IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා

(තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

2023 හා 2024 වසරවල ශ්‍රීපාද වන්දනා වාරය හෙට(26) දිනට යෙදෙන උඳුවප් පුන් පොහොය දිනෙන් ආරම්භ වේ. එසේ ආරම්භ වෙන්නා වූ ශ්‍රීපාද වන්දනා සමය 2024 වසරේ වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනෙන් පසුව නිමාවට පත්වේ.

මාස හයක් පුරාවට, දිවා රාත්‍රි දෙකෙහිම, ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් සේම විවිධ ජාතීන් මෙන්ම විවිධ ආගම් අදහන්නන් සිරිපා වන්දනාවේ යෙදෙති. ගල්පඩි නගිමින්, දැඩි සීතල මැද්දේ, වැඩිදුරක් පා ගමනින් යමින්, වන්දනාමාන කිරීමට ලෝකයේ ඇති එකම පූජා භූමිය ලෙස සමනල කඳු වැටියේ ඉහළම ස්ථානයේ පිහිටි ශ්‍රීපාදස්ථානය සැලකේ. එය වූ කලී, ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු ඵෙතිහාසික මෙන්ම අති සුන්දර වූ පූජා භූමියක් ලෙස දෙස් විදෙස්හි ප්‍රකට ස්ථානයකි.

ශ්‍රීපාදස්ථානයේ ඇති ඵෙතිහාසික වටිනාකම හේතුවෙන්, විවිධ ජනවර්ග තම තමන්ට ආවේණික වූ නාමයන්ගෙන් එය හඳුන්වනු ලබති. බෞද්ධ ජනයා ඈත අතීතයේ සිටම, එනම් බුද්ධ වර්ෂ 236ටත් පෙර සිට මෙකී පූජනීය කඳු පන්තිය, “ශ්‍රීපාදය” ලෙස හඳුන්වති. බෞද්ධයන් විශ්වාස කරනුයේ, බූදුරාජාණන් වහන්සේ මෙරටට වැඩම කළ තුන්වැනි අවස්ථාවේදී සමනල කඳු මුදුනත උන්වහන්සේගේ වාම සිරිපතුල සළකුණු කොට ඇති ස්ථානය ලෙසය. දමිළ වැසියන් ශ්‍රී පාදස්ථානය සලකනු ලබන්නේ ශිව දෙවියන්ගේ පා සටහන ලෙසයි. ඇතැම් ජනයා හඳුන්වනු ලබනුයේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන සමනල කඳු මුදුනත සලකුණු කොට ඇති බවය. සුමණ සමන් දෙවියන්, ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව පවසා “සමන්තකූට”යන නමින්ද, ඊට අමතරව “රත්නගිරි”, “ස්වර්ගරෝහනම්” ආදී නම්වලින් ද ශ්‍රීපාදස්ථානය හඳුන්වනු ලබයි. මෙම කුමණ කතා කීව ද, කුමණ නම්වලින් හැඳින්වුව ද වසර 2500කට අධික ඉතිහාසය විමසා බැලීමේ දී ශ්‍රීපාදස්ථානයේ සැබෑ අයිකරුවන් වන්නේ සිංහල බෞද්ධයන් බව පෙනේ.

 

හොඳම මාර්ගය තෝරා ගන්න 

 

මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උසකින් සමන්විත සමනල කඳුවැටියේ ඉහළම ස්ථානයේ ශ්‍රීපාදස්ථානය පිහිටා තිබේ. ශ්‍රීපාදස්ථානයට පිවිසීම සඳහා මාර්ග කීපයක්ම තිබේ. එහෙත්, දැනට බැතිමතුන් විශාල ලෙස භාවිතා කරනුයේ මාර්ග දෙකක් පමණි. ඒ හැටන්, නල්ලතන්නිය ඔස්සේ වැටී ඇති මාර්ගය සහ රත්නපුර, පලාබද්දල ඔස්සේ වැටී ඇති මාර්ගයයි.

හැටන්, නල්ලතන්නිය මාර්ගය සෑම වසරකම වැඩිම වන්දනාකරුවන් පිරිසක් ශ්‍රීපාදස්ථානයට පිවිසීමට භාවිතා කරනු ලබන මාර්ගයයි. සිරිපා කරුණාවට ඇති වඩාත් පහසුකම් සහිත, එමෙන්ම දුරින් අඩු, පහසුම මාර්ගය හැටන්, නල්ලතන්නිය මාර්ගයයි. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන්හට, හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ලංගම බස් රථ ප්‍රවාහන සේවාවක් හැටන් ලංගම ඩිපෝව මගින් ක්‍රියාත්මක කොට තිබේ. ඊට අමතරව, වාර්ෂිකව තවත් විශාල පිරිසක් භාවිතා කරනු ලබන මාර්ගය, රත්නපුර, පලාබද්දල (රජ මාවත) මාර්ගයයි. අතීතයේදී රජවරුන් සිරිපා කරුණාවට භාවිතා කොට ඇත්තේ මෙම මාර්ගය බව පැවැසේ.

කුරුවිට, එරත්න මාර්ගය ශ්‍රී පාදස්ථානයට පිවිසිය හැකි තවත් මාර්ගයකි. ඉතාමත් සුන්දර මාර්ගයක් වන මෙය, දුෂ්කර වනගත මාර්ගයකි. දෙහෙනකන්ද, මුකුවත්ත පාර ද ශ්‍රී පාදස්ථානයට පිවිසිය හැකි තවත් මාර්ගයක් වන අතර, එය දුරින් වැඩිම මෙන්ම දුෂ්කරම මාර්ගයකි. එමෙන්ම දැරණියගල, මාලිබොඩ මාර්ග ද භාවිතා කරමින් ශ්‍රීපාදස්ථානයට පිවිසිය හැක. මෙය අති දුෂ්කර, කඳු හෙල්, ජල දහරා, කූඩැල්ලන් බහුල වනගත මාර්ගයක් වෙන අතර, පහසුකම් කිසිවක් එහි නොමැත. සඳගලතැන්න මාර්ගය ද ශ්‍රීපාදස්ථානයට පිවිසිය හැකි මාර්ගයකි. මෙය ප්‍රධාන මාර්ගයක් නොවුනත්, සිරිපා කරුණාවට ඇති කෙටිම මාර්ගය ලෙස සැළැකේ.

එහෙත් මෙකී මාර්ග අතරින් ශ්‍රීපාද වන්දනාවේ යෙදීමට ඇති ඉතාමත් ආරක්ෂාකාරී මෙන්ම වඩාත් පහසුකම්වලින් සමන්විත මාර්ග දෙක, හැටන්, නල්ලතන්නිය හා රත්නපුර, පලාබද්දල යන මාර්ගයන්ය. වඩාත් ප්‍රසිද්ධව ඇත්තේද එම මාර්ග දෙක බැවින්, ඔබ ශ්‍රීපාදය වන්දනා කිරීමට යන්නේ නම්, පහසුකම්වලින් හා ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයේ පවතින එම මාර්ග භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

වර්තමානය වෙන විට රට තුළ කොවිඩ් වසංගත තත්ත්වයක් නොමැති වුව ද, විවිධ බෝවෙන රෝග ඇති හෙයින් සෞඛ්‍ය නීතිරීතිවලට අවනතව කටයුතු කිරීමට වන්දනා නඩ පියවර ගන්නේ නම් එය පැසසිය යුතු කරුණකි. එමෙන්ම, බෝවෙන රෝගයක් ඔබට වැළදී ඇත්නම් කිසිවිටකත් ඔබ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටිය යුතු අතර, එය අන් බැතිමතුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද හේතුවක් වෙනු ඇත.

මෙම ඵෙතිහාසික පූජා භූමිය වන්දනාමාන කිරීමට ඔබ රත්නපුර, පලාබද්දල ඔස්සේ වැටී ඇති මාර්ගය භාවිතා කරන්නේ නම්, සමනල කඳුවැටියේ කිලෝ මීටර් අටයි මීටර් 500ක දුරක ගල් පඩි තරණය කළ යුතුය. එසේම ඔබ හැටන්, නල්ලතන්නිය ඔස්සේ වැටී ඇති මාර්ගය භාවිතා කරන්නේ නම් කිලෝ මීටර් හතරයි මීටර් 900ක දුරක් ගල් පඩි තරණය කළ යුතුය. ශ්‍රීපාද වන්දනා වාරවල දී වන්දනාකරුවන් බහුලව භාවිතා කරනු ලබන මාර්ගය ලෙස හැටන්, නල්ලතන්නිය මාර්ගය සැළැකේ. වර්ෂාව සහිත කාලයේ දී මෙම ගල් පඩි නැඟීමේදී, විශේෂයෙන්ම ඔබගේ නඩයේ වයෝවෘද්ධ මෙන්ම කුඩා ළමුන් පිළිබඳව වැඩි සැළැකිල්ලක් දැක්විය යුත්තේ, ලිස්සා යාම්වලට ලක් විය හැකි බැවිනි. එහෙත් වර්තමානය වෙන විට මෙම මාර්ගවල ගල් පඩි ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මහන්සියකින් තොරව ගමන් කිරීමට හැකිවෙන පරිදි සංවර්ධනය කොට තිබේ.

 

ආරක්ෂාව ඉතාම වැදගත් 

 

ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන ඇතැම් වන්දනා නඩවල ඇතැම් පුද්ගලයන්ගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන්, සෑම වන්දනා වාරයකදීම පාහේ, විවිධ අනතුරු සිදුකර ගනී. එසේම එම මාර්ගයන්ගේ පිහිටි ගල් පඩි තරණය කිරීමේ ද අනුගමනය කළ යුතු ආරක්ෂාකාරී ක්‍රියාවන් තුට්ටුවකට මායිම් නොකිරීම හේතුවෙන්, වන්දනාකරුවන් විවිධ අනතුරු හා අකරතැබ්බ සිදු කර ගනිති. ඔබ ශ්‍රීපාදයට පිවිසෙන විට දී මේ පිළිබඳව වඩාත් උන්නදුවෙන් මෙන්ම වඩාත් කල්පනාකාරී වීම වටිනා ක්‍රියාවකි.

ශ්‍රීපාදයට පිවිසෙන මාර්ගයන් ආසන්නයේ ශ්‍රී පාද වන්දනා අවාරයේ දී බඹර කූඩු තැනීම බොහෝ විට සිදුවෙන සාමාන්‍ය දෙයකි. එහෙත්, එකී තත්ත්වය පසුගිය වන්දනාවාරවල දී මෙන්ම මෙවර ද වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථාන අනාවරණය කරයි. කෙසේ නමුත්, ඒ පිළිබදවත් අවධානයෙන් නියමිත මාර්ගවලින් බැහැරට නොයා වන්දනාවේ යෙදීමට වග බලා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

 

ආ​ලෝකය සපයා ගැනීම ගැන උනන්දු වන්න

 

ශ්‍රීපාදස්ථානයට පිවිසෙන සෑම වන්දනා නඩයක්ම, විදුලි පන්දමක් හෝ කීපයක් රැගෙන යාම වටිනා දෙයකි. සිරිපා ගමන් මගේ හදිසි විදුලිය බිඳවැටීමක දී එය මහත් ප්‍රයෝජනයක් ගෙන දෙනු ඇත. ඒ වගේම, ඔබගේ වන්දනා නඩයේ සිටින කුඩා ළමුන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන් ගමන් ගන්නා විට දී, ඔවුන්ගේ විවිධ අවශ්‍යතාවන්ට දැඩි පහසුවක් වෙන බැවිනි. වර්තමානයේ දී සෑම ජංගම දුරකථනයකම පාහේ විදුලි පන්දම් සේවාව ලබා ගත හැකි වුව ද, එයින් පිටවෙන ආලෝකය ප්‍රමාණවත් නොවෙන අවස්ථාවන්ට මුහුණදිය හැකිබැවින් විදුලි පන්දමක් රැගෙන යාමට වගබලා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

ශ්‍රීපාදස්ථානයට පිවිසෙන සෑම මාර්ගයකම, බොහෝ ප්‍රදේශවල ජංගම දුරකථන සම්බන්ධතා (සිග්නල්) නොලැබීයාමේ අවස්ථාවන් මතු වේ. එබැවින් ඒ පිළිබඳව මතකයේ තබා ගෙන වන්දානාවේ යෙදීම වටී. ඒ මන්දයත්, නඩයේ අයෙකු අතරමං වුවහොත් සොයා ගැනීමට බාධාවක් වෙන බැවිනි. එමෙන්ම, මෙකී මාර්ගවල, හඳුනා ගැනීමට විශේෂ ස්ථාන නොමැතිකම මෙන්ම ස්ථාන පැවැසීමට නොදන්නාකම නිසා, අතරමං වුවෙකු සොයා බැලීම සඳහා ගැටලු‍ මතුවේ. එබැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩවල පිරිස් යම් දැනුවත් භාවයකින් සිටීම ඔබේ වන්දනා ගමනට පහසුවකි.

 

නිවැරදි පැත්තෙන් යන්න 

 

සිරිපා කරුණා කිරීමේදී මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීම සියලු‍ම බැතිමතුන්ගේ උතුම් මෙන්ම යහපත් ක්‍රියාවකි. එමඟින් පඩිපේළි සහිත මාර්ගයේ දී සිදුවිය හැකි විවිධ අනතුරු අවම කර ගත හැකිය. එසේම බොහෝ අවස්ථාවල දී අපට දැකිය හැකි කරුණක් වෙන්නේ, ඇතැම් අය මාර්ගය අවහිර වෙන සේ නැවතී ගිමන් හැරීමය. එම පුරුද්දෙන් ඔබ වැළැකී සිටීමට කටයුතු කරන්නේ නම් එය ඔබ සතු හොඳ පුරුද්දක් සේම යුතුකමක්ද වෙන්නේය.

වන්දනාවේ යෙදීමේ දී, සෑම වන්දනා නඩයක්ම හැකි සෑම විටම තමන්ට අවශ්‍ය කරනු ලබන විස්කෝතු, ජලය, තුවාල ප්ලාස්ටර්, වේදනා නාශක ඹෟෂධ වැනි විවිධ කළමනා හැකිතාත් රැගෙන යාමට පියවර ගත යුතුය. එය ඔබේ මුදල් පසුම්බියට ඉතිරියක් සේම, සිරිපා නැඟීමේ දී සහ බැසීමේදී සිදුවෙන විවිධ වූ අපහසුතාවන්ට ලක්වීමෙන් වැළකී සිටීමට ඔබට එයින් හැකි වෙනු ඇත.

වැස්සෙන් මෙන්ම ශ්‍රීපාද අඩවියේ පවතින දැඩි ශීතලෙන් බේරීම සඳහා ඊට සුදුසු ඇඳුම් රැගෙන යාමට පියවර ගැනීමෙන් එවැනි අවස්ථාවල දී සිදුවෙන අපහසුතාවන්ගෙන් ඔබට ගැලවිය හැකිය. සෑම වන්දනා වාරයකදීම පාහේ, වයෝවෘද්ධ පුද්ගලයන් හදිසි හෘදයාබාධවලට ලක්වීමේ සිදුවීම් වාර්තා වේ. ඒ පිළිබඳව වන්දනා නඩවල පිරිස් සිහි තබා ගත යුතුය. එසේම, අත්‍යවශ්‍ය දේවල් හැරුණු කොට, අනවශ්‍ය දෑ වලින් ඔබගේ ගමන් මල්ල පුරවා ගෙන නොයාමට ද වග බලා ගැනීමෙන් ඉතාමත් පහසුවෙන් සිරිපා කරුණා කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, ඔබගේ හැසිරීම හා ඇඳුම් පැළඳුම්, වන්දනා ගමනකට උචිත පරිදි සකස් විය යුතුය. සිරිපා වන්දනාවේ යෙදෙන ඇතැමුන්ගේ හැසිරීමේ අසීලාචාරකම මෙන්ම ඇඳුම් පැළැඳුම්වල අසංවරශීලී බව ඉක්මවා ගිය අවස්ථාවන් සෑම වන්දනා වාරයකදීම පාහේ ආරක්ෂක අංශවලට වාර්තා වෙන සිද්ධීන් වේ.

 

අනාරක්ෂිත තැන්වල නාන්න යන්න එපා 

 

ශ්‍රීපාදය වන්දනා කිරීමට යාමේදී හෝ වන්දනා කර ආපසු ඒමේදී හෝ එම මාර්ග අවට ඇති ජලාශ, දිය ඇලි, ඇළ, දොළ, දිය කඩිති, වැව්, ගංගාවන් වැනි ස්ථානවලට බැස දිය නෑම හෝ වෙනත් අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට කටයුතු නොකිරීම සෑම දෙනෙකුම වග බලා ගත යුතු කරුණකි. දිය නෑමට ඇති ආරක්ෂිත සුදුසු ස්ථාවල පමණක් දිය නෑම සිදු කිරීම ඇති හොඳම නුවනක්කාර ක්‍රියාව වේ.

හිටි හැටියේ ජල මට්ටම වෙනස්වන මෝහිනී ඇල්ල 

මේ වෙනවිට ශ්‍රීපාද මාර්ගය අවට පිහිටි සියළුම ලොකු කුඩා ජලාශ, ඇළ, දොළ, වැව්, ගංගා, දිය ඇලි ආදියේ ජලය පිරී පවතින හෙයින් ඒවාට අනාරක්ෂිත ස්ථාවලින් බැස, දිය නෑම දැඩි සේ අනතුරුදායකය. මෙම මාර්ග අවට ඇති බොහෝ ජල පහරවල ජල මට්ටම හිටි හැටියේම ඉහළ යාමේ ප්‍රවණතාවයක්ද පවතී. මෝහිණී දිය ඇල්ල ඊට කදිම උදාහරණයකි. එබැවින් ඒ පිළිබඳව සියළුම වන්දනාකරුවන් දැඩි සේ සිතට ගත යුතු කරුණක් ලෙස හැඳින්විය හැක. මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවලත්, මස්කෙළි ඔයේත් දිය නෑමට යෑම අනතුරු සහිත බැවින් ඒ පිළිබඳවත් වන්දනා නඩ වඩාත් සැළැකිලිමත් විය යුතුය.

 

නියමිත තැන්වල රථවාහන ගාල් කරන්න 

 

ඔබ ගමන් කරනු ලබන රථ වාහන ගාල් කොට තබන ස්ථාන පිළිබඳව අවධානය යොමු කිරීම ද වටිනා දෙයකි. රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඔබගේ වාහන නියමිත ස්ථානවල පමණක් ගාල් කිරීමට පියවර ගත යුතුය. නවතා තබන සෑම රථයකම එම රථයේ යතුර ද අතතිව අයෙකු සිටී නම් එය බෙහෙවින් වටී. වන්දනාවේ යෙදීමට පෙර, ඔබ පැමිණි වාහනයේ අංකය, රියදුරාගේ දුරකථන අංකය, නඩේ මූලිකයාගේ දුරකථන අංකය ළඟ තබා ගැනීමෙන් පැන නගින විවිධ අපහසුතාවන්ට පිළියමක් වෙනු ඇත.

කඳුකරයේ බොහෝ ස්ථාන නායයාම්, ගල් පෙරළීම්, ගස් කඩා වැටීම්, පස් කඳු වැටීම් වැනි ආපදාවන්ට ලක්වීමේ අවදානමක් පවතින බැවින්, ඔබගේ රථය නවතන ස්ථානය පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුය. මස්කෙළිය ප්‍රාදේශීය සභාව මඟින්, වාහන නවතා තැබීමේ ස්ථාන පවත්වාගෙන යනු ලබන බැවින්, මුදලක් ගෙවා ඔබ යන වාහනය ද ඒවායේ ගාල් කොට තබා වන්දනාවේ යෙදිය හැක.

ඒ පිළිබඳව, අදහස් දැක් වූ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් මහතා

අප ප්‍රාදේශීය සභාව මගින්, අංග සම්පූර්ණ වාහන නැවතුම්පොළක් පවත්වාගෙන යනු ලබනවා. හැටන්, නල්ලතන්නිය මාර්ගය භාවිතා කරමින් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට ආරක්ෂාකාරීව මෙම ස්ථානයේ වාහන නවතා යා හැකියි. බස් රථයකට රුපියල් 500 ක්, කාර් හා වෑන් රථවලට රුපියල් 400 ක්, යතුරු පැදි හා ත්‍රී රෝද රථ සඳහා රුපියල් 150 ක් වැනි මුදලක් මේ වෙනුවෙන් සභාව අය කරනවා. මෙම රථ වාහන අංගනයේ රියදුරන්ට මෙන්ම බැතිමතුන්ට අවශ්‍ය යටිතල පහසුකම් හා ආහාර පිසගැනීමේ කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සකස් කොට තිබෙනවා.”

ශ්‍රී පාදයට පැමිණෙන බැතිමතුන් ඉවතලන කැළි කසළ ඉවත් කිරීමට අපිට වාර්ෂිකව විශාල මුදලක් වැය වෙනවා. පසුගිය ශ්‍රී පාද වන්දනා වාරයේදී ප්ලාස්ටික් බෝතල් ටොන් තුනකට වඩා අප ඉවත් කළා. අප සභාව මගින්, බැතිමතුන්ට කැළි කසළ බැහැර කිරීමට සුදුසු සෑම ස්ථානයකම කසළ බඳුන් ස්ථාපිත කොට තිබෙනවා. එම කසළ බඳුන්වල සඳහන් කොට ඇති කසළ වර්ගය පමණක් නියමිත ලෙස ඒවාට බැහැර කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා” යයි කීය.

සිරිපා වන්දනා කිරීමට යාමේදී හා නැවත ආපසු බැසීමේදී සිරිපා මාර්ගයේ පමණක් පිහිටි වැසිකිළි හා කැසිකිළි භාවිතා කිරීමට වන්දනාකරුවන් වගබලා ගත යුතුය. ඇතැම් වන්දනාකරුවෝ වැසිකිළි හා කැසිකිළි යාමට මාර්ගයෙන් පිටත පිහිටි ශ්‍රීපාද රක්ෂිත කැලෑව තෝරා ගනිති. එයින් ඔබේ ආරක්ෂාවට තර්ජනයක් සේම අන් අයගේ සෞඛ්‍ය තත්ත්වයටද එමෙන්ම ස්වාභාවික පරිසර පද්ධතියටද මහත් තර්ජනයක් බව ඔබ තරයේ මතක තබා ගත යුතුය. රාත්‍රි කාලයට කැලෑවට යාම තුළින් සතා සිවුපාවාගේ මෙන්ම ගල් අතරින් ලිස්සා වැටීම්ද සිදු විය හැකි අවදානම බහුලය. විශේෂයෙන්, ශ්‍රීපාද රක්ෂිතයේ කඳුකර කොටින්ද බහුලව සිටින අතර ඔවුන්ගෙන්ද එවැනි අවස්ථාවලදී විවිධ හානි සිදුවිය හැකිය.

මේ පිළිබඳව අදහස් දැක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා

ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැය කරනු ලබනවා. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පමණක්, වාර්ෂිකව මේ සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය කරමින් සිටිනවා. එසේ හෙයින්, මෙවර වන්දනා වාරයේදී සියලු‍ම බැතිමතුන් පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය සිරිපා අඩවියට රැගෙන ඒමෙන් තොරව පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”

ශ්‍රී පාදස්ථානය පිහිටා ඇත්තේ දැඩි ආරක්ෂිත ස්වාභාවික වනාන්තර පද්ධතියක් තුළයි. එබැවින් වන්දනාවේ පැමිණෙන සියලු‍ම පිරිස් අපද්‍රව්‍ය සිරිපා අඩවියට බැහැර කිරීම සිදු නොකළ යුතුයි. ශ්‍රීපාදස්ථානාධිපති හිමියන්ගේ අනුශාසනා හා උපදෙස් අනුව නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලු‍ම රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් බැතිමතුන්ට අවශ්‍ය මාර්ග පහසුකම්, ජලය, විදුලිය, යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් පොදු පහසුකම් සකස් කොට තිබෙනවා” යයි කීය.

 

මේ දුරකථන අංක සන්තකයේ තබා ගන්න 

 

ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන ඔබගේ නඩයේ සියළුම දෙනා සතුව හදිසි අවස්ථාවක දැනුම් දිය හැකි අයෙකුගේ දුරකථන අංකයක් සටහන් කොට තැබීම හොඳ ක්‍රියාවකි. වන්දනා නඩයේ කුඩා ළමුන් සිටීනම් එම දුරකථන අංකය ඔවුන් පැළැඳ සිටින ඇඳුමක නොගැලවෙනසේ සවි කිරීමද ඉතාමත් වැදගත්ය. එවිට, ඔවුන් අතරමංවීමකදී හෝ වෙනත් හදිසි අවශ්‍යතාවකදී සිදුවෙන විවිධ දුෂ්කරතා මගහරවා ගතහැක. එසේම ඔබට යම් කිසි හදිසි අවශ්‍යතාවක් සිදුවුවහොත් හැටන්, නල්ලතන්නිය හෝ රත්නපුර යන පොලීසියකට ඒ බව දැනුම් දිය හැකිය. එබැවින් මෙහි සඳහන් එම පොලිස් ස්ථානවල දුරකථන අංක සටහන් කර ගෙන වන්දනාවේ යෙදීම සෑම නඩයකටම ප්‍රයෝජනවත් වෙනු ඇත.

හැටන් පොලීසිය- 051-2222222

මස්කෙළිය පොලීසිය- 052-2277222

නල්ලතන්නිය පොලීසිය- 052-2055522 /052-2055500

ගඟු‍ලතැන්න, රතුඅම්බලම, ඉඳිකටුපාන යන පොලිස් මුරපොළ සම්බන්ධීකරණ - 052-2055522

රත්නපුර පොලීසිය- 045-2222222

සිරිපාගම පොලීසිය- 045-3471122

පලාබද්දල පොලිස් මුරපොළ- 011-5811676

පවනැල්ල පොලිස් මුරපොළ- 011-5811691

හැරමිටිපාන පොලිස් මුරපොළ- 011-5811351

ශ්‍රී පාද මළුව පොලිස් මුරපොළ- 011-5811681

කුරුවිට පොලීසිය- 045-2262222

මීට අමතරව ශ්‍රීපාදයට පිවිසෙන මාර්ගවල විවිධ ස්ථානවල ස්ථාපිත කොට ඇති පොලිස් මුරපොළවල් කීපයක්ද වේ. ඒවායේ දුරකථන අංක එම ස්ථානයන්ගේ ප්‍රදර්ශණය කොට තිබේ. මෙවරද ශ්‍රීපාද වන්දනා කරුවන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් පැය 24 පුරාම දියත් කොට ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිරිපා වන්දනා කිරීමේදී සිදුවෙන අනතුරු සහ රෝහල් ගත කිරීම් සඳහා පැය 24 පුරාවටම ක්‍රියාත්මක සුව සැරිය ගිලන් රථ සේවය සුදානමින් පවතී. ඒ සඳහා 1990 ඇමැතීමෙන් ඔබට එම සේවාව සම්බන්ධ කර ගත හැකිය. ඊට අමතරව, දික්ඔය මූලික රෝහල 051-2222261, මස්කෙළිය ප්‍රාදේශීය රෝහල 052-2277261 යන දුරකථන අංකවලට ඇමතුමක් දීමෙන් එහි සේවාවන්ද ලබා ගත හැකිය.

සිරිපා වන්දනාවේදී ඔබ දැනුවත්ව හෝ එසේත් නොමැති නම් ඔබ නොදැනුවත්ව කරනු ලබන යම් යම් වැරදි ක්‍රියාවන් මඟහැර ශ්‍රීපාදස්ථාන පුද බිමේ ගෞරවය මෙන්ම පරිසරයේ සුන්දරත්වය රැකගනිමින් කටයුතු කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම හැකි සෑම විටම අනෙකාට ගරු කරමින්, අවනත වෙමින් ශ්‍රීපාදස්ථාන වන්දනාවේ යෙදීමට කටයුතු කිරීම අතිශය වැදගත් කරුණකි. අතීතයේ අපේ මුතුන් මිත්තන් වන්දනාවේ යෙදුණු අයුරින්, ඉතාමත් විනීතව හා සංවරව ගමනාන්තය අවසන් කිරීමට වගබලා ගැනීම වර්තමාන ඔබගේද යුතුකම හා වගකීම ලෙස සිහි තබා ගත යුතුය.

 

 

 



අදහස් (2)

සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා

Kirikodu Monday, 25 December 2023 05:56 PM

ඉතාමත් සාර්ථකව අදහස් ඉදිරිපත් කර තියෙනවා. ඔවුන්ට ස්තුතියි.. මෙහිදී දකුණු පැත්තේ යන්න කිව්වාට සමහරක් අය යන්නේ මහාමාර්ගවල වාහන ධාවනය කරන පැත්තේ තමයි... ඒත් දකුණු පැත්තේ කියන්නේ තමන්ගේ දකුණු අත තියෙන පැත්තේ කියලා තේරුම් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි...! 

:       0       2

sam Wednesday, 27 December 2023 02:13 AM

සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා නම් සිරිපා වැඳීමට පැමිණෙන කණ්ඩායම් නායකයින් හෝ නඩයේ නායකයින්, මගපෙන්වන්නම්, කවුරුන්ද? පිළිබඳව සිරිපා කරුණාවට පෙර කණ්ඩායමේ නායකත්වය ගන්නා පුද්ගලයා ආරම්භයේ සිට අවසානය දක්වා වගකීම වචනයෙන් නොව ප්‍රායෝගිකව ක්‍රියාකර ඔහු සමග පැමිණෙන්නාවූ කණ්ඩායම හසුරුවා ප්ලාස්ටික් හා පොලිතීන් සහ වෙනත් ද්‍රව්‍ය පරිසරයට හානිවන ආකාරයට අතරමග දමා යාම වෙනුවට නොදැමීමට සහ සුදුසු තැන්වල බහාලීමට සහ සෞඛ්‍ය නීතිරීතිවලට අවනතව කටයුතු කිරීමට කණ්ඩායම මෙහෙයවිය යුතු බව උපදෙස් ලබාදිය යුතුවේ. "2024 සිරිපා වන්දනාව ප්ලාස්ටික් හා පොලිතීන් වලින් තොරව පරිසරය කරමු" මැයෙන් සිරිපා කරුණාව ආරම්යේභදීම ඔවුන් දැනුවත් කරන්න සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා... ලිපිය ඉතාම කාලෝචිත සහ වන්දනාකරුවන් අනුගමනය කළයුතු වන්නේ මොනවාද යන්න පැහැදිලි කරදීම අගය කරමු...

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 78 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 22 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 468 3

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 120 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 763 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 338 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1739 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site