IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නැව් ගින්නේ තොරතුරු නිවැරැදිව ලබා දුන්නාද?


කොළඹ වරාය ආසන්නයේදී පාවෙන කාල පන්දමක් බවට පත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න දේශපාලන කරළිය තුළ ද වරින් වර ඇවිළෙන ගින්නක් බවට පත්වෙමින් තිබේ. පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් තබා කාදිනල්තුමන් විසින් සිදුකළ බරපතළ චෝදනාත්මක ප්‍රකාශය හේතුවෙන් එම ගින්න මෙසේ දේශපාලන කරළිය තුළ බුර බුරා ඇවිළෙන ගින්නක් බවට පත්විය. එහෙත් නැවේ ගින්නේ පසු විපාක සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වීමට කාදිනල්තුමාගේ වාග් ප්‍රහාරය හේතු වූ බව පැහැදිලිය. ඒ වනතුරුත් නැවේ ‘උෂ්ණත්වය’ පිළිබඳව කතා කරමින් සිටි ඇතැම් බලධාරීන්ගේ අවධානය සිදු වී ඇති විනාශය කෙරෙහි යොමුවීමට පවා කාදිනල්තුමන්ගේ කතාව හේතු වී තිබිණි.

කාදිනල්තුමන්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී සිදුකෙරුණු දේශපාලන මතභේදාත්මක කතා පසෙක තැබුව ද එහිදී රටේ ධීවර ප්‍රජාවට මුහුණදීමට සිදුවන දුක්ඛිත ඉරණම පිළිබඳව සිදුකළ ආවේගාත්මක හෙළිදරව්ව අනතුරේ භයානක ප්‍රතිවිපාක කදිමට පෙන්නුම් කළේය. ධීවර ජනතාවගේ ජීවනෝපාය අහිමි වීම, මුහුද සහ වෙරළාසන්න ගොඩබිම ප්‍රදේශයට සිදුව ඇති බරපතළ පරිසර හානියේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන බලපෑම්, මෙරට ජනතාවට මුහුණදීමට සිදුවන ගැටලු‍ පිළිබඳව කාදිනල්තුමන් දැඩිව අදහස් පළකරන තුරු බොහොමයක් බලධාරීන්ගේ මාතෘකා වී තිබුණේ ගිනිගත් නැවෙන් වන්දියක් ලබාගැනීම, ජාත්‍යන්තර නෞකා ගමනාගමනයේදී සිදුවන අනතුරු වැනි සිල්ලර ගණයේ කතාබහ වීම ලොකුම කනගාටුවය.

ජාත්‍යන්තර මුහුදේ නැව් ගිනි ගැනීම සාමාන්‍ය සිද්ධියක් බව අපි දනිමු. එහෙත් අපේ රටේ ප්‍රධානම වරායට පිවිසෙන මාර්ගයේ වරාය ආසන්න ප්‍රදේශයේදී ප්ලාස්ටික් ද්‍රව්‍ය, නයිට්‍රික් ඇසිඩ් ඇතුළු තවමත් විස්තර ප්‍රකාශයට පත් නොවුණු බහාලු‍ම් 1,486ක් තරම් විශාල සංඛ්‍යාවක් සහිත නැවක් ගිනි ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය නොහැකි බව ඇතැම් බලධාරීන් නොදැන සිටිය ද පහළ බාලාංශයේ දරුවෝ පවා දැන සිටිති. නැවේ ගින්න වාර්තා වූ අවස්ථාවේ සිට ඒ පිළිබඳව රටේ ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීමට පියවර නොගැනීමේ ප්‍රතිවිපාක හඳුනා ගැනීමට කාදිනල්තුමන්ගේ මාධ්‍ය සාකච්ඡාව පමණක් ප්‍රමාණවත්ය. ඒ වනතුරු ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම් නිකුත් කළා මිස ධීවර කර්මාන්තයට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීමට විශේෂඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමක් හෝ සිදුව තිබුණේ නැත.

රටේ ජනතාව දැනුම්වත් විය යුත්තේ සංවර්ධන වැඩ සම්බන්ධයෙන් පමණක් නොවේ. රටට සිදුවන අතුරු ආන්තරා පිළිබඳව ද රටේ ජනතාවට සත්‍ය කරුණු දැනගැනීමට අයිතියක් තිබේ. මේ අයිතිය පිළිබඳ නිවැරැදි අවබෝධයකින් තොරව කටයුතු කිරීම බොහෝ ගැටලු‍ ඇති කිරීමට හේතු වෙයි. දැනුවත් කිරීම් නොසිදුවන විට ප්‍රධාන වශයෙන්ම සිදුවිය හැක්කේ සිද්ධියට අදාළ කටකතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමය. වැඩි වශයෙන් සමාජ මාධ්‍ය හරහා මෙවැනි සිදුවීම්වලදී නිල නොවන තොරතුරු රට පුරා ගලා යයි. එහි වැරැද්ද ඇත්තේ සමාජ මාධ්‍යවල නොව සැබෑ තොරතුරු වසන් කරමින් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කරන බලධාරීන් අතේය. මේ නැවේ ගින්න හටගත් මොහොතේ සිටම වරාය භාර බලධාරීන්ගේ එක් වගකීමක් වූයේ සැබෑ තොරතුරු ජනතාව වෙත අප්‍රමාදව ඉදිරිපත් කිරීමය. නැව පිළිබඳ තොරතුරු පමණක් එහිදී ප්‍රමාණවත් නැත. එහි ගබඩා කර තිබූ භාණ්ඩ, ගින්නෙන් මුහුදට සහ වෙරළට සිදුවිය හැකි පරිසර හානිය, එයින් රටේ ජනතාවට සිදුවන බලපෑම් පිළිබඳව තොරතුරු නිවැරැදිව රට තුළට ගලායාමත් සිදු වූයේ නැත. බොහෝ දුරට සිදු වූයේ සැබෑ තත්ත්වය වසන් කරමින් මේ බරපතළ සිද්ධිය සාමාන්‍ය අනතුරක් සේ හුවා දැක්වීමට උත්සාහ දැරීමකි. කාදිනල්තුමන්ගේ මාධ්‍ය සාකච්ඡාව රටේම මාතෘකාවක් බවට පත්වූයේ ඒ හේතුවෙනි.

සමස්ත සිද්ධිය පිළිබඳව තොරතුරු දැනුම්දීමට වරාය ඇමැතිවරයා, වරාය සභාපති සහ වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිලධාරියා ද ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (3) ය. ඒ වනවිට ගින්න නිවී නැව බාගෙට මුහුදේ ගිලී ගොස් තිබිණි. ධීවර කටයුතුවලට ද සාගරයේ සහ වෙරළේ පරිසරයට ද සිදුව තිබුණේ කිව නොහැකි තරම් හානියකි. මාධ්‍ය සාකච්ඡාවේදී වරාය භාර අමාත්‍යවරයා නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හඳුන්වා තිබුණේ අහඹු ලෙස සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් වශයෙනි. කොළඹ දක්වා නැව පැමිණි ගමන් මාර්ගය පිළිබඳ තොරතුරු හෙළි කර තිබූ අමාත්‍යවරයා ගිනිගත් නෞකාව බලෙන් ගෙන්වාගත් එකක් බවට සිදුකරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කර තිබිණි.

චෝදනා කිරීම් සහ ප්‍රතික්ෂේප කිරීම් ද නැව් කටයුතුවලට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම් ද සිදු වුවත් ඒ තොරතුරු අප රටේ මුහුදු කලාපයට සිදුව ඇති බරපතළ පරිසර හානිය පූරණය කිරීමට උදව් වන්නේ නැත. වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී කියා තිබුණේ සිදු වූ හානිය වෙනුවෙන් නෞකාවේ හිමිකාර සමාගම අතුරු වන්දියක් ගෙවීමට සූදානම් බවය. වන්දි ගැනීමේ කටයුතු නීත්‍යනුකූලව සිදු කරගැනීමේ වගකීම වරාය අමාත්‍යාංශයට පැවැරෙන බව ද මෙහිදී කිව යුතුය.

මේ කෙසේ වුව ද පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රුපියල් කෝටි දහදාහක් වන්දි ගත්තත් සිදු වූ පරිසර හානිය පියවිය නොහැකි බවය. මේ රටේ මුහුදු සීමාවට ඇතුළුවීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් දිය යුතු බව ද අමාත්‍යවරයා කියයි. නැවේ ගින්න නිවී ගියත් උත්තර නැති ප්‍රශ්න ගණනාවක් ඉතිරිව තිබෙන බව එයින් පැහැදිලිය.

(***)



අදහස් (0)

නැව් ගින්නේ තොරතුරු නිවැරැදිව ලබා දුන්නාද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17377 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site