IMG-LOGO

ප්‍රතිචාර නැති සදාචාර අභියෝග

ජාතික ජන බලවේග ආණ්ඩුවට විරුද්ධ පක්ෂවලින් එල්ල වන විවේචනවලට වඩා එම ආණ්ඩුව බලයට ගෙන ඒමට දායක වූ එහෙත් බොහෝ දුරට ස්වාධීනව අදහස් ඉදිරිපත් කරන පිරිස්වල විවේචනවලට මුහුණ දීම දුෂ්කර වී ඇති බව පෙනේ.

මන්දයත් විරුද්ධ පක්ෂවල විවේචන බොහෝ දුරට විවේචන කළ යුතු නිසා කරන විවේචන ලෙසත් දේශපාලන ද්වේෂය නිසා ඉදිරිපත් කරන විවේචන ලෙසත් පෙන්වීමට ආණ්ඩුවට එතරම් අපහසු නොවන හෙයිනි.

උදාහරණයක් ලෙස දැනට මතභේදයට ලක්වී ඇති පරීක්ෂාවකින් තොරව වරායෙන් බහලුම් නිදහස් කිරීමේ සිද්ධියේ දී විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් චෝදනා කළේ  එම බහලුම් බස්නාහිර පළාතේ ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතාගේ සමාගමකට අයත් ඒවා බවය. එහෙත් ආණ්ඩුකාරවරයාත් ශ්‍රී ලංකා රේගුවත් එය ප්‍රතික්ෂේප කිරීමත් සමගම එම පක්ෂ නිරුත්තර විය.

එම බහලුම් ප්‍රශ්නය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබූ කමිටුවක් මගින් සකස් කෙරුණ වාර්තාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය  වත්මන් ආණ්ඩුවට මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන් බලපානු ඇතැයි කීවේය. එම ප්‍රකාශයට ආණ්ඩුවේ ඇමැතිවරු ඉතා පහසුවෙන් මුහුණ දුන්හ. ඔවුන්ගේ තර්කය වූයේ මෙම වාර්තාව ඉදිරිපත් කළ කමිටුව පත් කළේ ජනාධිපති අනුර  කුමාර දිසානායක මහතා යටතේ ඇති මුදල් අමාත්‍යාංශය බවයි. ඒ නිසා මෙය මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට සමාන කළ නොහැකි බවයි.

එසේම මෙම බහලුම් සමග රටේ සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සම්බන්ධ කිරීමට විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් දැරූ උත්සාහය පිළිගන්නා කිසිවකු රටේ සිටින බවක් නොපෙනේ. කෙසේ වුවත් මෙම බහලුම් ප්‍රශ්නය පිළිබඳ පූර්ණ පැහැදිලි කිරීමක් කර නීති විරෝධී යමක් සිදුවී ඇත්නම් ඊට අදාළ අයට විරුද්ධව ක්‍රියා මාර්ග නොගතහොත් එය ජාතික ජන බලවේග ආණ්ඩුවට සදාකාලිකව බලපාන කළු පැල්ලමක් වීම වැළැක්වීමට ද නොහැකිවනු ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තෙදින සංචාරයක් සඳහා  ශ්‍රී ලංකාවට පැමිණියේය. එම කාලයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කෙරිණි. මෙම ගිවිසුම් රටට හෙළිදරව් කරන ලෙස විරුද්ධ පක්ෂ කියා සිටිය ද මේ වන තෙක් ආණ්ඩුව එය කළේ නැත. මෙහිදී ද විරුද්ධ පක්ෂයේ  බොහෝ දෙනාගේ විවේචන කොරහේ  කිඹුලන් දකින්නට දරන උත්සාහය බදු විය. ඒ සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් හෝ උද්ඝෝෂණයක් හෝ කරන්නට ද විරුද්ධ පක්ෂ අසමත් විය.

ඉන් අදහස් කෙරෙන්නේ මෙම ගිවිසුම් රටට හෙළි නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැතැයි යන්න නොවේ. එහිදී ආණ්ඩුවේ ඇමැතිවරුන් කළේ ඒ ඒ අවස්ථාවෙන් ගැලවීම සඳහා කුමක් හෝ ප්‍රකාශ කිරීමයි. මුලින්ම ජනමාධ්‍යවේදීන් විදේශ ඇමැති විජිත හේරත් මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා තිබුණේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කර ඕනෑම කෙනකුට මෙම ගිවිසුම්වල විස්තර ලබාගත හැකි බවයි.

එහෙත් එය ඉටු නොවීය. ඉන් පසු කැබිනට් ප්‍රකාශක හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනමාධ්‍යවේදීනට පැවැසුවේ එම ගිවිසුම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන්නට නම් ඉන්දියානු ආණ්ඩුවේ එකඟතාව ලබාගත යුතු බවයි. මෙය බරපතළ තත්වයකි. එසේම මෙය ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ සැකයක් උපදවන තත්වයකි. වෙනත් පක්ෂයක් බලයේ සිටිය දී මෙවැනි තත්වයක් ඇති වූයේ නම් ඊට ජාතික ජන බලවේගයේ නායකයන්ගේ ප්‍රතිචාරය කෙනකුට සිතා ගත හැකිය. මෙය කොහෙත්ම නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම තමන්ගේ ප්‍රධාන ඉලක්කයක් බව කී ජාතික ජනබලවේගයෙන් අපේක්ෂා කළ නොහැක්කකි.

දේශපාලන පත්වීම් ජාතික ජනබලවේග ආණ්ඩුවට එල්ල වන තවත් චෝදනාවකි. මෙහිදී විරුද්ධ පක්ෂ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ප්‍රධාන ඉලක්කය බවට පත් කරගෙන සිටින්නේ  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් වත්මන්  ආණ්ඩුව විසින් පත් කරනු ලැබ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (රහස් පොලීසියේ) අධ්‍යක්ෂ වශයෙන් පත්ව සිටින ශානි අබේසේකර මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කරුණ පොලීසිය නිර්දේශපාලනීකරණය කිරීමේ ජාතික ජන බල වේගයේ පොරොන්දුව  ප්‍රශ්න කිරීමක් ලෙස ඉස්මතු කළ ද එම පක්ෂයට විශේෂයෙන්ම ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් ඇත්තේ සාමාන්‍ය රාජ්‍ය නිලධාරියකු කෙරෙහි දක්වන ආකල්පයක් නොවේ. 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ විගසම කළ කටයුතුවලින් එකක් වූයේ එවක රහස් පොලිසියේ අධ්‍යක්ෂ වූ අබේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමය.

ආණ්ඩුව මෑතක දී තවත් දේශපාලන පත්වීමක් ද කළේය. ඒ නියෝජ්‍ය ඇමතිවරයකු වශයෙන් කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කිරීමයි. මෙම පත්වීම විරුද්ධ පක්ෂයේ විවේචනයට ලක් වුවක් නොවේ. කෙසේ වෙතත් මෙහි දී ඔහුගේ හෝ රවි සෙනෙවිරත්න මහතාගේ හෝ ශානි අබේසේකර මහතාගේ හෝ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නයක් කිසිවකු මතු කරන්නේ නැත. එහෙත්  ඒවා ප්‍රශ්නයක් වන්නේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීම පිළිබඳ  ජාජබ පොරොන්දුවක් සමග සසඳන  විටය. රාජ්‍ය පාලනයේදී පරම සදාචාරවාදී විය නොහැකි බවට මෙම සිද්ධි හොඳ උදාහරණයි.

 

මෙවැනි පත් කිරීම් පිළිබඳ ප්‍රශ්න කිරීමට මෙතෙක් මෙරට පාලනය කළ කිසිදු පක්ෂයකට නොහැකිය. මන්දයත් ඒ සෑම පක්ෂයක්ම මෙවැනි පත්වීම් කළා පමණක් නොව එම පත්කිරීම්වල දී ඇතැම් විට අදාළ පුද්ගලයන්ගේ සුදුසුකම් හෝ සැලකිල්ලට නොගැනිණි. ඥාතීන් හා මිතුරන් තානාපතිවරුන් ආදී තනතුරුවලට පත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලවල දී සාමාන්‍ය තත්වයක් විය. එහෙත් ඒ නිසා මෙතැන ඇති සදාචාරය පිළිබඳ ප්‍රශ්නය අවලංගු වන්නේද නැත.

මීට වඩා එක්තරා දුරකට වෙනස් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව බලයට ඒමට මතවාදීව උපකාර කළ එහෙත් සෑම විටම ස්වාධීනව අදහස් ඉදිරිපත් කළ ජනමාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ආණ්ඩුවට එල්ල කරන විවේචනවලට ආණ්ඩුව පිළිතුරු දෙන බවක් නොපෙනේ. මෙම විවේචනවලට පිළිතුරු දීමේ දී පෙරළා පහර දීමට ද ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ ඔවුන් දේශපාලන පක්ෂ නියෝජනය නොකරන හෙයිනි.

මෑතක දී ඔවුන් මතු කළ බරපතළ ප්‍රශ්නයක් නම් හිටපු අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් පත් කරනු ලැබීමයි.

මෙහිදී ඔවුන් ජයසූරිය මහතාගේ සුදුසුකම් කිසි විටෙකත් ප්‍රශ්න කළේ නැත. ඔවුන්ගේ ප්‍රශ්නය වූයේ එම පත්වීමේ ඇති සදාචාරයයි. එය මීට පෙර ද හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා ද මෙම තනතුරටම පත් කරනු ලැබූ විට ද මතු වූ ප්‍රශ්නයකි.

ඔවුන්ගේ තර්කය වන්නේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම යාමෙන් පසු මෙවැනි තනතුරුවලට පත් කිරීමෙන් දැනටමත් සේවය කරන විනිශ්චයකාරවරුන්ට මානසිකව බලපෑමක් එල්ල වේ යන්නත් එමගින් ඔවුන් දෙන නඩු තීන්දුවලට ද බලපෑමක් ඇතිවිය හැකිය යන්නත්ය. තවත් සරලව කියන්නේ නම් මෙවැනි පත් කිරීම් දැක විනිශ්චයකාරවරුන් එක් අයකු  දෙදෙනකු හෝ තීන්දු දීමේදී ආණ්ඩුවට පක්ෂපාතී වන්නට උත්සාහ කරනු ඇතැයි ඔවුහු තර්ක කරති.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරන නිලධාරීන්ගේ තොරතුරු විමසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කෙරුණ ඉල්ලීමකට පිළිතුරු වශයෙන් ජනාධිපති කාර්යාලය පවසා ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනතේ  5 (1) (අ) වගන්තිය අනුව එම තොරතුරු ලබාදිය නොහැකි බවයි. ඒ අනුව දැන් මේ තොරතුරු අවශ්‍ය අය තොරතුරු  දැන ගැනීමේ කොමිසමට යා යුතුය. එතැනින් ද ඉල්ලීම ඉටු නොවුණහොත් අධිකරණයට යා යුතුය.

මෙතැනදී ද ප්‍රශ්න කෙරෙන්නේ ජාතික ජනබලවේගයේ දේශපාලන සදාචාරයයි. නීතිය අනුව ජනාධිපති කාර්යාලය නිවැරැදි විය හැකිය. එය තීරණය කළ යුත්තේ තොරතුරු දැන ගැනීමේ කොමිසම හෝ  අධිකරණයයි. කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සිය දේශපාලන කටයුතුවල දී දැඩි ලෙස අවධාරණය කළ ජාතික ජන බලවේගය මේ කාරණයේ දී වෙනස් ආකාරයකට හැසිරෙන්නේ මන්ද යන්න  ප්‍රශ්න කෙරේ. එසේම මාස තුනක් තිස්සේ තොරතුරු  ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට සභාපතිවරයකු පත් නොකර සිටීම ද මේ සමඟම ප්‍රශ්න කෙරෙන්නේ සදාචාරමය කරුණක් වශයෙනි.

බටලන්ද වධකාගාරය, පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, ජනමාධ්‍ය ආයතනවලට පහර දීම, මෑතක දී කොතලාවල ආරක්ෂක  විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට මෙරට සාමාන්‍ය සිසුන් ඇතුළත් කරගැනීම නතර කිරීමට ගත් තීරණය ආදිය ද මතු කෙරෙන්නේ ජාතික ජනබලවේගයේ දේශපාලන සදාචාරය ප්‍රශ්න කිරීමේ අංගයක් වශයෙනි.

බටලන්ද වධකාගාරය පිළිබඳව පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය යන පක්ෂවලට එතරම් උනන්දුවක් නැත.

 එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙස දැරූ බොහෝ දෙනෙක් මේ ගැන  උනන්දුව දක්වති. මේ කාරණයේ දී ආණ්ඩුව කළේ බටලන් ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණි. ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුණු පිරිස් දැන් එය ප්‍රශ්න කරති.

අප මෙසේ ලැයිස්තු ගත කළේ ආණ්ඩුව සදාචාරමය  වශයෙන් මුහුණ දී සිටින ගැටලු ගණනාවකි. ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුව වූයේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමයි. ඒ ගැන ප්‍රශ්න මතු කෙරෙන ඕනෑම අවස්ථාවක දී ආණ්ඩුවේ නායකයන් පවසන්නේ තමන් දේශපාලන තලයේ සොරකම නතර කළ බවයි. එය බොහෝ දුරට පිළිගත හැක්කකි. වත්මන් ආණ්ඩුවට එරෙහිව බරපතළ වංචා හෝ දූෂණ පිළිබඳ චෝදනා එල්ල වන්නේ නැත. එහෙත් දේශපාලන සංස්කෘතිය ඊට පමණක් ලඝු කළ නොහැකිය.

ආණ්ඩුව පරම සදාචාරවාදී විය යුතු යැයි කිසිවකු අපේක්ෂා කරන්නේ නම් එයද ප්‍රායෝගික නොවේ. උදාහරණයක් වශයෙන් ආණ්ඩුව ඕනෑම දේශපාලන පක්ෂයක් සමග එක් වීම ගැටලුවක් වුවද තමන් වැඩිම ආසන ගණනක් දිනාගත් පළාත් පාලන ආයතනයක බලය අල්ලා ගැනීම සඳහා අවම දූෂිත පුද්ගලයන් සමග කටයුතු කිරීම සලකා බැලිය යුතු කරුණකි. ඇතැම්  පත්වීම් සම්බන්ධයෙන් ද පරම සදාචාරවාදී වීම ජාතික ජන බලවේගයට පමණක් නොව රටට ද අවාසි සහගත විය හැකිය. කෙසේ වෙතත් අද ප්‍රශ්නය වී ඇත්තේ සදාචාරමය ප්‍රශ්න මතු වනවිට ආණ්ඩුව එය රටට පැහැදිලි නොකර හිස සඟවා ගැනීමයි.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (0)

ප්‍රතිචාර නැති සදාචාර අභියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 889 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site