IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මැදපෙරදිග ගැටුම ආර්ථිකයට බාධාවක්ද?

ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වේගවත් කිරීමට දරන උත්සාහය අඩපණ කරන බව  සහ ඉරානයේ වත්මන් පාලනය වෙනස් කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඊශ්‍රාලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද ප්‍රහාර හේතුවෙන් මේ වනවිට මැදපෙරදිග කලාපය යළිත් ගිනි ගන්නා තත්වයක් උද්ගතව තිබේ.

ඊශ්‍රාලය ආරම්භ කළ මුල් ප්‍රහාර හරහා ඉරානයේ න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානවලට පහරදීම්, ඉරානයේ හමුදා ප්‍රධානීන් ඝාතනය කිරීම් සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සේවය කළ විශේෂඥයන් අටදෙනකු ඝාතනය කළ බව වාර්තා විය. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන භූගත ගොඩනැගිලිවල ඉතා ආරක්ෂිතව ස්ථාපිත කර ඇති නමුදු එම ස්ථානවලට ද පහරදී ඇති බව සඳහන් විය. ඉන් පසුව ඉරානය ද ඊශ්‍රාලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

පසුගිය දශක කිහිපය තුළ ඊශ්‍රාලය ලබාගෙන ඇති ආර්ථික සංවර්ධනයත්, යුද ශක්තියත් හේතුවෙන් බොහෝ දෙනකු බලාපොරොත්තු දල්වා ගත්තේ ඊශ්‍රාලය ක්‍රමයෙන් යුදෙව් ජාතිකයන්ට සුරක්ෂිත රට බවට පත්වනු ඇති බවට ය. ලොව පුරා විවිධ රටවල සිටි යුදෙව් ජාතිකයන් අතිවිශාල පිරිසක් පදිංචිය සඳහා ඊශ්‍රාලය තෝරා ගැනීම හේතුවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලින් මූල්‍ය හා භෞතික සම්පත් ද, යුද අවි සහ තාක්ෂණය ද ඊශ්‍රාලයට ලැබුණි. එවැනි තත්වයත් තුළ තමන්ට බාධාවක් හෝ තර්ජනයක්ව පවත්නා සියලු‍ පාර්ශ්ව විනාශ කර දැමීමට හැකි තත්වයක් ගොඩනගා ගැනීමට ඊශ්‍රාලයට හැකිවිය.

කෙසේ වුවද එක මොහොතකින් සියල්ල වෙනස්ව විය හැකි බවත්, ඊශ්‍රාලයේ ආරක්ෂාව බිඳවැටිය හැකි බවත් පසුගියදා ඊශ්‍රාලයට එල්ල වූ පලස්තීන ප්‍රහාරවලින් හෙළිවිය. හමාස් කැරලිකරුවෝ ඊශ්‍රාලයට කඩා වැදි යුදෙව් ජාතිකයන් විශාල පිරිසක් ඝාතනය කර, සැලකිය යුතු පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැර ගත්තෝය. එම සටන් තවමත් අවසන් වී නැත.

ඊශ්‍රාලය ඉරානයට පහර දීමෙන් පසු ඉරානයේ ප්‍රතික්‍රියා දරුණු මුහුණුවරක් ගනු ඇතැයි ඊශ්‍රාලය අපේක්ෂා කළ බවක් නොපෙනේ. එසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරාන ප්‍රතික්‍රියා හේතුවෙන් ඊශ්‍රාලයේ ප්‍රදේශ රැසකට ප්‍රහාරවලින් දැඩි හානි සිදුව තිබේ. මේ හේතුවෙන් ජනතාවට ආරක්ෂිත කුටිවල දින ගණනාවක් රැඳී සිටීමට සිදුවන තත්වයක් උද්ගතව තිබේ. එවැනි තත්වයක් තුළ මැදපෙරදිග යළිත් වරක් උණුසුම් වී ඇති අතර යුද්ධය තවත් සෑහෙන කාලයක් පවතිනු ඇති බව පෙනී යයි.

මැදපෙරදිග යුද උණුසුම ශ්‍රී ලංකාව කෙරෙහි ද, ලෝක ආර්ථිකය කෙරෙහි ද කවරාකාර බලපෑමක් ඇති කරනු ඇද්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. එක් අතකින් රුසියා - යුක්ක්‍රේන යුද්ධය තවමත් අවසන් වී නැත. අනිත් අතින් මැදපෙරදිග දැන් ඇති වී තිබෙන තත්වය ලෝක ආර්ථිකය කොවිඩ්වලින් පසුව අත්කර ගනිමින් තිබූ ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට හේතු වී තිබේ. මෙම ගැටුමේ ක්ෂණික බලපෑම එල්ලවිය හැක්කේ ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළ කෙරෙහි ය.

ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන පෙළේ රටවල් අතර ඉරානයට හිමි වනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් සියයට 4.6 ක්ද, ගෑස් නිෂ්පාදනයෙන් සියයට 7 ක් ද සපයනු ලබන්නේ ඉරානය විසිනි. රුසියා - යුක්ක්‍රේන යුද්ධය නිසා බටහිර රටවල් රුසියාවට පැනවූ සම්බාධක හේතුවෙන් රුසියාවට ලෝක ඛනිජ තෙල් වෙළෙඳපොළේ හිමිව තිබූ ස්ථානය අහිමි විය. එරට ඛනිජ තෙල් අපනයනයට විවිධාකාරයේ බාධ එල්ල විය. පසුගිය කාලය තුළ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් කිසියම් ස්ථාවර තත්වයකට පත්වීම කෙරෙහි එය ද එක් හේතුවක් විය. එසේ වුවද මේ වනවිට ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් නිසා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල විශාල ලෙස උච්චාවචනය වීමට පටන් ගෙන තිබේ. ඒ අතරම ඊශ්‍රායලය ඉරානයේ ඛනිජ තෙල් නිෂ්පාදන සංකීර්ණවලට පහර දී ඒවා දැවෙන තත්වයකට පත්කර තිබේ. මෙම යුද්ධය දිගටම පැවතුණහොත් ඛනිජ තෙල් මිල ගණන් ඉදිරියේදී විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබේ.

මෙම යුද්ධය හේතුවෙන් මැදපෙරදිග ඇතැම් රටවල ගුවන් ගමන් නතර වී තිබේ. ඒ අතරම යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මැදපෙරදිග කලාපයෙන් තෙල් පිටතට ගෙනයන මාර්ගවලට බාධා පැමිණීමට ඉඩ ඇති අතර, ඒසේ වුවහොත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම විශාල ලෙස අඩු වනු ඇත. ඇතැම් ආර්ථික විශ්ලේෂණ ආයතන පුරෝකතනය කර තිබෙන්නේ එවැනි තත්වයක් ඇතිවුවහොත් ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යා හැකි බවය. එවැනි තත්වයකදි පවතින ලෝක ආර්ථික ස්ථාවරත්වය නැවත වරක් බිඳ වැටෙන අතර ඛනිජ තෙල් ආනයනය කරන බොහෝ රටවල ආර්ථික පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබේ. මැදපෙරදිග රටවල ඇතිවන දේශපාලන අස්ථාවරත්වය මත ගුවන් සහ නාවුක ප්‍රවාහන කටයුතුවලට ඇතිවන බාධා ආදිය හේතුවෙන් ලෝකයේ භාණ්ඩ හා සේවා සැපයුමට අහිතකර බලපෑම් ඇති වේ. අනෙක් අතට භාණ්ඩ හා සේවා ඉල්ලු‍ම කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති වේ.

ඊශ්‍රායල් - ඉරාන යුද්ධය ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ද බලපෑම් ඇති කරන තත්වයක් නිර්මාණය වීමටද ඉඩ තිබේ. රට බංකොළොත් භාවයට පත්වීමෙන් අනතුරුව පසුගිය වසර දෙකක පමණ කාලය තුළ රට ඉන් ගොඩ ගැනීමට සහ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම සඳහා දරන ලද ප්‍රයත්න දැන් සාර්ථක වෙමින් පවති. රට අභ්‍යන්තරයේ බදු වැඩි කිරීම, සමහර භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමීම සහ රාජ්‍ය වියදම් අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග ආර්ථිකයේ ස්ථාවරත්වය සඳහා හේතු වූ අතර සංචාරක පැමිණීම වැඩිවීම, ලෝක ඉන්ධන මිල ගණන් ස්ථාවරවීම, විදෙස් සේවා නියුක්තිකයන් හරහා රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළයාම, ඩොලරයේ අගය අඩු වී විනිමය අනුපාත ස්ථාවර තත්වයක‌ට පත්වීම වැනි වෙනත් බාහිර හේතුන් ද ඒ සඳහා ආධාර විය. මෙම තත්වය කෙරෙහි අනපේක්ෂිතව ඇතිවන සුළු බලැපෑමකින් වුවද ගොඩනගා ගත් ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් ඇතිවීමට ඉඩ තිබේ.

ලෝක ඛනිජ තෙල් මිල ගණන් වැඩි වුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලු‍ම අංශවලට දැනෙනු ඇත. පසුගිය කාලවලදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩුවීම නිසා ඛනිජ තෙල් වෙනුවෙන් වැය කෙරෙන විදේශ විනිමය ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවීමක් සිදු වී තිබේ. 2022 වසරේදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 4896 ක් ද, 2023 දී ඩොලර් මිලියන 4702 ක් ද වැය කරන ලද නමුත් 2024 දී එය ඩොලර් 4354 දක්වා අඩුවිය. එසේ වුවද මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් කිහිපයකින් ඉහළ ගිය ද ඒ හේතුවෙන් රටේ ඉන්ධන වියදම සැලකිය යුතු මට්ටමකින් ඉහළයාමට ඉඩ ඇත. එමගින් විදුලි බිල ද, ප්‍රවාහන වියදම් ද, රටේ නිෂ්පාදන වියදම ද ඉහළ ගොස් රටේ ආර්ථිකයට මෙන්ම මහජනතාවට ද දැඩි පීඩනයක් එල්ලවීමට ඉඩ ඇත.

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලංකික සේවක සංඛ්‍යාව පිළිබඳව වෙන වෙනම සකස් වූ නිරවුල් සංඛ්‍ය දත්ත නොමැති බැවින් ඉරානයේ හෝ ඊශ්‍රාලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ නිශ්චිත සංඛ්‍යාව හෝ එම රටවල් දෙක හරහා  ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැක. මෙම රටවල් දෙක අතර නිර්මාණය වී ඇති යුද ගැටුම මුළු මැදපෙරදිග කලාපයේම ආර්ථික කටයුතු කෙරෙහි බලපෑම් ඇති කෙරෙනු ඇත. එවැනි තත්වයක් තුළ එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය පිළිබඳව එමගින් යම් බලපෑමක් ඇතිවීමට ද ඉඩ තිබේ. අනෙක් අතට මෙම යුද්ධය අවසන් වූ පසුව දෙරටේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පවතින ශ්‍රම ඉල්ලු‍ම ඉහළයාමට ඉඩ ඇති බැවින් ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තිකයන් සඳහා මෙන්ම නුපුහුණු ශ්‍රමය සඳහා ද ඉහළ ඉල්ලු‍මක්  ඇති වෙතැයි අපේක්ෂා කළ හැකිය.

ඉරානය ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරු රටකි. දිගුකාල පරිච්ඡේදයක් තුළ ඉන්ධන ආනයනයේදී එම රට සැලකිය යුතු දායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තේ සඳහා විශාල ඉල්ලු‍මක් ඉරානය තුළ පවති. එසේ වුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරානයට සම්බාධක පැනවීමෙන් පසු ඉරානය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සම්බන්ධතා ද විශාල පසුබෑමකට ලක්ව තිබේ. ඉරානය එක්තරා කාලයක ශ්‍රී ලංකාවේ ආනයන සැපයුම්කරුවන් අතර ප්‍රමුඛ රටක් බවට පත්ව තිබුණ ද, මේ වනවිට ශ්‍රී ලංකා මහා බැකු වාර්තාවල ආනයන සැපයුම් රටවල නාමලේඛනයේ ඉරානයේ නමවත් සඳහන් නොවේ. පසුගිය වසරේදී (2024) ශ්‍රී ලංකාව ඉරානයට අපනයනය කර ඇති මුළු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 88 ක් පමණි.

ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳ කටයුතුවලදී ඊශ්‍රාලය ඊට වඩා වැඩි දායකත්වයක් ලබාදෙන තත්වයකට දැන් පත්ව තිබේ. 2024 දී ඊශ්‍රාලයට ඩොලර් මිලියන 180 ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකාව අපනයනය කර තිබේ. ඒ අතර එම වසරේදී ඊශ්‍රාලයෙන් ඩොලර් මිලියන 286 ක් වටිනා භාණ්ඩ ආනයනය කර ඇත.

ක්‍රමයෙන් ඊශ්‍රාලය අපේ විදේශ වෙළෙඳ කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාදෙන තත්වයක් ඇතිව තිබෙන නමුත් අපගේ විදේශ වෙළෙදාමේ ප්‍රමුඛ රටවල් අතරට තවමත් ඊශ්‍රාලය පත්ව නැත. ශ්‍රී ලංකාව මෙම රටවල් දෙක සමගම පවත්නා වෙළෙඳ සම්බන්ධතාවලට යුද්ධය නිසා යම් බලපෑමක් ඇතිවිය හැකි නමුදු එයින් රටේ ආර්ථිකය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇතිවේ යැයි සිතිය නොහැක. එසේ වුවද දෙරට අතර පවතින යුද ගැටුමෙන් ලෝක වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයටත්,  ලෝක ආර්ථිකයටත් ඇති කරන අහිතකර බලපෑමේ ප්‍රතිවිපාකවලට මුහුණදීමට ශ්‍රී ලංකාවට ද සිදුවෙනු ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

මැදපෙරදිග ගැටුම ආර්ථිකයට බාධාවක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 202 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 703 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site