IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මත් සාද කෙරෙහි රටේම දැඩි අවධානයක් ඕනෑ

මුහුණු පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත් වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළු තරුණ තරුණියන් තිස්හය දෙනකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 12 දෙනකු සිටි බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

‘විනය සහ නිදහස’ සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද විනයෙන් තොර නිදහස බෙහෝ අතුරු ආන්තරා නිර්මාණය කරන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගන්නා සමාජයක පුරවැසියෝ විනයෙන් තොරව නිදහස භූක්ති විඳ රටටම කොඩිවිනයක් බවට පත් වෙති. ‘ෆේස්බුක් සාද’ යනු ඒ බව ඔප්පු කිරීමට සමාජය සොයාගත් නවතම මෙවළම්ය.

පානදුර පින්වත්තේ පැවැති මෙබඳුම ෆේස් බුක් සාදයක් අහවර වූයේ තිදෙනකුට මරු කැඳවමිනි. මෙබඳු ෆේස් බුක් සාද පැවැති ස්ථාන වැටලූ පසු විවිධ මත් ද්‍රව්‍ය වර්ග, මත්පැන්, මත්පෙති මෙන්ම උපත් පාලන උපකරණ ද විවිධ උත්තේජක ද සොයා ගත් බව පොලිසිය කියයි. රත්නපුර ෆේස් බුක් සාදයේ ගැබිනි කතක් ද සිටීමෙන් තත්ත්වය ඉතා බරපතළ බව ඉතා පැහැදිලිය.

පිහියෙන් පාන් කැපීම මෙන්ම කෙනෙකුට ඇනීමට ද යොදාගත හැකිය, වරද ඇත්තේ පිහියේ නොව පිහිය පාවිච්චි කරන්නා අතය. මුහුණු පොතද එවැන්නකි. සමාජ සත්කාරයට මෙන්ම දියුණු සමාජ කතිකා හරහා හරවත් සංවාදයකට මුල පුරා සමාජය තුළ මතවාදී අරගලයක් කිරීමට මුහුණු පොත යොදා ගත හැකිය. අපේ සමාජයේ ද එවැනි අවස්ථා නැතිවා නොවේ. මගීන් විසි ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට තමන්ගේ ජීවිතය කැප කළ ලංගම බස් රියැදුරු කීර්ති බණ්ඩාර අනුස්මරණය කිරීමටත්, ඔහුගේ මරණයෙන් අසරණ භාවයට පත් බිරිඳට හා දරුවන්ට දිරිය ලබාදීමටත් සිදු කළ කීර්ති බණ්ඩාර විරුජන සම්මාන උළෙල එයට කදිම නිදසුනකි. ඒ බලගතු ආදර්ශය ප්‍රදර්ශනය කරනු ලැබුවේ මුහුණු පොත හරහා හඳුනා ගත් සොඳුරු මිනිසුන් සමඟ බව එහි නිර්මාතෘ උදය දේවමුල්ල මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

එක් අතකින් එබඳු ආදර්ශ ප්‍රකාශයට පත්වෙද්දී තවත් අතකින් වාර්තා වන්නේ ගැබිනි කතුන් ද සමඟ රෑ එළිවනතුරා මත්ද්‍රව්‍ය පානය කරමින් සිදු කරන මහා විනාශ ය. එක් අතකින් රට යන අත මෙබඳු ප්‍රවණතා හරහා ඉඟි කරනු ලබයි. මේ ගමන නිරුපද්‍රිතව ඉදිරියට ගමන් කළ හොත් රටට උරුම වන්නේ තරුණකම සිඳ බිඳගත් තරුණ පරපුරකි.

රටක ජීවනාලිය තරුණ පරපුර බව අවිවාදාත්මකය. රටේ අනාගතය බාර ගැනීමට සිටින්නේ තරුණ පරපුරය. ඒ තරුණ පරපුර දැනුමෙන් සන්නද්ධ විය යුතුය. බුද්ධියෙන් අගතැන්පත් විය යුතුය. ගුණයෙන් පිරිපුන් විය යුතුය. ගල් පව්වක් වුව අස්වද්දන මහා බලගතු සටන්කාමීත්වයකින්, අධිෂ්ඨානයකින් හා ධෛර්යයකින් සමන්විත විය යුතුය. රට වැටී ඇති අගාධයෙන් රට බේරා ගැනීමටත්, මේ රට ආර්ථික සමෘද්ධියේ හා සංස්කෘතික නවෝදයේ මතු මහලට ඔසොවා තැබීමට හැකිවන්නේ එබඳු වත් පොහොසත්කමකින් පිරි තරුණ පරපුරකටය.

විසල් මනස මත්ද්‍රව්‍යයෙන් විකල් කරගත් තරුණ පරපුරකට ගිනි දැල්ලටම පෙම් බඳින පළඟැටියන් බඳු තරුණ පරපුරකට රට ඉල්ලන ජයග්‍රහණ නිර්මාණය කළ නොහැකිය. රට ඉදිරිපිට තියෙන අඝාත අන්ධකාරයේ තරම ඉතා පැහැදිලිය. මේ අභියෝගය එයට හිමි නිසි අරුතෙන්, නිසි පැහැයෙන් හඳුනාගත යුතුය.

දරුවන්ගේ නොමඟ යෑමට මවුපියන් මුළුමනින්ම වගකිව යුතුය. දරුවන් කරන්නේ කුමක් ද කියා නොදන්නා මවුපියන් වෙත්නම් ඔවුන්ට මඩු වලිගයෙන් පහර දිය යුතුය. රටට බරක් නොවන දරුවන් බිහි කිරීමේ වගකීම මවුපියන් සතු පැහැර හැරිය නොහැකි වගකීමකි. දරුවන් සතුව ද වගකීමක් වේ. තමන්ගේ යුතුකම් මෙන්ම කාර්යභාරය කුමක් ද යන්න නිවැරැදිව හඳුනා ගැනීමට දරුවා සමත් විය යුතුය. පුරවැසි වගකීම් සම්බන්ධයෙන් තිබිය යුතු අවධානය පුරවැසියා වෙතින් ගිලිහී ගියවිට එම සමාජය ඉම නොපෙනෙන පාතාලයකට තල්ලුවීම වැළැක්විය නොහැකිය.

එක් අතකින් මෙරට තරුණයෝ යුද්ධ දෙකකට මැදිව අකාලයේ මිය ගියහ. තවත් පරම්පරාවක් ඉලක්කයකින් තොරව ගමන් කරමින් තාවකාලික සුවය පරම සැපතකැයි සිතමින් විනාශය කරා ගමන් කරමින් සිටිති. ඒඩ්ස් වැනි භයානක රෝග පැතිරීම, විවිධ සමාජ රෝග ව්‍යාප්තවීම ආදිය ඇසට නොපෙනෙන අතුරු කාරණාය. මුළු මහත් සමාජයම එළැඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීම මෙම අනතුර ඉදිරිපිට ඇති එකම විසඳුම වේ.



අදහස් (3)

මත් සාද කෙරෙහි රටේම දැඩි අවධානයක් ඕනෑ

ධනුෂ්ක Friday, 19 October 2018 02:45 PM

කර්තෘතුමනි කතාව සහතික අැත්ත... නමුත් මේ පවතින දේශපාලනික, අාර්ථික රටාව තුල මේ ක්‍රමය අාරක්ෂා කරගන්න තම බලය හා ධනය වැඩි කර ගැනීමට රැක ගැනීමට, පාලකයන්ට මේ වගේ පිරිහෙන සමාජයක් දාහෙන් සම්පතක්... රට ගිනි ගත්තත් බොහෝ තරුණ තරුණියන්ට වගේ වගක් නෑ. අද පුවත්පතක් කියවන්නේ, ප්‍රවෘතියක් අහන්නේ බලන්නේ වැඩිහිටියන්.... තරුණ තරුණියන් කරන්නේ මොකද්ද? ප්‍රවෘත්ති පටන් ගනිද්දි ටක් ගාලා චැනල් එක මාරු කරනවා. තරුණියන් නම් පුවත්පතක් බලන්නේ නැති තරම් බැලුවත් බලන්නේ නලු නිලියන්ගේ ඕපාදූප ටික විතරයි. අද අන්තර්ජාලය තුළ, මත්පෙත්ත තුළ, ගංජා සුරුට්ටුව තුළ... අරක්කු බෝතලය තුළ තරුණයන් අතරමං වෙලා ඉන්නේ... පාලකයනුත් එ්කට හරි කැමතියි. මොකද එතකොට ඔවුන් ගැන විමසන පිරිස් අඩුවෙනවා. එ්ක පාලකයින්ගේ පැවැත්මට ඉතා යහපත්.

:       0       51

OMGSaturday, 20 October 2018 06:16 AM

මෙයයි යතාර්ථය.

:       0       15

tommy Saturday, 20 October 2018 10:54 AM

ලංකාවේ තරුණයින් මුහුණු පොත අද භාවිතා කරන්නේ වඳුරට හසුවූ දැලි පිහිය මෙනි. ඒ හැර මුහුණු පොත ප්‍රධාන වශයෙන් පාවිච්චි වන්නේ ඕපාදුප පැතිරවීම සඳහායි. රටට විනයක් වූ මේ මුහුණු පොත ලංකාවේ තහනම් කළ යුතුයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 795 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site