IMG-LOGO

මේක රසිකත්වයක් නැති ගොබ්බ සමාජයක්

සිනමාව, නාට්‍ය, පුවත්පත් කලාව, පොත් ප්‍රකාශනය ආදි විවිධ ක්ෂේත්‍රවල වර්ධනය සදහා 70 දශකයේ සිට මේ දක්වා පුළුල් දායකත්වක් සපයමින් සිටින ප්‍රේම් දිසානායක මහතා රචනා කළ නවතම කෘතිය ‘අපට කෙළවුණේ ඇයි? යන නමින් පසුගිය දා එළිදැක්විණ. මතු දැක්වෙන්නේ ප්‍රේම් සමග අප කළ සාකච්ජාවක සටහනකි.

පසුගිය දශක කිහිපයක කාලයේ මෙරට සමාජ, දේශපාලන, සමාජීය සා සංස්කෘතික අර්බුදය පිළිබඳ අර්ථවත් කියැවීමක් ‘අපට කෙළවුණේ ඇයි? කෘතියට ඇතුළත්. ඔබ මේ පසුගිය කාල පරිච්ජේදය දෙස කිසියම් වේදනාත්මක, කලකිරුණු විරෝධාකල්පකින් යුතුව බලන බවයි පෙනෙන්නේ?

අපි පසුකළ දශක කිහිපය සමාජය පැත්තෙන් වුණත් පවුල් ජීවිත පැත්තෙන් වුණත් කලාව දේශපාලනය සම්බන්ධයෙන් වුණත් අපට තිබුණෙ ඉතා අඩු පහසුකම් සහිත පරිසරයක්. සමාජය එදා මේ තරම් දූෂිත කාලකණ්ණි සහගත තත්වයට පත්වෙලා තිබුණෙ නෑ.

එදා තිබුණ සමාජය අද වන විට සම්පූර්ණයෙන් උඩුයටිකුරු වෙලා. විශේෂයෙන් මිනිහෙකුගේ ජීවිතයේ මුල්ම අඩිතාලම සකසන අධ්‍යාපනයේ ඉඳලම මේ කඩාවැටීම තිබෙනවා. හැබැයි එදාට වඩා අතිනවීන පහසුකම් සියල්ලෙන් අද සමාජය සමන්විතයි. එදා තිබුණ සාරධර්ම, ගුණගරුක කම්, ඇවතුම් පැවතුම් සමාජීය වටිනාකම් සියල්ල බරපතළ ලෙස කඩා වැටිලා. මේ තත්වය අසීමාන්තිකව වේගයෙන් ඉදිරියට තල්ලු‍වේගන යනවා. මේ දිහා බලපුවාම තියෙන්නෙ විශාල කනගාටුවක්. වේදනාවක්. ඒ වේදනාවෙන් සහ හැගීමෙන් තමයි මට මේ පොත ලියන්න සිද්ධ වුණේ. එයින් මට ඕනැ වුණේ පවතින තත්වය ගැන වත්මන් පාඨකයාට කිසියම් ඉගියක් දෙන්නයි.

 

ප්‍ර ඔබ කියන මේ වේදනාව සහ කලකිරීම උගත් වැඩිහිටි පරම්පරාවේ බොහෝදෙනකුට තිබෙන බව ඇත්තක්. එහෙත් මේ වෙනුවෙන් කිසියම් හඬක් නැගිය යුතු සහ නැගිය හැකි අය පවා අදවන විට මුනිවත රකිමින් සිටින තත්වයක් නේද තිබෙන්නේ?

අනිවාර්යයෙන්ම. ඒකත් මේ සමාජය විසින්ම නිර්මාණය කරනු ලැබූ සංකල්පයක්. අතිශය ආත්මාර්ථකාමී හැගීමෙන් අද බොහෝ දෙනා ක්‍රියා කිරීමම මේ සමාජ විනාශයට හේතුවෙලා තියනවා. මිනිසුන්ගේ සාරධර්මවල පිරිහීම තමයි මේකට මුල. එදා පුද්ගලයා තුළ තිබුණ සහකම්පනය අද බොහෝ දෙනා තුළ නෑ. කාට මොන විපතක් අගතියක් උණත් කමක් නෑ මම මගේ දේ බලාගෙන ඉන්නව කියන හැගීම අද සමාජය තුළ තහවුරු වෙලා තියෙනවා. රටේ පුරවැසියන් හැටියට ගත්තාම ඒක බරපතළ තත්වයක්. මේකෙන් අනෙක් පැත්තෙන් පෙනෙන්නේ මිනිස්සුන්ගේ මානසික කඩාවැටීම. සමාජයට මීටත් වඩා කෙළවිලා ගියත් ඔහේ ඕනෑ දෙයක් වෙද්දෙන් අපි අපේ පාඩුවේ ඉමු කියන අදහසේ තමයි හැමෝම වගේ ඉන්නෙ.

පොදු වශයෙන් සමාජයට වන හැගීම ගැන බොහෝ දෙනාට අදහසක් නෑ. ඒක හරියට වසුරු ගොඩේ නැගලා ඒකම ලෙවකමින් පෙරේතකමින් ඉන්නව වගේ තත්වයක්. මේ හැම කඩාවැටීමකින්ම පොඩි වින්දනයක් ආතල් එකක් ගන්න එක තමයි බොහෝ දෙනා කරන්නෙ. ගත කරන මොහොතේ තියන ප්‍රහර්ෂය තමයි ලොකුම දේ කියල හිතනවා. ඊට පස්සෙ මොකද්ද වෙන්නෙ කියල අදහසක් නෑ. අද ඉන්නේ ආතක් පාතක් නැතිව යන්නංවාලෙ යන දරු පරපුරක්. ඔවුන් කරන දේවල් ගැන වුණත් මවුපියන් පවා ඇහැ කන පියාගෙන බලාගෙන ඉන්නවා. ඒත් සමාජයේ පුරවැසියන් විදියට අර්බුදයක් හමුවේ දිගින් දිගටම නිහඩව සිටීම බරපතළ අපරාධයක්.

 

ප්‍ර මේ රටේ සාහිත්‍ය කලා ඇතුළු සංස්කෘතික ක්ෂේත්‍රවල කඩාවැටීම ගැනත් බොහෝ දෙනා කතාකරන්නේ කනගාටුවෙන්. මේ ගැනත් විශේෂයෙන් ඔබ මේ කෘතියේ අවධානය යොමු කරනවා.

සාහිත්‍ය, සිනමාව, නාට්‍ය කලාව, සංගීතය ඇතුළු සංස්කෘතික ක්ෂේත්‍රයේ බරපතළ පරිහානියක් දකින්න තියෙනවා. සාහිත්‍යයේ වුණත් අද තියෙන්නෙ වෙළෙඳාම වානිජත්වය පමණයි. පොතක් ලියන කෙනා බලන්නෙ සම්මානයක් ගන්නෙ කොහොමද කියන එක ගැන පමණයි. කොහොමද පොත විකුණගන්නෙ කියන එක විතරයි බලන්නෙ. සිනමාවටත් වෙලා තියෙන්නෙ ඒක. මිනිස්සුන්ට මනස සැහැල්ලු‍ කරගෙන මානසික වින්දනයක් ලබන්න විනෝද මාධ්‍යයක් හැටියට තිබුණු සිනමාව අද යන්නෙ වෙනම ගමනක. එදා සිනමාව රසිකයා දැඩි ලෙස වැළැදගත්තා. ඒත් අද කෙටිචිත්‍රපටයක් කළත් තියෙන්නෙ සම්මාන මානසිකත්වයක්. සම්මානත් මෙහෙ සම්මාන නෙවෙයි. මොන්ටිසෝරි ළමයින්ට මාරි විස්කෝතු දෙනවා වගේ අද පිටරටවල සම්මාන දෙනවා. මොකක් හරි එහෙම සම්මාන කෑල්ලක් ගාවගන්න මේ නිර්මාණකරුවන් හරි කැමතියි. ඒ මට්ටමට තමයි චිත්‍රපට බිහිවෙන්නෙත්. ඒවා අපේ ප්‍රේක්ෂකයාට හරිම දුරස්ථයි. ප්‍රේක්ෂකයො තමන්ගෙ දරු පවුල එක්ක මුදලක් වියදම් කරලා චිත්‍රපටයක් බලන්න එන්නෙ මානසික වින්දනයක් ලබන්න. දැන් සමහර චිත්‍රපට බලපුවාම ඔළුව විකාර වෙනවා. අපේ සංස්කෘතියට කිසිසේත් සමීප නැති හරිම කටෝර දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දානවා. අවසාන ප්‍රතිඵලය තමයි කලාවෙන් මිනිස්සු ඈත්වීම. ඒ විතැවීම තමයි අද දකින්න තියෙන්නෙ.

අනිත් එක මේ තත්වය හරියාකාරව තේරුම් ගන්න බැරි පිරිසක් තමයි මේවායේ නියමුවන් විදියට ඉන්නෙ. මිනිස්සුන්ගෙ හදගැස්ම, ඔවුන්ගේ නාඩි වැඩකරන්නෙ කොහොමද කියල තේරුම් ගන්න බැරි පිරිසක් නිර්මාණ කරපුවාම ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ගෙන් පාඨකයන්ගෙන් විතැන් වෙනවා.මේ කඩාවැටීම මේ සමාජ පරිහානියේ ප්‍රධාන ලක්ෂණයක්.

 

ප්‍ර මීට දශක කිහිපයකට පෙර මෙරට සමාජයේ පැවැති උසස් රසවින්දනය වර්තමානයේ බාල බොළඳ විකෘතියක් බවට පත්වී ඇතැයි ප්‍රවීණයෝ බොහෝ දෙනා චෝදනා කරනවා. දරුවන් පොත පතින් බොහෝ සේ දුරස් වෙලා තියෙනවා. මේ අර්බුදය ඔබ දකින්නේ කොහොමද?

අද වන විට අපි මේ අර්බුදයේ කර වටක් ගිලිලා ඉන්නෙ. පොත් පත් කියැවීම අධ්‍යාපනයේ විශාල පරාසයක් ආවරණය කරන කාරණයක්. දරුවන්ගේ පෞරුෂය ගොඩනැගෙන්න ඒ කියැවිම බලපානවා. මම මේ ගැන මේ කෘතියේ කතා කරනවා. පැරැණි අධ්‍යාපන ක්‍රමයේ තිබුණේ තම විෂය අනුව ඒකට අදාළ ග්‍රන්ථ සමූහයක් සහ සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත බාහිර කෘති පරිශීලනයට ශිෂ්‍යයාට අවස්ථාව සලසාදීම. ශිෂ්‍යයා මොන විෂය හැදෑරුවත් ඔහු සංස්කෘතික ජීවිතයට එමගින් හැඩගැසුණා. එමගින් ඔහුගේ රසවින්දනය ගොඩනැගුණා. සජීවී සංස්කෘතික ජීවියෙක් එයින් ගොඩනැගුණා. එදා සම්පූර්ණ පොතක් කියවලා ශිෂ්‍යකු ලබන දැනුම වින්දනය අද පොතක ජේදයකට හෝ කවියකට දෙකකට සීමා වෙලා. මේක එලොවටත් නැති මෙලොවටත් නැති පිටිත් නොවන රොටිත් නොවන මට්ටමේ ආතක් පාතක් නැති දරුවාගේ මනස ව්‍යාකූල කරන දෙයක් බවට පත්වුණා. මෙහෙම ඉගනගත්ත අය තමයි පස්සෙ ගුරුවරු වෙන්නෙ. පරිපාලන නිලධාරීන් වුණේ. වගකීම් දරන අය බවට පත්වුණේ. ඔවුන්ගෙන් සමාජයට ආවෙ නීරස ඕලාරික වැඩකට නැති ආදර්ශ සමූහයක්. මේ අධ්‍යාපන අවුල තමයි මේ පරිහානියේ මුල. ඒ විපාකය තමයි අද මේ සමාජය අත්විදින්නෙ. 

 

ප්‍ර සමාජයක් ගරාවැටීමට ප්‍රධාන වශයෙන් බලපාන රටක සංස්කෘතික අර්බුදයේ බරපතළකම ඉදිරියේ තවදුරටත් නිහඩව සිටියොත් අපට මොනවිදියේ ප්‍රතිඵල අත්විදින්නට සිදුවේවිද?

ඒක හිතාගන්න බෑ. මේ රටේ ඉස්සරලාම හදන්න ඕනෑ පුරවැසියො. ඒත් වගකීම් සහගත පුරවැසියො හදල නෑ. ඒ ඇම දාල තියෙන්නෙ දේශපාලකයො. දේශපාලකයන්ට ඕනෙ ගොබ්බ සමාජයක්. දැනුවත්භාවයෙන් අඩු රසවින්දයෙන් හීන ඕලාරික මිනිස්සු ඉන්නකල් දේශපාලකයන්ට බඩපිනුම් ගහන්න පුළුවන්. ඔවුන්ට මේ සමාජයේ විෂම චක්‍රය කරකවන්න පුළුවන්කම ලැබෙනවා. අද වෙලා තියෙන්නෙ ඒක තමයි.

 

ප්‍ර සංස්කෘතික අර්බුදයට විසදුම් සෙවීමේදී ආණ්ඩුවට පැවැරෙන වගකීම මොකද්ද?

වෙනත් රටවල මේ සංස්කෘතික අර්බුද විසදන්න ආණ්ඩු මැදිහත් වෙනවා. සමාජවාදී රටවල සමාජ විප්ලවයක් සිදුවීමත් එක්කම සංස්කෘතික විප්ලවයකුත් වුණා. එයින් සංස්කෘතික මිනිස්සු බිහිවුණා. ඔවුන් තුළ නව චින්තනයක් ගොඩනැගුණා. ඒත් අදවනවිට දේශපාලන මැදිහත්වීම්වලින් දිගින් දිගටම වුණේ සංවර්ධනයක් නොවෙයි පරිහානියක්. ඒ තරමට ඒ දේශපාලනය දූෂිතයි. සියලු‍ම ආණ්ඩුවලින් සිදුවුණේ සංස්කෘතික ප්‍රබෝධයන් නොවෙයි පරිහානියක්. සංස්කෘතික දෙපාර්තමේන්තුව පිහිටුවලා ආණ්ඩුවේ සංස්කෘතික සීමා එක්ක කටයුතු කරනකොට මේ ගැටලු‍ව ආවා. කලාකෘතිවල, පොත් පත්වල මීට වඩා විශාල දියුණුවක් තිබුණා ඔය සම්මාන උත්සව වගේ දේවල් එන්න කලින්.

ඒ නිසා මේ වෙනස්කම් කරන්න ඕනෙ අධ්‍යාපනයේ ඉඳලා. ප්‍රශ්නෙ අග්ගිස්සෙන් අල්ලගෙන ඉන්නෙ. පොතක් පතක් කියවන්න බැරි නාට්‍යයක්, සංගීතයක්, චිත්‍රපටයක් රසවිදින්න බැරි පුහු මිනිස්සු ටිකක් බිහි කරලා සමාජයට අතහැරියාට වැඩක් නෑ. ඒවා අර්ථාන්විතව තේරුම් ගන්න පිරිසක් බිහි වෙලා නෑ. ඉතිරිවෙන්නෙ බුඩු බිමක්. විශ්වවිද්‍යාලවල තත්වය උණත් එහෙමයි. මේ ප්‍රශ්නයට ආණ්ඩුව මැදිහත් වෙනව නම් ඒක වෙන්න ඕනෙ අධ්‍යාපනය හරහා. නිශ්චිත අධ්‍යාපන ප්‍රතිපත්තියක් නෑ මේ රටේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනැල්ලා දරුවන්නේ ඔළු කුරුවල් වෙලා තියෙන්නෙ. අපි ප්‍රශ්නෙ අග්ගිස්සෙන් අල්ලගන්නෙ නැතුව මුලින් අල්ලගන්න ඕනෑ.

 

ප්‍ර මේ සමාජ සංස්කෘතික අර්බුදය හමුවේ පොත් කර්මාන්තයේ අනාගතය මොන වගේ වෙයිද?

සියලු‍ ක්ෂේත්‍රවලට වෙලා තියන දේම තමයි පොත් කර්මාන්තයටත් වෙලා තියෙන්නෙ. ගුණත්මක මට්ටමේ පොත් විසිපන්දාහෙන් පටන් ගත්ත කර්මාන්තය මේ වන විට පොත් දෙසිය පනහ හෝ සියය මුද්‍රණය කරන තැනට වැටිලා තියෙනව. ඒකත් විකුණගන්නෙ බොහොම අමාරුවෙන්. ඒත් තවමත් පොත් මුද්‍රණය වෙනව. පොත් සාප්පුත් තියෙනවා. සම්මාන උත්සවත් තියෙනවා. හැබැයි මේ සියල්ල අස්සෙ විශාල කඩාවැටීමක් තියෙනවා. ගුණාත්මක බව ගැන ගැටලු‍ තියෙනවා. ඒවා කිසි දෙයක් ගැන අවධනය යොමු කරන බවක් පෙනෙන්නේ නෑ. කොච්චර පොත් තිබුණත් ඒවායින් මිනිසුන්ගේ රසවින්දනය චින්තනය පුබුදුවන්න බැරිනම් පලක් වෙන්නේ නෑ. ඉස්සර ගුවන්විදුලිය හා පුවත්පත් මගින් පුද්ගල රසවින්දනය දියුණු කරන්න විශාල දායකත්වයක් සැපයුණා. පුවත්පත්වල වටිනා සාහිත්‍ය අතිරේක තිබුණා. පාඨකයා ඒ වටා එකතුවුණා. ඒවායේ හොද මැදහත් විචාරයක් තිබුණා. ඒක සමාජ වගකීමක් ලෙස සැලකුවා. ඒත් පස්සෙ කාලෙ මේ සියල්ල වසාගෙන දේශපාලකයන්ගේ අදෝනාවන්ගෙන් පුවත්පත් වැසී ගියා, සාහිත්‍ය පිටුවලට තිබුණු ඉඩ ඒ දේශපාලන අදෝනාවන්ගේ ගොදුරු බවට පත් වුණා. අන්තිමට රසිකත්වය බින්දුවට පිරිහුණා. ලංකාවේ විචාර කලාව නැත්තටම නැති වුණා. අද විචාරය නමින් තියෙන්නෙ තමන්ගෙ කණ්ඩායමේ අයට ආවඩන පිටකසන විරුද්ධවාදීන්ට ගරහන දායක සභා. මේ වන්දිභට්ට දායක සභාවලින් මුහුණු පොත පිරිලා. මේවායින් මංමුළාවෙන පාඨකයො ඒ පොත් අරගෙන අපේක්ෂාභංගත්වයට පත් වෙනවා. සම්මාන සම්බන්ධයෙනුත් තත්වය ඒකයි. අන්තිමට පාඨකයො පොත් කියැවීම අත් හරිනවා. පොත් එපා වෙනව. මේ අර්බුදය තේරුම් නොගෙන ඒක සෙල්ලම් පිටියක් කියල හිතාගෙන බඩපිනුම් ගහන අයට තව ටික කාලෙකින් ඒක සොහොන් පිට්ටනියක් වෙන එක නවත්වන්න බෑ.

 

ප්‍ර ඔබ මේ කෘතියට යොදාගන්නා ග්‍රන්ථ නාමය සහ කෘතිය රචනා කිරීමට යොදාගන්නා භාෂාව තරමක රළු විරෝධාකල්ප බසක් බවයි පෙනෙන්නේ.

ඔව්. ඒක තරමක් උපහාසාත්මක රළු භාෂාවක් බව ඇත්ත. මේ සමාජ ව්‍යසනය ගැන කතා කරන්න වෙන්නෙ ඒ අයට තේරෙන භාෂාවෙන්. කාගෙ හිත රිදුණත් ඒකට කරන්න දෙයක් නෑ. මේක සෞම්‍ය මටසිළුටු භාෂාවෙන් කියල හරියන්නෙ නෑ. සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මේ පොතේ නම සහ ලියපු විදිය මට ගැළපෙන්නෙ නෑ කියල. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෑ.

(*** සංවාද සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

මේක රසිකත්වයක් නැති ගොබ්බ සමාජයක්

pakeer Tuesday, 08 July 2025 02:41 PM

ගොබ්බ රසිකයෝ බිහි කරන්නේ ගොබ්බ ශ්‍රව්‍ය දෘශ්‍ය මධ්‍ය සහ කලා කාරයෝ කියාගන්නා ගොබ්බ රස්තියාදු කාරයෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 717 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site