තිබූ අතර එය 2022 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 200 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 143ට සාපේක්ෂව විශාල වැඩිවීමකි.  ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හට ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ තවත් රුපියල් ලක්ෂ 100ක් වෙන් කර තිබුණි.  2022 වසර සඳහා වාහන නඩත්තුවට වෙන් කළ රුපියල් ලක්ෂ 200 ට සාපේක්ෂව 2023 වසරේ දී රුපියල් ලක්ෂ 1,000 ක දැවැන්න මුදලක් වෙන් කර තිබුණි.

2023 වසර සඳහා මහා භාණ්ඩාගාරය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාම ප්‍රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර තිබුණි. ඔහුටත් වෙනත් වියදම් යටතේ 2023 වසර සඳහා තවත් රුපියල් ලක්ෂ 110ක් වෙන් කර තිබූ අතර එය 2022 වර්ෂය සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 100 සහ 2021 වසර සඳහා වෙන් කළ රුපියල් ලක්ෂ 68 ට සාපේක්ෂව දැවැන්න වැඩිවීමක් විය.  ප්‍රාග්ධන වියදම් යටතේ  ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ රුපියල් මිලියනයක් වෙන් කර තිබූ අතර එය ද 2022 වසර සඳහා වෙන් කළ මුදලම විය. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2022 වසර සඳහා වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්න මුදලක් වාහන සඳහා වෙන් කර තිබිණි. 

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, 2023 සඳහා මහා භාණ්ඩාගාරය  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම ප්‍රතිලාභ වශයෙන් රුපියල් ලක්ෂ 117 ක් වෙන් කර තිබිණි. එසේම “වෙනත්”‍ වියදම් යටතේ ඔහුට 2023 වර්ෂය සඳහා තවත් රුපියල් මිලියන 11 ද වෙන් කර තිබිණි. එය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 10 සහ 2021 සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 7.9 ට සාපේක්ෂව විශාල වැඩිවීමකි.  මීට අමතරව ප්‍රාග්ධන වියදම් යටතේ හිටපු ජනාධිපතිවරයාට 2022 වර්ෂයේ මෙන්ම ගොඩනැගිලි සහ ව්‍යුහයන් යටතේ තවත් රුපියල් මිලියනයක් වෙන් කර දී තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ද වාහන නඩත්තුව සඳහා 2022 වර්ෂය වෙනුවෙන් වෙන් කළ රුපියල් මිලියන 2 ට සාපේක්ෂව 2023 දී රුපියල් මිලියන 10 ක දැවැන්ත මුදලක් වාහන සඳහා වෙන් කර තිබිණි.

2023 වසර සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද විශ්‍රාම ප්‍රතිලාභ ලෙස මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 11.7 ක් වෙන් කර තිබූ බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙනත් වියදම් යටතේ, 2023 වසර සඳහා තවත් රුපියල් මිලියන 10 ක් වෙන් කර තිබූ අතර ප්‍රාග්ධන වියදම් යටතේ, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වෙනුවෙන් වෙන්කර තිබූ මුදල රුපියල් මිලියනයකි. එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2023 වසරේ වාහන සඳහා රුපියල් ලක්ෂ 20ක් වෙන්කර තිබූ අතර හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වාහන සඳහා අඩුම මුදලක් වෙන්කර තිබුණේ ඔහුටයි.

දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට 2023 වසර සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 780,000 ක් විශ්‍රාම ප්‍රතිලාභ ලෙස වෙන් කර තිබූ බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එසේම වෙනත් වියදම් යටතේ හේමා ප්‍රේමදාසට තවත් මුදලක් වෙන් කර තිබූ අතර එය 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 15 කි. එය 2022 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් ලක්ෂ 13 සහ 2021 වර්ෂය සඳහා වෙන් කර තිබූ රුපියල් 770,000 ට සාපේක්ෂව ප්‍රමාණාත්මක වැඩිවීමකි. ප්‍රාග්ධන වියදම් යටතේ ද හේමා ප්‍රේමදාසට ‘ගොඩනැගිලි’ සහ ව්‍යුහය යටතේ තවත් රුපියල් මිලියනයක් වෙන් කර තිබුණි. හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාසට ද රථවාහන නඩත්තුව සඳහා 2022 වසරේ වෙන් කළ රුපියල් ලක්ෂ 8ට සාපේක්ෂව 2023 වසර සඳහා රුපියල් ලක්ෂ 50ක දැවැන්න මුදලක් වෙන්කර තිබුණි.

මේ අයුරින් 2022 සහ 2023 වර්ෂවල හිටපු ජනාධිපතිවරුන් සඳහා වෙන් වූ වියදම් හඳුනාගත හැකිය.

2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම්  සඳහා රුපියල් කෝටි 15 ක මුදලක් වෙන් කර තිබුණි. 2024 වසරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් එක්කෝටි අසූඅට ලක්ෂයකි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් පැවැත එන, එසේත් නැති නම්  පුනරාවර්තන වියදම් ලෙස පසුගිය වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් හැත්තෑඅට ලක්ෂයකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට පසුගිය වසරේ රුපියල් ලක්ෂ 30 ක මුදලක් වෙන් කර තිබිණි.

 

අහෝසිවීමට නියමිත අනෙක් පනත වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පනතයි. 1977 අංක 01 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්වලට අදාළ පනත හා එහි සංශෝධන අනුව වැටුප් පරිමා තීරණය වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනතේ සඳහන් වන්නේ මෙසේය.

“(2) ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමා සේවය කළ කාලය තුළදී, මේ පනතේ උපලේඛනයෙහි දක්වා ඇති ධුර එකක් හෝ වැඩි සංඛ්‍යාවක්, මුළුමනින් අවුරුදු පහක් වූ අවම කාලයක් දරා ඇති යම් තැනැත්තෙක් -

(අ) ඔහු ඒ ධුර එකක් පමණක් දරා ඇත්නම් හෝ ධුර දරන්නන්ට ගෙවනු ලබන වැටුප් සමාන වන්නා වූ ඒ ධුර එකකට වැඩි සංඛ්‍යාවක් දරා ඇත්නම්, ඒ ධුරය දරන්නාට දැනට ගෙවනු ලබන මූලික වැටුපෙන් තුනෙන් පංගුවක් වන්නා වූ විශ්‍රාම වැටුපක් මාසිකව ගෙවනු ලැබීමට හෝ

 (ආ) ඔහු ඒ ධුර එකකට වැඩි සංඛ්‍යාවක් දරා ඇත්නම් හා ඒ එක් ධුරයක් දරන්නාට ගෙවනු ලබන වැටුප, ඒ වෙනත් ධූරයක් හෝ ධුර දරන්නාට හෝ දරන්නන්ට ගෙවනු ලබන වැටුපට වැඩි නම්, ඒ ධුර අතුරින් වැඩිම වැටුප ලබන ධූරය දරන්නාට දැනට ගෙවනු ලබන මූලික වැටුපෙන් තුනෙන් පංගුවක් වන්නා වූ විශ්‍රාම වැටුපක් මාසිකව ගෙවනු ලැබීමට; සහ

ඔහු මුළුමනින් අවුරුදු පහළොවක කාලයක් හෝ ඊට වැඩි කාලයක් ඒ ධුර එකක් හෝ වැඩි සංඛ්‍යාවක් දරා ඇත්නම්, ඒ මූලික වැටුපෙන් උපරිම වශයෙන් තුනෙන් දෙපංගුවක් වන්නා වූ විශ්‍රාම වැටුපක් ගෙවනු ලැබීමට හිමිකම් ලබන්නේ ය:

එසේ වුව ද ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමා සේවය කළ කාලය තුළ දී, මේ පනතේ උපලේඛනයෙහි දක්වා ඇති යම් එක් ධුරයක් හෝ වැඩි සංඛ්‍යාවක්, මුළුමනින් අවුරුදු පහකට වැඩි එහෙත් අවුරුදු පහළොවකට අඩු වන්නා වූ කාලයක් දරා ඇති යම් තැනැත්තෙක්, මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, කථානායකවරයා විසින් පිළියෙල කරනු ලබන ගෙවීම් චක්‍රයකට අනුකූලව නිශ්චය කරනු ලබන ප්‍රමාණානුකුල මාසික විශ්‍රාම වැටුපක් ලැබිය යුතු වන්නේ ය.”‍  යනුවෙනි.

මෙම පනත් ද්විත්වයම ඉදිරියේදී අහෝසිවීමට නියමිත පනත්ය. ජනාධිපතිවරුන්හට විශ්‍රාම ලබාගැනීමෙන් අනතුරුවද වරප්‍රසාද හිමිවීමෙන් ඔවුහු සුඛෝපභෝගී ජීවිතයක් ගත කරති. ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිතය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව බදු මුදල් ගෙවමින් ජීවන අරගලයේ යෙදේ. රාජ්‍ය සේවකයකු ලෙසින් වසර 25 ක් 30ක් සේවය කර වයස අවුරුදු 60 විශ්‍රාම දිවියට එළඹෙයි. වසර ගණනාවක් බොහෝ රාජ්‍ය සේවකයෝ අඛණ්ඩ ජීවන අරගලයට මැදිව විශ්‍රාම වැටුප වෙනුවෙන් සිය රැකියාවේ සියලු‍ තාඩන පීඩන ඉවසමින් රැකියාවේ බර උසුලති.

රාජ්‍ය සේවකයකුට විශ්‍රාම වැටුපක් ලබා විශ්‍රාම සුව විඳීමට කෙතරම් කැප කිරීම් සිදු කළ යුතු වුවද මාස 60ක් සේවය කර විශ්‍රාම වැටුප් ලබන්නෝද මෙරට සිටිති. එනම් අප රටේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයකුට ඉතා ඉහළ විශ්‍රාම වැටුපක් ජීවිත කාලයටම ලැබීමට අවශ්‍යවන්නේ මාස 60ක පාර්ලිමේන්තු සේවා කාලයක් පමණකි. මන්ත්‍රීවරු වසර 5ක් සියලු‍ වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තු ගොස් සිය විශ්‍රාම වැටුප බැංකු ගිණුමට බැරකර ගනිති. එවැනි විශ්‍රාම වැටුපක් වසර 5ක සේවා කාලයක් සැපිරීමෙන් ලැබීමට සමත් වෙනත් කිසිදු රැකියාවක් හෝ සේවාවක් මෙරට තවත් නැත. මෙම පනත් ද්විත්වය අහෝසි කර මහජනතාවට කුමක් හෝ සහනයක් ලබා දිය හැකිනම්  එය ආර්ථිකය සමග පොරබඳිමින් පීඩාවිඳින ජනතාවට අස්වැසිල්ලක් වනු නියතය.

 (*** ශෂිකා අබේරත්න)



අදහස් (0)

හිටපු ජනපති වරප්‍රසාද කැපෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 209 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 707 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site