IMG-LOGO

මහා වැඩ වර්ජනයකට සූදානමක්

ආණ්ඩුව අර්බුද ගණනාවකට මැදි වී සිටී. යුගදනවි බලාගාර ප්‍රශ්නය, පොහොර ගැටලුව සහ රාජ්‍ය සම්පත් විකිණීම ආදී ගැටලු ගණනාවක හිර වී සිටින ආණ්ඩුවට එරෙහි වෘත්තීය සමිති විරෝධය එන්න එන්නම වැඩිවෙමින් තිබේ. මේ අතර කලක් තිස්සේ අළුයට ගිනි පුපුරු මෙන් සැඟව තිබූ සුළු පක්ෂවල විරෝධය ද දැන් දැන් එළිපිටට පැමිණ ඇත. වෘත්තීය සමිතිවල මෙන්ම සුළු පක්ෂවල ඇති ආණ්ඩු විරෝධයේදී ප්‍රධාන වශයෙන් ඇඟිල්ල දිගුව ඇත්තේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙතය. 

මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට තොරතුරු වසන් කරමින් ඉතා හදිසියේ කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගත් බවත් ඒ හරහා යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකුණූ බවටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ ඉකුත් දා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ඒ ‘මහජන මන්ත්‍රණ සභාව’ නමින් පැවැත්වූ රැස්වීමකදීය. “ආණ්ඩුව මුල සිටම සුළු පක්ෂවලට කෙණහිළිකම් කළා. විමල්, වාසු, උදය ඒ පිළිබඳව ආණ්ඩුවත් එක්ක නෝක්කාඩුවකින් තමයි හිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ගන්න සුළු පක්ෂවලින් අධික වැඩි කොටසක් ගත්තා. බලයට ආවට පස්සේ ඒ පක්ෂවලට පහර දෙන්න ගත්තා. කෙණහිලිකම් කළා. මහජන මන්ත්‍රණ සභාවක් ඇතිවුණේ ඒ හින්දා. ආණ්ඩුවේ ප්‍රශ්න ඇතුළෙ සාකච්ඡා කරන්න අවස්ථාවක් නැත්නම් එළියේ කතා කරන්න වෙනවා කියලා සුළු පක්ෂ නායකයෝ කිව්වේ ඒ නිසා” යැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ දේශපාලන පක්ෂ පමණක් නොව වෘත්තීය සමිතිත් බහුජන සංවිධානත් ජනතාවත් දැන් දැන් කණස්සල්ලට පත්ව සිටින බවය. මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල විරෝධය යම් ආකාරයකින් සමනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත්දා දේශපාලනමය වශයෙන් පරිණත කතාවක් කළ බව දේශපාලන විචාරකයෝ පවසති.

“අගමැතිතුමා සුළුපක්ෂවල විරෝධය සමනය කරන්න පියවර ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරයේදී අගමැතිතුමා කළ කතාව විශිෂ්ටයි. එතුමා හවුල්කාර පක්ෂනායකයන් අගය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් අවවාදයක් ලබා දුන්නා. එක අරමුණකින් කටයුතු කළ පක්ෂවල ලොකු පොඩිකම් සොයන්න එපා කියලත් කිව්වා.” යැයි ද හවුල්කාර පක්ෂයක නායකයෙක් කීවේය. මේ අතර සමගි ජන බලවේගයේ අදහස වෙනත් එකකි. එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර කියන්නේ හවුල්කාර පක්ෂවල විරෝධය මවා පෑමක් බවය. “අපි දන්නවා මේ අය ඇමැතිකම් තියාගෙන බොරු විරෝධයක් දක්වනවා. ජනතා අප්‍රසාදය එන විට බොරු ආණ්ඩු විරෝධයක් මවනවා. උදය විමල් වාසු නාට්‍යයක් රඟපානවා. අපි දන්නවා හැම නාටකයක් පිටුපසම ‘සාටකයක්’ තියෙන බව” යැයි නලින් බණ්ඩාර කීවේය.

 යුගදනවි බලාගාර විරෝධය ඉදිරියේදී තව තවත් උත්සන්න වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වෘත්තීය සමිති දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තෙල්, විදුලිය, වරාය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එකතු වී වැඩවර්ජනයක නිරත වන බවය. සියලු වෘත්තීය සමිති එක්වීමෙන් මහා වැඩ වර්ජනයක් දියත් වීමට වුවද බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. “කොහොම නමුත් ඔය සැලසුම්කරන ඒකාබද්ධ වැඩවර්ජනය සිදුවුණොත් වෙන්නේ අයවැයෙන් පස්සේ. රාජ්‍ය සේවකයන්, හෙද සේවකයන් වගේම ගුරුවරුන් අයවැය ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. අයවැයෙන් පිළියමක් නොලැබුණහොත් ඒකාබද්ධ මහා වැඩවර්ජනයකට යන්න තමයි වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ.” යැයි වෘත්තීය සමිති නායකයෝ පවසති. මේ අතර ආණ්ඩුවේ රසායනික පොහොර තහනමද දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබේ. රටපුරා කෘෂිකාර්මික ප්‍රදේශවල දිනපතා ගොවි උද්ඝෝෂණ පැවැත්වෙන අතර භික්ෂුන් වහන්සේලා ද ගොවීන්ට සහාය දක්වති. එහෙත් ආණ්ඩුව රසායනික පොහොර තහනම සියයට සියයක් ආපස්සට හරවන බවක් තවමත් ප්‍රකාශ කරන්නේ නැත. “ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් වැඩි පිරිසක් රසායනික පොහොර තහනමට එකඟ නැහැ. ඒත් ජනාධිපතිවරයාගේ තීරණය විවේචනය කරන්නට හෝ කැබිනට් මණ්ඩලයේදී අදහස් ප්‍රකාශ කරන්නට හෝ ඇමැතිවරු ඉදිරිපත් වන්නේ නැහැ. නැනෝ නයිට්‍රජන් දියර පොහොර අසාර්ථක උත්සාහයක්. ආණ්ඩුවට ගැසට් පත්‍ර හරවා ගන්නවා වගේම රසායනික පොහොර තහනමක් හරවා ගන්න වේවි.” යැයි විපක්ෂයේ දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

 සමගි ජන බලවේගය පක්ෂයේ අභ්‍යන්තර අර්බුද එන්න එන්නම වැඩිවෙමින් පවතින බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. සමගි ජන බලවේගය පක්ෂයේ හවුල්කාර පක්ෂවල නායකයන් හා විපක්ෂ නායකයා අතර යම් යම් මතවාද තිබෙන බවට ද ඇතැම් විට සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනකු අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ ආණ්ඩුවට එකතු වනු ඇතැයි ද ඉකුත්දා ආරංචි පැතිර ගියේය.

 මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉකුත් දා විවාදාපන්න ප්‍රකාශයක් කළේය. “සමගිජන බලවේගය පක්ෂයේ ඇතුළෙ මන්ත්‍රීවරුන්ගේ විවිධ මත තිබෙනවා. විරුද්ධ අදහස්, පක්ෂ අදහස් තිබෙනවා. හැබැයි අපි මන්ත්‍රීවරුන් බහුතරයක් යම් මතයක් දරනවා නම් ඒකට අපේ නායකතුමා, සජිත් ඇහුම්කන් දෙනවා. අපි කලින් හිටිය තැන යූ.එන්.පියේ එහෙම දෙයක් තිබුණේ නැහැ.” යැයි හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේය. මේ අතර හරීන් ඉකුත්දා තවත් දේශපාලන කතාවක් කළේය. “මම බදුල්ල දිස්ත්‍රික්කය අතහැරියේ බදුල්ලේ ජනතාවට අකමැති නිසා නොවෙයි. ගම්පහට ඇවිත් ලොකු සටනක් දෙන්න මට අවශ්‍යයි. මම ගම්පහට ආවේ ඒ නිසයි. අනික රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණොත් මම මගේ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙනවා. මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වී එතුමාට මගේ ආසනය ලබා දෙනවා.” යැයි හරීන් ප්‍රනාන්දු කියන්නේය.

දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයෝ ඉකුත් අඟහරුවාදා යාපනයේදී රැස්වූහ. යාපනය නගරයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම විශේෂ රැස්වීම පැවැති අතර එහිදී දෙමළ කතා කරන ජනතාවගේ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ බව ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වූ බවද සාකච්ඡාව පැය තුනකට අධික කාලයක් තිස්සේ පැවැති බව ද වාර්තා වේ.

කෙසේ වුවද යහපාලන ආණ්ඩු සමයේ පළාත් පාලන, පළාත් සභා ඡන්දය කල්දැමීමේ ක්‍රමෝපායට ඔය කියන මන්ත්‍රීවරුන් ද සහාය දුන් බව සඳහන් කළ යුතුය.

දෙමළ ජනතාවට බලපාන ගැටලු, මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න හා වර්තමාන දේශපාලන තත්ත්වය එහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ද වාර්තා වන අතර එහිදී දෙමළ හා මුස්ලිම් පක්ෂවල නායකයන් තීන්දුකර ඇත්තේ රජයට යෝජනා 5 ක් ඉදිරිපත් කිරීමටය.

“ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවට බොහෝ කාලයක ඉඳලම ගැටලු ප්‍රශ්න තිබෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව උතුරේ හා නැගෙනහිර තවත් බොහෝ අසාධාරණකම් වෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ 13 වැනි සංශෝධනය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කියලයි. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුකාරවරු යටතේ. එහෙම මදියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලත් අපි රජයට බලකර සිටිනවා. දෙමළ සැකකරුවන් බොහෝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන් නිදහස් කරන ලෙසත් අපි රජයට බලකරනවා. එක රටක් එක නීතියක් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. මේ බලකාය අහෝසි කළ යුතුයි. අපි එම බලකායට සම්පූර්ණයෙන්ම විරෝධය දක්වනවා.” යැයි මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ප්‍රකාශ කරන්නේය.
 ස්ථිර පදිංචියක් නොමැති පිරිස් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට අකමැත්තක් දක්වන බවට මැතිවරණ කොමිසමට වසර ගණනාවක සිටම තොරතුරු වාර්තා වී තිබිණ.

“ඇතැම් පුද්ගලයන් හිතන්නේ ස්ථිර පදිංචියක් නොමැති නම් ඡන්දෙට ලියාපදිංචි වෙන්න බැහැ කියලයි. ඒක ඉතාම වැරදියි. අනවසර පදිංචිකරුවන්ට කුලියට බද්දට ඉන්න අයටත් ඡන්දෙට ලියාපදිංචි වෙන්න පුළුවන්. කුලියට හා බද්දට ඉන්න අයට ඡන්ද කොළය දෙනවට නිවෙස් අයිතිකරුවන් කැමැති නැහැ. ඒ අය හිතන්නේ අවුරුදු ගාණක් ඡන්දෙ තිබුණාම දේපල නිවාස අයිති කරගන්න පුළුවන් කියලා. ඒක වැරදි අදහසක්. කුලී නිවැසියන් හෝ බදු නිවැසියන් හෝ අනවසර පදිංචිකරුවන් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි කිරීම ඡන්ද බලය ලබා දීමට පමණයි. දේපල හෝ ස්ථිර පදිංචිය තහවුරු කිරීමට එය බලපාන්නෙ නැහැ.” යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහෝදර සහෝදරියන්ගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක සිහිපත් කිරීමේ වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා ඇඹිලිපිටියේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේදී පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ පළමුව මෑණියන්ගේ ඡායාරූපයකට මල් මාලාවක් පළඳවා උපහාර පුද කළාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා එහිදී ගුණසමරු දෙසුමක් ද කළේය.

කස්තුරි

[email protected]



අදහස් (0)

මහා වැඩ වර්ජනයකට සූදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site