පසුගිය දශක හතරක පමණ කාලය තුළ වැඩ වර්ජනයක් නොතිබූ ආයතනයක් හෝ දෙපාර්තමේන්තුවක් හෝ සංස්ථාවක් හෝ අමාත්‍යංශයක් හෝ නොමැති තරම්ය. එය සාමාන්‍යකරණය වී වැඩ වර්ජනයක් නොමැති දවසක් සොයා ගැනීමට අසීරු තත්වයකට පත් වී තිබිණ. ලෝකයේ දියුණු රටවල වාර්ෂික වැඩ වර්ජන සංඛ්‍යාව පිළිබඳව සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවේ ඉදිරි ශත වර්ෂ ගණනාවකට සෑහෙන වැඩ වර්ජන ගණනාවක් පසුගිය දශක කීපය තුළ පමණක් සිදු කර ඇති බව පෙනේ.
එදා යටත් විජිත පාලනය අනුව සේවකයාට රැකියාව කිරීමට සිදුවූයේ දැඩි නීතිරීති මැද වුවත් තමා කළ යුතු සේවය පිළිබඳව දැඩි වගවීමකින් යුක්ත විය යුතු අතර එසේ නොවුණහොත් ක්‍ෂණයකින්ම රැකියාව අහිමිවීම හැර වෙනත් විකල්පයක් නොවීය. එබැවින් එදා රැකියාව දේවකාරියටත් වඩා පැරැන්නෝ සැලකූහ. එහෙත් රැකියාව නොකර කේවල් කරමින් බලහත්කාරයෙන් රැඳී සිටීමේ කලාව බිහිවූයේ පසුකාලීනවය. සාධාරණ යුක්ති සහගත ව්‍යාපාර වශයෙන් භෞතිස්ම කරමින් එදා වංචනික පාලකයන් විසින් උගත් නූගත් සියලු දෙනාටම පුරුදු පුහුණු කළ මේ ව්‍යසනය මුලදී අහිංසක ස්වරූපයක් ගත්තද මේ වනවිට අතිශයින්ම ශෝචනීය තත්වයට පත්වී ඇති බව පෙනේ.
එදා දිනක් දෙකක් වැඩ වර්ජනය කිරීම අතිශයින්ම කලාතුරකින් සිදුවූ අතර එය රටේම අවධානයට හේතුවූ කරුණක් වූයේ වර්ජනය නිසා ක්‍ෂණයකින්ම ජනතාවට මුහුණදීමට සිදුවෙන බරපතළ අපහසුතා නිසාය. එහෙත් මෑත කාලය වන විට සති මාස ගණන් ඇදීයන වර්ජන නැති දිනයක් සොයා ගැනීමට නොහැකි අතර ජනතාවට ඒ පිළිබඳ දැනෙන දෙයක්ද නැත. පසුගිය කොවිඩ් වසංගත සමයේ වසරක් හමාරක් රට සම්පූර්ණයෙන්ම වැසී තිබූ විටදීද ජනතාවට දැනුණ විශාල වෙනසක් නම් නැත. එයින් ඔප්පු වී ඇත්තේ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වූ සමයෙත් දැනෙන යමක් ජනතාවට සිදුවී නොමැති බවය. එසේ තිබියදී සිදුවන වැඩ වර්ජන රැලි මේ වන විට පාලකයන්ට මෙන්ම ජනතාවටද විසුළු සහගත තත්වයකට පත්වී ඇත. රාජ්‍ය සේවය අද වන විට ඉතාමත් අකාර්යක්ෂම තත්වයට පත්වී ඇති බව ජනතාවට රහසක් නොවේ. එනම් වර්ජනය කිරීමට තරම් කාර්යක්‍ෂම සේවයක් දැනටමත් තිබේද යන්න ගැටලු සහගතය. වර්ජනය හමුවේ සුළුවෙන් හෝ තිබුණ තත්වයත් මේ අනුව නැත්තටම නැතිවේ. ලක්‍ෂ පහළොවක් පමණ රජයට නඩත්තු කිරීමට බැරි රාජ්‍ය සේවයක් එනම් ජනගහනයට සාපේක්‍ෂව කලාපයේ එය ඉහළම අගයක් ගෙන ඇති තත්වයක් තුළ එය නඩත්තු කිරීමට සිදුවී ඇත්තේ දෙකෝටි විසිලක්‍ෂයක් වන සාමාන්‍ය ජනතාවටය. මේ අනුව දැනට සිදුවී ඇති ආනිශංසය නම් මේ වන විට දරිද්‍රතා රේඛාවෙන් පහළ ජනගහනය වේගයෙන් වැඩිවී හැත්තෑ ලක්‍ෂයක් ඉක්මවා ඇති බවය.
රාජ්‍ය සේවයේ දිනෙන් දිනම වැඩිවන මේ වර්ජනය පසුපස ඇති පොදු සාධකය නම් වැටුප්ය. එක් එක් රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතාව අතිමහත්ය. මීට හේතුව බලවත් දේශපාලකයන් හමුවූ විට ඒ යටතේ ඇති ආයතනවල නායකයන් ඔවුන් රවටා හෝ මුරුංගා අත්තේ තබා හැකිතරම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමය. එයට අවනත නොවේ නම් වර්ජන කරන බවට ඔවුහු බිය කරති. විෂය දන්නා දේශපාලකයන් රවටා ගැනීමට නොහැකි වූ විට කුමන හෝ ක්‍රමයකින් ඔවුන් පන්නා දමති. මෙසේ එවැනි ආයතනවල අසීමිත වැටුප් වරදාන වැඩි කිරීම නිසා සිදුවී ඇති හානිය නම් එම සුදුසුකම හා එම කාර්යයම කරන අනිකුත් ආයතනවල වැටුප් විෂමතා ඇතිවී සේවක අසහනය වැඩිවී වැඩ වර්ජනවලට තල්ලු වී යාමය.
වැඩ වර්ජන නිසා සිදුවන ආර්ථික ව්‍යසනය මේ දක්වා කිසිම පර්ෙ ය්ෂණයකින් ගණන් බලා නැත. නිතර සිදුවන මෙවැනි වැඩ වර්ජන කළ දින ගණන් අහිමිවන මිනිස් පැය ගණන, රටට ඇතිවන ආර්ථික පාඩුව, ජනතාවට සිදුවන දෛනික හිරිහැර ආදිය පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත ලබාගැනීමට ද කිසිදු වගකිව යුතු ආයතනයක් නැත. ජනතාවට සිදුවන හිරිහැර අතිශයින්ම ශෝචනීය තත්වයක ඇත. සෞඛ්‍ය සේවයේ වර්ජනයකදී රෝග උත්සන්න වීම්, මියයෑම් පිළිබඳ සංඛ්‍යාත්මකව ගණන් බැලිය නොහැකිය. දුම්රිය වර්ජනයකදී අතරමං වූ ජනතාවට ඇතිවන කරදරය රටට අහිමිවන ආර්ථික අලාභය ගණනය කළ හැකිද?. රට බංකොලොත් වීමට බලපෑ හේතු අතර මේ වැඩ වර්ජනද එක් ප්‍රබල හේතුවකි. ඛේදවාචකය නම් යටත් විජිත සමයේ විදේශ සංචිත අතිරික්තයක් සහිතව අපට භාරදුන් රට බංකොලොත් රටක් බවට නිර්මාණය කළේ වෙන කවුරුවත් නොව අතිබහුතරයක් වන පනස් හයේ දරුවන් බවට සංවේගයෙන් යුතුව සඳහන් කිරීමට සිදුවී ඇත. මේ වර්ජන රැලි ජනතාවට පුරුදු පුහුණු කළ බොහෝ නායකයන්ද වත්මනේ අගුපිල්වල ජීවත්ව සිටීමට සිදුවීම දෛවයේ සරදමක් වී ඇත.
රාජ්‍ය සේවකයන්ට තමන්ට හිමි අධ්‍යාපනයට රැකියාවේ වගකීමට, වගවීමට, අවදානමට වෘත්තීය නිපුණත්වයට සලකා සාධාරණ වැටුපක් ලබා දිය යුතුමය. එය පාලනයේ වගකීමකි. එය ඉටු නොවන තැන වර්ජනය හැර විකල්පයක් නැත. එබැවින් රජය කළ යුත්තේ සමස්ත රාජ්‍ය සේවයම බරපතළ ලෙස සමාලෝචනයට ලක්කර සාධාරණ වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමය. ඒ ඒ ආයතන අතර වැටුප්වල විෂමතා හැකි තරම් අවම කළ යුතු අතර එය පිළිගත හැකි වැටුප් ව්‍යුහයක් විය යුතුමය. ඒ සඳහා ඉක්මනින්ම බලතල සහිත කමිටුවක අවශ්‍යතාව දැන් තදින්ම පැනනැගී ඇත. එම ව්‍යුහයන් තුළ තෑගි වරදාන, දීමනා වැනි විසුළු සහගත සියල්ල ඉවත දැමිය යුතුය. එමෙන්ම සේවා කොන්දේසි නිශ්චිතව පැහැදිලි කළ යුතුය. බදු මුදලින් වැටුප් ලබන සෑම රජයේ සේවකයකුටම පොදු කොන්දේසි තිබිය යුතුය. වැටුප් ලබන සියලුම දෙනා දිනපතා පැමිණීමේ පිටවීමේ ලේඛනවල සටහන් තැබීමට ලැජ්ජා විය යුතු නැත. එය තමන්ගේ ගෞරවයට හිතකරය. නොකරන්නේ නම් එතන ඇත්තේ වංචනික තත්වයකි.
වැටුප් වැඩිවීමක් ලබාදෙන්නේ නම් එය සමස්ත රාජ්‍ය සේවයටම එකවිට පොදුවේ ලබාදීම වැදගත් වේ. මාධ්‍යවලදී දැකිය හැකි දෙයක් නම් ඇතැම් වර්ජකයන්ගේ තර්කවල කිසිදු සාධාරණ බවක් නැති බවය. මෙම වර්ජන රැලිවල පොදු ලක්‍ෂණය නම් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම හැර ජනතාවගේ යහපතට හේතුවන කිසිදු කාරණාවක් නොවේ. කිසිදු වෘත්තීය සමිතියක් ජනතාව වෙත සේවය ලාභදායී කාර්යක්ෂමව කිරීමට ඉල්ලමින් කරන ලද වැඩ වර්ජනයක් ආශාවටවත් අසා නැත. ආයතන ජනතාවගේ දේපළ බවට කෑමොර දෙන්නේ ඔවුන්ගේ පංගුව අඩුවූ විටදී පමණි. වර්ජකයෝ නීති රීති අකුරටම ක්‍රියාත්මක කර කාර්යක්‍ෂම රාජ්‍ය සේවයේ කිරීමට කෑ මොර දෙති. මේනිසා මේ වංචනික ස්වරූපය ජනතාව ද තේරුම් ගතයුතු කාලය එළඹී ඇත. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය පිළිබඳ කෑමොර දෙන්නේ ඒවයෙන් තමන්ට ලැබෙන වාසිය නැතිවෙන හෙයිනි. රජයක් උත්සාහ ගත යුත්තේ පෞද්ගලීකරණය කිරීමට පෙර ඒවා ලාභදායීව ජනතාවට වඩා පහසු සේවයක් ළඟාකර දීමට හැකි අවංක දක්‍ෂ වෘත්තිකයන්ට පමණක් භාර දීමය.
අනෙක් අතට අද වන විට රාජ්‍ය සේවය අකාර්යක්ෂම බව පොදු මතයයි. රජයේ සේවකයකුටවත් කිසිදු දැන හැඳින ගැනීමක් නොමැතිව තවත් රජයේ ආයතනයකින් වැඩක් කිරීමට නොහැකි බව කියාපාන්නේ එම කටුක යථාර්ථයයි. ගෝලීය නිර්ණායක අනුව ලංකාව රාජ්‍ය සේවයේ ඉතාම පහළ මට්ටමක ඇත. අවංක දක්ෂ සීමිත පිරිසක් නොවන්නට මේ වන විටත් පද්ධතිය කඩා වැටී අවසන්ය. එබැවින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයක් ගැන සිතා බැලීම යුගයේ අවශ්‍යතාවක් බවට මේ වන විට පත්වී ඇත. අවාසනාවන්ත කරුණ නම් මේ කාර්යක්ෂම කිරීමේ භාරධූර කාර්යය බාරදිය යුත්තන් සොයා ගැනීමය. හේතුව බහුතරයක් එක්කෝ කිසිදු නිර්මාණ හැකියාවක් නැති පුද්ගලයෝය. එසේත් නැත්නම් නිදන්ගත බොරුකාරයෝය. මේ නිසා මේ සඳහා විදේශ මගපෙන්වීමක් ලබාගැනීම හැර විකල්පයක් නැත.
මේ නිසා වැඩ වර්ජනයෙන් සිදුවන්නේ දිනෙන් දිනම රට තව තවත් වළ පල්ලටම යාම පමණි. වර්ජකයෝ එක් රජයක් යටතේ වැඩ වර්ජනය කර එම රජය ඉවත් කර වෙනත් රජයක් පත් කර එයට එරෙහිවද වැඩ වර්ජනය කරති. එය චක්‍රයක් මෙන් දශක ගණනාවක්ම මේ දක්වා ක්‍රියාත්මක වී ඇති පිළිවෙළ වන අතර, එහි කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත්පත් වී නැත. සැමදා වර්ජකයනුත් නායකයනුත් යහතින් වන අතර සේවය වළපල්ලට ගොස් ජනතාව දිනෙන්දිනම අසීරුතාවයට පත්වීම හැර වෙනත් යමක් නොමැත.
ලෝකයේ දේශපාලනයට ගෞරවනීය පිළිගැනීමක් වර්ජනයට ඇත්තේ ද ගෞරවනීය පිළිගැන්මකි. එහෙත් ලංකාවේ දක්නට ලැබෙන්නේ මේ දෙකම මිශ්‍රවී බිහිවූ විකෘතියකි. එබැවින් මේ දෙක සඳහාම සබුද්ධිමත් ජනතාව අතර තිබූ පිළිගැනීම ගිලිහී ගොස් ඇත. මේ නිසා මේ දේශපාලනය හා වර්ජනය එකක් නොව දෙකක් වශයෙන් පැවතීමට ඉඩහරිනතාක් එකකට වත් ගෞරවනීය පිළිගැනීමක් ලැබෙන්නේ නැත.
එබැවින් අවශ්‍ය වනුයේ තමන්ට සාධාරණ ඉටු නොකරන පක්ෂ, ව්‍යාජ නායකයන් වර්ජනය කිරීම මිස තමාට වැටුප් ලබාදෙන ජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ ටික වර්ජනය කිරීම නොවේ. අවාසනාවකට අපේ මුළා වූ වර්ජකයනුත් ජනතාවත් තේරුම් නොගන්නා යථාර්ථය ද එයයි.
(***)
සාකච්ඡා සටහන
ගාමිණී කන්දේපොළ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැඩවර්ජන යථාර්ථය නොතේරීම