කිසියම් චෝදනාවකට උසාවියට ඉදිරිපත් කරනු ලබන පුද්ගලයකුට ඇප දීමේ දී බල පැවැත්වෙන නීතිමය තත්වය පිළිබඳව 2025 ජූලි 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක කරුණු සඳහන් කර තිබේ. මෙම නඩු තීන්දුව පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක කරන අදාළ සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු වුව ද, ඒ පිළිබඳව තවමත් සැලකිය යුතු අවධානයක් යොමුව ඇතැයි නොසිතේ. සැමට නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන ශ්‍රී ලාංකික ජනතාවට අතිශය වැදගත් වන මෙම නඩු තීන්දුවේ ඇතැම් කරුණු පිළිබඳව පාඨකයාගේ අවධානය යොමු කරවීම මෙම ලිපියේ අරමුණ වේ.
එවකට සිටි අග්‍රවිනිශ්චයකාර මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ලබා දී ඇති මෙම නඩු තීන්දුවේ සඳහන් වන උසාවියකින්‘ පුද්ගලයකුට ඇප ලබාදීම’ සම්බන්ධයෙන් සඳහන් වන කරුණු රටේ මහජනතාවට ඉතා වැදගත් වේ. එබැවින් එම කරුණු පිළිබඳව සෑම දෙනාගේම අවධානය නැවත නැවතත් යොමු විය යුතු යැයි සිතේ.
2018 ජුනි 6 වැනිදා පොලොන්නරුව - මහියංගන ප්‍රධාන මාර්ගයේ පිහිටි කළුකැලේ මංසන්ධියේ දී විරෝධතාවක් පැවැත්වුණි. කළුකැලේ ගම්මානයේ දෙසිය පනහක පමණ පිරිසක් එයට සහභාගි වී ඇත. විරෝධතාවේ අරමුණ වී ඇත්තේ වල් අලින් තම ගමට කරන හානිය පිළිබඳව අදාළ වගකිව යුතු පාර්ශ්ව ක්‍රියාත්මක නොවීම පිළිබඳව විරෝධය දැක්වීමය. මෙම විරෝධතාවට එරෙහිව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් මත, පොලීසිය විසින් නම් කරන ලද පුද්ගලයන් දෙදෙනකුට එම විරෝධතාව නතර කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත. එම නියෝගය පිළිබඳව මෙම විත්තිකරුවන් දෙදෙනා දැන සිට නැත. ඔවුන් දෙදෙනා ද විරෝධතාවට සහභාගී වී ඇත.
2018 ජූනි 18 වැනිදා එම විරෝධතාවට සහභාගිවීම සම්බන්ධයෙන් නම් කරන ලද සැකකරුවන් දෙදෙනා සහ තවත් ගම්වැසියකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන එදිනම පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ. තමන් නීත්‍යනුකූල නොවන අයුරින් කටයුතු නොකළ බව ද, පොලිසිය තමන් අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම තම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනාවක් කළහ. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාග කර පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළේය.
පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳව විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම නඩු තීන්දුවේ දී පුද්ගලයකුට ඇප ලබාදීම සම්බන්ධයෙන් ඊට අදාළ නිලධාරීන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සඳහන් කර තිබේ. විවිධ චෝදනා ගොනු කරමින් උසාවිවලට ඉදිරිපත් කරනු ලබන විත්තිකරුවන්ට මෙන්ම පොදුවේ සෑම පුරවැසියකුටම අදාළ විය හැකි බැවින් නීති කටයුතුවලට අදාළ රජයේ සියලුම ආයතන ඒ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතුව ඇත. එසේම එම නඩු තීන්දුවේ සඳහන් ඇප ලබාදීමේ දී සැලකිලිමක් විය යුතු සහ නිගමනවලට එළැඹිය යුතු ආකාරය පිළිබඳව දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වූ නිසි වැඩපිළිවෙළක් ද සකස් විය යුතුව ඇත.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා පොලීසිය විසින් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් විචක්ෂණශීලි තීරණ ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව පිළිබඳව සඳහන් කර ඇත. ‘ඇප පනත මගින් පිළිගෙන ඇති පරිදි පාලන මූලධර්මය වන්නේ ඇප ලබාදීම සම්මතය වන අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතු බව’ එම නඩු තීන්දුවේ සඳහන් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් මෙම සටහනින් ඇප ලබාදීම පිළිබඳව ඉතා වැදගත් කරුණක් පැහැදිලි වන්නේය. එයින් ප්‍රකාශ වන්නේ කිසියම් චෝදනාවක් මත උසාවියට ඉදිරිපත් කරන සෑම පුද්ගලයකුම රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ යුතු ද යන ප්‍රශ්නයයි. සම්මතය වන්නේ ඒ සැම දෙනාටම ඇප ලබාදිය යුතු බවයි. එයට ව්‍යතිරේකව සමහර පුද්ගලයන්ට ඇප ලබා නොදෙන තත්වයක් ද පැවැතිය හැකිය. ඇප පනතේ මූලික සිද්ධාන්තය වන්නේ එය බව මෙම ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් අවධාරණය වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන මහේස්ත්‍රාත්වරයකු ඇප ලබාදිය යුතු වන්නේ පොලිසියේ ඉල්ලීම මත පමණක් නොව අපරාධ යුක්තියේ අරමුණුවලට වලංගු හේතු මත බව ද එහි සඳහන්ව තිබේ. මහේස්ත්‍රාත්වරුන් රිමාන්ඩ් නියෝග නිකුත් කිරීමේ දී වඩා සුපරීක්ෂාකාරි විය යුතු අතර නීතියේ අවශ්‍යතාවලට අනුකූල විය යුතු අතර හුදෙක් රබර් මුද්‍රා ලෙස ක්‍රියා නොකළ යුතු බවට වූ පෙර නඩු තීන්දුවක් ද උපුටා දක්වා තිබේ. එයින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ පොලිසීය ඉල්ලීමක් කළ නිසාම අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ඇප ලබා නොදීමේ තීරණයක් නොගත යුතු බවයි. එසේ ඇප ලබා නොදීමක් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් අහිමිකිරීමක් විය හැකිය.
උසාවිය ඉදිරියේ චෝදනා ගොනු කරන විට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විවිධ කරුණු දක්වමින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අවස්ථා නිරන්තරයෙන්ම මාධ්‍යවලින් දැක ගැනීමට අවස්ථාව ලැබේ. එසේ වුව ද විවිධ හේතුමත පොලීසිය විත්තිකරුවන් රිමාන්ඩ් කළ යුතු බවට හෝ දැනටමත් රිමාන්ඩ් කර ඇති පුද්ගලයකු නම් එම රිමාන්ඩ් ගත කිරීම තවදුරටත් දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින අවස්ථා පිළිබඳව ද මාධ්‍ය මගින් දැකගත හැකිය. එසේ වුව ද මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබෙන්නේ පොලිසියේ ඉල්ලීම අනුව පමණක් ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම තුළ රබර් මුද්‍රාවක තත්වයට උසාවිය පත් නොවිය යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ දී ඇප ලබාදීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ගේ අවධානයට ලක් විය යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳව තම නිගමන සහ මත ඉදිරිපත් කර ඇත. එම නඩු තීන්දුවේ සඳහන් කර ඇති අදාළ නීතිමය කරුණු පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ මෙන්ම නීතිඥ ප්‍රජාවගේ ද අවධානය යොමු විය යුතුව ඇත. ඒ අතරම පුද්ගලයන් රිමාන්ඩ් ගත කිරීම සහ දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම පිළිබඳ ජන සමාජයේ අවධානය යොමු කිරීම සඳහා මෙම නඩු තීන්දුව මගින් ඉතා හොඳ අවස්ථාවක් සලසා දී ඇතැයි සිතේ.
“ඇප ලබාදීම සම්මතය වන අතර ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය විය යුතුය” යන කරුණ මෙම ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් අවධාරණය කිරීම මගින් පුද්ගලයකු රිමාන්ඩ් ගත කිරීමේ දී අනුගමනය කළයුතු ප්‍රධාන නීතිමය මූලධර්මය පිළිබඳව අවධානය යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ. මූලධර්මය එය වුව ද ව්‍යවහාරය එහි පරස්පරය බවට පත් වෙමින් තිබෙන නිසා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසික එකක් බව ද සඳහන් කළ යුතුව තිබේ. පොලිසිය මගින් ඕනෑම කරුණක් පිළිබඳව චෝදනා කරමින් සැකකරුවකු උසාවියට ඉදිරිපත් කළ සැනින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරනු ඇතැයි යන්න සමාජය තුළ මුල් බැස ගෙන ඇති මතය බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ. එම මතය බිඳ දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම නඩු තීන්දුව මගින් රිමාන්ඩ් කිරීම පිළිබඳ මූලික මූලධර්මය යළි අවධාරණය කර තිබේ.
රිමාන්ඩ් ගත කිරීම් පිළිබඳව බහුතර ජනතාව දරන ආකල්පය පිළිබඳව සමාජයේ පවත්නා ඉතා සරල සිදුවීම් මගින් පවා තේරුම් ගත හැකිය. පුද්ගල පහරදීමක දී හෝ දෙදෙනකු අතර ඇතිවන ගැටුමක දී සමහරු වහාම රෝහල් ගත වීමට සහ රෝහලේ දිගු කලක් රැඳී සිටීමට ප්‍රයත්න දරති. එයට හේතුව රෝහල්ගතවීම සහ දිගු කලක් රෝහලේ නේවාසිකව සිටීම තුළ තමන් චෝදනා කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් සහ රිමාන්ඩ් ගත කිරීමක් සිදුවනු ඇතැයි යන අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීමය. රිමාන්ඩ් ගත කිරීම පිළිබඳව මෙය සරල උදාහරණයක් වුව ද සමාජය තුළ බොහෝ දෙනකු දරන ආකල්පය එය බව එවැනි උදාහරණ ඔස්සේ හඳුනාගැනීමට අවස්ථාව සැලසේ.
සිදුව ඇති සත්‍ය තත්වය යටපත් කර, කෙනකු අගතියකට පත් කිරීමේ අරමුණෙන් බොරු පැමිණිලි සහ චෝදනා ඉදිරිපත් කරන අවස්ථා අප සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. පළිගැනීම මෙන්ම තම විරුද්ධවාදීන් විනාශ කිරීම වැනි අරමුණු මත පුද්ගලයන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර, සමහරුන් උසාවි මගින් රිමාන්ඩ් ගත කිරීමට උත්සාහ දරන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. පොලිසිය වුව ද විවිධ බලපෑම් මත හෝ සමහර පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික වුවමනාකම් මත ඒ ආකාරයට චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ආකාරය ද ඇතැම් විට දැකගන්නට ලැබේ.
මෙම ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ බලපෑම ඉහත කී ආකාරයේ තත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පාදක වන බව එම තීන්දුවේ එන පහත සඳහන් සටහනින් පැහැදිලි වෙනු ඇත. ‘අධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද බැඳී සිටින බවත්, නීතියෙන් පිළිගත් වලංගු හේතු මත, සුවිශේෂ අවස්ථාවල දී පමණක් එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සීමා කරන නියෝග නිකුත් කළ යුතු බවත්, නීතියෙන් සපයා ඇති ආකාරයට එවැනි තීරණ ගත යුතු බවත් මහේස්ත්‍රාත්වරුන් දැඩි ලෙස දැනුවත් විය යුතුය. අධිකරණයේ අපේක්ෂාව වන්නේ මෙම තීන්දුවේ අඩංගු මූලධර්ම පිළිබඳව මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවයි.’
පුද්ගලයකු රිමාන්ඩ් ගත කිරීම යනු පොලීසිය හෝ වෙනත් ආයතනක හෝ පුද්ගලයකුගේ අවශ්‍යතාව අනුව සිදුවිය යුත්තක් නොවේ. එය නීතියේ ආධිපත්‍ය සහ නීතියේ මූලධර්මවලට අනුකූලව රටක සාමය සහ යහ පැවැත්ම ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක විය යුත්තකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩු තීන්දුවෙන් පැහැදිලි වන්නේ එම අවශ්‍යතාව තහවුරු කෙරෙන පිළිවෙතක් මිස ඊට පරිබාහිර ක්‍රියාදාමයක් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දී සිදු නොවිය යුතු බවයි.
(***)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රිමාන්ඩ් - ජනමතය නිවැරැදිද?