IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලිව්වේ ගුවන් විදුලියට

(ජුනි මස 3 වැනි දාට යෙදෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 110 ජන්ම සංවත්සරය වෙනුවෙනි)

විසිවැනි සියවසේ සිංහල සාහිත්‍යය, විචාර කලාව හා  නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල  අභිවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් හා බුද්ධිමය සම්ප්‍රදානයක් ලබා දුන් කීර්තිමත් ශාස්ත්‍රාලයීය විද්වතකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996) තම ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ජීවිතය විශ්වවිද්‍යාල දේශනවලට පමණක් සීමා නොකළේය. 

සිය ශාස්ත්‍ර කලා ජීවිතයේ දී පුවත්පත, ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය මෙන්ම  නාට්‍යය වැනි කලා මාධ්‍ය භාවිත කරමින් පාඨක, ශ්‍රාවක හා  ප්‍රේක්ෂක ජනයා අතර උසස්  රසඥතාවක් ඇති කිරීම සඳහා අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ එදිරිවීර සරච්චන්ද්‍රයන් ඉටු කළ   සන්නිවේදන භූමිකාව විද්‍යාර්ථීයකුගේ අවධානයට ලක් විය යුතු මාතෘකාවකි. ඒ මෙහෙවර ලු‍හුඬින් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

1930 දශකයේ දී කොළඹ පිහිටි ලංකා යුනිවර්සිටි කොලීජියේ දී ශාස්ත්‍ර හදාරා ඉන් පසුව ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ද ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රීය ශික්ෂණයක් ලැබ ලංකා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස 1940 දශකයේ සිට විශ්වවිද්‍යාල ප්‍රජාව සමග කටයුතු කළ එදිරිවීර සරච්චන්ද්‍ර නූතන සිංහල නාට්‍ය කලාවේ පුනරුදයක් ඇති කිරීමටත් සිංහල විචාර කලාවෙහි මංපෙත්  හෙළි පෙහෙළි කරන්නටත් පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය.සිය දිවියේ තුරුණු වියේ සිටම සරසවි වරම් ලබා ගැනීම සඳහා සරච්චන්ද්‍ර තුළ පැවැති නොතිත් ආශාව ඔහුගේ ජීවන චාරිකාව විමසන විට පැහැදිලි වන්නකි. ඒ පිළිබඳ බොහෝ තොරතුරු ඔහු විසින් 1985 දී රචනා කරන ලද පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ ඇතුළත් වේ.  භාරතීය සංස්කෘතිය ඇතුළු පෙරදිග භාෂා සාහිත්‍යය පිළිබඳව මහත් ලෙස ආකර්ෂණය වී සිරි සරච්චන්ද්‍ර 1933 දී යුනිවර්සිටි කොලීජියට ඇතුළු වූ පසු තම අධ්‍යයන විෂයයන් ලෙස තෝරා ගත්තේ සංස්කෘත, පාලි හා සිංහල යන ඉන්දු-ආර්ය විෂය ක්ෂේත්‍රය යි. එසේම සංගීත විෂයයෙහි පැවති මහත් ආසාව නිසා මේලා හා ගාන්ධර්ව සභා ආදියේ කටයුතුවලටත් සම්බන්ධ වී ඇත. එකල යුනිවර්සිටි කොලීජියේ පෙරදිග භාෂා ඉගැන් වූ පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් ජන ගී හා වන්නම් ගායනයේ දක්ෂයකු වූ අතර ගුවන් විදුලියට ජන ගී හඳුන්වා දෙමින් පාරම්පරික සිංහල ජන ගී තැටිගත කිරීමට ද උපකාර කර ඇත.

1936 දී බී.ඒ. උපාධිය ලැබීමෙන් පසුව බම්බලපිටියේ සාන්ත පීතර විදුහලේ සේවය කොට පසුව ලේක්හවුස් ආයතනයේ රැකියාවකට යොමු වූ කාලයේ දී තම මුල් නම වූ ඉයූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා යන්න වෙනස් කොට එදිරිවීර සරච්චන්ද්‍ර නමින් ප්‍රකට වන්නට විය.  මේ කාලයේ දීම සරච්ච්න්ද්‍ර සිංහලයන්ගේ බටහිරකරණ සිරිත් විරිත් හා ආකල්ප පිළිබඳ ලිපි පෙළක් ‘ප්‍රබුද්ධ ලංකා’ නමින් Daily News  පුවත්පතට  සපයා ඇත. එකල ලේක්හවුසියේ සේවය කළ අවදියේ දී දිනමිණ කර්තෘ පදවිය දැරූ මාර්ටින් වික්‍රමසිංහ දැන හැඳින ගැනීමේ අවස්ථාව ද සරච්ච්න්ද්‍රට ලැබෙයි. වික්‍රමසිංහ තමා හමුවන්ට ආවේ Daily News පුවත්පතට සැපයූ ලිපි කියවා මා ප්‍රකාශ කළ අදහස්වලට කැමති වූ”  නිසා බව සඳහන් වේ.

පුරා වසරක කාලයක් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සිට ලක්දිවට දෙවසරකට පසුව එනම් එදා 1942 දී යාපනයේ පළ වූ Kesari  නම් සඟරාවට සරච්චන්ද්‍ර සැපයූ  ලිපි පෙළින් පැහැදිලි වන්නේ  පුවත්පත් සඟරාදි මාධ්‍ය මගින් තම අදහස් පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට  සරච්ච්න්ද්‍ර තුළ පැවැති අභිප්‍රාය යි. Through Santiniketan Eyes (ශාන්ති නිකේතනයේ ඇසින්) නමින් ඉංග්‍රීසියෙන් ලියැවුණු එම ලිපි මගින් තම ඉන්දියානු අත්දැකීම්වල ස්වභාවය මෙරට ජනයා සමග බෙදාහදා ගැනීමට සරච්චන්ද්‍ර උත්සාහ දරා ඇත.

ශාන්ති නිකේතනයේ සිට පැමිණී පසු කලක් ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේත් ඉන්පසුව සිංහල ශබ්ද කෝෂයේත් සේවය කළ සරච්චන්ද්‍ර  කොළඹ ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව 1944 දී එහි පාලි අංශයේ කථිකාචාර්‍යවරකු ලෙස තම සරසවි ඇදුරු දිවිය ආරම්භ කළේය.  සරච්චන්ද්‍ර එම අවදියේ සිට ම වඩාත් උනන්දුවක් දක්වා ඇත්තේ නාට්‍ය නිෂ්පාදනය හා ලේඛන කලාව කෙරේය. උසස් රසඥතාවකින් යුක්ත ජන කොට්ඨාසයක් බිහි කර ගැනීම සඳහා පුවත්පත් ගුවන් විදුලිය වැනි මාධ්‍ය භාවිත කිරීමට සරච්චන්ද්‍ර තුළ පැවති උනන්දුව ඔහුගේ විශ්වවිද්‍යාල වෘත්තියේ දක්නට ලැබුණු වැදගත් ලක්ෂණයකි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දී පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කොට 1949 දී පමණ පෙරළා  ලක්දිව පැමිණි සරච්චන්ද්‍ර ගුවන් විදුලි නාට්‍ය කෙරේ අවධානය යොමු කර ඇත. ඔහුගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’  කෘතියේ එක් කොටසක් වෙන් කර ඇත්තේ ‘රේඩියෝ වැඩ හා නාට්‍ය අභ්‍යාස’ යනුවෙනි. පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා  එංගලන්තයේ ගත කළ කාලයේ දී බීබීසී වැනි ආයතනයක ගුවන් විදුලි ආකෘතිය හොඳින් අවබෝධ කර  ගැනීමට සරච්චන්ද්‍රට අවස්ථාව ලැබී ඇත. එසේම බීබීසී ආයතනයෙන් විකාශය කළ රේඩියෝ නාට්‍යවලට සවන් දීමෙන් ලැබූ අවබෝධය මත “ සිංහල රේඩියෝ නාට්‍ය”  දියුණු කළ හැකි ආකාරය ගැන සිලෝන් ඔබ්සර්වර් පුවත්පතට ලිපි සම්පාදනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලියේ ‘යෞවන සමාජය’ නමින් අලු‍ත් වැඩසටහනක් ආරම්භ කිරීමට සරච්චන්ද්‍රට ආරාධනාවක් ලැබිණි.

සරච්චන්ද්‍ර ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ එම සේවාව ‘රෙඩියෝ සිලෝන්’ නමින් හැඳින්වුණු 1950 දශකය ආරම්භයේ දී ය. ගුවන් විදුලිය එකල තිබුණු එකම විද්‍යුත් සන්නිවේදන මාධ්‍යය විය. 1949 දී ජෝන් ලැම්ප්සන් ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වූ  අතර සරච්චන්ද්‍ර සමග යුනිවර්සිටි කොලීජියේ දී අධ්‍යාපනය ලැබූ එම්.ජේ. පෙරේරා 1952 දී අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වීම මෙරට ගුවන් විදුලි සන්නිවේදනයේ වැදගත් සන්ධිස්ථානයකි.  

සරච්චන්ද්‍රගේ ගුවන් විදුලි සන්නිවේදන මෙහෙවර ආරම්භ වන්නේ 1950 දී ඇරඹුණු ‘යෞවන සමාජය’ වැඩ සටහන් මාලාවෙනි. මේ වැඩසටහන නිසා තරුණ කලාකරුවන් හා කලාකාරයන් කිහිප දෙනෙකු සොයා ගැනීමටත් පසුව ඔවුන් සමග එක්ව ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කිරීමටත් සරච්චන්ද්‍රයන්ට අවස්ථාවක් ලැබිණි. “ශ්‍රාවකයන්ගේ රුචිකත්වය උසස් මට්ටමකට නැංවීමට”  සරච්චන්ද්‍රයන්ට තිබූ බලවත් වුවමනාව නිසා පී. වැලිකල වැනි ශිල්පීන් සමග එක්ව ගුවන් විදුලි නාට්‍ය දියුණු තත්වයකට පත් කිරීමට කටයුතු කර ඇත. මේ අවදියේ දී සිංහල නාට්‍ය කලාවේ දේශීය රීතියක් සොයා පාදා ගැනීමට පර් යේෂණයේ යෙදුණ සරච්චන්ද්‍ර, සිංහල නාඩගම් සංගීතයේ මිහිරි බව ගුවන් විදුලි ශ්‍රාවකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේගේ සින්දු හොඳ කටහඬ ඇති පිරිසකට පුහුණු කොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට ද පියවර ගෙන ඇත. එසේම 1953 දී එම්.ජේ. පෙරේරා ආරම්භ කළ තරංගණි’ නම් මාසික ගුවන් විදුලි සඟරාවට දේශීය කලා ශිල්ප හා සංස්කෘතික අංග පිළිබඳව මහාචාර්ය සරච්චන්ද්‍ර ලිපි සපයා ඇති අතර එම සඟරාව උගතුන් හා උසස් අධ්‍යාපනය ලැබූ විද්‍යාර්ථීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

1950 - 60  දශකවල දී ගුවන් විදුලිය වෙනුවෙන් තම නිර්මාණ දායකත්වය ලබා දුන් වෙනත් වැඩසටහන් අතර ද්විතීය සංග්‍රහය, ශාස්ත්‍රීය සංග්‍රහය, ගුවන් විදුලි රඟමඬල හා විශ්ව සාහිත්‍යය යන වැඩසටහන් කැප වී ඇත්තේ දේශීය සංගීතය, නාට්‍ය හා  බුද්ධිමතුන්ගේ අදහස් සාකච්ඡා කිරීම සඳහා ය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා වෙනත්  උගතුන්ගේ සහාය ඇතිව සම්පාදනය  කරනු ලැබූ ශාස්ත්‍රීය සංග්‍රහයට  ඇතුළත් වූයේ වඩාත් ශාස්ත්‍රීය වූත් සංස්කෘතික හා අධ්‍යාපනික වටිනාකමින් යුත් වැඩ සටහන් ය. එමෙන්ම ඇතැම් විෂයන්හි පර්යේෂණාත්මක තොරතුරු ශාස්ත්‍රීය සංග්‍රහය’ වැඩසටහන සඳහා යොදා ගත්තේය.  එකල උසස් අධ්‍යාපනයේ යෙදී සිටී විද්‍යාර්ථීන්ගේ ආකර්ෂණය දිනාගත් මේ  වැඩසටහන් නිසා ගුවන් විදුලියට ඉහළ මට්ටමක ශ්‍රාවක ප්‍රතිචාර ලැබිණි. සරච්චන්ද්‍රගේ උපදෙස් සහිතව ‘ශාස්ත්‍රීය  සංග්‍රහය’ සැලසුම් කොට නිෂ්පාදනය කිරීමේ වගකීම පැවරී තිබුණේ ප්‍රකට ගුවන් විදුලි සන්නිවේදකයකු වූ එච්. එම්. ගුණසේකරට ය.

සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලියා ඇත්තේ ද ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම  සඳහා ය. ඒවා පසුව රංග භූමිය සඳහා සකස් කොට නිෂ්පාදනය කර ඇත. ‘රත්තරන්’, වළ ඉහගෙන කෑම, තරුණ ලේඛකයා, සත්ව කරුණාව, එලොව ගිහින් මෙලොව ආවා,  පේමතෝ ජායතී සෝකෝ  එවැනි නාට්‍ය අතර වෙයි. ගුවන් විදුලියට  නිර්මාණය කරන ලද බොහෝ නාට්‍ය කෘති ඒකාංගික නාට්‍ය වශයෙන් පසුව රංග භූමියට ගැනීම සන්නිවේදන සම්ප්‍රදායක් වූ අතර ගුවන් විදුලි මාධ්‍ය මගින් අපූරු රංග කාව්‍යයන්  කළ හැකි වූ බවත් විධිමත් ලෙස පෙන්වා දෙන ලද්දේ සරච්චන්ද්‍ර විසිනි.

 එසේම රටේ ප්‍රකට සිංහල ලේඛකයන්ගේ නිර්මාණ රාශියක් ගුවන් විදුලියට සුදුසු පරිදි සකස් කොට ප්‍රචාරය කිරීම ද 1950 දශකයේ දී දක්නට ලැබුණකි. මාර්ටින් වික්‍රමසිංහගේ රෝහිණී, ගම්පෙරළිය වැනි නවකතා ද ගුවන් විදුලි නාට්‍ය ලෙස කොටස් වශයෙන් ප්‍රචාරය වී ඇත. ගුවන් විදුලි නාට්‍යවල තත්වය දියුණු කිරීම සඳහා පිහිටුවන ලද නාට්‍ය අත්පිටපත් උපදේශක කමිටුවේ ද නාට්‍ය නිෂ්පාදන උපදේශක කමිටුවේ සරච්ච්න්ද්‍ර සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. මේ අනුව එකල ‍රේඩියෝ සිලෝන් (Radio Ceylon) නමින් හැඳින්වුණු මෙරට ගුවන් විදුලි සේවාවේ ‘ස්වදේශික මුද්‍රාව’ තැබීමට දායක වූ විද්වතකු ලෙස සරච්චන්ද්‍ර සිදු කළ මෙහෙවර විදවතුන්ගේ ඇගයීමට ලක් වී ඇත.

එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය නිෂ්පාදන කටයුතුවලට පුවත්පත් හා ගුවන් විදුලි මාධ්‍ය මගින් ලැබුණු විවේචන හා ප්‍රතිචාර ගැන ද මෙහි දී අවධානය යොමු කළ යුතු ය. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාමය වඩාත්  ප්‍රකට වන්නට වූයේ 1950 - 60 දශකවල දී මනමේ, සිංහබාහු වැනි නාට්‍ය නිෂ්පාදනය කිරීම නිසා ය. එම නිර්මාණ පිළිබඳ බොහෝ තොරතුරු හා විචාර එකල පුවත්පත්වල පළ වී ඇත. මනමේ නරඹා චන්ද්‍රරත්න මානවසිංහ ලංකාදීප පුවත් පතට ලියූ ‘වගතුග’ තීරු ලිපිය එවැන්නකි. ගුවන් විදුලි ශිල්පීන් පමණක් නොව එකල සිටි සිංහල - ඉංග්‍රීසි පුවත්පත් කලාවේදීන් ද ළඟින් ඇසුරු කළ සරච්චන්ද්‍ර තම නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය දායකත්වය ඔවුන් සමග බෙදා හදා ගත්තේය.

1950 දශකයේ පමණ සිට සිංහල පුවත්පත් සඟරා සඳහා ලිපි සම්පාදනය කළ ලේඛකයන් අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට ලැබෙන්නේ ඉහළ තැනකි. ආරම්භයේ දී Daily News, Observer  වැනි ඉංග්‍රීසි පුවත්පත්වලට මෙන්ම වෙනත් විදේශීය සඟරාවලට පවා ලිපි සපයමින් දේශීය භාෂා සාහිත්‍යය පිළිබඳ තොරතුරු ඉංග්‍රීසි උගත් සිංහල පාඨකයන් වෙත සන්නිවේදනය කිරීමට සරච්චන්ද්‍ර කටයුතු කර ඇත. පියවර, සංස්කෘති, වීමංසා වැනි විශ්වවිද්‍යාල මට්ටමින් පළ වූ  සඟරා සඳහා පමණක් නොව දිනපතා හා සතිපතා සිංහල පුවත්පත්වලට සරච්චන්ද්‍ර විසින් සපයන ලද ලිපි හා සාකච්ඡා නිසා නූතන සිංහල සාහිත්‍යය, නාට්‍ය කලාව හා සංස්කෘතිය පිළිබඳ බොහෝ අදහස් සිංහල පාඨක - විචාරක ප්‍රජාව වෙත සන්නිවේදනය විය. එකල සිංහල පුවත්පත් සඟරා සඳහා මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් ලිපියක් ලබා ගැනීමට එම සඟරාවේ ඉහළ තත්වය රැක ගැනීමට හේතුවක් ලෙස  සංස්කාරකවරු සිතූහ. දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ පුවත්පත් සඟරාදියට සරච්චන්ද්‍ර විසින් සපයන ලද ලිපි ලේඛන එකතු කොට සාර සංග්‍රහයක් ලෙස පළ කරන්නේ නම් එය උසස් ශාස්ත්‍රීය සේවාවක් වනු ඇත.

(***)



අදහස් (0)

සරච්චන්ද්‍ර මුලින්ම නාට්‍ය ලිව්වේ ගුවන් විදුලියට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 245 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 613 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4824 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site