නිල්වන්ව දිලෙන දියවරින් සපිරි සමුදුර පසුබිම්වද ගොඩනැගුණු ඉතිහාසයක් ශ්‍රී ලාංකික අප සතුය. අතීතයේ එක් එක් කාලපරිච්ඡේදවලදී ප‍්‍රධාන වශයෙන්ම වෙළඳාම අරමුණු කරගෙන මුහුදින් පැමිණ ගොඩබට විවිධ මානවයන් පිළිබඳව පුවත් ඉතිහාසය සොයා යන ගමනකදී මුණ ගැසෙයි. අපේ මහ පොළොවේ උපන් මුතු මැණික් ඇත්දළ ආදී වටිනා සම්පත් නොරටුන්ගේ අයිතියට පත් වූයේ මේ ආගිය ගමන්වල එක් ප‍්‍රතිඵලයක් හැටියටය. 15 වැනි සියවසේ දී චීන නාවික හමුදාව මැදපෙරදිග සංචාරය කර ලංකාවටද පැමිණ ඇති බවත්, ලංකාවේ මුහුද වටේටම ඔවුන් සංචාරය කර ඇති බවත් ඉතිහාසය ඔස්සේ කියවෙතැයිද මේ පිළිබඳව ඉතිහාසය සොයා යාමට චීනය ලංකාව අවට මුහුදේ සමුද්‍ර පුරාවිද්‍යා පර්යේෂණයකට අත ගසන්නට සූදානම් වෙතැයිද  යන ආරංචිය ඔස්සේ කරුණු විමසද්දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසුවේ පුරාවිද්‍යා ගවේෂණයට තවම චීනයට අවසර දී නැති බවය. අතීතයේ පටන් චීනය ලංකාව සමඟ පැවැත් වූ වෙළෙඳ සබඳතා, එහිදී ශ්‍රී ලංකාවේ මුහුද කේන්ද්‍රස්ථානයක් කරගත් පසුබිම මේ ආදි තොරතුරු සොයා යන්නට අප අදහස් කළේ මේ වාතාවරණය මධ්‍යයේය. මේ ඒ අතීතය සොය යන්නට දරන වෑයමයි. ගාල්ලෙන් හමුවූ තී‍්‍ර භාෂා ශීලා ලේඛනය ලෙස හඳුන්වන දෙමළ, චීන හා පර්සියන් යන භාෂා ති‍්‍රත්වයෙන්ම ලියැවුණු ශිලා ලේඛනය චීනය අතීතයේදී අප රට සමඟ වෙළඳ සබඳතා පැවැත්වූ බවට වන පැහැදිලිම ඓතිහාසික සාක්‍ෂියකි. ගාල්ලෙන් හමුවූ මෙම ශිලා ලේඛණය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙම ශිලා ලේඛනයෙන් කියවෙන්නේ මෙබන්දකි. දෙවුන්දර දෙවියන්ට චීන අධිරාජයා කියා ඇත්තේ වෙළඳාමේ එන මිනිසුන් ආරක්‍ෂා කර දෙන ලෙසය. ඒ වෙනුවෙන් තමන් දෙවුන්දර දෙවියන්ට රන්, රිදී, මුතු, මැණික්, සේද සළු, සඳුන් තෙල් වැනි බොහෝ වස්තු පූජා කරන බව එම ශිලා ලේඛනයේ සඳහන්ය. වර්ණනාත්මක ශෛලියෙන් ලියා ඇති එම ශිලා ලේඛනයේ මිනිසුන් ආරක්‍ෂාකර රැකදෙනමෙන් දෙවුන්දර දෙවියන්ගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත. මිංග් රජ පෙළපත යටතේ චීන අධිරාජ්‍යය පාලනය වූ යුගයේදී එම රජ පෙළපතේ යංග් ලී අධිරාජයා (කි‍්‍ර.ව 1360.1424) ලෝකයේ බටහිර දිගට තම බලසෙන් විහිදුවාලීමට පියවර ගත්තේය. එම අධිරාජයාට අවශ්‍ය වූයේ ඉන්දියානු සාගරයේත්, අරාබි මුහුදේත්, බටහිර දිගත් සමුද්‍ර බලය තහවුරු කර ගන්නටය.යංග් ලී අධිරාජයා එම කටයුත්ත පැවරුවේ අද්මිරාල් චෙංහෝටය. ඔහු දක්‍ෂ නාවික සෙන්පතියකු විය. චෙංහෝට මේ වෙනුවෙන් දිගු සමුද්‍ර චාරිකා හතක් සංවිධානය කර දෙන්නට යංග් ලී අධිරාජයා කටයුතු කළේය. මේ සියල්ලේ අරමුණ වූයේ ඉන්දියානු සාගරය මැදපෙරදිග හා බටහිර දිග පෙදෙස් තම වාණිජ කටයුතු වැඩි දියුණු කිරීම හා තහවුරු කිරීමය. එදවස චීනයේ සේද සලූ පිළි සමුද්‍ර සේද මාවත ඔස්සේ බටහිරට ප‍්‍රවාහනය කෙරුණි. කි‍්‍ර.ව 1405-1433 කාලයේදී චෙංහෝ නාවික සෙන්පතියා තම සමුද්‍ර චාරිකාවල යෙදී ඇති බවත් ඒ චාරිකාවලදී කිහිපවතාවක්ම ඔහු ලංකාවට ද පැමිණ ඇති බවත් ඉතිහාසය පිරීක්සීමේදී පැහැදිලිවෙයි. ඔහුගේ මෙම සමුද්‍ර චාරිකා චීන දේශය මහත් වීරත්වයකින් යුතුව පිළිගෙන ඇත. කි‍්‍ර.ව 1405 දී චෙංහෝ තමන්ගේ පළමු සමුද්‍ර චාරිකාව අරඹා ඇත්තේ නැගෙනහිර චීනයේ ෂුහු නුවරිනි. ෂුහු නුවර යනු එකල සේද රෙදි  නිපැයුමට ප‍්‍රසිද්ධියක් ඉසුලූ නගරයකි. ඉනික්බිති ක‍්‍රි.ව 1407, 1409, 1413, 1416, 1421 සහ 1430 යන කාලවලදී ඔහු ඉන්දියානු නගරයේත් අරාබි මුහුද ඔස්සේත් දිගු චාරිකාවල යෙදිණි. මේ සෙන්පතියා එහිදී ජාවා, මලක්කා, නිකොබාර් දූපත්, ඉන්දූනීසියාව, සියම, මාලදිවයින, වියට්නාමය, කාම්බෝජය, ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පිලිපීනය, අරාබිය, යේමන්,  ඕමාන්, කෙන්යාව, සෝමාලියාව, ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු රටවල් තිහක පමණ සමුද්‍ර චාරිකාවේ යෙදී ඇත. චීන ඉතිහාසය පවසන්නේ චෙංහෝ කිලෝමීටර් 50,000ක පමණ දුරක් මෙම සමුද්‍ර චාරිකාවලදී ගමන්කර ඇති බවත් නාවික භටයන් 27,000කට වඩා මෙම සමුද්‍ර චාරිකාවලට එක්වී ඇති බවත්ය. එමෙන්ම යොදා ගත් නැව් ගණන 300කට අධික බවද එකී තොරතුරුවල සඳහන්ය. කවුද මේ චෙංහෝ දැඩි ගති ගුණ සහිත මහමුහුදේ පරිණත අත්දැකීම් සහිත පළපුරුදු කාරයෙකු වූ චෙංහෝ වරක් තම සමුද්‍ර චාරිකා අතරතුර දී ඉන්දුනීසියාවේ පලෙන්බාන් පෙදෙසට පැමිණ ඇත. එහිදී ඔහුට අසන්නට ලැබුණේ චීන වෙළෙඳ නැව් කොල්ලකන කොල්ලකරුවන් පිරිසක් ගැනය. ඒ කොල්ලකරුවන් ජීවග‍්‍රහණයෙන් චීනයට ගෙන යන්නට චෙංහෝ සමත් වී ඇත. චෙංහෝ ලංකාවට පැමිණ ඇත්තේ තම ප‍්‍රථම සමුද්‍ර චාරිකාවෙදීමය. එනම් 1405 දීය. එම යුගයේදී කෝට්ටේ රජු වූයේ වීර අලකේෂ්වරය. චෙංහෝ ප‍්‍රතික්ෂේප කළ රජු ඔහුගේ ලංකා ගමනට විරෝධය ද දක්වා ඇත. එසේම මේ රජු චීන අධිරාජයාගේ වෙළෙඳ ප‍්‍රතිපත්තිවලට තම අකමැත්ත පළකර ඇති අතර මේ පසුබිම මත චෙංහෝට නැවත හැරී යන්නට සිදුවිය. එහෙත් 1411 දී ගාලූවරාය ඔස්සේ චෙංහෝ නැවත ලංකාවට පැමිණ ඇත. එවර ඔහු චීන අධිරාජයා දුන් තුටු පඬුරුද අප රටේ රජු වෙත රැගෙන ආවේය. කෝට්ටේ වැඩසිටි දළදාවහන්සේ වෙනුවෙන්ද පුදපඬුරු රැගෙන ආවේය.  එහෙත් එම වතාවේද වීර අලකේෂ්වර රජු චෙංහෝට විරුද්ධ වූ අතර එයින් කෝප ගැන්වුණු චෙංහෝ කළේ වීර අලකේෂ්වර රජු හා ඔහුගේ පවුලේ උදවිය ජීවග‍්‍රහයෙන් ගෙන චීනයට ගොස් සිරකිරීමය. තෙවසරකින්  එම රජු ප‍්‍රමුඛ පිරිස ලංකාවට පැමිණි බව සඳහන් වේ.චෙංහෝ වෙත පැවැරුණු වගකීමත් රාජකාරියත් වී තිබුණේ ඉන්දියානු සාගරයේත්, අරාබි සහ යුරෝපීය මුහුදේත් චීන වෙළෙඳ කටයුතු සඳහා පවතින බාධක ඉවත්කර දැමීමයි. 1407 දී ඔහු තම දෙවැනි දීර්ඝ සමුද්‍රචාරිකාව අරඹා ඇත. දෙවැනි වරට ඔහු 1411දී ලංකාවට පැමිණ ඇත්තේද මෙම චාරිකාවේදීය. එහිදී ඉහත සඳහන් කළ පුදපඬුරුවලට අමතරව 1911දී ගාල්ලෙන් හමුවූ ති‍්‍රභාෂා සෙල්ලිපියද චෙංහෝ රැගෙන විත් ඇත. චීන පුරා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සෙන්පති චෙංහෝ තම පිරිවරද සමඟ කිහිපවතාවක් ලංකාවට පැමිණ ඇති නිසා අපේ මුහුදු පත්ලේද චෙංහෝගේ ගමන් ගැන සාක්‍ෂි හමුවිය හැකි බවය. ඔවුහු සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා ලංකා රජයේ අවසර ඉල්ලති. චීන නියෝජිත පිරිසකගේත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් හා සමුද්‍ර පුරා විද්‍යාඥයන් පිරිසකගේත් සහභාගිත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත්දා පැවති අතර එහිදී හම්බන්තොට ආශ‍්‍රිත මුහුදේ සිට මන්නාරම තෙක් මුහුදු තීරයේ පත්ල ගවේෂණය කිරීමට චීන පුරාවිද්‍යාඥයන්ට අවශ්‍යව ඇති බව ප‍්‍රකාශ විය. ඉන්දියානු සාගරයේ ඉතා වැදගත් තැනක පිහිටි අමිල ධන නිධානයක් සේ ගිණිය හැකි අපරටට මුහුදු පත්ල එක්පැත්තකින් මහා ධන නිධානයකි. මෙවැනි ව්‍යාපෘතියක් කිරීමට චීනය අවසර ඉල්ලීම පිළිබඳව මෙන්ම ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සහ ඔවුන්ගේ අරමුණද අප පැහැදිලිව හඳුනාගැනීම වැදගත් වන්නේ මේ පසුබිම මතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආචාර්ය නිමල් පෙරේරා

සටහන - සංජීවිකා සමරතුංග