IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


වන අලි කොළඹට එන අලි ජාවාරම

බත්තරමුල්ලේ සිට රාජගිරිය දෙසට ධාවනය වූ ලොරියකි. එහි ඇත්තේ එක් ලාම්පුවක් පමණි. ලොරිය පිටුපස කොටසේ අලි පැටවෙකි. ඊට පිටුපසින් පරිසරවේදියකු සිය රථයෙන් මේ ලොරිය ලූහුබැද එන බව ලොරි රියදුරා, සහායකයා හෝ ඇත්ගොව්වා දන්නේ නැත. 

දහස් සංඛ්‍යාත පිරිසක් ඔබ මොබ යන මහා මාර්ගයේ එක් විදුලි ලාම්පුවක් සහිතව ලොරිය ධාවනය වෙමින් තිබේ. පරිසරවේදියා ඒ අතර මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටියේය. ඒ තවත් පරිසරවේදීන් පිරිසක් මේ ලොරිය ධාවනය වෙමින් පවතින පෙදෙසට ගෙන්වා ගැනීමයි. අවසානයේ ලොරිය කොටු කැර ගැණිනි. ඒ සඳහා පොලීසියේ සහාය ද ලැබිණි. අනපේක්ෂිත ලෙස පරිසරවේදීන් රැසක් ඒ වනවිට ලොරිය වටකැර තිබුණෙන් අලියා රැගෙන නිශ්චිත ස්ථානයට යාමට ලොරි රියදුරාට හැකිවූයේ නැත.

නමුත් කොළඹ නම ගිය පන්සලක හිමිවරුන්ගේ නම් කියා අලි පැටවා රැගත් ලොරිය පළා යාමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී ගියේය. පරිසරවේදීන් සමග මාධ්‍යවේදීන් රැසක් ද මේ මෙහෙයුමට සම්බන්ධ වී තිබිණි. එය ශී‍්‍ර ලංකාවේ මහ මග දී හොර අලි පැටවකු අල්ලාගත් ප‍්‍රථම අවස්ථාවයි.

වනජීවී වැටලීම් අංශයේ නිලධාරීහු ද පැමිණියහ. ඒ අතර අලි පැටවාට බලපත‍්‍ර ඇති බවත් ඒ හොර අලි පැටවකු නොවන බවත් පැවසීමට රටේ දේශපාලන බලවත්තු ඇතුළු අති බහුතරයක් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරමින් සිටියහ. කෙසේ වුවත් අලි පැටවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත් කැරිණි. අනතුරුව සිදුවූයේ ප‍්‍රකට හිමිනමක් පැමිණ පරිසරවේදීන්ටත් මාධ්‍යවේදීන්ටත් බැණවැදී වනජීවී නිලධාරීන් ද බිය ගන්වා අලි පැටවා රැගෙන යාමය. මග රැක සිට හොර අලි පැටවා ඇල්ලූ පරිසරවේදීන්ටත් එය මහ රෑ සජීවී ලෙස වාර්තා කළ මාධ්‍යවේදීන්ටත් සිය නිවෙස් බලා යාමට සිදුවූයේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ය. අලි හිමිකරුවන් යැයි කියාගත් අයගේ මැර හමුදාවක් පොලීසියේ ඇස් පනාපිට ම වනජීවී දෙපාර්තමේන්තුව වටකැර තිබිණි.
ඒ අලි පැටවා අල්ලාගෙන හොර අලි පැටවකු බව සනාථ කිරීමට පරිසරවේදීන් හා මාධ්‍යයෙන් ගත් උත්සාහය රටේ මහ බලවතුන්ගේ මැදහත් වීමෙන් යට ගිය ද ලංකාවේ කි‍්‍රයාත්මක හොර අලි ජාවාරමේ තරම කියාපාන්නට ඒ මෙහෙයුම ප‍්‍රමාණවත් වූයේය. එතැන් සිට දිග හැරෙන්නට වූයේ මහ පොළොව නුහුලන ආකාරයේ දැවැන්ත අලි ජාවාරමකි.

මව මරා පැටියා පැහැරගන්නා නොමිනිසුන් ගැන කතාන්තර, හබරණ අලි රංචු කෝච්චිය එන මාවතට එළවා මහ අලි කෝච්චියේ වද්දවා අලි පැටවුන් අල්ලා ගැනිමේ කතාන්තරයත්, වගා ළිං අටවා පැටවුන් අල්ලා ගන්නා ආකාරයත්, වාහන ආසන පටි යොදාගෙන කරන අලි මෙහෙයුමත් ටිකෙන් ටික අනාවරණය වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති හීලෑ අලි ඇතුන්ගේ තොරතුරු ඇතුළත් ලේඛණය හෙවත් අලි තෝම්බුව අතුරුදන් විය. එවැනි ලේඛණයක් අතුරුදන් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ම නිලධාරියකු හැර වෙනත් කිසිවෙකුට නොහැකි බව කිව යුතු නැත. වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළම පැලැන්තිය මේ හා සම්බන්ධ බවට පරිසරවේදීන් නැගූ චෝදනාව ඉන් සනාථ වූයේ තවත් සැකයක් ඉතිරි නොකරමිනි.

ශී‍්‍ර ලංකාවේ නිශ්චිත අලි බලපත‍්‍රයක් සහිතව ඇතිදැඩි කරන හීලෑ අලි ඇතුන් ප‍්‍රමාණයට වඩා හොර අලි පැටවු තොගයක් ඇතැයි යන්න පරිසරවේදීන්ගේ අදහසයි. එයට හොඳම සාක්කියක් වන්නේ පසුගිය දා හබරණ කැලයෙන් අලි පැටවුන් 63 දෙනකු කොළඹ ගෙනැවිත් ඇතැයි යනුවෙන් පරිසරවේදීන් නගන චෝදනාවයි. එහි සත්‍යයක් ඇතැයි යන්න පාසල් යන වයසේ දරුවාගේ පටන් රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලකයෝ පමණක් නොව නීතිය ආරක්ෂා කරන නිලධාරිහුද දනිති. විවිධ ආකාරයේ දණ්ඩනයන්ට ලක්කරමින් හොර රහසේ නීති විරෝධීව රඳවාගෙන සිටින අලි පැටවුන් අවම වශයෙන් හත් දෙනකු මේ වනවිට වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහා රාති‍්‍රයේ උඩවලවේ දී පැහැර ගැනීමට ලක්වූ අලි පැටවා ද පේරාදෙණිය රෝහලක වෛද්‍යවරයකු භාරයේ සිට අනතුරුව හොර රහසේ ම නිවෙසකට රැගෙන ගොස් අත්අඩංගුවට ගැණුනු අලි පැටවා ද ඒ අතර වෙයි.

පරිසරවේදීන්ගේ සංඛ්‍යාත්මක විග‍්‍රහයන්ට අනුව වනාන්තරවලින් අල්ලා මිනිස් භාරයට ගෙන ඇති අලි පැටවුන් සංඛ්‍යාව 65ක් පමණ වේ. මේ අලි සොරකම සම්බන්ධයෙන් වාර්තා වන්නේ හබරණ වනාන්තරයෙනි. මින්නේරිය, කවුඩුල්ල හා හබරණ සංචාරකයන් ගෙන යන ජීප් රථ කිහිපයක් යොදාගෙන මුල්ම සොරකම සිදුකැර තිබිණි.

elephnt_2015108L-5 
ඒ 2009 වර්ෂයේ දී ය. හබරණ ‘‘ආසිරිගම’’ ප‍්‍රදේශයේ පදිංචි පිරිසක් අලි හොරකම සිදුවන අයුරු හෙළිකළ බව වනජීවී නිලධාරීහු කියති.
හිංසාකාරී ලෙස රඳවාගෙන සිටි දෙවැනි අලි පැටවා සොයා ගන්නා ලද්දේ බලංගොඩ ප‍්‍රදේශයේ නිවසක කාමරයක් ඇතුළේ බැඳ දමා සිටිය දී ය. යළිත් කි‍්‍රයාත්මක වූ වනජීවී හදිසි වැටලීම් ඒකකය අතුරුගිරියෙන් තවත් අලි පැටවකු අල්ලා ගන්නා ලදී. මේ සැකකරුවා මහරගම පදිංචි ව්‍යාපාරිකයෙකි.

පරිසරවේදීන් විසින් මහ මගදී අල්ලාගන්නා ලද අලි පැටවාගේ සිද්ධිය වාර්තා වූයේ ඉන් අනතුරුවය. මේ අලි පැටවා පන්නිපිටියේ එක්තරා විහාරස්ථානයක සිට නාරාහේන්පිට ඇති තවත් විහාරස්ථානයකට ගෙන යමින් සිටිය දී අල්ලාගෙන තිබිණි. මේ සිදුවීමෙන් පසු කුපිත වූ හොර අලි ජාවාරම්කරුවෝ මාස කිහිපයක් තමන්ගේ හොර අලි පැටවුන් ප‍්‍රවාහනය කරද්දී ආයුධ සන්නද්ධ කිහිප දෙනකු සහිත ඩිෆෙන්ඩර් රථයක් ද ඒ පසුපසින් යැවීමට කටයුතු කැර තිබිණි. අලි හොරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවට එය හොඳ සාක්කියකි.
ඉන් පසු මීරිගම වලව්වකද, පන්නිපිටිය ඇරැව්වල ගැමුණු මාවතේ ද රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනකු ද පැවති රජයේ ප්‍රබලයකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් මහතාගේ නිවසෙන් ද අලි පැටවකු වනජීවී දෙපාර්තමේන්තුව පරීක්ෂා කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ තමන් සන්තකයේ සිටින අලියාට වලංගු බලපත්‍රයක් තිබෙන බවයි. එම අලියා වැටලීමට වනජීවී නිලධාරන් පැමිණෙන අවස්ථාවේ නිවසේ කිසිවකුත් නොසිටි බැවින් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් පසුව එය වනජීවී නිලධාරීන්ට ඉදිරිපත් කළ බවත් ගුණවර්ධන මහතා පැවසීය. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මහරගම ප්‍රදේශයේ අලි හිමිකරුවකුගෙන් තමන් මේ අලියා මිලදී ගත් බවයි.

රජය පෙරැළුණු පසු හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා සන්තකයේ සිටි අලියා තවදුරටත් නඩත්තු කළ නොහැකියැයි පවසමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කරන ලදී. ඒ අලියා ද හොර අලියකු බව පරිසරවේදීන් නගන චෝදනාවයි.

කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ළඟ සිටි අලි පැටවකු මැයි මස 13 වැනි දින බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට බාරදුන් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා කීවේය. එම අලි පැටවාට බලපත්‍රයක් නොතිබූ බවද ඔහු එදා මාධ්‍යයට පැවසීය. එදින ඔහු කියා සිටියේ ලියාපදිංචි නොකළ අලි ඇතුන් 11 කගෙන් 8 දෙනකු සොයාගෙන ඇති බවයි.  

උඩවලවේ ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවකු පැහැරගෙන යාමට සූදානමක් ඇතැයි ලැබුණු තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් හා පරිසරවේදීන් පිරිසක් එහි යන විට සොරකම සඳහා පැමිණි බවට සැක කළ හැකි ට‍්‍රැක්ටරයක් සොයා ගත හැකි විය. නිර්වින්දන ඖෂධ ලබාදීම හේතුවෙන් අඩ නිර්වින්ධන තත්ත්වයේ සිටි අලි පැටවා පැටවීමට අවශ්‍ය කඹ ඇතුළු උපකරණ තොගයක් ද තිබූ ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරයද ඒ සඳහා ම විශේෂයෙන් සකසා තිබිණි. අලියා ගෙන යාම හා වනජීවී වැටලිම පටිගත කළ මාධ්‍යවේදියකු  ට‍්‍රැක්ටරය පසුපස ආ සුඛෝපභෝගී ජීප් රථ දෙකක් ද රූපයට නැගුවේය.

ජීප් රථවලින් බැහැගත් පිරිස මාධ්‍යවේදියාට පහර දී කැමරාව උදුරා ගත්හ. අනාවරණය වූයේ මේ අලි පැටවා පැහැර ගැනීමට පැමිණ සිටියේ රටේ මහ බලවතෙකුගේ සොහොයුරියකගේ පිරිසක් බවයි.  

මේ සම්බන්ධයෙන් තවමත් නීතිය කි‍්‍රයාත්මක වී නැතැයි පරිසරවේදීහු පවසති. පොලීසිය ද අනුගමනය කරන්නේ උදාසීන පිළිවෙතකි.

DSC00488

උඩවලවේ අලියාගේ සිද්ධියෙන් දින කිහිපයකට පසු හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ නිලධාරියකු හොර අලි පැටවකු සමග පේරාදෙණියේ ගන්නෝරුව නිවසක දී වනජීවී නිලධාරීන්ට කොටුවූයේය.

සැකකරු මේ අලි පැටවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට ගෙන ගොස් එහි රඳවා තබා ඇත. පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරයකු මේ අලි පැටවාට ප‍්‍රතිකාර කැර ඇත. ඉන් අනතුරුව අලි පැටවා ගන්නොරුවට රැගෙන යන්නේ පා ගමනිනි. ගන්නෝරුවේ රණබිම කනිෂ්ඨ විද්‍යාලයට ආසන්න නිවෙසකට රැගෙන යන අලි පැටවා එහි රඳවා සිටිය දී වනජීවී නිලධාරීන් පැමිණ ව්‍යාජ බලපත‍්‍රයක් ද සමඟ අලි පැටවා අත්අඩංගුවට ගන්නේ අලි ජාවාරමේ තවත් අවස්ථාවක් හෙළිකැර ගනිමිනි.  

අදාළ වෛද්‍යවරයා පවසන්නේ තමන් කිසිදු නීත්‍යානුකූල නොවන දෙයක් කැර නොමැති බවයි.

මේ සියලූ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ ඉතා සංවිධානාත්මක ව මේ අලි පැටවුන් අල්ලා විකිණීමේ ජාවාරම සිදුවන බවයි. ඒ ජාවාරම පසුපස දේශපාලකයන්, ආගමික නායකයන්, සත් ගුණවත් මහා උපාසකවරු ලෙස පෙනී සිටින්නන්, රජයේ උසස් නිලධාරීන්, වනජීවී නිලධාරීන්, නීති අංශයේ උසස් නිලධාරින්, වෛද්‍යවරු මෙන්ම වනෝද්‍යාන ආසන්න පදිංචි මුදලට ගිජුවූ ගැමියන් ද සිටින බවයි.

අලි ඇල්ලීමේ ජාවාරම ආරම්භ වූයේ කැලයේ අතරමං වූ අලි ඇල්ලීමෙනි. පසුව බොරු වළවල් කපා අලි ඇල්ලීම දක්වා වැඩිදියුණු වූ මේ ජාවාරම ටික කලකින් මව මරා අලි පැටවා තනිකොට අල්ලා ගැනීම දක්වා අමානුෂික තත්ත්වයට පැතිරගියේය. දැන් පෙනෙන්නට තිබෙන්නේ හොර අලි ඇල්ලීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයෝ ඊටත් වඩා දියුණු වී ඇති බවය. මීරිගම වලව්වකින් සොයාගත් අලියාගේ උදරයේ තිබුණේ නිර්වින්දන ඖෂධ එන්නත් කිරීමේ දී සිදුවූ තුවාල බව පරිසරවේදීන්ගේ මතය විය. එය සනාථ වන්නේ උඩවලවේ දී පැහැර ගැනීමට උත්සාහගත් අලියා අර්ධ වශයෙන් නිර්වින්දනය කැර තිබීමෙනි. දැන් අලි හොරු කැලයේ සිටින අලි නිර්වින්දනය කර අල්ලති. අලි ගැන හොඳින් දන්නා පශු වෛද්‍යවරුන් මේ ජාවාරම පිටුපස සිටින බවට එය ද තවත් සාක්ෂියකි.

ජාතික වනෝද්‍යානයක් ආසන්න ගැමියකුගේ නිවසක් වැස්සෙන් කැඞී ගිය විට ඒ වෙනුවෙන් නව නිවසක් පරිත්‍යාග කරන ලද්දේ එක්තරා අලි සංගමයක ප‍්‍රජා සේවාවක් ලෙසිනි. මේ නිවස පරිත්‍යාග කරන උත්සවයට සහභාගි වූවන් අතර අලි හොරකමට සම්බන්ධ වූ පුද්ගලයන් රැසක් සිටිති. ඒ බව ඡායාරූප වලින් ද සනාථ කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව උත්සවයේ ආරාධිතයන් අතර අලි හොරකම හා සම්බන්ධයෙන් නම කියැවෙන මහේස්ත්‍රාත් වරයකු ද සිටියි. මෙවන් ප‍්‍රජා සේවාවකට පසුබිම වූයේ මේ ගමේ වැසියන් හොර අලි අල්ලා දීමේ දී විශාල කාර්ය භාරයක් ඉටුකිරීමයි. නිවෙස හිමිවූ පුද්ගලයා ද මේ හොර අලි අල්ලා ගැනීමට උපකාර කරන්නෙකි.

රුපියල් 25,000 ත් 50,000 ත් අතර මුදලක්, මත්පැන් බෝතල් කිහිපයක් හා වාහන බඳපටි හතරක් ලබාදුන් විට මේ හවුල් කරුවෝ අලින්ට උගුල් අටවා අලි පැටවුන් අල්ලා දීමේ දක්ෂයෝය.

කැලයෙන් අල්ලා කොළඹ ගෙන එන අලි පැටවුන්ට බලපත‍්‍ර සෑදීමේ ජාවාරම ද ජයටම සිදුකෙරෙමින් පවතී. 2009 වර්ෂයේ දී වනජීවී නීති සංශෝධනයේ දී අලියකුට පැටවකු බිහිවීමට සිටින්නේ නම් ඒ ගැන තොරතුරු දැනුම් දීම අවශ්‍ය බවත් අලි මවගේ සෞඛ්‍ය සම්බන්ධ අඛණ්ඩ තොරතුරු වාර්තා, පැටවා ප‍්‍රසූත කළ පසු පැටවා පිළිබඳ වාර්තා, පැටවා මියගියේනම් ඒ පිළිබඳ වාර්තා සියල්ල අවශ්‍ය බවට නීති සංශෝධනය කැරිණි. නමුත් සිදුව ඇත්තේ කැලයෙන් අල්ලාගෙන එන අලින්ට 2008 පෙර දින යෙදු බලපත‍්‍ර ලබා දී තිබීමයි. එවිට අලි පැටවාගේ මවගේ පැටිකිරිය අවශ්‍ය වන්නේ නැත. මේ අලි ජාවාරම්කරුවන්ගේ බලපත‍්‍රවල සටහන්ව ඇත්තේ 2008 දී ඉල්ලූම් කළ බලපත‍්‍රය 2011 සිට 2013 දක්වා වූ වසරවලදී ලබා දී ඇති බවයි. මේවා එකින් එක හෙළිදරව් වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුව සතුව තිබූ හීලෑ අලි සම්බන්ධ ලේඛණය හෙවත් අලි තෝම්බුව අතුරුදන් වූයේය. ඒ අලි ජාවාරම පිටුපස සිටින නිලධාරී පැලැන්තිය ආරක්ෂාවීමට යෙදු එක් උපායකි.  

අලි හිමිකරුවන් විසින් වරින් වර පෙන්වන බලපත‍්‍ර බොහොමයක් අත්සන් කැර ඇත්තේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසිනි. මේ බලපත‍්‍ර වැඩි ප‍්‍රමාණයක් හොර බලපත‍්‍ර බව පරිසරවේදීහු පෙන්වාදෙති. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් 2013 වර්ෂයේ ජුනි මස 20 දිනැතිව නිකුත් කැර ඇති අංක 358 හා අංක 359 දරණ අලි බලපත‍්‍ර දෙකම ව්‍යාජ බපලත්‍රය.

ඒ අලි දෙදෙනාගේ බලපත‍්‍ර නිකුත් කළ දිනයේ අලින්ගේ උස සටහන්ව ඇති ප‍්‍රමාණයත් ඉන් වසර දෙකකට පසු අලි පරික්ෂා කිරීමේ දී සඳහන් කැර ඇති උසත් අතර ඇත්තේ අඩියක් හා අඩි දෙකක් වැනි වෙනසක් පමණි. පරිසරවේදීන් පමණක් නොව වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් පවා පවසන්නේ මේ අලි දෙදෙනාගේ බලපත‍්‍රය අනුව උස නොගොස් ඇත්තේ අලි දෙදෙනාටම ඇත්තේ ව්‍යාජ බලපත‍්‍ර බැවිනි.

අංක 333 දරණ බලපත‍්‍රයක් ගැහැනු අලියකු වෙනුවෙන් 2012 මාර්තු 27 වැනි දින නිකුත් කැර ඇත. මේ බලපත‍්‍රය ලබා ඇති තැනැත්තා 2010 වර්ෂයේ මියගිය බවට මරණ සහතිකයක් රජය මගින් නිකුත් කැර තිබේ. ඒ අනුව පෙනී යන්නේ දැන් මැරුණු අලින්ට පමණක් නොව මියගිය මිනිසුන්ට ද අලි බලපත‍්‍ර ලැබෙන යුගයක් බවයි.

Scan20040

මියගිය පුද්ගලයාට දුන් බලපත්‍රය 

අලි හොර බලපත‍්‍ර කෙරුවාව සම්බන්ධ හොඳම සාක්කියක් ලැබෙන්නේ ඇරැවුවල නිවසක සිටින අලියකු ඇල්ලීමට වනජීවී නිලධාරීන් ගිය අවස්ථාවේ දී ය. ඒ අලි පැටවා වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බව කියන අංක 202 දරණ බලපත‍්‍රයක් පෙන්වූයේය. පසුගිය දිනවල දී හොර අලි වැටලීම්වලදී අංක 359 දරණ බලපත‍්‍රයක් ද සොයා ගැණිනි. 202 බලත‍්‍රයත් 2013 ජුනි 10 දින නිකුත් කැර ඇති 359 දරණ බපත‍්‍රයත් අතර කාලය අවුරුදු එකකි.

ඇත් අතුරු සෙවණෙන් හා පින්නවලින් ලබාදුන් අලි සහ හීලෑ අලින්ට ලැබුණු පැටවුන් හැර වෙනත් කිසිදු අලි පැටවකු මෙරට නිවෙස්වල සිටිය නොහැකිය. එලෙස පින්නවලින් දුන් අලි සංඛ්‍යාව 20ක් යැයි උපකල්පනය කළහොත් වසරක් ඇතුළත වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කැර ඇති බලපත‍්‍ර සංඛ්‍යාව 157 න් 137 දෙනකු නිවෙස්වල උපත ලබා සිටිය යුතුය. වනයෙන් හොර අලි අල්ලන්නේ නැතිනම් මේ තරම් අලි පැටවුන් නිවෙස්වල උපත ලැබුවානම් එය ලෝක වාර්තාවක් වනු ඇත.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතාගෙන් අලි බලපත්‍ර ලබා දීමේ නීත්‍යානුකූල භාවය ගැන විමසූ විට හෙතෙම මෙසේ කිවේය.

‘‘ අපි අලියකුට බලපත්‍ර ලබා දිමේ දී ඒ අලියාගේ පෙළපතේ සිට සොයනවා. මට වගකීමෙන් යුතුව කියන්න පුළුවන් මගේ අත්සනින් කිසිදු නීත්‍යානුකූළ නොවන ආකාරයේ බලපත්‍රයක් නිකුත් කරලා නැහැ. ශ්‍රී ලංකාවේ සිටින අලි ඇතුන් අතරින් යම් තැනක නීත්‍යානුකූල නොවන අලි රඳවා තබාගෙන සිටිනවානම් අපේ වැටලීම් අංශයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. එවිට අධිකරණයෙන් තමයි තීන්දුව ගන්නේ කරන්නේ මොනවා ද කියා. ව්‍යාජ බලපත්‍ර සාදා තිබෙනවානම් ඒ ගැනත් අධිකරණය සුදුසු ක්‍රියාමාර්ග ගනීවි. නමුත් අපි කවදාවත් ව්‍යාජ බලපත්‍ර සාදා හෝ ඒවාට අත්සන් කරලා හෝ නැති බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. “

අලි තෝම්බුව නැතිවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බැවින් ඒ ගැන කිසිවක් කිව නොහැකියැයි ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටියේය.

පසුගිය දා පත්වූ නව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අලි ගැටලුව සම්බන්ධයේන දැඩි උනන්දුවකින් කටයුතු කළේය. ඔහු වනජීවී කාර්යාලයට ගිය විට එහි සිටි නිලධාරින් කියා සිටියේ අලි තෝම්බුබ නැති නොවූ බවයි. එය ඔවුහු ඇමතිවරයාට පෙන්වූහ. අවසානයේ ඇමතිවරයා ඒ බව කියමින් මාධ්‍ය සාකච්ඡාවක් ද කැඳවා තිබිණි.

එය සැබෑවකි. අලි පොත හෙවත් අලි තෝම්බුව අස්ථාන ගත වූයේ නැත. නමුත් ඒ පොතේ අලි ජාවාරම ජයටම සිදුවූ පසුගිය වසර පහක කාලයේ දී කිසිවක් ලියා තිබුණේ නැත. අස්ථානගත වී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුව සතුව ඇති මූව්මන්ට් රෙජිස්ටර් හෙවත් හුවමාරු ලේඛණයයි. එවැනි හුවමාරු ලේඛණ ලෙස යොදා ගන්නා සී.ආර්.පොත් හයක් ඇති අතර අස්ථානගත වී ඇත්තේ තුන්වැනි පොතයි.

මේ ලේඛණ අතුරුදන් කිරීම අවශ්‍ය වන්නේ කැලයෙන් අලි පැහැරගෙන විත් ව්‍යාජ ලේඛණ සාදන්නන්ටය.

අපි මේ ගැන නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ අස්ථාන ගත වූ පොත සම්බන්ධයේන පරීක්ෂණ කඩිනම් කර ඇති බවයි.

පරිසර කටයුතු සම්බන්ධයේන විශාල කාර්ය භාරයක් කරන නිතීඥ ජගත් ගුණවර්ධන මහතා අලි සම්බන්ධ නීතිය මෙසේ පැහැදිලි කළේය.

‘‘වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලි ඇතුන් ලියාපදිංචිය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන දක්වා තිබෙනවා. එම පනතේ 23(1) වගන්තියේ දැක්වෙන්නේ නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයකුට අධිකරණයෙන් ලබා දෙන දණ්ඩනයන් ගැන. එවැනි දෙයකට වරදකරු වූ අයෙකුට රුපියල් ලක්ෂයකට නොඅඩු හා රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයක් හෝ අවුරුදු 10ට නොඅඩු හා අවුරුදු 20ට නොවැඩි කාලයක් සඳහා වන බන්ධනාගාර ගත කිරීමක් හෝ මේ දණ්ඩන දෙකටම යටත් කළ හැකියි. එවැනි දඬුවමකට යටත් විය යුතු අය කළ වරද නීත්‍යානුකූල බවට පත්කිරීම ගැන අපිට කිසිසේත්ම එකඟ විය නොහැකියි.

නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වාදෙන්නේ නීති විරෝධී ලෙස අලි ඇතුන් තමන් සන්තකයේ තබාගෙන සිටිම වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි සංඥය වරදක් බවයි.

වනජීවී විෂය භාරව කටයුතු කරන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසන්නේ මෙරට සිටින අවුරුදු පහළොවට වඩා වයසින් අඩු හීලෑ අලි ඇතුන් සියයට 99ක්  නීත්‍යානුකූළ නොවන හොර අලි බවයි.

මේ අලි පැටවුන්ගෙන් තෝරාගත් අලි පැටවුන් කිහිප දෙනකු නියැදියක් ලෙස ලබාගනිමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණනයක් කර තිබේ. එක් එක් අලියා වෙනුවෙන් වෙන වෙනම ලිපිගොනු තබාගනිමින් කරණ ලද පරීක්ෂණයේ දී මේ සියලු අලින්ගේ නීත්‍යානුකූළ බව ගැටළුකාරී යැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පැහැදිලිව පවසයි.

ඒ ඇතැම් ලිපිගොනුවල තිබෙන ග්‍රාම නිලධාරි අත්සන් හා නිල මුද්‍රා ව්‍යාජ ඒවා බව ද දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් පෙන්වාදෙයි. ඇතැම් අලි සම්බන්දයෙන් නිකුත් කල කුවිතාන්සි ලබා දි ඇත්තේ එය නිකුත් කිරීමට වසර කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ නමට වීම විමතියට කරුණක් බව ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කළ තවත් අලියෙක් සම්බන්ධව බරපතල ගැටළුවක් තිබේ. ඒ අලියාගේ වත්මන් හිමිකරු පවසන්නේ තමන් සන්තකයේ සිටින අලියා උඵත ලැබුවේ තමන්ගේ මුත්තණුවන් විසින් ලබාදුන් අලියකුගේ කුසින් බවයි. ඔහු සතුව ඇති බලපත්‍රය 346 ලෙස සඳහන් වන බව ද විගණක වාර්තාවේ දැක්වේ. එම වාර්තාවේ 11 වැනි පිටුවට අනුව මුත්තණුවන් සන්තකයේ සිටි අලියා හඳුන්වා ඇත්තේ රාජා නමිනි. ඒ සත්ත්වයගේ බලපත්‍රයේ සඳහන් වන්නේ ද රාජා පිරිමි සතකු බවයි. නමින් ද ඒ බව පැහැදිලිය.  එසේ නම් පිරිමි අලින්ට පැටවුන් ලැබුණු ලොව එකම රට ශ්‍රී ලංකාවයි.

කපුරි නම් හීලෑ ඇතින්නියක සිටියි. වනජීවී දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති බලපත්‍ර පරික්ෂා කිරීමේ දී පෙනී යන්නේ කපුරි නම් ඇතින්න එකම වර්ෂයක දී පැටවු තිදෙනකු බිහිකර ඇති බවයි. ඇතින්නියකගේ ගැබ් කාලය මාස 22කි. ඇතින්නක් බල්ලන් බළලුන් මෙන් පැටවුන් ප්‍රසූත කරන්නේ නැත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා හිටපු වනජීවී අමාත්‍ය විජිතමුණි සොයිසා මහතාට දන්වා ඇත්තේතමන් විසින් නිකුත් කළ ආකාරයට මේ අත්සන අනුකරණය කරමින් ව්‍යාජ අලි බලපත් නිකුත් කර තිබෙන බවයි.

කොළඹ ඇලන් මැතිනියාරාමයේ සිටි වයස අවුරුදු එකහමාරක් වයසැති අලි පැටවකු සොයා බැලූ වනජීවී වැටලීම් අංශය කියා සිටියේ එම අලියා සම්බන්ධ පිළිගත හැකි කිසිදු ලේඛණයක් ඉදිරිපත් නොකළ බවයි.

එක්තරා විහාරස්ථානයක ලිපිනයට අලි පස් දෙනකු වෙනුවෙන් බලපත්‍ර නිකුත් කර ඇත. එසේ වුව ද අලි පැටවුන්ගේ හිමිකරුවෝ පස් දෙනෙක් සිටිති. මේ අලි ජාවාරමේ ස්වභාවයයි.

වසන්ත සේනානායක නියෝජ්‍ය අමාත්‍යවරයා හොර අලි ඇල්ලීමට කටයුතු කරද්දී ඔහුටත් මේ ජාවාරමට විරුද්ධ වන සියළු පරිසරවේදීන්ටත් අන්‍යාගමික ලේබලය ඇලවීමට උත්සායහයක නිතර විය.

අලි ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ මේ ගැන අදහස් දැක්වූහ.

‘‘අලියා කියන්නේ වනේ වන සතෙක් වගේ ම අපේ සංස්කෘතික අංගයන් අතර පූජනීය වස්තුවක් වනවා. පෙරහැර පැවැත්වීමේ දී අපිට අලි අවශ්‍යයි. දැන් පෙරහැර සඳහා යොදා ගන්නවත් අලි ප්‍රමාණවත් තරම් නැහැ. අපි හොර අලි ළඟ තබාගෙන නැහැ. සැදැහැවත් බෞද්ධයන් විහාරස්ථානයට අලි පරිත්‍යාග කරනවා. ඉතින් ඒ අලි අපි ළඟ ඉන්නේ රජයේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් නිත්‍යානුකූල බලපත්‍රයක් ද ඇතිව. ඉතින් ඒක වරදක් වන්නේ නැහැ. අපි අලි ජාවාරම් කරනවා කියලා චෝදනා කරන අය බුදු දහමට නිගා දෙනවා. එයාලට ඕන කරන්නේ සංස්කෘතික අංග විනාශ කරන්න. ඔවුන් බොහෝ දෙනෙක් බෞද්ධයන් නොවයි. “

අලි පැටවකුට ඉතා විශාල මිලක් නියම වෙයි. ව්‍යාජව සෑදූ සත්‍යයයැයි පෙනෙන් බලත්‍රයක් සමග අලි පැටවකු මිල නියම වන්නේ රුපියල් කෝටිත් කෝටි එකහමාරත් අතර මුදලකටය.

ඇත් පැටවකුනම් ඒ මුදල කෝටි දෙකහමාරකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් තම පුතාගේ වයසේ ම පසුවන අලියකු මිලදී ගෙන ඇත්තේ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට බව මන්ත්‍රීවරයාගේ සමීපතම තතු දත් අයකු පවසයි.

වනජීවී දෙපාර්තමේන්තුව පුදුමාකාර ආයතනයකි. එම ආයතනයට දුරකතන ඇමතුමක් දී වනාන්තරයේ සිටින අලි ඇතුන් සංඛ්‍යාව විමසූ විට ඉතා නිවැරදිව කියමින් 5671ක් බව කීවේය. නමුත් නිවෙස් හා විහාරස්ථානවල සිටන හීලෑ අලි සංඛ්‍යාව 350ක් පමණ වනු ඇතැයි කීවේය. ඔවුන් ඒ ගැන නිශ්චිතව දන්නේ නැත.

වනජීවී විෂ්‍ය භාර සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතාගෙන් විමසූ විට මෙසේ කිවේය.

‘‘අලි ජාවාරමට සම්බන්ධ වී සිටින අය සොයා අපි පරීක්ෂණ පවත්වනවා. දැනටමත් ව්‍යාජ ලේඛණ හෝ ලේඛණ නොමැතිව අලි පැටවුන් ළඟ තියාගෙන හිටපු සියළු දෙනා නීතිය හමුවට ඉදිරිපත් කරලා තියේනනේ. දේශපාලන තනතුරු හා තරතිරම් ගැන නොබලා රටේ නිතිය අනුව ඔවුන්ට දඩුවම් දෙනවා හොර බලපත් හදමින් විවිධ සමාජ බලවත් කම් යොදාගෙන මේ ජාවාරම ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් නීතිය ක්‍රියාත්මක වන විට අලි පැටවුන් සඳහා තිබූ වෙළඳ පොල වටිනාකම නැතිවනවා. ජාවාරම නැති කරන්න වෙන්නේ මේ ආකාරයෙන්. අපි දැනටමත් අලි ගැන සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු කරාවි. “

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා මෙසේ කීවේය.

”අලි ජාවාරම දැන් ජයටම සිදුවනවා. මේ පසුපස වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සිටින බව පැහැදිලියි. නැතිනම් මේ විදිහට බලපත‍්‍ර දිය නොහැකියි. ඒ වගේ ම අලි තෝම්බුව නැති වුණෙත් මේ ජාවාරමේ තොරතුරු වසං කළ යුතු නිසා. අපි අනුමාන කරන විදියට අලි පැටවුන් 140ක් 150ක් පමණ ප‍්‍රමාණයක් පසුගිය වසර දෙක තුනක කාලයේ දී වනාන්තරයෙන් අල්ලාගෙන කොළඹට ගෙනවිත් තිබෙනවා. වනජීවී නීති උල්ලංඝණය කරමින් ඔවුන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කරන්නේ නීතිය කි‍්‍රයාත්මක කළ යුතු නිලධාරීන් විසින්මයි. මේ ජාවාරම පිටුපස ප‍්‍රබල දේශපාලනඥයන්, නීතිවේදීන් ඇතුළු වෘත්තිකයන් ඉන්නවා.”

කෙසේ වෙතත් පරිසරවේදීන් පවසන්නේ රටේ බලගතු පුද්ගලයන් දැවැන්ත අලි ජාවාරම පසුපස එය පෝෂණය කරමින් එයින් යැපෙමින් සිටිය ද ඔවුන් හමුවේ පවා නොබියව සිය රාජකාරිය ඉටුකරන වනජීවී නිලධාරීන් පිරිසක්ද සිටින බවයි.

අලි ජාවාරම තවමත් ජයටම කෙරෙමින් පවතී. අලි පැටවකු දුටු තැන පරිසරවේදීන්ට ඒ බව දැනුම් දීම සමස්ත ශී‍්‍ර ලංකාවාසී ඔබ සැමගේ යුතුකමකි. අලි සම්පත රැකගැනීමට සමස්ත සමාජය ම එකට එක්ව පෙළගැසී මේ ජාවාරම්කරුවන්ට එරෙහිවිය යුතුය. සමාජයක් නැගීසිටින විට ඔවුන්ගේ බලය දුර්වල වනු ඇත.

???????????????????????????????

 



අදහස් (0)

වන අලි කොළඹට එන අලි ජාවාරම

සමන් Thursday, 08 October 2015 12:29 PM

සත්ව හිංසනයට වැට බදින්න ඕනේ. (ර)

:       1       0

සාමා Friday, 09 October 2015 01:13 AM

මේ මනුස්සයාට සහ එයාට අනුබල දුන් දේශපාලකයන්ට දියයුතු ඉහළම දඬුවම දෙන්න. මේ වගේ අහස පොළව නුහුලන අපරාධ කෙරුවාට. යහපාලනය කියන්නේ පාට, ජාතිය හෝ ආගම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම කියලා අපි හිතනවා. (නි)

:       0       0

අමල් Thursday, 08 October 2015 02:09 PM

දඩුවම් දෙන්න මේක කරපු කට්ටියට. (ර)

:       0       0

රන්ජිත් Friday, 09 October 2015 03:54 AM

නීතිපති කියාවි නඩු දාන්න සාක්කි නෑ කියලා. අතයට ගනුදෙනුව දැනටමත් හුවමාරු වෙලා ඇති (ම)

:       0       0

පත්මබන්දු Friday, 09 October 2015 04:04 AM

අපි ජාත්‍යන්තරය විතරක් දිනා ගත්තට මදි. වන සතුනුත් දිනාගන්න කටයුතු කරමු. (ම)

:       0       0

රූපවතී Thursday, 08 October 2015 04:33 PM

ඇයි මේ රජයෙන් බැරි හරි නීතිපනත් ගෙනෙන්න මේ සතුන්ව මිනිසුන්ට කොහෙත්ම අයිති නැහැ, මේ සතුන්ව කැලේට මුදාහරින්..ලංකාවේ කිසිවෙකු සන්තකයේ වන සතුන් අලින් තබාගැනීමට සපුරා තහනමත් සමඟ එකී පුද්ගලයන්ගේ දේපල ජනසතු කිරීම ඒකමතිකව තීරණ වියයුතුයි. දළදා කරඬුවට හැර වෙනත් කිසිම පන්සලක තබාගැනීම සපුරාම තහනම් කළයුතුයි.පව් අසරණ සත්තු ! උන්ට කතාකරන්න පුලුවන් නම් කෑගහලා කියයි මට කැලේට ගිහින් මගේ අම්මාව හොයාගන්න ඕනෑ කියලා (නි)

:       1       0

දුමින්ද Thursday, 08 October 2015 10:30 AM

සත්ව හිංසනය.................. (ම)

:       1       0

ගෞරියෙල් Thursday, 08 October 2015 05:05 PM

මේ වගේ සතුන්ට හිංසා කරන්න කොහොම හිතෙනවද මන්දා? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 09 October 2015 05:21 AM

පැය විසිහතරේම බණ දේශනා කරන හාමුදුරුවන් වහන්සේලාත් අලි රඳවා ගත්තනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 237 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 116 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 243 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 612 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4824 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site