IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මැදපෙරදිග අර්බුදයේ ප්‍රතිවිපාක

පසුගිය සිකුරාදා දිනයේ දී ඊශ්‍රාලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා නායකයන් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබු ප්‍රහාරයත් සමග දෙරට අතර දරුණු සටන් ඇති වෙමින් පවතී.

එම ගැටුම මෙම රටවල් දෙකට පමණක් සීමා නොවී කලාපීයව ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් පවතින බව යුද විචාරකයෝ අනතුරු හඟවති. යම් හෙයකින් කලාපීයව ව්‍යාප්ත වුවහොත් යළි සාමකාමි පරිසරයක් ඇතිවීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවීමට ඇති ඉඩකඩ ද ඉහළ බව විචාරකයෝ ප්‍රකාශ කරති.

ගෝලීයව පැවති ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් ඉහළ නැංවීමට ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවී ඇති අතර විශේෂයෙන්ම ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ලෝක ආර්ථිකයේ කාර්ය සාධන මට්ටම තවදුරටත් පහත වැටීමට වර්තමාන මැදපෙරදිග යුද ගැටුම් හේතු වෙතැයි අදහස් පළවෙමින් පවතී.

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ දිළිදු රටවලට දැඩි පීඩනයක් ගෙන දීමට වඩා වැඩි ඉඩකඩක් පවති. මෙම ලිපිය මගින් අවධානය යොමු කරනුයේ වත්මන් මැද පෙරදිග යුද ගැටුම් ලාංකේය ආර්ථිකයට කෙසේ බලපානු ඇති ද යන්න පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීමටයි.

 

තෙල් මිල

සිකුරාදා දිනයේ දී ඊශ්‍රායලය ඉරානයට පහරදීමත් සමගම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සියයට 10-12ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය අතර දැනට තෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 70 ක පමණ මට්ටමේ පවතී. ඉරානය දිනකට තෙල් බැලර් මිලියන 4 ක් පමණ නිපදවන අතර ලෝකයේ තෙල් නිපදවන රටවල් අතර හත්වැනි ස්ථානයේ පසුවේ. දැනට පළවන ජනමාධ්‍ය වර්තාවලට අනුව දෙරට තුළම තෙල් සහ ගෑස් නිෂ්පාදනය කිරීම සඳහා පවතින ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර දියත් වෙමින් පවතී. වත්මන් ගැටුම් දිගු කාලයක් පවතින තත්වයක් යටතේ සහ යුද ගැටුම් කාලාපීයව පැතිර ගියහොත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80-100 මට්ටමට වැඩි වෙතැයි පුරෝකථනය කරනු ලබයි.

යම් හෙයකින් තෙල් මිල ඉහළයාමක් සිදු වුවහොත් තෙල් ආනයනය සඳහා  ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවිය හැකි අතර මෙම තත්වය විනිමය අනුපාතයට මෙන්ම ගෙවුම් ශේෂයට ද අහිතකරව බලපෑම් කළ හැකි වේ.  තෙල් මිලට ඇති කරනු ලබන බලපෑම ගෙවුම් ශේෂයෙන් ඔබ්බට ගොස් රට තුළ මිල මට්ටමේ ඉහළ යාම දක්වාත් බලපෑම් කළ හැකිය. දැනට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නිසා මිල මට්ටම්වලට ඇති කරනු ලබන තෙරපුම තවදුරටත් තීව්‍ර කිරීමට එම තත්වය හේතුවනු ඇත.

 

විදේශ විනිමය ලැබීම්

වත්මන් යුද ගැටුම් අහිතකරව බලපෑම් කළ හැකි තවත් අංශයක් වන්නේ විදේශ රැකියා සඳහා මැද පෙරදිග කලාපයේ ඇති අවස්ථාවලට සහ විදේශගත ශ්‍රමිකයන් ලංකාවට කරනු ලබන විදේශ ප්‍රේෂණ සඳහාය. දැනට ඇති ඇස්තමේන්තුවලට අනුව මිලියන 1.5 ක පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර වාර්ෂිකව රටට ලැබෙන මුළු විදේශ ප්‍රේෂණවලින් සියයට 60ක් පමණ ප්‍රමාණයක් මෙම කලාපයෙන් ලැබේ. ඒ අනුව ගත් කල වත්මන් ගැටුම් හේතුවෙන් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයෙන් සියයට 10ක ප්‍රමාණයක් රටට අහිමි වුවහොත් ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතය මත සැලකිය යුතු තෙරපුමක් ඇති කරනු ඇත. වාර්ෂිකව මැද පෙරදිග කලාපයෙන් කරනු ලබන මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 3-4 ක් පමණ වන අතර ඉන් සියයට 10ක් යනු ඇ.ඩොලර් 300-400 පමණ ප්‍රමාණයකි. වෙනත් වචන වලින් පවසතොත් IMF එක් වාරිකයකට සමාන අගයක් වේ. එමෙන්ම, නව රැකියා සඳහා පවතින අවස්ථා ද සීමා විය හැකි අතර ඒ හේතුවෙන් දේශීය ශ්‍රම වෙළෙඳපොළේ තෙරපුමක් ද හටගනු ඇත.

 

අපනයන

මැදපෙරදිග කලාපයේ යුදමය තත්වයෙන් බලපෑම් කළ හැකි තවත් එක් අංශයක් වන්නේ ලාංකේය තේ අපනයනයයි. රටේ මුළු තේ අපනයනවලින් සියයට 25ක් පමණ ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයන කරනු ලබන අතර යුදමය තත්වය තේ සඳහා පවතින ඉල්ලු‍මට මෙන්ම සැපයුම් ජාලයට ද බලපෑම් කළ හැකි වේ. රුසියානු-යුක්‍රේන යුද්ධය හේතුවෙන් දැනටමත් තේ අපනයනය කෙරෙහි බලපෑම් ඇති වී ඇති මෙහොතක තවත් කම්පනයක් එම කර්මාන්තයේ ක්‍රියාකාරීත්වය සඳහා අහිතකරව බලපෑමට ඇති ඉඩකඩ වැඩිය.

තේ අපනයනය මෙන්ම වෙනත් අපනයන සඳහා ද වත්මන් යුද වාතාවරණය අහිතකරව බලපෑම් කළ හැකිය. විශේෂයෙන්ම, යුද්ධය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ආර්ථික වර්ධනය අඩාළ වීම මෙන්ම තෙල් මිල ඉහළයාම මත ගෝලීයව උද්ධමනකාරි තත්වයක් නිර්මාණය වුවහොත් ලාංකේය ප්‍රධාන අපනයන සඳහා ඉන් සෘණාත්මක බලපෑමක් විමට ඇති ඉඩකඩ වැඩිය.

 

සංචාරක කර්මාන්තය

අවසාන වශයෙන් වත්මන් යුදමය තත්වය රටේ සංචාරක කර්මාන්තයට ද අහිතකරව බලපෑම් එල්ල කළ හැකි වේ. ආර්ථීක අර්බුදයෙන් පසුව සංචාරක කර්මාන්තය තුළ යම් ප්‍රබෝධයක් ඇතිව පැවතියත් ලාංකේය සංචාරක කර්මාන්තය, වෙනත් බොහෝ රටවල මෙන්, නිරන්තරයෙන්ම අභ්‍යන්තර සහ බාහිර කම්පන හේතුවෙන් කඩා වැටීමට ලක්වීම මෑත ඉතිහාසය පුරා දක්නට ලැබිණ.

විශේෂයෙන්ම සෑම වසර 3-4 කට වරක් සංචාරක කර්මාන්තය බිඳ වැටීමකට ලක්වීම මෑත දශක තුළ පොදු ලක්ෂණයක් විය. මේ හේතුවෙන් වත්මන් යුදමය තත්වය තුළ ඇති කරනු ලබන අනාරක්ෂිත පරිසරය මෙන්ම ගෝලීය ආර්ථිකයේ පසුබෑම මත ඇති කරනු ලබන ආර්ථික අපහසුතා සංචාරකයන්ගේ පැමිණීම අඩාළවීම කෙරෙහි බලපෑම් කළ හැකිය.

 

කෙටිකාලීනව කුමක් කළ යුතු ද?

වත්මන් ගෝලීය තත්වය (යුදමය සහ ආර්ථික ප්‍රතිපත්ති ආශ්‍රතව) ලාංකේය ආර්ථිකයට කරනු ලබන බලපෑම කුමක් ද යන්න පිළිබඳ නිසි තක්සේරුවක් පැවතීම ඉතා අත්‍යවශ්‍ය වේ. ඒ මක්නිසාද යත්, දැනට ලාංකේය ආර්ථිකය තුළ ඇති වී ඇති ප්‍රකෘතිවීම තිරසාර නොවන්නක් වන අතර දේශීයව හෝ බාහිරව හෝ ඇතිවන කම්පන දරා ගැනීමේ හැකියාවක් ආර්ථිකයට නොමැත. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහත් සේ ඉවහල් වූ සංචාරක කර්මාන්තයේ  සහ විදේශගත ශ්‍රමිකයන්ගෙන් රටට කෙරෙන ප්‍රේෂණවල යථාවත්වීම වත්මන් යුදමය සහ ඇමරිකානු නව තීරුබදු ප්‍රතිපත්ති හේතුවෙන් අවදානමකට ලක්ව පවතී. මෙම අවදානම නිසි පරිදි කළමනාකරණය කිරීමට රට අපොහොසත් වුවහොත් නැවතත් ආර්ථික අපහසුකම් ඇති වීම වළක්වාගත නොහැකි වනු ඇත.

මේ නිසා විදේශ විනිමය විශාල ලෙස රටින් බැහැර වන ආනයන අධෛර්යවත් කිරීම කෙරෙහි අවශ්‍යවන ප්‍රතිපත්ති පිළිබඳව කඩිනමින් අවධානය යොමු කිරීම යෝග්‍ය වේ. එසේම, දේශීය අපනයනකරුවා ආරක්ෂා කිරීම සහ දිරි ගැන්වීම සඳහා අවශ්‍යවන සහන ලබාදීම සඳහා ද යොමු වීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ දැනට අයකරනු ලබන බදු අනුපාත පහත හෙළීමය. ඒ සඳහා කඩිනමින් IMF සමග සාකච්ඡා කර එහි වැඩසටහන යටතේ ඇති ඉලක්කවලට හානියක් නොවන අයුරින් අපනයන ක්ෂේත්‍රයට අදාළ බදු සංශෝධනයකට ලක් කළ හැකිද යන්න විමසා බැලීම යෝග්‍ය වේ.

 

ප්‍රතිසංස්කරණ සඳහා කල් මැරිය යුතුද?

ණය අර්බුදයට ලක් වූ බොහෝ ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල අත්දැකීම වනුයේ ණය අර්බුදයෙන් ගොඩ එමින් සිටින අවස්ථාවේ දී අභ්‍යාන්තර හෝ බාහිර කම්පන හේතුවෙන් එක්කෝ නැවත නැවතත් ආර්ථික අර්බුදයට ගොදුරුවීම හෝ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිගු කාලයක් ගත වීම වේ. මෙම තත්වය ලාංකේය ආර්ථිකයට ද එක සේ අදාළ වේ. ආර්ථිකය තිරසාරව අර්බුදයෙන් මුදා ගැනීම සදහා ආර්ථික වර්ධනය තිරසාරව ඉහළ නැංවිය යුතුවන අතර විදේශ විනිමය ඉපයීම් වඩාත් තිරසාර මාර්ගවලට විවිධාංගීකරණය කළයුතු වේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ මත දැඩි රැදියාවක් පවත්වා ගැනීම වෙනුවට භාණ්ඩ සහ වෙනත් සේවා අපනයන පුළුල් කළයුතු වේ.

ඉහත අරමුණු ජය ගැනීමට නම් පෞද්ගලික අංශයේ (දේශීය සහ විදේශීය) ආයෝජන ඉහළ නැංවිය යුතුය. ඒ සඳහා යහපත් ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම මෙන්ම ශ්‍රමයේ ගුණාත්මකභාවය සහ එහි සහභාගීත්වය ඉහළ නැංවිය යුතුය.

වර්තමාන ආර්ථික යථාර්ථය තුළ රජයට නව ආයෝජන සදහා පවතින රාජ්‍ය මූල්‍ය ඉඩකඩ ඉතා සීමා වන අතර ඉදිරි වසරවල දී එම හැකියාව තවත් පහළ ඒමට නියමිතය. එවන් පසුබිමක් තුළ ආර්ථික වර්ධනය තිරසාරව ඉහළට එසවීමට මෙන්ම අපනයන ප්‍රවර්ධනය සඳහා පවතින එකම විකල්පය වන්නේ පෞද්ගලික අයෝජනය, විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන දිරිගැන්වීමය.

ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අත්‍යවශ්‍යව පවතී. IMFවැඩසටහන යටතේ ආර්ථික ස්ථාවරත්වය ලබා ගැනීමෙන් පසුව අවධානය යොමුකළ යුතුව පැවතියේ තිරසාරව ආර්ථික වර්ධනය සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කර ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම විය. ආර්ථිකය පර්වර්තන පනතෙහි රට තුළ කඩිනමින් කළයුතු වන්නා වු ප්‍රතිසංස්කරණ ඇතුළත්ව පැවතියත් එම පනත ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල්මරමින් සිටින බවක් පෙනේ.

නව රජය යටතේ ආර්ථිකය වර්ධනය තිරසාරව ඉහළට එසවීම  සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගත් කිසිදු වැඩසටහනක් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන බව ජනාධිපතිවරයා අයවැය කථාවේ දී ප්‍රකාශ කර තුන් මසකට වැඩි කලක් ගත වුවද තවමත් එම සංශෝධන මොනවාදැයි ප්‍රකාශ කර නැත. ණය ආපසු ගෙවීමේ හැකියාව ඇති කර ගැනීම මෙන්ම දැනට ජනගහනයෙන් හතරෙන් එකක් වන දුප්පත්කම පහත හෙළීම සඳහාත් ආර්ථික වර්ධනය ඉහළට එසවීම අත්‍යවශ්‍ය වේ.

මෙහිලා ආර්ථික සංවර්ධන සැලසුමක් ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීම කඩිනමින් කළ යුතු වේ. ඒ සඳහා කල් මැරීමෙන් අප නැවත ආර්ථික අර්බුදයකට අත වැනීමක් වනු නොඅනුමානය. දැනට ප්‍රකාශිත ලෝක බැංකු පුරෝකථනවලට අනුව මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3.5 කි. වත්මන් ලෝක තත්වය තුළ සැබෑ ආර්ථික කාර්ය සාධනය මෙම පුරෝකථන තත්වයෙන් පහළට ගමන් කළ හැකිය. එබැවින් ආර්ථිකය නගාසිටුවීම සඳහා අවශ්‍යවන ක්‍රියාමර්ග කඩිනමින් ගැනීම රජයේ ප්‍රමුඛ කර්යභාරය විය යුතුය.

(***)



අදහස් (1)

මැදපෙරදිග අර්බුදයේ ප්‍රතිවිපාක

nimal Wednesday, 18 June 2025 12:12 AM

වර්තමාන ගෝලීය දේශපාලන ආර්ථික වෙනස්වීම් හමුවේ ලංකවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ශ්‍රී ලංකව පසුගිය වසර 70ක් පමණ කාලයක සිට පවත්වාගෙන යන්නවු සම්ප්‍රදායික තේ පොල් රබර් සහ ඇගලුම් කර්මාන්ත සහ මැදපෙරදිග රැකියාවන්ගෙන් යැපුණු මානසිකත්වයෙන් ඔබ්බට ගොස් ගෝලීය අවශ්‍යතාවන් හදුනාගෙන ඒ සදහා ලංකාව යොමුවිය යුතුවේ ලංකවේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාහැකි නව නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමුවිය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 407 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 854 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site