IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.

 

ප්‍රශ්නය:- අද වන විට දේශපාලනය විවිධ පැතිවලට දෝලනය වෙමින් තිබෙනවා. එක්සත් ජනරජ පෙරමුණ මේ තත්වය විග්‍රහ කරගන්නේ කොහොමද?

පිළිතුර:- මහජනයාගේ පැත්තෙන් අපි ප්‍රධාන කරුණු දෙකක් දකිනවා. රට බංකොලොත්වීම නිසා ඇතිවී තිබෙන තත්වය ප්‍රධානයි. විදුලිය, තෙල්, පොහොර, ගෑස්, කෑම නැතුව මහජනයා කැරැලි ගහන තත්වයක් තිබුණා. ඒක දැන් වෙනස් වෙලා. ඒ වෙනස වුණාට ඒ යුගයට බලපෑ අර්බුදය වෙනස් වෙලා නැහැ. ඒ වගේම තෙල්, ගෑස්, විදුලිය, ආහාර, පොහොර, බෙහෙත් මිල තුන් හතර ගුණයකින් වැඩිවෙලා. මේ පසුබිම යටතේ පවුල්වලින් සියයට අනූවකට මේ වියදම දරාගන්න බැරි බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. තිබෙන අලුත් තත්වය එයයි. ජනතාවට දරාගත නොහැකි ජීවන බරක් තිබෙනවා. 2022 දී වූවා සේ යළිත් වරක් කඩා වැටීමක් සිදුවේද යන බිය ජනතාවගේ යටි සිතේ තිබෙනවා.

මේ විපතට මුල දේශපාලකයන් කියන විශ්වාසයත් ජනතාවගේ සිත්වල තිබෙන කාරණයක්. ඒක දෙවැන්න. දේශපාලකයන් පිළිබඳ විශ්වාසය, ඔවුන්ගේ කෙරුවාව පිළිබඳ අප්‍රසන්න හැඟීමක් ජනතාව අතර තිබෙනවා. ඒ නිසා වෙනස් විධියකට බලන්න ඕන. වෙන කට්ටියකට මේක බාර දෙන්න ඕන වැනි හැඟීමකුත් මතුව තිබෙනවා. දැනට රට ජනාධිපතිවරණය දෙසට රට ගමන් කරමින් තිබෙනවා. එය අතිශය තීරණාත්මකයි. මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් මහ මැතිවරණයක් පවත්වනවා. පළාත් පාලන, පළාත් සභා ඡන්දත් ඒ අනුව පවත්වාවි. වාන්දොර ඇරියා වගේ මැතිවරණ හතරක් ඉදිරියට අපි ගමන් කරමින් සිටිනවා.

විවිධ සමීක්ෂණ කර තිබෙනවා. සැලකිය යුතු ප්‍රතිශතයක් ඡන්දය කාටවත් දීමට තීරණය කර නැති බව ඒවායෙන් අනාවරණය වෙනවා. ඒ වගේම මේ ක්‍රමය සහ අවිශ්වාසය මත පදනම්ව සියයට 40ක පමණ පිරිසක් සිටිනවා. කිසිම පක්ෂයකට හෝ අපේක්ෂකයකුට සියයට පනහ ඉක්මවූ ප්‍රතිචාරයකුත් නැහැ. ඒ වගේම බලගතු සම්ප්‍රදායික පක්ෂවලට තිබෙන්නේ සියයට දහයට අඩු ප්‍රතිචාරයක්. මේ තත්වය අපට පේන්න තිබෙනවා.

මේ රටේ ප්‍රධාන ගැටලුව පවුලේ ආදායම වැඩිකර වියදම අඩුකර ගැනීම රටේ ආදායම වැඩිකර වියදම අඩුකර ගැනීම බව පැහැදිලියි. මේ කටයුත්තට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අවශ්‍යයි. තමන් පාලනය කිරීමට යම් සුදුසුකම් තිබෙන පිරිසක් ජනතාව ඉල්ලනවා. ඒක ජනතාවගෙත් වගකීමක්. අපි උත්සාහ කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීමටයි.

ප්‍රශ්නය:- ඔබ කියන කාරණා ඉටුකර ගනිමින් වත්මන් ආණ්ඩුව ඉදිරියට යන බව සිතෙන්නේ නැතිද?

පිළිතුර:- මම මුලින් කියූ පළමු තත්වයෙන් දෙවැනි තත්වයට මේ ආණ්ඩුව ගියා. ඒක තමන්ගේ ජයග්‍රහණයක් හැටියට ආණ්ඩුව පෙන්නනවා. ඒක එහෙම නෙමෙයි කියන්න තරම් අපි කුහක වෙන්නේ නැහැ. බෙහෙත්, විදුලිය, පොහොර, තෙල්, ආහාර නැති මිනිස්සු පාරේ කැරැලි ගසන තත්වයට වඩා හොඳ තැනකට පැමිණ තිබෙනවා. එහෙත් එදාට වඩා තුන් ගුණයක් මේවාට ගෙවන්න සිදුව තිබෙනවා. ඒ වගේම ණය ගෙවා නැහැ. මේ තාවකාලික ජොලිය ලැබී තිබෙන්නේ ණය ගෙවන්නේ නැතුව.

මේ ණය ආපසු ගෙවීමට ගිවිසුමක් ඇතිකර ගෙනත් නැහැ. ජුනි මාසයේ මූල්‍ය අරමුදල ඉදිරියට යනවිට ඒ ගිවිසුම අවශ්‍යයි. ගිවිසුමක් ඇතිකරගත් පසු ණය ආපසු ගෙවීමට තරම් ශක්තිමත් ඩොලර් ආර්ථිකයක් තිබෙනවාද කියන ප්‍රශ්නයත් අපට තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් සහ යුද්දෙට හෝ ලාංකිකයන් රට යවා ඩොලර් ඉපැයීම හැරෙන්න ආණ්‍ඩුවට වෙන උපාය මාර්ග තිබෙන බවක් පේන්න නැහැ.

රටේ තවත් ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කතා නම් තිබෙනවා. බලශක්තිය තවත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට තෙල් සංස්ථාව කෑලිවලට කඩා විකිණීම සහ විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම හැරුණු කොට වෙන විසඳුම් පේන්න නැහැ. ඩීසල් මිල මත රටේ නිෂ්පාදනය අඩාල වෙලා. විදුලි බිල නිසා දුප්පත් ජනයාත් කර්මාන්තකරුවනුත් අපහසුතාවට පත්වෙලා. කර්මාන්ත වැසෙමින් යනවා. තවත් කර්මාන්ත රට හැර යනවා. මේවා සම්බන්ධ උපායමාර්ගික වැඩ සටහනක් ආණ්ඩුවට නැහැ.

ප්‍රශ්නය:- ඡන්ද වෙනුවෙන් පොරකන දේශපාලන පක්ෂ රටේ ප්‍රශ්න විසඳීමට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවක් පේන්න නැත්තේ ඇයි?

පිළිතුර:- ඕන තරම් වැඩපිළිවෙළවල් කියවනවා. අපි ආවාම අරහෙම, මෙහෙම කරනවා කියනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උක් වවා ආසියාවටම උක් සපයන බව කවුද කියා තිබුණා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලට තෙල් පුරවා රටේ තෙල් මිල බස්සන බව කියා තිබුණා. ඒ වගේම රටේ තිබෙන මිනිරන් සම්පතෙන් ග්‍රැෆීන් හදා ඩොලර් උත්පාදනය කරන බව ප්‍රකාශ වී තිබුණා. දුප්පතුන්ට රුපියල් 20000 බැගින් මාසිකව දෙන බව කියා තිබෙනු දුටුවා. විවිධ පැතිවලින් මේ වගේ කතා ඇසෙනවා. එහෙත් මේවා එකක්වත් යථාර්ථවාදී නැහැ. ත්‍රිකුණාමලයේ උක් වවා ආසියාවට දෙන්න තබා ලංකාවටවත් ප්‍රමාණවත්ව දෙන්න බැහැ. ඔය තෙල් ටැංකිවලින් පිරිමැහෙන්නේ ලංකාවේ අවශ්‍යතාවෙන් පහෙන් එකයි. තාම ග්‍රැෆීන් විකිණෙන්නේ ග්‍රෑම්, මිලිග්‍රෑම්වලින්. ග්‍රැෆීන් තවම හදලත් නෑ. එනිසා මේවා සම්බන්ධ කිසිදු දැනුමක් නැති බාල කණ්ඩායමක් අපි මහා නිධානයක් උඩ ඉන්නවා කියන මතයක් හදන්න උත්සාහ ගන්නවා.

එහෙත් අපි එහෙම නැහැ. පවුලේ වියදම අඩු කරගන්න ක්‍රමවේද අපි ඉදිරිපත් කර තිබෙනවා. විදුලි බිල අඩු කරන නිශ්චිත ක්‍රියාමාර්ගයක්, ඉන්ධන මිල අඩු කරන නිශ්චිත ක්‍රියාමාර්ග, ආහාර මිල අඩු කරන්න නිශ්චිත ක්‍රියාදාමයක්, ආහාර නිෂ්පාදනයට හා ඵලදායීතාව නංවන වැඩ පිළිවෙළක්, පොදු ප්‍රවාහන නංවන ක්‍රමයක්, බලශක්ති කළමනාකරණ වැඩපිළිවෙළක්, ඖෂධ සම්බන්ධ විධිමත් ක්‍රමවේදයක්, ප්‍රජා සෞඛ්‍ය නැංවීමට, නගර නිර්මාණයට වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා. විශේෂයෙන්ම රටට ඩොලර් උත්පාදනයට ‘‘ඩෙක්ස්ටොප් ෆැක්ටරි’’ යුගය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. රටේ සමාගම් හරහා ජාත්‍යන්තර සන්නාම ඇති කිරීමට ලෝකයේ තිබෙන අගයදාමයන්ට ලංකාවේ ව්‍යාපාර විවෘත කරන යෝජනාවලියක් ඉකුත් පෙබරවාරි 14 වැනිදා අපි ඉදිරිපත් කළා. එම යෝජනාවලිය ජනගත කිරීම ලබන ජුනි 01 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනවා.

ප්‍රශ්නය:- ඔබ කාලෙන් කාලෙට මේ වගේ වැඩසටහන්, පක්ෂ හදනවා. ඒත් කාලෙකදී මේවා පේන්න නැහැ. ඔබ මේ පෙළගැසෙන්නේ කා වටාද?

පිළිතුර:- අපි මේ දක්වා කළ වැඩවලින් ජනතාව ජයග්‍රහණ ලබාදී තිබෙනවා. 2005 දී අපි ජනපතිවරයකු බිහි කළා. කවුරු මොනව කිව්වත් අද කොටි නැත්තේ ජීවිත බේරී තිබෙන්නේ අපි නිසයි. නැතුව ඒ ජනාධිපතිවත් ඔහුගේ පක්ෂයවත් එදා සිටි අයවත් කොටි පරාජය කරන්න පුළුවන් කියා විශ්වාස කළේ නැහැ. ඒත් අපි ඒ වගකීම ඉටු කළා. කොටි පරාජය කළාට පසු දෙමළ ජනතාව පස්සෙන් පන්නන්න, වෛරයෙන් පලිගන්න අවශ්‍යතාවක් අපට නැහැ. සාමාන්‍ය දෙමළ ජනයා අපේ සමාජයේ කොටසක්. දැන් එල්.ටී.ටී.ඊය නැහැ. ඒත් සමහරු තවමත් ඒ කොටි වලිගවල එල්ලී සිටිනවා.

මහින්ද රාජපක්ෂ යටතේ මේ රටේ දියුණු රාජ්‍යයක් ගොඩනගන්න මග පෙන්නාවි කියා අපි සිතුවා. එහෙත් අන්තිමට වුණේ කිසිදු ආදායමක් ඉපදවෙන්නේ නැති තැන්වල ආයෝජනය කර රට තුළ මහා ජාතික කොල්ලයක් ඇති කර රට බංකොලොත් වීමයි. ඒක අපි මුලින්ම දැක්කා. අනතුරු ඇඟෙව්වා. ඒකට විරුද්ධව නැගී සිටියා. එහෙම කළාම අපට විවිධ ලේබල් ඇලෙව්වා. එහෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කරන්න අපට හැකි වුණා. යහපාලන ආණ්ඩුව බිහිවුණේ ඒ අනුව. එයින් මහජනයාට ප්‍රතිලාභ දුන්නා. අඩු මිලට ඉන්ධන දුන්නා. කොළඹ කුණු ප්‍රශ්නය විසඳුවා. අද කොළඹ ගංවතුර ප්‍රශ්නයක් තිබෙනවද? ඒවා විසඳුවා. මඩ වගුරුවල ජීවත් වූ 20,000 කට නිවාස තනා දුන්නා. තව වසර තුනක් අපට දුන්නා නම් සැහැල්ලු දුම්රිය අද ධාවනය වෙනවා. තැඹිලි විකුණන තත්වයට පත්ව ඇති පෝට් සිටිය ආයෝජන මධ්‍යස්ථානයක් වෙනවා. හෝමාගම තාක්ෂණ නගරය කරන්න ඉඩ දුන්න නම් මේ වන විට 20000 ක් ‘‘ඩෙක්ස්ටොප් ෆැක්ටරි’’ යුගයට යනවා. ඒ නිසා මොකුත් වුණේ නැහැ කියන්න බැහැ. පසුගිය කාලයේ මේ මහපොළොවේ වෙච්ච දේවල් වුණේ අපෙන් තමයි.

ප්‍රශ්නය:- ජනපතිවරණයක් දෙසට රට තල්ලුවෙමින් පවතින බව ඔබ  ප්‍රකාශ කළා. එවන් අවස්ථාවකදී ඔබ හිටගන්නේ කොතැනද?

පිළිතුර:- ඒ සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය පෙබරවාරි 14 වැනිදා ඉදිරිපත් කළා. ජූනි පළමු වැනිදා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනගත කිරීම සිදුකරනවා. මේ දක්වා කිසිම පක්ෂයක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් මේ ආකාරයට ඉදිරිපත් කරනවා අපි දැක්කේ නැහැ. වචනයට සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි රටේ ජනතාවගේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන බව කියන්න පුළුවන්. මේ මත සන්ධානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති අපේක්ෂකයා කවුද කියා ඒ සන්ධානයෙන් තීරණය කරාවි.

ප්‍රශ්නය:- මේ වන විට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සන්ධාන ගණනාවක් ගොඩනගමින් සිටිනවා. මෙවැනි පසුබිමක තවත් සන්ධානයකට ඉඩක් තිබෙනවාද?

පිළිතුර:- රටට ජනතාවට අතිශය වැදගත් වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කර තිබෙනවා. පොහොට්ටුව හැර අනෙක් අයගේ සන්ධානවලට අපි විවෘතයි. ඒ අයත් සමඟ අපි සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම ඒ සන්ධානවලට නැති විශාල පිරිසක් සිටිනවා. ස.ජ.බ, ජ.වි.​ෙප පොහොට්ටුව සමඟ නැති පිරිසක් සිටිනවා. ඒ පිරිස් සමඟ මේ පුළුල් සන්ධාන සාකච්ඡාව ඉදිරියට යමින් තිබෙනවා.

ප්‍රශ්නය:- ජනපතිවරණයට කලින් මහ මැතිවරණය අවශ්‍ය බවට පොහොට්ටුව ඉල්ලීම් කරන බව කතා වෙනවා. කලින් අවශ්‍ය ජනපතිවරණයද මහ මැතිවරණයද කියන තැනදී ඔබලාගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර:- පාර්ලිමේන්තු මන්ත්‍රී 113ක් එකතු වී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවීමේ නිල අයිතිය ජනපතිට තිබුණාට ඒ සඳහා ඔහුට සදාචාර අයිතියක් නැහැ. මොකද එතුමා පළාත් පාලන ඡන්දය කල් දැම්මා. ඒක ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. ආර්ථිකය හදන්න, ණය ප්‍රතිව්‍යහුගත කරන්න කියා ඒ ඡන්දය කල් දැම්මා. එහෙම නම් මහ ඡන්දය තියන්න කලින් පළාත් පාලන ඡන්දය තියන්න ඕන. බැසිල්ට අවශ්‍ය රාජපක්ෂ පස්දෙනයි, එයාට හිතවත් පිරිසකුයි පාර්ලිමේන්තුවට යවා අස්ථාවර පාර්ලිමේන්තුවක් හදා රජුන් තනන්නා වෙන්නයි. එහෙම නැතුව ජනතාවගේ පරාමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයකට නෙමෙයි. මොන ඡන්දය තිබ්බත් රාජපක්ෂ මහත්වරුන්ගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- ඉදිරි ජනපතිවරණයේදී සියයට පනහ ඉක්මවීම අපහසු බව විවිධ සමීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව සඳහන් වුවත් ජා.ජ.බ. සියයට පනහ ඉක්මවා ඇති බවට මත පළවෙනවා නේද?

පිළිතුර:- එක්කෝටි හැට ලක්ෂයකින් පන්සිය තිස් දෙදෙනකු ගෙන් අසා ඒක තීරණය කරන්න බැහැ. අද තිබෙන බොහොමයක් ජනමත සමීක්ෂණ මධ්‍යස්ථ ඒවා නෙමෙයි. යම් පුරෝකථනයක් කරන්න නම් ඒ ඒ සමීක්ෂණවල සාම්පලයේ ප්‍රමාණය ඉතා වැදගත්. ඍජු ප්‍රශ්න කිරීම්වලදී තම මතය නිවැරදිව ප්‍රකාශ කරන පිරිස ඉතා අඩුයි. සමීක්ෂණයක් මූලධර්මවලට අනුකූලව පැවැත්විය යුතුයි. එවැනි විද්‍යානුකූල පදනමක් මත මේ වනතෙක් කිසිදු සමීක්ෂණයක් පවත්වා තිබෙනවා මම නම් දැක්කේ නැහැ. ඔය බොහෝ ඒවා සමීක්ෂණ නෙමෙයි.

ප්‍රශ්නය:- මේ සිටින කොටස්වලට මේ රට ගොඩනගන්න පුළුවන්ද?

පිළිතුර:- රට ගොඩනැගිය හැකි පිරිසක් සිටිනවා. මාධ්‍යවල වැජඹෙන අය, සමාජ මාධ්‍යවල පිම්බෙන අය, මට පුළුවන් මම දක්ෂයා කියමින් පම්පෝරි ගහන අයගේ කළමනාකරණ හැකියාව පිළිබඳව ජනතාව අවධානය යොමුකළ යුතුයි. දැන් ව්‍යාපාරිකයොත් ඇවිත්. මේ අය මුදල් ඉපැයූ ආකාරය අවධානයට ගත යුතුයි. ඇමැතිකම් කළ අය ඒවා කළ ආකාරය සෙවිය යුතුයි. එවැනි අවබෝධයකින් ඡන්දය දිය යුතුවා මිස ගෝඨාභයට දුන්නා වගේ ඡන්දය දී රැවටෙන්න එපා කියලයි කියන්න වෙන්නේ.

 

(*** සාච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (2)

රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ

ranjith Tuesday, 04 June 2024 09:25 AM

මෙයාට කොයිතරම් කාලයක් පාර්ලිමේන්තුවේ ඉදන් මහජන මුදල් වලින් යැපුණාද? දැන්ද ප්‍රායෝගික සැලැස්මක් ඕන කියලා පෙනුනේ

:       0       4

Kmal Koyrala Tuesday, 04 June 2024 04:08 PM

හෙළ උරුමය රේක ගන්න ගම්මන්පිලත් එක්ක ,ලක්ෂ ගණන් හෙළයෝ රට අතහැරලා යනවා . එක්සත් ජනරජ පෙරමුණ තිබුණට එක්සත් ජනයා ඉන්නේ කොහිද කියල ප්‍රායෝගික රට්ටට කියන්න දැන් ඉන්නේ කීවෙනි පෙරමුණේද සුදු ඇදගෙන කළු ඇවිදින් වගේ

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 233 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 114 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 240 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 609 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4819 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site