පසුගිය වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ වසරකින් කල් දමනු ලැබූ හෙයින් එම මැතිවරණ ලබන මාර්තු මස පැවැත්වෙනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කොට ඇත. ඒ සඳහා දැන්  නාමයෝජනාද කැඳවීමට දැන් සූදානම් ය. එහෙත් එම මැතිවරණ පැවැත්වේද යන සැකය බොහෝ දෙනා තුළ මතුවී තිබේ.

මීට හේතුව වී තිබෙන්නේ මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරත්, ඉන් පසුවත් මෙම මැතිවරණයට අදාළව ආණ්ඩුව යෝජනා කරන වෙනස්කම්ය. එම වෙනස්කම් හා ඒවා මේ අවස්ථාවේම ගෙන එනු ලැබීමත් නිසා ආණ්ඩුව මෙම මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බවට ඕනෑම කෙනකු තුළ සැක ඇති වීම සාධාරණය.

 ආණ්ඩුව යෝජනා කරන වෙනස්කම් හුදකලාව ගත් කල  ඒවාට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව හාර දහසකින් පමණ අඩු කිරීම, එම ආයතනවලට තෝරා ගන්නට නියමිත සභික සංඛ්‍යාවේ තරුණ ප්‍රතිශතය වැඩිකිරීම, අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම ආදිය ආණ්ඩුව මැතිවරණය ආසන්න කාලයේදී යෝජනා කළ වෙනස්කම්ය. මේවා ඉතා හොඳ යෝජනා මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ බොහෝ දෙනා ඉල්ලා සිටි වෙනස්කම්ය.

එහෙත් ඉතා හොඳ යෝජනා උපයෝගී කොටගෙන මැතිවරණ කල් දමනු ලැබූ අවස්ථා ඉතිහාසයේ තිබේ. උදාහරණයක් වශයෙන් 2017දී එවකට පැවති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණ කල් දමා ගත්තේ ඒ වනවිට රටේ සියලු පක්ෂ එකඟ වී සිටි මිශ්‍ර මැතිවරණ ක්‍රමය උපයෝගී කරගෙනය.

ආණ්ඩුව එදා පළාත් සභා සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේද වෙනම පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකොට වෙනත් පනත් කෙටුම්පතක සංශෝධනයක් ලෙසිනි. ඒ මිශ්‍ර ක්‍රමය පිළිබඳ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයට යාම වැළැක්වීම සඳහාය. ඉන්පසු මිශ්‍ර ක්‍රමය යටතේ පළාත් සභා බල ප්‍රදේශවල සීමා නිර්ණය කිරීමේ ප්‍රශ්නය අවුල් කිරීමෙන් වසර පහක් ගතවීත් අද ද එම මැතිවරණ පැවැත්වීමට නොහැකිව තිබේ.

මෙවරද පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ අත ළඟටම ආ පසු එම මැතිවරණවලට බලපාන වෙනස්කම් යෝජනා කරන්නට පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් 9 වැනිදාය. එදින ජනාධිපති  ලේකම් කාර්යාලයේ දී වෘත්තීයවේදීන් සමඟ පැවැති සාකච්ඡාවක දී පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දහස දක්වා අඩු කරන්නට  පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

2018 දක්වා 4000ක් පමණ වූ පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8700ක් පමණ වූයේ එපමණ සංඛ්‍යාවක් රටට අවශ්‍ය කරන  නිසා නොව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමේ දී මතු වූ  තාක්ෂණික කාරණා නිසාය. ඒ නිසා එම සංඛ්‍යාව යළිත් අඩු කිරීම කළ යුතු දෙයකි. විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එය කළ යුතුම දෙයකි.

එසේ වුවද විපක්ෂයේ විවේචන නොතකා ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත්තේය. සභික සංඛ්‍යාව අඩුකළ හැක්කේ මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ ඇති ඡන්ද කොට්ඨාස ගණන අඩු කිරීම මඟිනි. ඒ සඳහා පළාත් පාලන බල ප්‍රදේශවල ඡන්ද කොට්ඨාස අලුතින්  වෙන් කළ යුතුය. ඒ අනුව පසුගිය නොවැම්බර් මස මුල් සතියේ පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පස් දෙනකුගෙන් යුත් සීමා නිර්ණය කමිටුවක් පත්  කළේය.

එම කමිටුවේ සභාපති ධුරයට පත් කරන ලද්දේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති හා සීමා නිර්ණය කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතාය. එහෙයින් පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උපක්‍රමයට දායක වන බව පවසමින් ඇතැම්  විරුද්ධ පක්ෂ දේශප්‍රිය මහතාට ද දෝෂාරෝපණය කළහ.

මැතිවරණ කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ඇති දේශප්‍රිය මහතා ඉතා දක්ෂ ලෙස එම විවේචනයට මුහුණ දෙන්නේය. තමන්ගේ කමිටුවේ කටයුතු නොතකා වත්මන් ඡන්ද කොට්ඨාස පදනමින් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බාධාවක් නැතැයිද තම කමිටුවේ  නිර්දේශ අනුව කටයුතු කිරීම නීතියෙන් අනිවාර්ය නොවන බවද ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව ආණ්ඩුව වෙනත් අතකට හැරුණේය. ආණ්ඩුව එවර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීම ඇතුළු එම මැතිවරණවලට අදාළ වෙනත් වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන්නට යොමු විය.

තමන් මෙම කාරණය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමගද සාකච්ඡා කළ බව අධිකරණ  ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පසුගිය මාසයේදී සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි. ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බවට ඒ වන විටත් චෝදනා එල්ල වෙමින් පැවැති හෙයින් මැතිවරණ කල් දැමීමට අවශ්‍ය නොවන පරිදි මෙම තේරීම් කාරක සභාව සති දෙකකින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ඇතැයි ඔහු එම පුවත්පතට පවසා තිබිණි.

එසේ වුවද පළාත් පාලන මැතිවරණ සහ අනෙක් මැතිවරණ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා 2021 මැයි මාසයේදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබීය. වඩාත් වැදගත් කාරණය නම් එම  තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වූයේ ද එවකට ඇමැතිවරයකු වූ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වීමය. ගුණවර්ධන මහතා එම කාරක සභාවේ අවසන් වාර්තාව පසුගිය වසරේ ජූනි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොටද තිබිණි. ඊට අමතරව නොවැම්බර් මස පත් කරන ලද සීමා නිර්ණය කමිටුවද තිබිණි. තවත් තේරීම් කාරක සභාවක් පත් කරන්නට යෝජනා වූයේ ඒ පසුබිම  තුළය. එසේ වුවද එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නැත.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගේ මතය විමසා තිබිණි. ඒ බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පසුගිය දෙසැම්බර් 4 වැනිදා පළවූ ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ නීතිපතිවරයාගේ මතය විමසීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  මහතාගේ දෝෂදර්ශනයට ලක්විය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙසේ නීතිපතිවරයාගේ මතය විමසීමේ අවශ්‍යතාවක් නැති බවත් 2022 පෙබරවාරි මාසයේදී පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වූ විට එම ආයතන සඳහා මැතිවරණ පැවැත්විය යුතු වුවද එම මැතිවරණය වසරකින් කල් දමනු ලැබූ හෙයින් මැතිවරණ කොමිසම කළ යුත්තේ 2023 මාර්තු  20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

ඉන් දින කිහිපයකට පසු එනම් දෙසැම්බර් 7  වැනිදා පළාත් පාලන මැතිවරණ මාර්තු මාසයේ දී පැවැත්වෙනු ඇති බවත් ඒ සඳහා දෙසැම්බර් මස අග භාගයේ දී නාම යෝජනා කැඳවන බවත් සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කළේය. එය මෙම විවේචනවලට පිළිතුරු දීමක් විය යුතුය.

එසේ වුවද කුමක් හෝ හේතුවකින් මැතිවරණ කොමිසම නිවේදනය කළ අයුරින් දෙසැම්බර් මස අගදී නාම යෝජනා කැඳවීමක් සිදු නොවීය. ඒ අතර මේ වසර ආරම්භ වනවාත් සමඟම එනම් ජනවාරි 2වැනිදා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා මාර්තු මාසයේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට වළක්වාලන අයුරින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

මැතිවරණය සඳහා රුපියල් කෝටි දහසක් මේ අවස්ථාවේදී වියදම් කිරීම  ඔහු සිය පෙත්සමෙන් ප්‍රශ්න කොට තිබිණි. මෙයද ආණ්ඩුවේ දේශපාලනඥයන් ඉදිරිපත් කරන තර්කයකි. මැතිවරණය සඳහා  වියදම් කිරීමට එරෙහි ආණ්ඩුව තවත් ඇමැතිවරු දෙදෙනකු පත් කළ බව මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට වාර්තා වී තිබිණි. කෙසේ වෙතත් ජනවාරි 18 වැනිදා සිට 21 වැනිදා දක්වා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගන්නා බව මැතිවරණ කොමිසම ජනවාරි 4 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.

ජනවාරි 6 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී මැතිවරණය සම්බන්ධයෙන් එම සාමාජිකයන් අතර ඇති මත  වෙනස්කම් විසඳා ගන්නා ලෙසත් මැතිවරණය හා පාසල් සිසුන් සඳහා වූ ජාතික මට්ටමේ විභාග අතර ගැටුමක් ඇති නොවන ලෙසට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා විය.

මෙම හමුව විරුද්ධ පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් දකින්නේ පක්ෂ නයකයකු හා විධායකය මැතිවරණ කොමිසමට කළ බලපෑමක් ලෙසය. ජනවාරි 9 වැනිදා රූපවාහිනි සංවාදයකට සහභාගි වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් අතර මත ගැටුමක් නැති බවත් මැතිවරණය සඳහා වැය වන්නේ රුපියල් බිලියන දහයක් නොව ඊට වඩා අඩු මුදලක් බවත් එයද එකවර අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කොට තිබිණි. මෙයද මැතිවරණය කල් දැමීම සඳහා වූ උත්සාහයක් ලෙස විපක්ෂය හැඳින්වූයෙන් ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව මත ගැටුමක් ඇති විය.

එසේ තිබියදී අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා තේරීම් භාර නිලධාරීන්ට ජනවාරි 9 වැනිදා ලිපියක් යැවීය. ඔහු එදිනම එම ලිපිය ඉල්ලා අස් කර ගත්තද එයද ආණ්ඩුව මැතිවරණය කල්  දැමීම සඳහා කළ දෙයකැයි විපක්ෂය චෝදනා කළේය.

තවත් මෙවැනිම මතභේදයකට තුඩු දුන් කරුණක් වූයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් අඩු කිරීම සඳහා වූ පනත් කෙටුම් පතක් විපක්ෂයේ විරෝධතාව මධ්‍යයේ ආණ්ඩුව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමය. මෙම පනත අනුව අවශ්‍ය රෙගුලාසි සකස්  කිරීම සඳහා මාසයක් හෝ දෙකක් ගතවිය හැකි හෙයින් මෙයද මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවෙන් ආණ්ඩුව එය මේ අවස්ථාවේදී විවාදයට ගන්නා බව විපක්ෂය තර්ක කළේය.

ගැටලුව නම් මැතිවරණයක් අත ළඟ තිබියදී ආණ්ඩුව මැතිවරණය කල් යා හැකි අයුරින් මෙවැනි යෝජනා ගණනාවක් එක පිට එක ඉදිරිපත් කිරීමය. මෙහි අරමුණ තේරුම් ගැනීමට ගැඹුරු දේශපාලන විග්‍රහයක් අවශ්‍ය නැත. ඒ සඳහා මෙම සිදුවීම් මාලාව එකවර මෙසේ සිහිපත් කර ගැනීමම සෑහේ.

(*** එම්.එස්.එම්. අයුබ්)