වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ සමයේ අවසන් භාගයේ එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සමයේය.
මෙවර දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 වනදා සවස 03ට ආරම්භ කළ අතර එය පසුගිය 27 වනදා සවස 5.30ට සැලසුම් කළ පරිදිම අවසන් කෙරිණි. දින 10ක් පුරාම පැවති දළදා වන්දනාව මෙවර සංවිධානය කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මතයි. දළදා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපනය කරමින් ආගමික හා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරිමට මෙම අවස්ථාව ඉවහල් වන බවකි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කළද බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව සතර දළදාව, ලලාඨ ධාතුව හා ග්‍රීවා ධාතුව යන ධාතුන් වහන්සේලා හැර අනෙක් සියලු ශාරීරික කොටස් කුඩා කැබලිවලට බිදී ගිය බව ඉතිහාසයේ සඳහන්ය.
මෙම ප්‍රධාන ධාතුන් වහන්සේලාගෙන් සතර දළදා වහන්සේ වැඩ සිටින ස්ථාන තව්තිසා භවන, ගාන්ධාර දේශය, කාලිංග දේශය හා නාලොව බව දැක්වෙයි. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති වැලිවිට සෝරත නාහිමි බුදුසරණ අන්තර්ජාල කලාපය සඳහා ලියූ ලිපියක දැක්වෙන්නේ, දළදා සිරිත, දාඨාවංශය හා දළදා පූජාවලිය ආදි ධාතු වංශකතාවල සඳහන් පරිදි මෙම සතර දළදා වහන්සේගෙන් දෙනමක්ම වර්තමානය වනවිට වැඩ හිඳින්නේ ශ්‍රී ලංකාවේ බවය. ඒ අනුව උන්වහන්සේ එහි සඳහන් කරන්නේ නාලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුගේ කාලයේ දී මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරුන් වහන්සේ නමක විසින් නාග භවනෙන් ගෙන එනු ලැබ, ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමාවතී චෛත්‍ය රාජයා තුළ තැන්පත් කර ඇති බවය.
අනෙක් දළදා වහන්සේ තැන්පත් කර ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙහිය. කාලිංග දේශයේ තැන්පත් කර තිබූ මෙම දළදා වහන්සේ ගුහසීව රජු හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට භාරදී ඇත. පසුව ඔවුන් දෙදෙනා විසින් 04 වැනි සියවසේ එනම්, ක්‍රි.ව. 310දී රජ කළ ශ්‍රී මේඝවර්ණ රජුගේ (කිත්සිරිමෙවන්) කාලයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවනු ලැබ තිබේ. එතැන් පටන් දළදා වහන්සේ රාජ්‍යයේ සංකේතයක් බවට පත් කරමින් වර්තමානය දක්වාම මහත් හරසරින් පෙරහැර පවත්වා පුදපූජා සිදුකරනු ලබයි.
දින 10ක් පුරා පැවති දළදා දැක්ම පසුගිය 27 වැනිදා ඉරිදා දින සාර්ථකව අවසන් කළ බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් මගින් සඳහන් කළේය. මෙම දින 10 තුළ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලක්ෂ 10කට වැඩි සැදැහැවතුන් පිරිසක් සම්බන්ධ වී තිබේ. ඉන් ලක්ෂ හයකට වැඩි පිරිසකට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලැබී ඇත. පෝලිම්වල රැඳී සිටි ලක්ෂ 04ක් වූ සැදැහැවතුන්ට එම අවස්ථාව අහිමි වී ඇති බව පොලිසිය කළ ගණන් බැලීම්වලින් හෙළිව තිබේ. එමෙන්ම පැයකට බැතිමතුන් 20000-21000 අතර පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගෙන ඇති බවද අදාළ ඇස්තමේන්තු අනුව හෙළි වී ඇත.
දළදා දැක්ම සමයේ මහනුවර නගරයේ කසළ ටොන් 600ක් බැහැර කර ඇති බව මහනුවර මහනගර සභාව ප්‍රකාශ කර තිබේ. කසළ අතර සිලිමලුවලට දැමූ මලමුත්‍රා පැවති බවත්, අවිධිමත්ව සංවිධානය කර තිබූ දන්සල් හේතුවෙන් එක් රැස් වූ කසළ ප්‍රමාණය වැඩි වී ඇති බව මහනුවර මහනගර සභාව සඳහන් කරයි.
දළදා වන්දනාව සඳහා පැමිණි විශාල පිරිසකට බරපතළ බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පසුගියදා අනතුරු ඇඟවීය. එහිදී පාචනය, ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි රෝග පැතිරීමේ අවදානමක් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ ද පෙන්වා දුණි. මහනුවර මහනගර සභාව ද මේ වෙන විට වාර්තා කර ඇත්තේ දළදා වන්දනා සමයේ එක් දිනක් තුළ එකතු කරන කසළ ප්‍රමාණය, මහනුවර නගරයෙන් මාසයක් තුළ එකතු කරන කසළ ප්‍රමාණයට සමාන බවය. එම කුණු නිසි ලෙස බැහැර කිරීමට ප්‍රමාණවත් ඉඩක් මහනුවර නගරයේ නොමැති බවද මහනුවර නගර සභාව පෙන්වා දෙයි.
මේ අතර කටුගස්තොට සහ වැව රවුමෙන් දළදා වන්දනාව සඳහා පැමිණි ජනතාවට ප්‍රමාණවත් කැසිකිළි වැසිකිලි පහසුකම් නොතිබුණි. එම ජනතාවගෙන් බොහොමයක් පන්සල් පල්ලි ආශ්‍රිතව නවාතැන් ගත්හ. තවත් අය සිටියේ මහ පාරේමය. එම ජනතාවට ප්‍රමාණවත් පහසුකම් නොතිබුණ හෙයින් මඟ දෙපස කානුවල සහ මහවැලි ගඟ දෙපස හා නුවර වැවේ (කිරිමුහුද) සිය අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවිය. එසේම මහනුවර නගරය අවට කානු පද්ධතිවල තැන තැන මලපහ හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞබ්‍ය ගැටලු රැසක්ද මේ වන විට මතුව තිබේ. මෙහි ඇති බරපතළම කාරණාව වන්නේ මහවැලි ගඟේ පානීය ජල අවශ්‍යතා සපුරාලන ජල පෝෂක ප්‍රදේශයට මෙම මළ අපද්‍රව්‍ය එකතුවීමේ දැඩි අවදානමක් පැවතීමය. ඒ දළදා ප්‍රදර්ශන සමයේ ඇද හැලුණ වර්ෂාවත් සමඟ මල අපද්‍රව්‍ය මහවැලි ගඟට එක්වීම හේතුවෙනි.
මේ හේතුවෙන් මහනුවර සහ ඒ අවට ලබා දෙන පානීය ජලයේ මල අපද්‍රව්‍ය අඩංගු වුවහොත් ඉන් ඇතිවෙන බලපෑම ගැන බලධාරින් අවධානය යොමු කර තිබේද යන්න ද ගැටලුවකි. ඊට හේතුව වන්නේ ලක්ෂ සංබ්‍යාත ජනකායක් එකවර මහනුවර නගරයට එකවර එකතු වෙන බව දැන දැනත් මේ සඳහා නිසි සැලැසුමක් නැතිව ක්‍රියාත්මක වීමය. මහනුවර නගරයට දළදා වන්දනාවේ පැමිණි ජනතාවට සෞබ්‍යාරක්ෂිත පහසුකම් තියා වන්දනාමාන කිරීමේදීද නිසි සැලැසුමක් එය සංවිධානය කළ නිලධාරීන්ට තිබුණේ නැත. කටුගස්තොට සිට පෝලිමේ සිටි ජනතාව 21 දින සිට 24 දින දක්වා පැමිණ තිබුණේ මීටර 200ක පමණ දුරකි. එම පෝලිම දිගු වෙනවා හැර වන්දනාමාන කිරීමට මාළිගාව අසලටවත් යාමට නොහැකි වූ අය වූහ. ඒ පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ හිතවතුන් පෝලිමට එක් කළ නිසාය. එකතැන දින ගණනක් සිටි ජනතාවට නිසි නින්දක් නැත. ඔවුහු අව්වට පිච්චෙමින් වැස්සට තෙමුණහ. මේ හේතුවෙන් බොහෝ වන්දනාකරුවන් උණ සහ සමේ රෝගවල ගොදුරු වී ඇති බව මහජන සෞබ්‍ය පරීක්ෂක සංගමයද තහවුරු කළේය.
මේ අතර පොදු ජනතාව පෝලිම්වල සිට දළදාව වන්දනා කිරීමට පැමිණියද ඊට පරිබාහිරව VIPපෝලිම් දැක ගන්නට තිබුණි. මහනුවර ප්‍රභූ පාර්ශවයෙන් සහ මහනුවර පොලිස් සහ රාජ්‍ය ලොක්කන්ගේ ඥාතීන්ට හිතවතුන්ට සහ හිතවතියන්ට මෙන්ම ව්‍යාපාරිකයන් වෙනුවෙනි. එම VIP පෝලිම් හේතුවෙන් අන්තිම දින දෙකේ දළදා වඳින්න සිටි තිස් දහසකට වැඩි පිරිසකට දළදා වන්දනා කිරීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබුණි. නිල සංඛ්‍යාලේඛන අනුව ප්‍රධාන පෝලිම් තුනෙහි දළ වශයෙන් එක් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් රැස් වී සිටියහ.
මෙම VIP පෝලිමේ ගිය පිරිස් දළදා වහන්සේ වන්දනා කළේ ආබාධිත අය ගමන්කරන පෝලිමේ යවමිනි. මේ හේතුවෙන් ආබාධිත තත්වයට මුහුණ පා සිටි විශාල පිරිසකටද දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි විය. පසුගිය 26, 27 දෙදින තුළ පමණක් විසි දහසකට ආසන්න පිරිසක් VIP පෝලිම් හරහා දළදා වන්දනා කර තිබුණි. වන්දනා කිරීමට මහ ජනයා පැමිණි පෝලිම් තුනේම අවසන් දින කිහිපයේදී එක් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අවම වශයෙන් සිටින බව වාර්තා වුණි. පෝලිමේ සිටින ජනයාගෙන් දිනකට දළදා වන්දනාව සිදු කළේ 68,000ක් 70,000කට ආසන්න පිරිසකි. දිනකට ලක්ෂයකට වඩා දළදාව වන්දනා කළ බවට මහනුවර උසස් පොලිස් නිලධාරින් ලබා දුන් දත්ත මගින් කියැවුණි. එම දත්‍ත සත්‍ය නම් පෝලිම්වල සිටි ජනතාවගෙන් වන්දනා කළේ 70,000ක් නම් දළදා වන්දනා කළ සෙසු පිරිස VIP පෝලිම්වල සිටි අය බව පෙනී යයි.
ඒ අනුව දළදාව වන්දනා කළ හැක්කේ 120,000-130,000ක ප්‍රමාණයකටය. එසේ නම් පෝලිම්වල සිටින ජනතාවගෙන් 30,000කට දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකි වී තිබේ. මේ ඛේදනීය තත්වය නිර්මාණය වන්නේ පෝලිම්වල සිටින පිරිසට දළදා වන්දනාවට ඉඩ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දන්වා ඇති අවස්ථාවකය. VIP පෝලිම් නවත්වන ලෙස ජනාධිපතිවරයා කළ නිර්දේශය දළදා භාරකාරිත්වය පමණක් නොව නිලධාරීන් පවා තඹයකට ගණන් ගෙන නොතිබෙන බව ඉන් පෙනී යයි. ජනාධිපතිවරයාගේ තීන්දුව නොතකා මහනුවර ඇතැම් ප්‍රභූ පාර්ශව VIP පෝලිම් නිර්මාණය කළද රටේ සේනාධිනායකයා සහ ආරක්ෂක ඇමති ලෙස ජනාධිපතිවරයාගේ නිර්දේශය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හෝ අවම වශයෙන් අනුගමනය කළ යුතුව තිබිණි. එහෙත් එය එසේ වූයේ නැත. VIP පෝලිම් සඳහා ගුවන් හමුදා නිල වාහන මෙන්ම පොලිස් නිල වාහනවලින් ඥාතීන් රැගෙන යන අයුරු සුලභ දසුනක් විය. එසේම මහනුවර උසස් පොලිස් නිලධාරියකු රජවීදියේ තැනක සිට කාන්තාවන්ට, තම සුවිශේෂ හිතවතියන්ට දළදා වහන්සේ වැඳීම සඳහා පාස්ලබා දෙන අකාරය අපි දැක්කෙමු. එම පොලිස් ලොක්කා දුරකතනයෙන් කාන්තාවන් අමතා රජවීදියට එන ලෙසත් ඇවිත් පාස්එක ලබා ගන්නා ලෙසත් එලෙස එන කාන්තාවන්ව වර්ණනා කරන ආකාරයත් හඬපට අප සතුව තිබේ. එසේම නුවර රාජ්‍ය නිලධාරීන්ද මීට දෙවෙනි නැත. ඔවුන් ද තම නිලබලය අවභාවිත කරමින් තමන්ගේ ඥාති හිතවතුන් පෙම්වතුන් පෙම්වතියන් දළදා වන්දවන ආකාරය අපි දුටුවෙමු. දළදා වහන්සේ වැඳ ගැනීමට ආ ජනතාව පොලිසියේ නොසැලිකිලිමත්කම නිසා දැඩි අපහසුතාවකට පත් වෙන අයුරු ද දැකගත හැකි විය. පෝලිමේ සිට දළදා වහන්සේ වන්දනා කිරීමට යාමේදී පවුලේ සාමාජිකයන් එකට යනවිට එම පෝලිම් කඩා වෙන වෙනම වන්දනා කිරීමට යාමෙන් බොහෝ පිරිසක් අතරමං වූහ. මේ වැඩේ නොකරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කිරීමටද දළදා වහන්සේ ගැන ප්‍රචාරක කටයුතු කළ ස්වාමීන්වහන්සේලාට සිදු විය. මෙවැනි දේ හේතුවෙන් දළදා වැඳීමට ආ වයස්ගත පිරිස් සෑහෙන ප්‍රමාණයක් අතරමං වුහ. ඔවුන්ගේ බෑග්මලු තැන්තැන්වල ඉවත දමාගොස් ඇති ආකාරයද දැකගත හැකි විය. බැතිමතුන් දළදා වහන්සේ වන්දනා කර නැවත පැමිණෙන විට ඔවුන් රැගෙන ආ ගමන්මලු ද සොයාගැනීමට නොහැකි වී තිබේ. එසේම තෙරපීම, මහන්සිය, විජලනය සහ රෝගාබාධ හේතුවෙන් 600කට ආසන්න ගණනක් ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. පැයකට රෝගීන් 5 දෙනෙකු පමණ ගිලන් රථ මගින් රෝහල් ගත කරන අකාරයද දැකගත හැකි විය.
මේ අතර කටුගස්තොට පාරේ පෝලිමේ කෙළවර සිටින ජනතාව පොලිමේ ඉදිරියට ගෙන යන බවට රවටා, කරගෙන ගිය ජාවාරමක්ද ඇති බව දැනගන්නට ලැබුණි. එක් අයකුගෙන් රුපියල් 1000ක මුදලක් අය කරමින් පෝලිමේ ඉදිරියට ගෙන යන බව පවසා ත්‍රිරෝද රියට නංවාගෙන මීටර 500ක් පමණ දුර ගෙනැවිත් නැවත පෝලිමට දමන බව එම සිදුවීමට මුහුණ දුන් ජනතාව පවසති. මේ ගැන එතැන සිටි පොලිස් නිලධාරින් දැනුම්වත් කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව එම ජනතාවගේ අදහස විය.
600ක් රෝහල් ගත කළා.
හය දෙනෙක් මිය ගියා
මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ
මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ෆනෑන්ඩු මහත්මියගෙන් මේ ගැන කළ විමසීමකදී ප්‍රකාශ කළේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ දින 8 දීම රෝගීන් 600ක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවය. පසුගිය 29 වෙනිදා වෙන විට ඉන් නේවාසිකව 22ක් ප්‍රතිකාර ගන්නා බවද ඇය ප්‍රකාශ කළාය. එසේම දින 8 ක් ඇතුළත 6 දෙනෙකු මිය ගිය බවද රෝහල් අධ්‍යකෂවරිය වැඩිදුරටත් කීය.
පානීය ජලයේ ගැටලුවක් නෑ
- ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
මේ ගැන තොරතුරු විමසීම සඳහා අප මහනුවර ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙහි රසායනාගාරයට කතා කර එහි දර්ශනී ඉලංගන්ගෙදර මහත්මියට කතා කළ විට, ඇය ප්‍රකාශ කළේ ජනතාවට ලබාදෙන පානීය ජලයේ ගැටලුවක් නැති බවය. එම ජලය නිසි පරීක්ෂාවකින් පසු ජනතාවට ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.
දළදා වඳින්න මම කාන්තාවන්ට පාස් දුන්නේ නෑ, VIP පෝලිම් තිබුණෙත් නෑ.
- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහනුවර
දළදා දැක්ම කළ දිනවලදී පොලිසියේ හැසිරීම කෙබඳු දැයි යන්න ගැන අපි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් විමසීමක් කළෙමු. එහිදී මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් ඒ පිළිබඳ විමසූ විට පැවසුවේ විශාල පිරිසක් දළදාව වැඳගත් බවය. රජවීදියේ ස්ථානයක VIP පාස් ලබාදීම ගැනද කාන්තාවන් වර්ණනා කරමින් දළදාව වන්දනා කිරීමට පාස් ලබාදීම ගැන ද ඔහුගෙන් විමසීමක් කළෙමු. ඒ ගැන තමන් නොදන්නා බවත් තමන් කිසි දිනෙක කාන්තාවන් වර්ණනා නොකරන බවත් එනිසා දළදාව වැඳීමට කාන්තාවන්ට පාස් ලබාදීමක් තමන් සිදුනොකළ බවත් හෙතෙම කීය. එසේම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු දළදා වහන්සේගේ රක්ෂාවට සිටි බවත් ඒ අයගෙන් ඒ බව දැන ගන්නා ලෙස ත් අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කීය.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක,
සුධාරිකා ගුරුසිංහ
මහනුවර සංචාරයකින් පසු.
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නුවර මොකද වුණේ?