24-p-2-rasa-10     

ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, මොරින් චාරුනී හා චාන්දනී සෙනෙවිරත්න “ගම්පෙරළිය” තවත් රූපරාමුවක

 

 

මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහළින්ම දිනා ගත් ටෙලිනාට්‍ය පිළිබඳව කෙරෙන මේ විමසුමට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගම්පෙරළිය” කෘතිය ඇසුරින් බට්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ “ගම්පෙරළිය” ටෙලිනාට්‍ය එකතු කර ගන්නේ ඉතා දිගු නොවූ මෙරට ටෙලි නාට්‍ය කලාව පිළිබඳ වෙනස් කියවීමක් ගොඩනැගීමටය. මේ “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ නිර්මාණ මෙහෙයුම ගැන බට්ට්‍රම් නිහාල් කරන මතකාවර්ජනයයි. 


මම “ගම්පෙරළිය” පොත කියෙව්වෙ මුලින්ම ඉස්කෝලෙ හතේ අටේ පංතිවල ඉන්නකොට. මුලින්ම කියවනකොට ඇත්තටම ඒකෙ තිබුණු ගැඹුර අහුවුණේ නෑ. ආසාවට කියෙව්වා. ගුරුවරු යම් යම් දේ අපට “ගම්පෙරළිය” ගැන කියලා දුන්නා. මේක අපේ රටේ ලියවුණු විශේෂිත කෘතියක් කියන අදහස තිබුණා. ඒක නිසා තමයි ඒ ගැන අවධානය යොමු වෙන්නෙම. අපිත් ගමේ හැදුණු වැඩුණු ළමයි විදියට “ගම්පෙරළිය” පොත කියවද්දි ගොඩක් සමීප බවක් දැනුණා. “ගම්පෙරළියෙ” කියවුණේ කොග්ගල ගැන වුණාට ඒක තම තමන්ගෙ ගම කියලා ගමත් එක්ක ජීවත්වුණු පාඨකයින්ට දැනුණා.

24-p-2-rasa-8

වසන්ත-මොරින් පියල් හා නන්දා ලෙසින් ගම්පෙරළියේ...


“ගම්පෙරළිය” චිත්‍රපටිය බලන්න හම්බවුණේ අපි පාසලේ ඉහළ පංතිවල ඉන්නකොට. මට මතකයි “ගම්පෙරළිය” විශේෂ දර්ශනයක් පෙන්නපු වෙලාවක මාරිස්ටෙලා විද්‍යාලයේ හොස්ටල් එකේ ඉඳපු අපි ඒක බලන්න එක්ක ගියා. ඒ වෙලාවෙ තමයි මම “ගම්පෙරළිය” චිත්‍රපටිය පළමු වතාවට බැලුවෙ. ඒක විශේෂ අත්දැකීමක් වුණා අපිට. ටිකෙන් ටික සාහිත්‍ය කලාව පැත්තට නැඹුරු වෙද්දි තමයි මේ දේවල්වල තියෙන අපූර්වත්වය අපට අහුවෙන්න ගත්තේ.
රූපවාහිනියේ ආරම්භයත් සමඟ වරක් මුල්ම නිෂ්පාදන කණ්ඩායමට එකතුවෙලා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දෘශ්‍ය මාධ්‍ය ගැන අපි නොයෙකුත් පැතිවලින් හිතන්න ගත්තා. “ගම්පෙරළිය” නවකතාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුණු පොතක්නේ. ඒක නිසාම මම එවකට රූපවාහිනියේ අධ්‍යාපන අංශය භාරව කටයුතු කරපු ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියගෙන් සැරයක් ඇහුව “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට නැගුවොත් කොහොමද කියලා. ඒ යෝජනාව එතුමිය හිස්මුදුණින් පිළිගත්තා. ඒ වෙලාවෙම එතුමිය මාවත් එක්ක ගියා එවකට නාට්‍ය අංශ ප්‍රධානියා විදියට කටයුතු කරපු ධම්ම ජාගොඩ ළඟට. ගිහින් ධම්ම ජාගොඩට මම කරපු යෝජනාව ගැන කිව්වා. කියපු ගමන්ම ධම්ම ජාගොඩත් මේ යෝජනාවට කැමති වුණා. ධම්ම කිව්වා “මේක ටිකක් බැරෑරුම් වැඩක්. හැබැයි බට්ට්‍රම් ඒක හරියට කරයි කියලා විශ්වාසයි.” කියලා. ඒ වෙලාවෙ ධම්ම ජාගොඩ මේ යෝජනාවට අකමැති වුණානම් මේක නොකෙරෙන්න තිබුණා. ධම්ම ජාගොඩ කියන්නේ ඕනෑ කෙනෙකුගේ දක්ෂතාවක් ඉවෙන් වගේ අඳුනගත්තු කෙනෙක්. විශේෂයෙන්ම තරුණයින් ගැන ලොකු විශ්වාසයක් ධම්මට තිබුණා. “ගම්පෙරළිය” කරන්න පටන් ගන්නකොට මට අවුරුදු විසිහයයි. “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයක් කරන්න පටන් ගැනීම මගේ ජීවිතේ ගත්තු ලොකුම අභියෝගයක්.

24-p-2-rasa-7

බර්ට්‍රම් නිහාල් “ගම්පෙරළිය” රූගත කිරීමේදී...

 


අපි “ගම්පෙරළිය” කරන්න තීරණය කරලා වික්‍රමසිංහ පවුලෙ උදවිය එක්ක සාකච්ඡා කළා. ඒ අය ඉතාම හොඳ අනුග්‍රහයක් අපට දැක්වුවා. විශේෂයෙන්ම වික්‍රමසිංහ දියණිය රූපා සපරමාදු මහත්මිය මේකට ගොඩක් කැමති වුණා. ඒ වගේම වික්‍රමසිංහ පුතුන්වන එස්.කේ. වික්‍රමසිංහත් රංග වික්‍රමසිංහත් මේකට ඉතා හොඳ ප්‍රතිචාරයක් තමයි දැක්වුවෙ.


“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය තිර රචනය ලියවෙද්දි තමයි මට මේ කතාව පිළිබඳ ගැඹුර වැඩි වැඩියෙන්ම දැනෙන්න පටන් ගත්තේ. මේ තිර රචනය ලිව්වෙ තිස්ස අබේසේකර. තිස්ස මට හැම දෙයක්ම ඉතාම පැහැදිලි ලෙස විග්‍රහ කළා. මම මුලින් හිතුවෙ සීමිත පසුතල කීපයක මේ ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන්න පුළුවන්වෙයි කියලා. ඒත් තිස්ස අබේසේකරගෙ තිර රචනයේ තිබුණේ දැවැන්ත දර්ශන තල. තිස්ස තමයි මට මේ වැඬේ තියෙන බරපතළකම කියා දුන්නේ. තිස්ස තිර රචනය ලියලා දර්ශනයෙන් දර්ශනය මට තේරුම් කරලා දුන්නා. අපි තිර රචනය සාකච්ඡා කළා දවස් කීපයක්. තිස්ස තමයි මේ වැඬේ පිටිපස්සේ ඉඳපු යෝධ සෙවනැල්ල. තිස්ස තිරරචනයෙන් කළ යුතුයි කියලා කියපු කිසිම කාරණයක් මම අමාරුයි කියල අත ඇරියේ නෑ. තිස්සගෙ බරපතළ තිර රචනයේ හැම අභියෝගයක්ම මම භාරගත්තා. ලොකු කාල පරාසයක් අහුවෙන තිරරචනයක් මේක. ඒකට සරිලන විදියට පසුතල නිර්මාණය කිරීම ලේසි පහසු වැඩක් නෙවෙයි. තිස්ස තිර රචනයේදී චිත්ත රූප මැවෙන ආකාරයට ඒක ලියලා තිබුණා. අවසන් තිර රචනය කියවලා බැලුවම මට හිතුණා මේක මගේ ජීවිතයේ කඩ ඉමක් කියලා. තිස්ස මේ ටෙලි නාට්‍ය තිර රචනය ලියන්න ඔහු ඇසුරු කළ සිනමාවේ අභාසය ලබා ගත්තා. මං හිතන්නෙ තිස්ස ලියපු ඉතා විශිෂ්ට ටෙලි නාට්‍ය තිර රචනය “ගම්පෙරළිය” කියලා.


මේ කතාව ටෙලි නාට්‍යයක් කරනවට ප්‍රසාදය පළ කරපු විශේෂ පුද්ගලයෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. ධම්ම ජාගොඩයි ඉන්ද්‍රානි ගුණරත්නයි මමයි ගිහින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මේ ගැන කිව්වම එතුමා බොහොම සතුටු වුණා. මේ විදියට ප්‍රතිනිර්මාණය කරපු චිත්‍රපටි සහ “ටෙලි සීරිස්” ගැන ලෙස්ටර් මහත්තයා ලොකු විස්තරයකුත් කළා. ඒකත් අපිට ලොකු ආශිර්වාදයක් වුණා.

24-p-2-rasa-1

ජයලත් මනෝරත්න - මොරින් චාරුනී ගම්පෙරළියේ අතිනත ගනිමින්

 


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ කැමරාකරණ කටයුත්ත කළේ අපේ රටේ ඉන්න විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් වන එම්.ඩී. මහින්දපාල. ටෙලිවිෂන් තාක්ෂණය ඒ තරම් නොදියුණු කාලෙක අපි අලුත් අත්හදාබැලීම්වලටත් ගියා මේ එක්කම. අලුත් වර්ණ සංයෝජනයක් අපි මේකෙදි අත්හදා බැලුවා. ඒවා ගොඩක් අයගෙ අවධානයට ලක් වුණාද කියන එක නම් ප්‍රශ්නයක්. ඒත් ඒ කාලේ හැටියට ඒවා අලුත් දේවල්.


“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය කරන්න සූදානම් වෙද්දි මේකෙ “කාස්ටින්” පැත්ත ගැන ගොඩක් හිතුවා. ඒ කියන්නේ කවුද මේ චරිතවලට තෝරගන්න නළු නිළියො කියලා. මේ ගැන තිස්ස අබේසේකරයි මමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ගොඩක් අය මේ සඳහා යෝජනා කරලා බැලුවා. අපි තෝරාගත්තු ඇතැම් අය මුලදී කැමතිවෙලා චරිතය ගැන කිව්වම අකමැතිත් වුණා. ඒ අයටම චකිතයක් ඇති වෙන්න ඇති මේ වගේ චරිතයක් කරන්න පුළුවන්ද කියලා. අපි හැම දේටම විකල්ප තියාගෙන තමයි වැඩ කළේ. තිස්ස තමයි ඒ උපදෙස මට දුන්නේ. ඒත් අපි ප්‍රධාන චරිතවලට තෝරපු නළු නිළියො බොහෝ දෙනෙක් හරියටම හරි ගියා කියලා හිතනවා. වසන්ත කොටුවැල්ල, මොරින් චාරුනී, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සෝමලතා සුබසිංහ ඇතුළු නළු නිළි කැලක් මේකට එකතු වුණා. ප්‍රවීණ නළු නිළියෝ රැසක් මෙහෙයවන්න ලැබීම මටත් විශාල අත්දැකීමක්. මොකද මේක මගෙ දෙවෙනි ටෙලිනාට්‍යය. මීට කලින් මම “සුබප්‍රාර්ථනා” කියන ටෙලි නාට්‍යය විතරයි කරලා තිබුණේ.

24-p-2-rasa-4

ජෝ අබේවික්‍රම, දයා අල්විස් හා නීල් අලස් ගම්පෙරළියේ කතාබහක...

 


අපි මේ රූගත කිරීම් සඳහා ප්‍රදේශ කීපයක් තෝරාගත්තා. ප්‍රධාන වශයෙන් ගාල්ල තමයි ගත්තේ. ගාල්ලෙත් තැන් කීපයක අපි රූගත කිරීම් කළා. කොළඹ කොටුව පරිසරය හැදුවෙත් ගාලු නගරයේමයි. මේ පසුතල නිර්මාණයත් ටිකක් අමාරු වැඩක්. ගාලු ටවුන් එකට අමතරව බළපිටිය, ඉමදූව, වැලිගම, තණමල්විල, වාරියපොළ, මාකඳුර වගේම කොළඹත් රූගත කිරීම් කළා. අපි දවස් 90කට තමයි රූප ගතකිරීම් සැලසුම් කළේ. ඒත් මේක ඉවර කරන්න මාස හයක් විතර අපිට ගතවුණා. 


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂවරයාගේ කාර්යය ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. සුනිල් විජේරත්න කියන අත්දැකීම් බහුල කලා අධ්‍යක්ෂවරයා තමයි මේකෙ කලා අධ්‍යක්ෂණය කළේ. එයාගේ කරට මේකෙ වැඩි බරක් වැටුණා. එයා හැමතැනම දුව ඇවිදලා මේකට මහන්සි වුණා. මේකට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, පසුතල භාණ්ඩ එහෙම හොයන්න සුනිල් කලින්ම පටන් අරගෙන තිබුණා. ඒ කිසිදේකින් අඩුවක් තිබ්බෙ නෑ. ඒ සහයෝගය නැත්නම් මේ නාට්‍යය මේ තරම් ඉක්මනට සහ හොඳට කරගන්න ලැබෙන්නෙ නෑ.


මේ ටෙලිනාට්‍ය කළේ ජාතික රූපවාහිනියෙ නිෂ්පාදනයක් විදියට. ඒක නිසා රූපවාහිනී කාර්ය මණ්ඩලයත් මේකට ලොකු උනන්දුවක් දැක්වුවා. අපිත් එක්ක වැඩ කරපු සියලුමදෙනා තමන්ගෙම වැඩක් වගේ හිතලා තමයි මේකට කැප වුණේ. මොකද මේක දුෂ්කර රූපගත කිරීමක්. ගොඩක් මහන්සි වෙන්න වුණා හැමෝටම. අද ටෙලිනාට්‍ය කරන හැටි දැක්කම හිතෙනවා අපි ඒ කාලේ කොහොමද වැඩ කළේ කියලා. 


“ගම්පෙරළිය”ට එකතු වුණු නළු නිළියො පිරිසගෙන් ලැබුණු සහයෝගයත් සුවිශේෂයි. ඒ අයත් තම තමන්ට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. පියල්ගෙ චරිතය රඟපාපු වසන්ත කොටුවැල්ලගෙන් ඊට කලින් කවුරුවත් හරියට වැඩක් අරගෙන තිබුණෙ නෑ. මොරින් චාරුනී නන්දාගෙ චරිතය ගැන විශාල වශයෙන් හොයලා කරුණු ඉගෙන ගෙන තමයි ඒකට ආවේ. මට ඕනෑ වුණේ අපි චිත්‍රපටියේ දැකපු නන්දා සහ පියල්ම නෙවෙයි. අපි ගොඩක් මේ ගැන නළු නිළියො එක්ක සාකච්ඡා කළා. වැඬේට කලින් සහ වැඬේ අතරතුර තිස්ස අබේසේකරයි, මමයි අනිත් අයයි මේ ගැන විවිධ පැතිවලින් කතාබහ කළා. ඒකෙදි ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණයන්ගෙන් සරු අදහස් එකතු වුණා.


අපි රූපගත කිරීම්වලදී වගේම ඒ මුළු කාලය පුරාම කොච්චර දුෂ්කරතා මැද වුණත් විනෝදයෙන් තමයි කාලය ගත කළේ. ජෝ අබේවික්‍රම වගේ කෙනෙක් සෙට් එකක ඉන්නකොට ඉතිං කියන්න දෙයක් නෑ නේ. ඒ වගේම තමයි ඒ අය මං වගේ අලුත් අධ්‍යක්ෂ වරයෙක් කෙරෙහි දක්වපු කාරුණික බව. ඒ අය ප්‍රවීණයි කියලා කිසිම වෙලාවක කටයුතු කළේ නෑ. ජෝ අබේවික්‍රමගෙ එක දර්ශනයක් විසි එක්පාරක් ගන්න වුණා මට මතකයි. විසි එක්වෙනි පාර අරගෙන ඒක නම් හරි කිව්වට පස්සෙ ජෝ මගේ ළඟට ඇවිත් මාව බදාගෙන “උඹ නම් යකෙක් තමයි” කියලා කිව්වා. 

 

24-p-2-rasa-2

වසන්ත කොටුවැල්ල, මොරින් චාරුනී හා චාන්දනී සෙනෙවිරත්න“ගම්පෙරළිය” රූපරාමුවක

 


මේ ටෙලිනාට්‍ය රූපගත කරගෙන ආවට පස්සෙ තිබුණු ඊළඟ බැරෑරුම් වැඬේ තමයි සංස්කරණ කටයුත්ත. ඒකට අත ගැහුවෙ ප්‍රවීණ සංස්කරණ ශිල්පී සරත් පෙරේරා. සහාය සංස්කරණ ශිල්පීන් කීප දෙනෙක් හිටියා. ඒ කාලේ අපිට වාහනත් නෑ. අපි රූපවාහිනියෙ ඉඳගෙන මේක සංස්කරණ වැඩ රෑ වෙනකම් කරලා රූපවාහිනියෙ ලොබියෙ නිදාගෙන පසුවෙනිදා පාන්දරම අවදිවෙලා එදත් රාජකාරි කරනවා. ඒ කොච්චර මහන්සි වුණත් ඒක අපිට දැනුණේ නෑ. රූප රාමු ටික දකිනකොට මහන්සියක් ගැන වගක් නෑ.


“ගම්පෙරළිය” ජාතික රූපවාහිනියේ මුලින්ම විකාශනය කරද්දී විනාඩි 50 කොටස් දහයක් විදියටයි පෙන්නුවෙ. දෙවෙනි වතාවෙ අනුග්‍රහය දක්වපු අය පැය භාගෙ කොටස් විදියට සකස් කරලා ඉල්ලුවා. ඒ විදියට තුන් සැරයක් ජාතික රූපවාහිනියේ අනුග්‍රාහකත්වයන් යටතේ පෙන්නුවා. ඊට අමතරව විභාග පැවැත්වෙන කාලවලට එහෙමත් විකාශනය වුණා.


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒක තමයි සතුටට කාරණය. පුද්ගලිකවම මටත් ජාතික රූපවාහිනියටත් විශාල ප්‍රතිචාරයක් ආවා. බොහෝ දෙනා බට්ට්‍රම් නිහාල් කියන අධ්‍යක්ෂවරයා පිළිබඳ අවධානය යොමු කළා. “ගම්පෙරළිය” ටෙලිනාට්‍යයත් එක්ක. ප්‍රේක්ෂක ප්‍රතිචාරය උසස් මට්ටමක තිබුණත් විචාරකයින්ගෙ පැත්තෙන් පටලවා ගැනීම් එහෙම තිබුණා. ගොඩක් අය මේක චිත්‍රපටිය එක්ක පටලගෙන විචාරය කළා. ඒ දෙක සංසන්දනය කිරීමක් තමයි විචාරකයො වැඩිපුර කළේ. පොතට පිටින් ටෙලිනාට්‍යයට යම් යම් දේ එකතු කළා කියලා තවත් අය කිව්වා. හැබැයි ඒ එකතු කිරීම් තිස්ස අබේසේකර තිර රචනය ලිවීමේදී      කළේ  ඉතාම  දැනුවත්    භාවයෙන්. “ගම්පෙරළිය” නවකතාව වගේම මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ ගම” සහ “උපන්දා සිට” පොත් දෙකත් ඇසුරු කරගෙන තිස්ස ලොකු අධ්‍යක්ෂණයකින් පස්සෙ තමයි මේ තිර රචනය ලිව්වෙ. ගොඩක් විචාරකයින්ට මේක අහුවුණේ නෑ. අනික ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ “ගම්පෙරළිය” චිත්‍රපටියට මුවාවෙලා ඉඳගෙන “ගම්පෙරළිය” ටෙලිනාට්‍ය දිහා බලන එක හරි දෙයක් නෙවෙයි. මේ ගැන හොඳ අවබෝධයකින් නිරීක්ෂණය කරපු අයත් කීප දෙනෙක් හිටියා.


“ගම්පෙරළිය” නරඹපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මට බොහොම ප්‍රශංසා කළා. දවසක් මට එතුමා මුණ ගැහෙන්න ගෙදරට එන්න කියලා මේ ගැන කතා කළා. එදා මම එතුමට කිව්වා එතුමගේ අවසරය ලැබෙනවනම් මම කැමතියි “මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදුදා” පාදක කරගෙන ටෙලි නාට්‍යයක් කරන්න කියලා. “ගම්පෙරළිය” නාට්‍ය නරඹලා මං පිළිබඳ තියපු විශ්වාසය උඩ එතුමා ඒ යෝජනාවට ඉතාම සතුටට පත්වුණා. මම ඒ යෝජනාව ජාතික රූපවාහිනියට දැනුම් දුන්නම රූපවාහිනියේ ඒ වෙලාවෙ ඉඳපු ඉහළ බලධාරීන් ඒකට අදි මදි කළා. 


ධම්ම ජාගොඩ එතකොට රූපවාහිනියෙ හිටියෙ නෑ. ධම්ම මියගියේ “ගම්පෙරළිය” විකාශනය ඉවරවුණු කාලෙම වගේ. ඒක නිසා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම කෘති යුගල රූපයට නැගීමේ මගේ බලාපොරොත්තුව පස්සට ගියා.


මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ සුවිශේෂ කඩ ඉමක් සටහන් කිරීමක් විදියට තමයි “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය මම දකින්නේ. අදත් මට ඒ පිළිබඳව ප්‍රතිචාර ලැබෙනවා විවිධ අවස්ථාවලදී. ඒකෙන් පැහැදිලි වෙනවා මම ඉතුරුවෙන යමක් කළා කියලා.

m