IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසයකට ලක්‍ෂ 3 ක්


සතිපතා කැබිනට් මණ්ඩල රැස්වීම පසුගිය අගහරුවාදා පැවැති නමුත් එය විනාඩි 45 කට පමණක් සීමාවිය. එම කාලයේ දී අමාත්‍යවරු කැබිනට් යෝජනා කිහිපයක්ම සම්මත කරගත්හ. 

මේසා කෙටි කාලයක් කැබිනට් රැස්වීම පැවැත්වීමට හේතුව වූයේ යම් කාරණයක් සම්බන්ධයෙන් විරෝධයක් දැක්වූ ජනපති සිරිසේන මහතා රැස්වීමෙන් නැගිට යාම නිසා බවට මතයක් පළවන්නට ගත් මුත් නිශ්චිත හේතුවක් අනාවරණය කරගන්නට නොහැකි විය. රැස්වීමට සහභාගීව සිටි අමාත්‍යවරුන් කිහිපදෙනෙකුටම ලැබුණු දුරකතන ඇමතුම්වලින් මේ සම්බන්ධයෙන් විමැසින. නමුත් ඔවුහු ඊට පිළිතුරු දීම සිනාවෙන් බැහැර කළෝය. 

දැන් එයට හේතුව පැහැදිලි කළ හැකි අතර ඒ අනුව එදින කැබිනට් මණ්ඩලය කෙටි කාලයකට සීමාවී තිබෙන්නේ ජනපතිවරණය ඉලක්ක කර ජනතාවගේ කැමැත්ත දිනාගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ම පසුපසට තල්ලුවීම නිසාය.

ඒ අතරින් එකක් වනුයේ ගම්පෙරළිය වැඩසටහනෙහි අධීක්ෂණ මන්ත්‍රීන් ලෙස පත්කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් ගෙවිය යුතු බවට අගමැති වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවය. මේ සම්බන්ධයෙන් එදින පැවැති කැබිනට් මණ්ඩලයේ දී අදහස් දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය කණ්ඩායම සූදානමින් සිටියද, වික්‍රමසිංහ තම යෝජනාව ඉවත් කර ගත්තේය. 

පෙර සතියේ ප්‍රසිද්ධියේ අදහස් දක්වමින්, ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේ දී මෙම යෝජනාව නැවත සාකච්ඡාවට ගන්නා බව කියා සිටි එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු කිසිවෙක්, කිසිදු අදහසක් නොදැක්වූහ. එනම් දැනට පවතින තත්ත්වයට අනුව එම යෝජනාවට අනාගතයක් නොමැත.

සභාග රජයේ සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මේ අරබයා මාධ්‍යවේදීන්ගෙන් නැගුනු ප්‍රශ්න හමුවේ අපහසුතාවයට පත්විය. අගමැතිවරයා ගම්පෙරළිය අධීක්ෂණ මන්ත්‍රී දීමනාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරියට ගෙන යෑමට කටයුතු නොකළේ මන්දැයි පැහැදිලි කළ ඔහු එම දීමනාව අවභාවිතයට ගනු ඇති ඇතැම් අය ගම්පෙරළිය වැඩසටහන විවේචනය කරන්නට කටයුතු කරාවිය කියා ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කියා සිටියා, යැයි කීවේ ය. 

ලක්ෂ 2ක දීමනාවක් ලැබ, කුමන හෝ සංවර්ධන වැඩසටහනක් වේවා එය විවේචනය කිරීමට තරම් සිතක් ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකුවේ ද?. එවැනි දීමනාවක් අවශ්‍ය නැතැයි හඩ නඟා ඇති කිසිවෙක් අතීතයේ හෝ නැත. 
මාධ්‍ය රජයේ හොද වැඩ වාර්තා කරන්නේ නැතැයි, මාධ්‍ය වෙත දොස් පැවරීම වර්තමානයේ බොහෝ මාධ්‍ය ප්‍රකාශකයින්ගේ පිළිවෙත බවට පත්ව තිබෙන අතර, යම් කරුණක් සම්බන්ධයෙන් පිළිගත හැකි සහ විශ්වාසය තැබිය හැකි පැහැදිලි කිරීමක් සිදුකිරීමට ඔවුහු අපොහොසත්ය. පිළිතුර සරලය. 

ජනපති සිරිසේන මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට ඇත. එය සාකච්ඡාවට ගැනුනු පළමු අවස්ථාවේදීම ජනපතිවරයාගේ අදහස වූයේ ගම්පෙරළිය වැඩසටහනෙහි අධීක්ෂණ කටයුතු එම එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීම වඩා යෝග්‍ය බවය. සියලුම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඔවුනොවුන් නියෝජනය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සාමාජිකයෝ වන බවද, ඔහු සිහිපත් කර දුන්නේ ය.

පහත දැක්වෙන්නේ බදාදා පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පළවූ අදහස්ය.

ප්‍රශ්නය - අධීක්ෂණ මන්ත්‍රීන්ට ලබාදෙන දීමනා ඉහළ දැමීමක් ගැන සදහන් වුනු කැබිනට් පත්‍රිකාවක් පෙර අවස්ථාවක ඉදිරිපත් වුනා. එය නැවත සාකච්ඡාවට ගැනුනා ද?

ගයන්ත කරුණාතිලක මහතා - නැහැ.දීමනා ලබාදීමක් ගැන (ලක්ෂ 2කට අදාළ නොවේ) යෝජනාවක් ඉදිරිපත්ව තිබූ නිසා යම් පුද්ගලයින් එය ගම්පෙරළිය වැඩසටහන විවේචනය කරන්නට යොදාගනීවිය කියා අදහසක් ඇතැම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළා. ඒක ඉතාම වැදගත් වැඩසටහනක්. එනිසා මේ දීමනා කිසිවක් නැතිව අධීක්ෂණ කටයුතු කරගෙන යන්න තීරණය කෙරුණා. (සටහන - එය තීරණය කළේ කවුරුන්දැයි ඔහු සදහන් නොකළේ ය. අධීක්ෂණ කටයුතු සදහා වැඩිපුර ගෙවීමක් සම්බන්ධයෙන් වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුනි ද?)

ප්‍රශ්නය - නමුත් එය නැවත වරක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුනා?

පිළිතුර - නැහැ

ප්‍රශ්නය - අධීක්ෂණ කටයුතු සදහා පත්කර සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 55 දෙනෙක්ට රජය ප්‍රවාහන දීමනාවක් ගෙවනවා නේද?

පිළිතුර - ඔව්. ප්‍රවාහන දීමනාවක් ගෙවනවා. ඒක රහසේ සිදුකරන දෙයක් නොවෙයි. පැවති රජය පැජරෝ ජීප් අරන් රජයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන්ට බෙදලා දුන්නා වගේ දෙයක් නොවෙයි. එක් අමාත්‍යංශයකට දෙදෙනා බැගින් අධීක්ෂණ මන්ත්‍රීවරු පසුගිය රජය සමයේ පත්කර තිබුණා.

ප්‍රශ්නය - මොකක්ද දීමනාව?

පිළිතුර - පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්ව සිටිනවා නම් එම දීමනාව ඉවත් කෙරෙනවා. උදාහරණයක් හැටියට, රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත්කර තිබෙන රංජිත් අලුවිහාරේ මහතාට එම දීමනාව ලැබෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ගම්පෙරළිය වැඩසටහන දැන් ක්‍රියාත්මක නිසා එම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට ඔය දීමනාව ලැබෙනවා ද?

රාජිත සේනාරත්න මහතා - නැහැ.ඒ ගැන තීරණයක් ගෙන නැහැ.

ප්‍රශ්නය - දැනට ගෙවන දීමනාව කොපමණ ද?

කරුණාතිලක මහතා - එය පරීක්ෂා කර බලා මම ඔබට දන්වන්නම්.

අධීක්ෂණ මන්ත්‍රීන්ට ගෙවෙන දීමනා ගැන සදහන් වන මෙම ප්‍රශ්න හා පිළිතුරුවලින් මතුවන වැදගත් ගැටළු ගණනාවකි. 

එක්සත් ජාතික පෙරමුණේ (බහුතරයක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන) පාර්ලිමෙන්තු මන්ත්‍රීන්ට මාසිකව රුපියල් ලක්ෂ 2 ක ප්‍රවාහන දීමනාවක් ලැබෙන බව අනාවරණය වූයේ වික්‍රමසිංහ මහතාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් වූ පසුවය. 

ඉදිරිපත් වුනු අනෙක් යෝජනා 2 කද කැබිනට් මණ්ඩලය හමුවේ සම්මත වුනි නම්, - අධීක්ෂණ කටයුතු සදහා රුපියල් ලක්ෂ 2 ක් සහ පාර්ලිමෙන්තුවේ කටයුතු සදහා රුපියල් ලක්ෂ 1ක් බැගින් - එක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් දැරීමට සිදුවන වියදම මසකට රුපියල් ලක්ෂ 5 කි. මේසා විශාල මුදලක් එක් මන්ත්‍රීවරයකුට ගෙවීම ජනපතිවරයාගේ තීරණය නිසා වැළකී ගියේය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීමට තරම් මුදලක් නොමැති බව කියා සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේසා මුදලක් ගෙවීමට මාර්ගය පාදා දුන්නේ කෙසේද?, ඉහළ යන ජීවන වියදම පහළ හෙළාගත නොහැකිව එවැනි මුදලක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් වෙන් කිරීම ඔහු හෝ එක්සත් ජාතික පක්ෂ නායකත්වය කෙසේ නම් සාධාරණීකරණය කරන්නේද? අධීක්ෂණ දීමනාවක් ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම විවේචනය කරන්නේයැයි ගයන්ත කරුණාතිලක මහතා කරන ප්‍රකාශය සත්‍ය නම් රටේ ජනතාව එවැන්නක් ඊට වඩා විවේචනය කරනු, එවැනි යෝජනාවක් ගෙන ඒම පවා පිළිකුල් කරනු නැතිද?. 

පසුගිය රජය සමයේ අධීක්ෂණ මන්ත්‍රීන් වෙනුවෙන් ජීප් රථ බෙදා දුන්නේයැයි පැවසීම කිසිසේත්ම සාධාරණ නොවේ.ජනතාව වත්මන් රජය පත්කර ගත්තේ පැවැති රජයේ එවැනි ක්‍රියා නිසාවෙන්මය. කරුණාතිලක පවසන ආකාරයට එවැනි අකටයුතුකම් පැවතුනේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වගකිවයුත්තන් හදුනාගැනීමට වසර 3ක දීර්ඝ කාලයක් වත්මන් රජයට තිබිණ.

 



අදහස් (2)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසයකට ලක්‍ෂ 3 ක්

Ranjan samarasinghe Friday, 24 August 2018 05:43 PM

සියලු දෙනා මිල මුදලට වැඩ කරන අය වගේ පෙන්නේ

:       0       2

Raveendra Saturday, 25 August 2018 11:46 PM

මෙම ලිපිය කියවීමෙන් පසුව රටේ අහිංසක පුරවසියන් හට අවංකවම මෙම පින්ගුත්තරයන්ට "ගරු " ඇමති , "ගරු" මන්ත්‍රී යන්න භාවිතා කළ හැකිද? එසේ භාවිතා කිරීම සුදුසුද? යන්න තම තමන්ගේ ඥානශක්තිය මත තීරණය කරනු ඇත. "ගරු " යන වචනය වැදගත් මෙන්ම ගාම්භීර වචනයකි. එය යම් තැනැත්තකුගේ නමට ඉදිරියෙන් සඳහන් කරන්නේ නම් ඔහු හෝ ඇය "කිසිඳු මුල්‍යමය ලාබ ප්‍රයෝජන " නොගෙන (කෙටියෙන් පවසනවා නම් වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙන තම වියදමින් සේවය කිරීම) ස්වේච්ඡාවෙන් මහජනතාවයට සේවය කරන උසස් මනසකින් යුතු මහත්ම මහත්මීන්ටය. පැහැදිලිවම මෙම හිඟන නිවටයින්ට " ගරු ඇමති , ගරු මන්ත්‍රි " සේ ආමන්ත්‍රණය කිරීම කිසිසේත්ම සුදුසු නැත.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site