IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බිල්ලන් මවන්නෝ

පසුගිය දවස්වල අපට අසන්නට ලැබුනේ මහනුවර දිසාවෙහි පොලිස් ඇඳිරි නීතිය ගැනයි. ඊට පෙර සතියෙහි පමණ අම්පාරෙහි ද එවැනිම තත්ත්වයක් පැනැ නැඟැ තිබිණි. අවස්ථා දෙකෙහි ම එය වාර්ගික ගැටුමක මුහුණුවර ගත් අතර හිංසනයට ගොදුරු වූයේ මුස්ලිම් භක්තිකයන් සහ ඔවුන් ගේ දේපළ හෝ ආගමික සිද්ධස්ථාන ය.

අහම්බෙන් හට ගත් හෝ හට ගත් බවට උපකල්පනය කළ සිදුවීම් පිළිබඳව  නීතිය අනුව කටයුතු කරන්නට ඉඩ හරිනු වෙනුවට ප්‍රතිචාර වශයෙන් නොදැමුණු පිරිසක් නීතිය අතට ගෙන සිය අධිකාරය පණවන්නට කලහ කළ වගකි, වාර්තා වූයේ.  කිනම් හෝ සුළු සිදු වීමකින් වුව හදිසියේ වාර්ගික හිංසනය ඇවිළෙන්නට හැකි අවදානම් තත්ත්වයකට රට පත්ව ඇති බව එයින් පෙනේ. මෙය පසු ගිය කාලයෙහි මෙරට බිහි වූ සිංහල බෞද්ධ අධිපතිවාදයෙහි ප්‍රතිඵලයකැයි යමෙකු නිගමනය කළ හොත් එය නිවැරැදි විය හැකි ය.

අප මතකය තවත් ඉහතට ගෙන ගියහොත් එවන්ම සිදුවීම් ගාල්ලේ ගිංතොට ප්‍රදේශයෙන් මාස කිහිපයකට පෙර වාර්තා වූ අතර පසුගිය පාලන සමයෙහි අලුත්ගම ද එවන් කලහයක් වඩා ව්‍යාප්ත මට්ටමකින් ඇති විය. ඒ අතර මුස්ලිම් ව්‍යාපාරික සහ ආගමික ස්ථානවලට මෙන්ම ඇතැම් කිතුනු නිකායයන්ට අයත් පරිශ්‍රවලට පහරදීම් පෙළක් වත්මන් ආණ්ඩු කාලය තුළ දිවයිනෙහි නන් දෙස සිදු විය.

මේ සියල්ල හුදකලා සහ හදිසි සිදුවීම් සේ දිස් වුව ද, ඒවායෙහි රටාවෙන් සහ මුහුණුවරින් පෙනී යන්නේ ඒවා සංවිධානාත්මකව සිදු කැරෙන බවකි.

බොහෝ අවස්ථාවල නීතිය බලාත්මක කරන නිලධාරීන්ගේ, විශේෂයෙන් ම පොලීසියෙහි හැසිරීම ප්‍රශ්නකාරී ය. ඔවුන්ගේ වගකීම හරියාකාර ව ඉටු විණි දැ යි සැකයෙකි. ඇතැම් විට ඔවුහු ද නරඹන්නෝ වූහ.

යළි අප මතකය 1983 ජුලි මස දක්වා ගෙන ගියහොත් එදා පැවැති මහා කෝලාහලයට, දෙමළ විරෝධී හිංසන ඝාතනවළට පෙරාතුව වසර ගණනාවක් හුදකලා සහ හදිසියේ පැන නැඟි ආකාරයේ වාර්ගික හිංසන ක්‍රියා දාමයක් සිදු වූ බව සිහිපත් වනු ඇත. එකම වෙනස එදා හිංසනයට දෙමළ ජාතිකයන් ගොදුරු වීම සහ අද හිංසනය මුස්ලිම්වරුන්ට එරෙහිවීම පමණකි.

නිතැතින්ම නැඟෙන්නේ වත්මන් වාර්ගික හිංසනය ද එබන්දක පෙර නිමිත්තක්ද යන සිතුවිල්ල ය. 1983 කළු ජූලියෙහි ආදීනව අපි අත් විඳ ඇත්තෙමු. රටට වූ පාඩුව සහ අපකීර්තිය දැවැන්ත ය. අවසානයෙහි වාර්ගික ගැටුම තිස් අවුරුද්දක සහෝදර ඝාතක යුද්ධයක් දක්වා වර්ධනය විය තවත් එවන් විපතක් කෙසේ හෝ වළක්වා ගත යුත්තේ එහෙයිනි.

මෙවන් ගැටුම් වළක්වා ගන්නට වර්ගවාදී ප්‍රචාර, ප්‍රකෝප කිරීම් සහ හිංසනය මැඬලීමට ඉහත පාලනය මෙන්ම මෙම වත්මන් පාලනය ද අසමත් වීම කනගාටුදායක මෙන්ම බරපතළ කාරණයකි. ඊටත් වඩා භයානක වන්නේ ගැටුම් හට ගත් සැණින් ඒවා මැඬලීමට ක්‍රියා නොකැරැ ප්‍රමාද කිරීම සහ මෙතෙක් වරදකරුවන් සොයා දඬුවම් දීමට ක්‍රියා නොකිරීම ය. එයින් අනියමින් ගම්‍ය වන්නේ හිංසනයට අනුබල දීමක් නො වන්නේ ද?

කවර ජනවර්ගයකට, කවර ආගමික කාණ්ඩයකට අයත් වුව ද බහුතර ජනතාව වර්ගවාදීහු නො වෙත්. වර්ගවාදය කර පින්නාගෙන ඇත්තේ සහ පතුරුවන්නේ එක්කෝ බලයට කෑදර දේශපාලන කණ්ඩායම් ය. නැතහොත් ව්‍යාපාරික පිරිස් මෙන් කිසි යම් ලාභ ප්‍රයෝජනයක් හෝ ආර්ථික වුවමනාවක් වෙනුවෙන් පෙනී සිටින්නවුන් ය.

පීඩිත ජනයා විවිධ සමාජ ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත් වන්නේ ජන වර්ග අතර රටෙහි සම්පත් බෙදා ගැනීමට ඇති තරගය නිසා යැයි වැරැදි පින්තූරයක් මවා පා ජනතාව මුළා කිරීම වර්ගවාදීන්ගේ උපායයකි. එයට ගොදුරු වන්නෝ අනල්පය හ. 

එහෙයින් නැත්ත නැති කරන්නට නම් ඇත්ත ඇති සැටියෙන් කියා පෑ යුතු ය. නිදසුනක් වශයෙන්, ඉකුත්දා අම්පාර සිදු වීම ම ගනිමු. කලහයට හේතුව කෑම වෙළෙඳ හලක කෑමට “වඳ පෙති” වර්ගයක් මුසු කිරීමකැ යි කියැවිණි. එහෙත් වඳ පෙති හෙවත් දරුවන් ලබා දිය නොහැකි තත්ත්වයකට පිරිමින් කායිකව පත් කරවන බෙහෙත් පෙත්තක් හෝ බෙහෙතක් හෝ මෙතෙක් නිපදවා නැත.

වෛද්‍ය සේවා මහ අධ්‍යක්ෂවරයාම ඒ බව නොබෝ දා ප්‍රකාශ කෙළේ ය. එහෙයින් කලහයට මුල් ව ඇත්තේ ලෝකයෙහි කොතැනක වත් නැති දෙයක් ගැන ය. එසේ නම් “සිහල බොදු සේනා” මුළාවක පැටැලුණු වගකි. මෙම තත්ත්වය රජයේ දේශපාලන අධිකාරය නො දුටුවෙහි ද? සිල්වත් උගත් ගිහි පැවිදි උතුමෝ නො දුටුවෝ ද? 

ලොව ප්‍රබල ආගම් හතරක් ම මෙරට ප්‍රචලිත ව ඇත. ඒ සියල්ල උගන්වන්නේ මෛත්‍රියෙහි, කරුණාවෙහි යහගුණ ය. වැදැගත්කම ය. එහෙයින් ආගමෙහි නාමයෙන් හිංසනයෙහි යෙදීම ආගමට ම කරන නිගරුවෙකි. සාමය දේශනා කළ යුතු පැවිද්දන් ද එසේ කරන්නේ නම් වින්දිතයෝ වඩාත් අසරණ වෙති.

මුස්ලිම් ජනයා මෙරට සියවස් ගණනාවක් සිංහල, දෙමළ ජනතාව සමඟ සුහදව සමගියෙන් සාමකාමීව වාසය කරන්නෝ ය. ඔවුන් කල්ලතෝනින් සේ සැලැකිය නොහැකි ය. ශ්‍රී ලංකාව එහි වාසය කරන සියලු පුරවැසියන් ගේ මවුබිම ය. ඒ සියල්ලෝම සමාන හිමිකම් සහිත පුරවැසියෝ ය.

නිදහස් අරගලයෙහි දී මෙන් ම ස්වාධීන ශ්‍රී ලංකාවෙහි සංවර්ධනයෙහි දී ද මුස්ලිම් ජනතාව සෙසු ජනයා සමඟ සහයෝගයෙන් ක්‍රියා කළහ. දැනුදු එසේ කරත්. ඔවුහු කිසිදු ආණ්ඩු විරෝධී සටන් මාවතකට නො පිවිසිය හ. එහෙයින් ම කුරිරු ඝාතනවලට ද ලක් වූ හ.

එවන් සහෝදර ජනතාවකට එරෙහිව බොරු අවලාද සහ වෛරය පැතිර වීම සාපරාධී ක්‍රියාවකි. ඒවා මැඬලීමට නොපසුබටව යුහුසුළුව ඉදිරිපත් විය යුතු වන්නේ එහෙයිනි. පසු ගිය දිනයක රජයේ ඇමැතිවරයකුම මෙරට මුස්ලිම් අන්තවාදී සටන්කාමීන් සිටින බවට අන්ත මුසාවක් පැවැසුව ද එය සනාථ කිරීමට කිසිවෙකු සමත් වූයේ නැත. අවසානයෙහි ඔහුට පසු බසින්නට සිදු විය.

දැනට මහ මඟ, බස් රියේ, දුම්රියේ, ත්‍රිරෝද රථවල, කාර්යාලවල, බණ මඩුවල සහ ප්‍රසිද්ධ ජනහමුවල පතුරුවන බොරුවක් වන්නේ නොබෝ කලකින් සිංහලයන් වඳ වී මෙරට ජනගහනයෙහි මුස්ලිම් ජනයා බහුතරය වන බවකි. සංඛ්‍යා ලේඛන අනුව දැනට මෙරට ජනගහනයෙහි 100ක් තුළ සිංහලයන් 75කට  මුස්ලිම්වරුන් සිටින්නේ 9කි. මෙරට ජනගහනය වර්ධනය වන්නේ සියයට 0.76 ප්‍රතිශතයකිනි.  එය සියයට 1ක් හෝ 2ක් හෝ යැයි ගත්ත ද සිංහලයන් වඳ වනු පසෙක තබා ඔවුන්ගේ බහුතරය වසර සිය ගණනක් පවත්වා ගනු ඇත. ඇත්ත එය ය. නැති බිල්ලකු මවන්නේ කවර ඇත්ත බිල්ලකු සඟවන්නට ද?

මෙම මොහොතෙහි සියලු වග කිවයුතු දේශපාලන ආගමික හා සමාජ සංවිධානවල මූලික වගකීමක් වන්නේ ජාතීන් අතර සමඟිය සහ හොඳහිත පළුදු කරන, නසන සියලු වර්ගවාදී, ආගමික මූලධර්මවාදී ප්‍රචාරවලට එරෙහිව නැඟී සිටීම ය. සියල්ලට ම පෙර දැනට පවත්නා මුස්ලිම් විරෝධී ව්‍යාපාර හෙළා දැකීම ය. ඒ සඳහා එකතු විය හැකි නම් සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ ඊට එකමුතු විය යුතු ය. සාර්ව ආගමික නායකයන්ට ද එවන් ම ආයාචනයක් කළ හැකි ය. නීතිය කඩකරන්නවුන් කවුරුන් හෝ වුව නීතියෙහි රැහැනට අප්‍රමාදව හසු කළ යුතුය.

අලුතෙන් පිහිටුවනු ලබන පළාත් පාලන ආයතනවලට තම බල ප්‍රදේශවල සියලු ජාතීන් නියෝජනය කරන පුරවැසි සාම සභා ක්‍රමයක් ඇති කළ හැකි ය. එසේ කළ හැකි නම් ඒකාබද්ධ විපක්ෂයට ද සිය දේශප්‍රේමිත්වය ආදර්ශයෙන් පෙන්වා දිය හැකි ය.

මෙවන් අවස්ථාවල අන්ධයන්, ගොළුවන් සහ බිහිරන් සේ පැවැත්මෙන් පලක් නැත. එය අපරාධයට අනුබල දීමකි. ව්‍යසනයට අත වැනීමකි. සුසිත් දනන් ගේ නිහැඬියාව අධමයන් ගේ අපරාධයට වඩා භයානක ය.

    ජයතිලක  ද සිල්වා

 



අදහස් (1)

බිල්ලන් මවන්නෝ

upali Tuesday, 27 March 2018 08:25 AM

ජයතිලක ද සිල්වා මහතෝ අවුරුදු 30 ක යුද්ධයක් තිබුනත් කිසිදාක වදපෙති ගැන චෝදනාවක් දමිල අයට තිබුනේ නැත, නොයෙකුත් බෙහෙත් වල නොනිසි අතුරුපල තිබේ එම නිසා වද පෙත්තක් ලෙසින් නොවුනත් සමාන ප්‍රතිපල ගෙනෙන දේ තිබිය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site