IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


රට අවදි කළ පනත් දෙකක්


රට පුරා මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පනත් කෙටුම්පත් දෙකක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට රට පුරා විරෝධී රැල්ලක් මතුවී තිබේ. වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ ද කොතලාවල පනතට දැඩි විරෝධය දක්වමින් සිටී. ගුරු සංගම් ද ඉකුත් දා එම පනතට විරුද්ධව වීදි සටන් මෙහෙයවීය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත විවාදයට ගත් අතර, එය ඉදිරි දිනෙක සම්මත කිරීමට නියමිතය. මුදල් සංශෝධන පනත මගින් අපේක්ෂා කරන්නේ බදු නොගෙවූ පිරිසකට යම් සහනයක් ලබාදීමය. කිසියම් පිරිසක් බදු ගෙවා නැත්නම් එම බදු මුදලේ වටිනාකම ආයෝජනය කිරීමට එම ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබේ. එවැනි ආයෝජනයකදී ව්‍යාපාරිකයන් දඬුවමකට යටත් නොවන අතර, මුදල් සපයා ගැනීම පිළිබඳව ප්‍රශ්න කිරීමක්ද නැත.

ව්‍යාපාරිකයන් සතු එම මුදල් ආයෝජනය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවීම දෙයාකාරයකින් වාසිසහගත බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. සැඟවී තිබෙන මුදල් රට තුළ සංසරණය වීම, ආයෝජන අවස්ථා ඉහළ යාම නිසා ආර්ථිකයට ඉන් රුකුලක් සිදුවන බව ඔවුන්ගේ තර්කයකි. එහෙත් තවත් පිරිසක් චෝදනා කරන්නේ ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ට සහනයක් සලසාදීමේ වෑයමක් බව කියමිනි. තවද මෙම නව නීති හරහා කළු සල්ලි සුදු කරන බවට ද තවත් පිරිසක් චෝදනා කරති. මෙම පනත් කෙටුම්පත් දෙකටම රටේ ජනතාවගෙන් යම් විරෝධතාවයක් මතුව තිබේ. ඒ සඳහා නීති පියවර ගැනීමට ද ඇතැම් පිරිස් කටයුතු කර තිබේ.

මංගල සමරවීර හිටපු ඇමැතිවරයා කලක් නිෂ්ශබ්දව සිටියේය. ඔහු නැවතත් කරළියට පැමිණ සිටින්නේ අලුත් සංවිධානයක් ගොඩනගා ගනිමිනි. මංගල සමරවීරගේ නව සංවිධානයේ කාර්යාලය පිහිටුවා ඇත්තේ කොළඹ යුනියන් පෙදෙසට ආසන්නවය. ‘සැබෑ දේශප්‍රේමියෝ’ ඔහුගේ නව සංවිධානය වන අතර, ඔහු සමඟ රොක්වී ඇත්තේ තරුණ තරුණියෝ පිරිසකි. මංගල සිය සංවිධානය රටට හඳුන්වා දුන්නේ ඉකුත් ඉරිද‌ා ය. ඔහු සිය සංවිධානය ආරම්භ කිරීම ගැන කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේ කළු ජූලිය ගැන මතක් කරමිනි. “අපි අද ඉන්නේ කළු ජූලියට වසර 38ක් සපිරෙන මොහොතකයි. රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයකට හේතු හදපු තවත් එක් තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කළු ජූලිය හඳුන්වන්න පුළුවන්.” මංගල දිගින් දිගටම කරුණු පැහැදිලි කළේය. එම කරුණු පැහැදිලි කිරීම තුළ කිසිවිටෙකවත් ඔහු දේශපාලනය කතා කළේ නැත. දේශපාලනයට නැවත එන බවක් ඉඟි කළේ නැත. ඔහු කීවේ ‘සැබෑ දේශප්‍රේමියෝ’ නමැති සංවිධානය දේශපාලනයට අත නොගසන බවකි.

“මංගල තරුණ සංවිධානයක් හදාගෙන චන්ද්‍රිකාගේ පුතාට දේශපාලනයට එන්න මාවතක් සකස් කරනවා. විමුක්ති කුමාරතුංග දේශපාලනයට එන්න ඉඩ තියෙනවා. මංගල මේ කරන්නේ චන්ද්‍රිකාගේ අවශ්‍යතාවයක්.” යැයි පිරිසක් මංගලට චෝදනා කරති. එහෙත් ඒ පිළිබඳව විමසූ විට මංගල කියන්නේ එය සාවද්‍ය ප්‍රචාරයක් බවය.

“මංගල පාර්ලිමේන්තු දේශපාලනය කරන්නෙ නැහැ කිව්වට දේශපාලනය නොකරන බවක් කීවේ නැහැ. පාර්ලිමේන්තුවට නෑවිත් දේශපාලනය කරනවාය කියන කාරණාව බරපතළයි. ඔහුට ජනාධිපති සිහිනයක් තිබෙන්නත් පුළුවන්.” යැයි තවත් පිරිසක් පවසති. මේ අතර ‘සැබෑ දේශප්‍රේමියෝ’ සංවිධානයේ අරමුණ වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා තරුණ තරුණියන් සිය සංවිධානයට එක්කර ගැනීමටය. තරුණ තරුණියන් සිය ගණනාවක් දැනටමත් ‘සැබෑ දේශප්‍රේමියෝ’ සංවිධානයට එක්ව සිටින බව ද මංගල සමරවීර කියන්නේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ජපානය බලා පිටත්ව ගියේය. නාමල් සමඟ රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් ද ජපානයට ගොස් ඇතැයි ද ඔවුන්ගේ සියලු වියදම් රජය මගින් දරා ඇතැයි ද ආදී වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා පළ වී තිබුණේය. තේනුක විද‌ානගමගේ, රොෂාන් රණසිංහ සහ කංචන විජේසේකර එම රාජ්‍ය ඇමැතිවරු තිදෙනාය. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවූ වාර්තාවලින් ප්‍රකාශ වී තිබුණේ, එම ඇමැතිවරුන් ද රජයේ මුදල්වලින් ඔලිම්පික් නැරඹීමට ගොස් ඇති බවකි. කෙසේ වෙතත් එය ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. අනුග්‍රාහකයින්ගේ මුදල්වලින් රාජ්‍ය ඇමැතිවරුන් ජපන් ගිය බව කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දේශපාලනය කරන දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

“ඉවසුවා ඇති, කුමන්ත්‍රණය පරාජය කිරීමට පෙළ ගැසෙමු” යනුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. රජය ගෙන එන ජනතාවාදී දේශප්‍රේමී වැඩසටහන අසාර්ථක කිරීම සඳහා ඊනියා විපක්ෂය හා ඊනියා වෘත්තීය සමිති ගෙන යන දේශද්‍රෝහී වැඩපිළිවෙළ පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ද දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ කියන්නේය. රටටත්, ජනතාවටත් වින කරමින් වෘත්තීය සමිති ගෙන යන වැඩපිළිවෙළ පරාජය කළ යුතු බව ද සුගත් හේවාපතිරණ සඳහන් කරන්නේය.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ස්ථාපිත කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉකුත් බද‌ාද‌ා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන් කැඳවා තිබිණ. ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමය සංශෝධනය විය යුතු ආකාරය ගැන යෝජනා අදහස් විමසීමට ඔවුන් කැඳවා තිබූ අතර, ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමන්දවකච්චි පක්ෂය පැමිණ එම පක්ෂවල අදහස් ලබා දුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විශේෂ කාරක සභාවට මීට ඉහත දේශපාලන පක්ෂ ගණනාවක් කැඳවා ඇතත්, ඒවා සියල්ල පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වීම විශේෂත්වයකි.

මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ ක්‍රම වෙනස් කළ යුතු බවට ආණ්ඩුව අදහස් කරගෙන ඇති අතර, ඒ සඳහා දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධානවලින් මේ වනවිට අදහස් හා යෝජනා රැසක් ලැබී ඇතැයි ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ද රජය අදහස් කරගෙන සිටින අතර, එම මැතිවරණ නව ක්‍රමවේදයකට පැවැත්වීමට අදහස් කරගෙන ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණ නව මැතිවරණ ක්‍රමයකට පැවැත්වූ නමුත්, එහි ප්‍රායෝගික ගැටලු පවතින බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන්නට විය. පළාත් පාලන ආයතනයකට පත්වන නියෝජිතයන් සංඛ්‍යාව වැඩි බවට ද චෝදනා එල්ල වන්නේය.

අමාත්‍ය මණ්ඩලය ඉකුත් සඳුද‌ා රැස් වූ අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ගුරු ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනා දෙකක් ඉදිරිපත් කළේය. ගුරු ප්‍රශ්නය ගැන ඇමැතිවරු විවිධ අදහස් පළ කළහ. ඒ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට විශේෂ දැනුම් දීමක් කළේය.

‘ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය වාරිකය අපි ගෙව්වා. තව තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකකයි. රට දැඩි ආර්ථික අර්බුදයක තිබුණත් අපි කොහොම හරි ණය මුදල ගෙව්වා. ඒ එක්කම පවතින මූල්‍ය ගැටලු සහගත තත්ත්වයෙන් මිදෙන්න ඕනෙ. මේ දවස්වල ඒ සඳහා වැඩපිළිවෙළක් සකස්කර ගෙන යනවා.’ යැයි මුදල් ඇමැතිවරයා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කළේය. මුදල් ඇමැතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇමැතිවරු නැවත ගුරු වැටුප් ගැටලුව ගැන දීර්ඝ ලෙස විස්තර කළහ. ‘මේක වසර ගණනාවක්ම ඇදෙන ප්‍රශ්නයක්. මේ ඉල්ලීම් අසාධාරණ නැහැ. ජී.එල්. පීරිස් කීවේය. අධ්‍යාපන ඇමැතිගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා කළේය.’ වැටුප් වැඩිකිරීම ගැන ගැටලුවක් නැහැ. ප්‍රතිපත්තියක් විදියට පඩි වැඩි කිරීමට අපි එකඟයි. එහෙත් රටේ පවතින තත්ත්වය එක්ක මේ ගැන හිතන්න වෙනවා. ගුරුවරුන් ඉල්ලන වැටුප් දෙන්න රුපියල් කෝටි 6800 ක් විතර යනවා. රටේ පවතින තත්ත්වය එක්ක ඒක කරන්න අමාරුයි. ඊළඟ බජට් එකේදී ඒක කරන්න පුළුවන්.’ යැයි ජනාධිපතිවරයා කීවේය. ‘ගුරුවරුන්ගේ වැටුප් අවුරුදු 24 කින් වැඩිවෙලා නැහැ. මේක ගුරුවරුන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්.’ ගාමිණී ලොකුගේ ඇමැතිවරයා කීවේය. ‘රිචඩ් පතිරණ මහත්තයා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලෙ තමයි ගුරු සේවය ස්ථාපිත කළේ. එද‌ා වැටුප් විෂමතා ඉවත් කරන්න යෝජනා වුණා. ඒ උනත් අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ විෂමතා නිසා ඒක කරන්න ලැබුණෙ නැහැ.’ යැයි ඩලස් අලහප්පෙරුම කීවේය. ඩලස්ගෙ පැහැදිලි කිරීමෙන් පස්සෙ විමල් වීරවංශ මහින්ද‌ානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග ඇතුළු ඇමැතිවරු ගණනාවක් ගුරු ගැටලුව ගැන අදහස් පළ කළහ.

සාකච්ඡාව අතරතුර විමල් වීරවංශ වෙනත් අදහසක් පළ කළේය. ‘සංචරණ නීති හරිහැටියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නීති හැමෝටම එකවගේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා.’ යැයි විමල් කීවේය.

‘ඔව් ඒ ගැන අපි විමර්ශනයක් කරනවා.’ යැයි ඊට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි කීවාය.

‘දැන් මඟුල් ගෙවල්, මළ ගෙවල්වලට යම් යම් සීමා යටතේ අවසර ලැබී තිබෙනවා. ඒ උනාට සමහරු සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒක බරපතළ ප්‍රශ්නයක්’ ජනාධිපතිවරයා කීවේය.

‘ජනාධිපතිතුමනි ඔය චෝදනාව ගැන අපි විමර්ශනයක් කරනවා. මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නා. පහුගිය කාලේ මංගල අවමංගල උත්සව ගැන පැමිණිලි රැසක් ලැබුණා.’ යැයි සෞඛ්‍ය ඇමැතිවරිය කීවාය.

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමද‌ාස අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ මන්ත්‍රීවරුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථා සලසා දීමටය. ‘අපි විදේශ විශ්ව විද්‍යාල සමඟ සාකච්ඡා කළා. උපාධි පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා වගේ ඔන්ලයින් මාර්ගයෙන් හද‌ාරන්න දැන් අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව තිබෙනවා. අපි හිතමු සාමාන්‍ය පෙළ සමත් මන්ත්‍රී කෙනෙක් කියලා. එයාට එතනින් ඉහළට වසරක සහතික පත්‍ර පාඨමාලාවක් කරන්න පුළුවන්. උසස්පෙළ සමත් අයට උපාධි පාඨමාලාවක් කරන්න පුළුවන්. විදේශ විශ්වවිද්‍යාලවලට ගෙවිය යුතු මුදල් අපි පක්ෂයෙන් සපයා දෙනවා. දැනුමෙන් සන්නද්ධ මන්ත්‍රී පිරිසක් අපට අවශ්‍යයි. දැන් ඒ වැඩපිළිවෙළ ඉතාම හොඳට යනවා. දැන් බලන්න ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. එතුමා උපාධිය ලබාගෙන තිබෙන්නෙ අවුරුදු 45 දී විතර. උසස් පෙළ කීප වාරයක් කළ බවත් එතුමා මට කිව්වා. අවිධිමත් ක්‍රමවේදයට හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීම අත්‍යවශ්‍යයි.’ යැයි සජිත් ප්‍රේමද‌‌ාස මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ කීවේය.

(*** කස්තුරි)

 



අදහස් (1)

රට අවදි කළ පනත් දෙකක්

dhamneth Saturday, 31 July 2021 02:26 PM

රජයේ විශ්ව විද්‍යාලවලට නොතේරී සිටින ළමුන්ගෙන් මුදල්ගෙවා ඉගෙන ගන්න සූදානම් ළමයින් කොතලාවල විශ්ව විද්‍යාලයට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා තෝරගත්තාම ප්‍රශ්නයක් නැහැ නේද? අවම ඉසෙඩ් කොර් මට්ටමකටත් ඇවිත් මුදල් ගෙවා ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා නම් අසාධාරණයක් වෙනවා එම ළමුන් බඳවා ගත්තට... දැන් ලකුණු ක්‍රමයටත් බස්නාහිර පළාතේ ළමුන්ට අසාධාරණයක් වෙනවා.

:       71       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site