IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේ වංචනිකයන්ට ඉඩ දී බලා සිටිමු ද?

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයට එක් හේතුවක් වන්නේ, රටේ ඉහළ සිට පහළටම බූවල්ලකු අඬු විහිදුවා ගත්තා සේ ක්‍රියාත්මක වන දූෂණය සහ වංචාවය. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවේ උදව්වට කැඳවාගත් අයි.එම්.එෆ්. එක පවා ඔවුන්ගේ ආධාර ලබාදීමේ එක් මූලික කොන්දේසියක් වශයෙන්, රටේ ක්‍රියාත්මක දූෂණය සහ වංචාව තුරන් කරන ශක්තිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව සඳහන් කර තිබේ. එහෙත්, මේ කිසිවකින්වත් අපේ රට පාඩමක් ඉගෙන ගන්නා බවක් පෙනෙන්නට නැත.

අපේ ‘ලංකාදීප’ පුවත්පත පසුගියදා ප්‍රධාන සිරස්තලයකින් පෙන්වා දී තිබුණේ, රුපියල් කෝටි 900ක ඉන්ධන වංචාවක චූදිතයකු කිසිදු අවහිරයකින් තොරව රටින් පැනගොස් සිටින බවය. මෙහි ඇති පුදුමය වන්නේ, අදාළ වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදී සහ එම විමර්ශන කටයුතුවලදී ප්‍රශ්න කිරීම්වලට ලක්වන පුද්ගලයකුට මේ තරම් පහසුවෙන් රටින් පැන යාමට අවස්ථාව ලැබීමය. ඔහුට එම අවස්ථාව සඳහා පහසුකම් සපයා දුන් සෙසු නිලධාරීන් ද මේ මහා වංචාවේ කොටස්කාරයන් වශයෙන් සැලකිය යුතු නොවේ ද? වහාම අවශ්‍ය පියවර නොගතහොත් වංචාවට සම්බන්ධ සෙසු පිරිස ද රටින් පැන යන බවට සැකයක් නැත. 

රුපියල් කෝටි 900ක වංචාවක් යනු එසේ මෙසේ කතාවක් නොවන බව වටහා ගැනීම අසීරු නැත. අදාළ ප්‍රධාන චූදිත නිලධාරියා තවත් පිරිසක් සමග එකතු වී මෙරටට ආනයනය කළ ඉන්ධන නෞකාවලින් ඉන්ධන බැරල් දහස් ගණනක් පිට කිරීමෙන් මේ වංචාව සිදු කර ඇතැයි කියැවේ.

එම තොරතුරු සොයාගෙන ඇත්තේ, තෙල් සංස්ථාව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකිනි. එම පරීක්ෂණයට අනුව තෙල් සංස්ථාවේ වාණිජ අංශයේ සේවය කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පිරිසට සහ පිරිපහදුවේ උසස් නිලධාරීන් කිහිප දෙනකු එකතු වී ඉන්ධන අස්ථානගත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එහෙත්, හාස්‍යයට කාරණය වන්නේ, මෙතරම් බරපතළ වංචාවක චූදිතයකු වශයෙන් හඳුනාගෙන ඇති ඉහත කී නිලධාරියාට කිසිදු අපහසුවකින් තොරව නිවාඩු ලබාගෙන විදෙස්ගත වීමට ඉඩ පහසුකම් සලසා දීමය.

ලබන වසරේදී විශ්‍රාම යාමට නියමිත බව කියන මේ නිලධාරියා ඇමෙරිකාව බලා යන බව ප්‍රකාශ කර තිබුණත්, ඔහුගේ ගමනාන්තය කැනඩාව බවත්, එරට සිට සේවයෙන් ඉවත් වන බව තවත් පාර්ශ්වයක් හරහා සංස්ථාවට දැනුම් දී ඇති බවත් සංස්ථාවේ නිලධාරියකු ‘ලංකාදීප’යට ප්‍රකාශ කර තිබිණි. 

රුපියල් කෝටි 900ක් තරම් බරපතළ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටින නිලධාරියකුට ඔහු කොතරම් උසස් නිලයක් දැරුවත් හොර රහසේම රටින් පිටව යාම පහසු ක්‍රියාවක් නොවේ. එහෙත්, ඔහුගේ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේ, මෙකී වංචාව සිදු කර ඇත්තේ ඉතා සැලසුම් සහගතව බවය. ඇමෙරිකාව හෝ කැනඩාවට හෝ නිල මට්ටමේ රාජකාරි කටයුත්තකට හැර වීසා පහසුකම් ලබා ගැනීම දුෂ්කර ක්‍රියාවකි. ඔහුට රට යාමට උදව් කළ කවරකු හෝ සිටී නම්, ඒ අයද වංචාවේ කොටස්කාරයන් බවට සලකා, ඒ අනුව පියවර ගත යුතු යැයි අප මුලින්ම පැවැසුවේ එබැවිනි. 

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, රට පුරා ඔඩු දුවා ඇති වංචාව සහ දූෂණය පිටුදැකීම අනිවාර්ය කොන්දේසියකි. වංචාව සහ දූෂණය ක්‍රියාත්මක වීමට හැම පහසුකමක්ම සලසා දෙන ක්‍රමවේදයක් පවතින රටකට ආර්ථික අතින් ගොඩ ඒම සිහිනයක් පමණි. 

වඩාත්ම ඛේදවාචකය වංචා සිදු වීම නොව ඒවාට වගකිව යුතු පුද්ගලයන් කිසිවකුත් නීතියේ රැහැනට හසු නොවීමය. එවැනි පුද්ගලයන්ට නිදහසේ රට ඇතුළේ සැරිසැරීමට පමණක් නොව රටින් බැහැරට යාමට ද ඉඩකඩ සැලසී තිබීමය. මේ තත්ත්වයට වහාම පිළියම් යෙදිය යුතුය.

එසේ පිළියම් යෙදෙන්නේ නැත්නම්, අපට වටහා ගැනීමට තිබෙන්නේ, මහා පරිමාණ වංචා යට බලවත් දේශපාලනඥයන් සිටින බවය. තෙල් සංස්ථාවේ කෝටි 900ක විශාල කුට්ටියක් එම බලවතුන්ගේ සාක්කු ඇතුළේ තැන්පත් වී ඇති බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. චූදිතයාට රටින් බැහැරට යාමට ඉඩ සලසා දී තිබීමෙන්ම එය පැහැදිලි වෙයි.

(***)



අදහස් (4)

මේ වංචනිකයන්ට ඉඩ දී බලා සිටිමු ද?

SISIRA Wednesday, 09 August 2023 05:18 PM

බරපතළ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටින නිලධාරියකුට ඔහු කොතරම් උසස් නිලයක් දැරුවත් හොර රහසේම රටින් පිටව කැනඩාවට හෝ වෙනත් රටකට ගොස් ඇත්නම් විදේශ තානාපති කාර්යාල මගින් එමරටවලට දන්වා මොවුන් දූෂිතයින් සහ සොරුන් බවත් මූල්‍ය වංචා කර ඇති බවට දන්වා නැවත ඔවුන්ව ලංකාවට ගෙන්වා ගැනීමට අපහසු නැත. මොවුන් රටින් පිටවීමට සහයෝගය ලබාදුන් පුද්ගලයින්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතුවේ. රටේ පුරවැසියන් වන අපට තානාපති අංශ, විදේශ කටයුතු, පොලිසිය සහ අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසයක් ගොඩනැගීමට සහ එම ආයතන කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව ජනතාවට පසක් විය යුතුයි...

:       1       26

පැරකුම්Sunday, 13 August 2023 02:31 AM

SISIRA වියයුත්තේ එය බැව් සැබවි. එහෙත් අප රටේ නොවන්නේද එයම වේ...? අපේම අවාසනාව…!

:       0       0

sarath Thursday, 10 August 2023 02:58 PM

මෙතරම් වංචාවක් කිරීමට මොහුට හයිය ලැබුනේ දේශපාලන අනුග්‍රහය නිසාද යන්නත් සොයා බැලිය යුතුයි...!

:       0       0

SL Sunday, 13 August 2023 12:17 AM

මම ඉන්නේ පිටරටක. ලංකාව දාලා එන්න වුනේ ඕකේ ඉන්න කාලකන්නි රාජ්‍ය සේවකයෝ සහ දේශපාලයකයෝ කරන හොරකම් නිසා රටට වුණු ආර්ථික අවපාතයත් එක්ක මගේ රැකියාව නැති වීම නිසා. ලංකාව තරම් මිනිස්සුන්ට පහසුවෙන් ඉන්න පුළුවන් රටවල් තියෙන්නේ කිහිපයක් විතර වෙන්න ඕනේ. මේවයි ඉන්න බැරි තත්වෙකට පත් කළේ මේ කියන කාපාලුවන් ලංකාවේ, අධිකරණය, ව්‍යවස්තාව සහ විධායකය යන සියල්ල දුශිතයිගෙන් පිරිලා. ඉස්සර වෙලාම එල්ලන්න ඕනේ, රටේ කම්බ හොරුන්ව ,හොරකම අහු වුණත් නිදොස් කොට නිදහස් කරන කාලකන්නි විනිසුරුවන්. ප්‍රසන්න රණතුංග වගේ කෙනෙක් නැතිනම් පාර්ලිමේන්තු ඉන්න ඕනේ නැහැ... පොලිසියේ ඉන්න ගොට්ට අල්ලන ලොකු අයත් ඒවාට වගකියන්න ඕනේ... මේ රට හදන්න බැරි වෙලා තියෙන්නේ මේ අය හින්දා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 143 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2047 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1573 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site