IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සතුන් දඩයමට ආණ්ඩුවේ වාහන සැපයීම රාජ්‍ය පිළිවෙතක්ද?

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අත්අඩංගුවට පත්වීමේ පුවත අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු සහ කිරිබත්ගොඩ හා කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත් අය බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කරන විට දේවානම්පියතිස්ස රජතුමා මුවන් දඩයමේ යමින් සිටියහ. අවසානයේ දුනු හී පසෙකලා තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට රජතුමා පත්වූහ. ලොව අනගිතම සංස්කෘතික උරුමයක් සහිත ජාතියක් බවට පත්වීමේ අසමසම වරම අපට හිමි වූයේ එමගිනි. එම අභිමානවත් උරුමය දෑසක්ව සුරැකීම සෑම පුරවැසියකුම ඉදිරිපිට ඇති අනුල්ලංඝනීය වගකීමකි. එහෙත් ඇතැම් පුරවැසියෙක් එමග නොයා අතීත ගල් ගුහා වෙත ගමන් කරති. තබ්බෝව අභය භූමියේදී කරුවලගස්වැව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට කොටුවී ඇත්තේ එබඳු තක්කඩියෝ තිදෙනෙකි.

සමාජයේ විවිධ පුද්ගලයන්ට විවිධ ආශාවන් පහළ වේ. එබඳු ආශාවන් අතර තමන්ම කැලෑවැදී තමන්ගේම අතින් සතුන් මරා ඒ මස් බුදීමේ ආශාව එකකි. තමන්ට අයත් නොවන දේපොළ පරිහරණය කිරීමේ ආශාව තවත් එකකි. අන්සතු ඉඩම් අල්ලා ගැනීමේ සිට රජයේ වාහන අවභාවිත කිරීම දක්වා එය විහිද යයි. ගිනි අවි, කඩු කිණිසි, කිරිච්චි, සයිකල් චේන්, ඩප්පි ආදියෙන් හරඹ දැක්වීමේ ආශාව ද එබඳු අමුතු ආශාවකි. තබ්බෝව අභය භූමියේදී කොටු වූයේ එබඳු අමුතු ආශාවන් ඇති තක්කඩියෝ තිදෙනෙකි. මෙබඳු තක්කඩියන්ගේ තවත් එක් පොදු ලක්ෂණයක් වනුයේ රටේ නීති රීති තඹ දොයිතුවකට මායිම් නොකිරීමය. වන සතුන්ට භයෙන් තොරව ජීවත් වීමට ඇති අභය භූමියකට ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන භයකින් තොරව ඇතුල් වන්නේ එහෙයිනි.

මිනිස් මනසේ සාමාන්‍ය ස්වරූපය වන්නේ වැරැදි දේ කිරීමෙන් අපමණ සොම්නසට පත්වීමය. එමගින් තම මනස මුදාගෙන වඩාත් යහපත් දෙය කිරීමෙන් සොම්නසට පත්වන මනසක් නිර්මාණය කර ගැනීමට ශිෂ්ට මිනිසා සමත් වේ. මිනිසා යන්නෙහි අර්ථය වන්නේ ද මනස උසස් කළ හැකි යන්නය. එහෙත් මනස එසේ උසස් තත්ත්වයට පත් කර ගත නොහැකි ගෝත්‍රිකයෝද සිටිති. තබ්බෝව අභය භූමියේදී කොටු වූයේ එබඳු ගෝත්‍රිකයෝ තිදෙනෙක් වෙති.

රාජ්‍ය අමාත්‍යාංශයක වාහනයක් මෙම තක්කඩියන් තිදෙනාට පරිහරණය කිරීමට අවස්ථාව හිමිවූයේ කෙසේද යන්න හෙළිකර ගත යුතුය. රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් මෑත කාලයේ තරම් ප්‍රාණවත් සංවාදයක් ඊට පෙර නොතිබුණි. එයට හේතුව රාජ්‍ය දේපොළ සඟසතු දේපොළ මෙන් සලකා කටයුතු කළ දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ද බහුල වීමය. එහෙත් පසු සමයේදී රාජ්‍ය දේපොළ දන්සැල් බවට පත් කර තම ඥාති හිතමිත්‍රාදීන් අතරේ හිරිකිතයකින් තොරව බෙදා හැරීමේ ප්‍රවණතාවක් මතු විය. ඉකුත් යහපාලන සමයේදී ඊට පෙර පැවැති ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ චෝදනා එල්ල විය. ඇතැම් දේශපාලනඥයන්ට හිරේ විලංගුවේ වැටීමට ද සිදු විය.

එකී අතීතය මෙතරම් ඉක්මනට අමතක වීම කිසිසේත්ම යහපත් නැත. රජයේ වාහන අවභාවිත කිරීම මෙන්ම එයට ආධාර අනුබල දීම ද සාපරාධී වරදකි. විශේෂයෙන්ම උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කරන්නැයි උපදෙස් දී ඇති පරිසරයක රාජ්‍ය අමාත්‍යාංශයක වාහනයක් මෙසේ අයාලේ යාමට ඉඩ හැරීම එම අමාත්‍යාංශයේ පරිපාලනය කෙබඳු දැයි ඔප්පු කිරීමකි. එහෙයින් මෙම සිදුවීම සරලව නොගෙන ගැඹුරින් ගෙන නිසි විමර්ශනයක් කළ යුතුය.

අභය භූමියක් වෙන් කර තිබෙන්නේ වන සතුන්ට නිදහසේ බියකින් තොරව ජීවත් වීමටය. එම වන සතුන්ට බාධාවක් හා හිංසාවක් නොකර එම වන සතුන් නැරඹීමේ අවස්ථාව ජනයාට දී තිබේ. එසේ නොමැතිව ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන ගොස් එම වන සතුන් මරා, මස් අනුභව කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම්වලට ඉඩ නැත.

අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් එක් අයකුගේ නිවෙසේ තිබී වියළි මස් ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ඒ අනුව මොවුන් වෘත්තීය මස් වැද්දන් යැයි හඳුනා ගැනීම වැරැදි නැත. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂධුරය මස් වැද්දාගේ නිරුවත වසා ගැනීමට යොදා ගත් පිරුවටයක් විය හැකිය. මෙම පිරුවටය ගලවා ඉවත් කර උපරිම දඬුවම් පැමිණවිය යුතුය. ඒ අනාගත පරපුරට ඉගෙන ගැනීම සඳහාය.

(***)



අදහස් (1)

සතුන් දඩයමට ආණ්ඩුවේ වාහන සැපයීම රාජ්‍ය පිළිවෙතක්ද?

pakeer Thursday, 29 July 2021 02:05 AM

ඇඳුම් නැතිව කැලේ ඇවිද්දවන්න ඕනේ... සත්තුන්ට පේන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 385 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 107 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 793 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site