සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ කාණ්ඩ දෙකකින් යුක්ත ‘ගේය කාව්‍ය කර්තෘවරු’ කෘතිය එළිදැක්වීමේ උළෙල මෙම මස 16 වැනිදා (අද) ප.ව. 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කෘති එළිදැක්වීම නිමිත්තෙන් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය කරන සංගීත සන්ධ්‍යාවේදී උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, රන්ජන් සාලිය, සංචලී රත්නායක නිදර්ශන ගීත ගායනා කරති. මෙම කෘතිය එළිදැක්වෙන්නේ ඉමාෂි ප්‍රකාශනයක් ලෙසිනි. සුනිල් ආරියරත්නයන් සමග මෙම සංවාදය පැවැත්වෙන්නේ මෙම නව කෘතිය පදනම් කරගෙනය.
ප්‍ර ඔබේ අගනා පර් යේෂණ පොත් පෙළෙහිම තවත් දිගුවක් ලෙස සැලකිය හැකි ගේය කාව්‍ය කර්තෘවරු- කාණ්ඩ දෙකකින් යුත් මෙම කෘතියේ ප්‍රකට ගීත ලියූ අප්‍රකට රචකයන් පිළිබඳව මෙන්ම ප්‍රකට රචකයන් ලියූ අප්‍රකට ගීත පිළිබඳවද තොරතුරු ඇතුළත්. මේ වගේ මාතෘකාවක් ඔබේ අවධානයට ලක්වීමට විශේෂයෙන් බලපෑ කාරණා මොනවාද?
මමත් ගීත රචනා කරන්නෙක් හැටියට බොහෝ ගීත ගුවන්විදුලියෙන් ඇහෙනකොට ලොකු කුතුහලයක් ඇතිවූ අවස්ථා බොහොමයි. මූලිකවම කවුද ඒ සින්දුව ලියන්න ඇත්තෙ කියන ප්‍රශ්නය නැගෙනවා. ඒත් එක්කම මට ශෝකයක් හට ගන්නවා නන්නාඳුනන කවුරු හරි කෙනෙක් ලියපු ගීතයකින් අපි විශාල ආස්වාදයක් ලැබුවත් එම ගීතය නිර්මාණය කළ රචකයාට අපේ කෘතවේදීත්වය පිළිගන්වන්න අපට ක්‍රමයක් නැතිවීම ගැන. මට තිබුණු මේ කුතුහලය නිසාම තමයි මම මේ විවිධ චරිත හඹා ගියේ. එතනදි මේ ගීත සම්භාව්‍යද, වාණිජමයද කියන එක හොයන්නෙ නැතුව මා කැමති ගීතවල නිර්මාණකරුවන් සොයා යාමයි මෙහි දී කළේ.
මීට කලින් ගාන්ධර්ව අපදාන පොත්පෙළ ලිවීමෙන් මෙවැනි සංගීත නිර්මාණකරුවන් සොයා ගිය ගමන නිසා මට මේ සම්බන්ධ යම් අත්දැකීමක් තිබුණා. එම අපදාන පොත් පෙළේදී සංගීත නිර්මාණ රචකයන් විශාල පිරිසකට කෘතවේදීත්වය පළ කිරීමට හැකිවීම නිසා මම කල්පනා කළා ගීත රචකයන් සම්බන්ධයෙන් ද එවැන්නක් කිරීම හොඳ බව.
ප්‍ර ඔබ මේ ගීත රචකයන් කෘතියට පෙළගැස්වූයේ කුමන පදනමක් යටතේද?
මෙම කෘතියේ වෙළුම් දෙකට ගීතරචකයන් දොළොස් දෙනකුගේ විස්තර ඇතුළත් වෙනවා. ඒත් මේ කෘතියේ කිසි තැනක ආශ්‍රිත ග්‍රන්ථ පිළිබඳ නාමාවලියක් සඳහන් වන්නේ නෑ. එහෙම නැත්තෙ ඒ සම්බන්ධ මූලාශ්‍රය නැති නිසා. මේ ඇතැම් රචකයන් ගැන අඩුම තරමේ සඟරාවකවත් පුවත්පතකවත් කිසිම තොරතුරක් පළ වෙලා නෑ. ඒ නිසා මේ තොරතුරු මම රැස් කරගත්තෙ ඉතාම අමාරුවෙන් විවිධ දුෂ්කරතා යටතේ. සමහර අයගෙ නම් ගම් පවා අප්‍රකටයි. ඒ නිසා මේ වෙළුම් දෙක සම්පාදනය කිරීමෙන් විශාල පින්කමක් කළා වගේ කියන හැඟීම මට තියෙනවා. ඒ අනුව ඩබ්ලියු.ඩී. මර්සලීනු ඇල්බට්, මර්සලීන් ජයකොඩි පියනම, සී. වීරසේකර, හියුගෝ ප්‍රනාන්දු, ඒ.ජේ. ද සොයිසා, විමල් අභයසුන්දර, පී.එල්.ජේ. නන්දන කීර්ති, හර්බට් එම්. සෙනෙවිරත්න, සරත් විමලවීර, කරුණාරත්න අබේසේකර, ඔගස්ටස් විනයාගරත්නම්, නිහාල් ඒ. ජයසිංහ යන ගීත රචකයන්ගේ විස්තර මෙම වෙළුම් දෙකට ඇතුළත් වෙනවා.
ප්‍ර ඔබ මෙහි ඉදිරිපත් කරන ඇතැම් ගීත රචකයන්ගේ නම් පවා වර්තමානයේ බොහෝ දෙනකු අසා නැති බව සහතිකයි. මේ රචකයන් කාගේවත් අවධානයට ලක්නොවී කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට සිදුවූයේ මාධ්‍ය භාවිතයේ වරදක් නිසාද?
නිර්මාණයකදී ගීත රචකයා කියන කෙනා ගැන අතීතයේ ඉඳලම කිසිදු ආකාරයේ නිසි සැලකිල්ලක් දක්වා නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් හැටියට පැරැණි චිත්‍රපටවල ගීතරචකයාගේ නම නැහැ. චිත්‍රපට වෙනුවෙන් නිකුත් කළ සින්දු පොත්වලත් ඒ අයගේ නම නෑ. ග්‍රැමෆෝන් තැටිවලත් ගීත රචකයාගේ නම සඳහන් වන්නේ නෑ. ඇයි එහෙම උණේ කියන එක ප්‍රශ්නයක්. නොසැලකිල්ලද? නැත්නම් හිත් අමනාපවීම් ද? කියලා හිතාගන්න බෑ. චිත්‍රපටයේ දායකත්ව නාමාවලියේවත් ගීත රචකයාගේ නම සඳහන්වන්නේ නෑ. චිත්‍රපටයේ ගීත දහයක් දොළහක් ඇතුළත් වුණාට ගීතය ලිව්වේ කවුද කියලා සඳහන් වෙන්නේ නෑ. මේ අසාධාරණකම් නිසා ගීත රචකයා කැපී නොපෙනෙන කවුරුවත් ගණන් නොගන්නා චරිතයක් බවට පත්වුණා. අද වන විට මේ නිර්මාණකරුවන්ගේ නම් ගම් සොයාගන්නට බැරි තරමට වැසිලා සැඟවිලා ගිහින්.
උදාහරණයක් විදියට මේ පොතේ තියෙනවා ඩබ්ලියු.ඩී. මර්සලීනු ඇල්බට් නම් රචකයා. මේ නමින් රචකයෙක් අපේ ගීත රචකයන්ගෙ ලැයිස්තුවේ කවදාවත් ඉඳලා නෑ. ඒත් මේ රචකයා කොයිතරම් වැදගත් කෙනෙක්ද කියල කිව්වොත් එදා මෙදා තුර ඉතාම ජනප්‍රිය ගීතයක් වන
ආදී සිංහලුන්
පිට දීප දේස ජයගත්තා - ආදී සිංහලුන්
කියන ගීතය ලිව්වෙ මාර්සලීනු ඇල්බට්. ඒකාලෙ කැටලොග් පොත්වල ඒ සින්දුවේ වචන, ගායක ගායිකාවන්ගේ විස්තර පින්තූර ඔක්කොම තියෙනවා. මේ ගීතය ගායනා කළ ලක්ෂ්මී බායි ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. මේ ගීතය ලියලා තියෙන්නේ චින්තාමනී කියන දෙමළ චිත්‍රපටයේ තනුවකට බවත් ඒ සටහන්වල තියෙනවා. ඒත් කිසි තැනක මේ ගීතය ලියූ රචකයාගේ නම සඳහන් වන්නේ නෑ. ඒ විතරක් නොවෙයි
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ
වැනි එකල අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගීත පවා මර්සලීනු ඇල්බට් ලියා තිබෙනවා.
මේ පොතෙන් තවත් දෙයක් වෙනවා. ඒක තමයි යම් යම් රචකයන්ගේ නමට බුද්ධිමය දේපොළ පවරාදීම තහවුරු වීම. මේ කෘතියෙන් පස්සෙ මෙතැන් පටන් ඔහුගේ නමට මේ ගීත අයිති වෙනවා.
සරත් විමලවීර කියන්නෙ ඉතාම ජනප්‍රිය නිවේදකයෙක් ගුවන්විදුලියේ හිටපු. ඔහු කරුණාරත්න අබේසේකරට පමණයි ජනප්‍රියත්වය අතින් දෙවැනි වෙන්නෙ. ඒත් අන්තර්ජාලය පීරා බැලුවොත් ඔහුගේ එකම එක පින්තූරයයි තියෙන්නෙ. එසේම ඔහුගේ ගීත බොහොමයක ඔහුගේ කර්තෘත්වය සටහන් වෙලා නෑ.
ආදරේ ඇයි පොඩි හඳමාමේ
ඔබට මෙතරම් දරුවෝ...
සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
වගේ ඔහු රචනා කළ ජනප්‍රිය ගීත රාශියක ඔහුගේ නම සඳහන් වෙන්නේ නෑ. මම මේ විදියේ ගීත සිය ගණනක් හොයල මේ රචකයන්ට බුද්ධිමය දේපොළ වශයෙන් මේ කෘතියෙන් පවරා දී තිබෙනවා.
ප්‍ර ඔබ මෙහිදී වැඩි අවධානය යොමුකරන්නේ අප්‍රකට ගීත රචකයන් සම්බන්ධයෙන්. එහෙත් ඉතාම ජනප්‍රිය ගීත රචකයන් ලෙස නමක් දිනාගත් කරුණාරත්න අබේසේකර සහ මර්සලීන් ජයකොඩි පියතුමා පිළිබඳව පරිච්ඡේද දෙකක් වෙන් කරන්නේ ඇයි?
ඊට විශේෂ හේතුවක් තිබෙනවා. කරුණාරත්න අබේසේකර ගැන මීට අවුරුදු විස්සකට විතර කලින් මම ලිපියක් ලිව්වා. ඊට පස්සෙ ඔහු ගැන ලිපියක් ලියලා නැහැ. ඒ නිසා මම නැවත ඒ ලිපිය පදනම් කරගෙන ඊට වඩා බොහෝ විස්තර සහිතව මේ පොතට පරිච්ජේදයක් එකතු කළා. විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් කරන්න පුළුවන් තරම් වටිනා කියන තොරතුරු කරුණාරත්න අබේසේකරගේ ගීත කලාව තුළ තිබෙනවා. ඔහු ලියූ ගීත සංඛ්‍යාව ඔහුගේ පවුලේ උදවියවත් හරියටම දන්නේ නෑ. සමහර අය කියනවා කරුණාරත්න අබේසේකර ගීත පන්දහසක් ලියා තිබෙනවා කියලා. ඒත් ඒක ගණන් බලන්න බෑ. එච්.ආර්. ජෝතිපාල කියලා තියෙනවා එයාට විතරක් කරුණාරත්න අබේසේකර ගීත දෙදහසක් ලිව්වා කියලා. දෙදහස කොහොම වෙතත් ජෝතිපාලගේ සින්දුවලින් වැඩිම හරියක් ලියල තියෙන්නෙ අබේසේකර බව ඇත්තක්. අබේසේකර ගැන මට පුළුවන් මට්ටමින් මම විශාල ගීත සංඛ්‍යාවක් ඔහුගේ නමට මෙහි ලියාපදිංචි කරලා තියෙනවා. විශාල අපරාධයක් නම් ඔහුගේ ගීත බොහෝ දෙනා පැහැරගැනීමයි. එසේ පැහැරගෙන ඒ ඒ අයගේ ගීතවලට සම්බන්ධ කරලා පොත්වල පවා පළ කරගෙන තිබෙනවා.
ඔහුගේ එකම පුත්‍රයා දිලීප අබේසේකර කියලා තිබුණා සදාචාරාත්මක නොවන නිසා ගීතවල අයිතිය පස්සෙ එළවගෙන යන්නෙ නෑ කියලා. ඒ නිසා ඕනෑ කෙනෙකුට ඒ ගීත ගායනා කරන්න ඉඩ දීල තියෙනවා. ඒව අද ජනගත වෙලා තියෙනවා ජනගී හැටියට. ඒත් එහෙම කරන අතරේ ඒ ගීත පැහැරගෙන තම තමන්ගේ නම්වලින් පළ කරගැනීම අනුමත කරන්න බෑ. ඒක අපරාධයක්.
හියුගෝ ප්‍රනාන්දු සහ හර්බට් එම්. සෙනෙවිරත්න දෙදෙනා මේ රටේ රසිකයන් හදුනාගන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් ලෙසයි. එහෙත් ඔවුන් දෙදෙනාම ජනප්‍රිය ගීත ගණනාවක් රචනා කර ඇති බව බොහෝ දෙනකුට රහසක්. මේ රහස ඔබ මේ කෘතියේ හෙළිදරව් කරනවා.
ඔව්. ඒ දෙදෙනා කාතුළත් ජනප්‍රිය වී සිටින්නේ නළුවන් හැටියට. මේ දෙදෙනා පිළිබඳව දීර්ඝ කථිකාවක් මේ පොතේ තියෙනවා. හියුගෝ ප්‍රනාන්දු හතේ පන්තිය දක්වා පමණයි ඉගෙනගෙන තියෙන්නෙ. ඒත් ඔහු තමයි ලංකාවේ ප්‍රථම චිත්‍රපට ගීත රචකයා. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙන් ඒ ආරම්භය සිද්ධ වෙන්නේ. එතන ඉඳලා ඔහු ගීතහැට හැත්තෑවක් රචනා කරලා තියෙනවා. මම ඔහු සමග සාකච්ජාවක් කළ එක් අවස්ථාවක ඔහු සඳහන් කළා ඔහු හත්වැනි පන්තිය දක්වා පමණක් පාසල් ගියත් ඔහුගේ දැනුම දියුණු කරගැනීම සඳහා ඩබ්ලියු.ඒ. සිල්වා, පියදාස සිරිසේන ඇතුළු බොහෝ දෙනාගේ පොත් කියැවූ බව. සුභාෂිතය, සන්දේශ කාව්‍ය ඇතුළු පැරැණි පොත පත කියැවූ බව. සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා, ළපටි රූපෙ ඈගේ, හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ, ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි මරුව ළඟා වෙනවා, හඳ ගලවාලා දෙනව කියාලා අප රවටා, ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ, ඉරණමට සැවොම ගැති වේවී, මේව තමයි ජිල් ජිල් ජිල් ඇතුළු ඉතාම ජනප්‍රිය ගීත රැසක් ඔහු රචනා කර තිබෙනවා.
හර්බට් එම්. සෙනෙවිරත්න පිළිබඳ මාගේ කියැවීම ඊට වඩා ටිකක් වෙනස්. අපි ගීත සාහිත්‍යයේ සුසංයෝග ගැන කතා කරනවා. මහගම සේකර-අමරදේව, විශ්වනාත් ලෞජි-ජෝන් ද සිල්වා, ආදි වශයෙන්. මෙහිදී මට තවත් සුසංයෝගයක් ගැන අනාවරණය කරගන්න පුළුවන් වුණා මේ සොයා බැලීමෙන්. ඒ තමයි රුක්මනී දේවී සහ හර්බට් එම්. සෙනෙවිරත්න සුසංයෝගය. ඉතා රමණීය ප්‍රේම ගීත විශාල සංඛ්‍යාවක් මේ දෙදෙනාගේ සංයෝගයෙන් බිහි වී තිබෙනවා. ඒ ගී ලියා තිබෙන්නේ හර්බට් එම්. සෙනෙවිරත්න. ගායනා කළේ රුක්මනී දේවි. ඒ සමහර ගීත ලංකා ගුවන්විදුලියෙන් තහනම් කළා මේවා අශිෂ්ට කාමුක හැඟීම් දනවන ප්‍රේම ගීත කියලා. ඒත් ඒවා ඉතාම රමණීය ප්‍රේම ගීත. මම හිතන්නෙ ඔහුගේ නළු භූමිකාවට වඩා ඔහුගේ ගීත රචක භූමිකාව විශිෂ්ට බවයි. චන්ද්‍රා මේ රෑ පායා ආවා, ලලිත කලා ඔප කරනා, සාධු සිරීපා ඒ මුනිදාගේ, රජින්දේ ඇයි මේ ගොළු වීලා, යනවද මා දමා කියන්න සුන්දරී, අද අඬනව හිමියනි යසෝදරා, ආදරය නිසා හර්දේ බැඳෙනා, පෙම් සිහින මවන රෑ යාමේ, සැප නෑ අහෝ මේ ලෝකයේ, සුජාතා-ආදරණීය සුජාතා, කොලොම්පුරේ ශ්‍රියා, සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ, මැවිලා පෙනේවි රූපේ, අන්න සුදෝ අර පාට වලා, මගේය ප්‍රේම මාලිනී, පෙම් අම ධාරා හර්දේ පිරීලා, පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා, වාසනාවන්ත කල ලබා, බලාපල්ලා මේ මූණේ හැටී, මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී, ආලෝකෙ පතුරා-මුළුලෝකෙ ඔපලා, ඈත අහසේ නැගේ දිනිදු පායා, මට ආලෝකෙ ගෙනදේවි සංසාරයේ, ඇතුළු ගීත ගණනාවක් ඔහුගේ ගීත රචනා අතර තිබෙනවා.
ප්‍ර නිර්මාණ රචකයන්ගේ නිර්මාණ සංරක්ෂණය සහ ඔවුන්ගේ නිර්මාණ අයිතිය සම්බන්ධයෙන් අතීතයේ සිටම විවිධ ගැටලු ඇතිවූ බව පෙනෙනවා. වගකිවයුතු අංශවල අවධානය මේ කෙරෙහි හරියාකාරව යොමු වී ඇතැයි සිතෙනවාද?
එබඳු අවශ්‍යතාවක් තිබුණත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් නෑ. එහෙම වැඩපිළිවෙළක් තිබුණානම් මට මේ දත්ත එකතු කරන්න මේ තරම් මහන්සි වෙන්න ඕනැ නෑ. හොඳ වෙලාවට බොහෝ ගීත රචකයන් තමන්ගේ ගීත එකතු පළ කරලා තියෙනවා. මම මේ පොතට තෝරගත්තෙ එහෙම පොත් පළ කරලා නැති අය. ඔවුන්ගේ විස්තර කොහේ හරි සංරක්ෂණය වෙන්න ඕනැ. ජීවතුන් අතර සිටින රචකයන්ට ඔවුන්ගේ නිර්මාණ අයිතිය ප්‍රකාශ කරන්න හා කර්තෘභාග හිමිකම් ලබාගන්නට ආයතන දෙකක් පමණ දැනට තිබෙනවා. ඒත් මියගිය පැරැන්නන්ගේ ගීත සම්බන්ධයෙන් එබඳු වැඩපිළිවෙළක් නෑ.
ප්‍ර විශිෂ්ට කැපකිරීම්, හා වගකීම් සහගතව ගොඩනැගුණු ගීත කලාව අදවන විට පවත්නා තත්වය ගැන බොහෝ දෙනා කතාකරන්නේ ඉතාමත් කනගාටුවෙන්. ගීත කලාවට අද සිදුවී තිබෙන නස්පැත්තිය ගැන ඔබ මොකද හිතන්නේ?
මම නම් හිතන්නේ මේ වනවිට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාහේ විනාශවෙලයි තියෙන්නෙ. මම පෞද්ගලිකව ගත්තොත් අවුරුදු පහළොවක් තිස්සේ සින්දු ලියන්නේ නෑ. ලියන්නෙ නැත්තෙ ඒවා කවුද කියන්නෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ යන විනාශකාරී රැල්ල තුළ මට ගීත ලියලා ඇති වැඩක් නෑ. ඒ නිසා මම මගේ ගීත ලිවීම සම්පූර්ණයෙන් නවත්වලා තියෙන්නෙ. ඉතාම හොඳ ගීත ලියන තරුණයන් වර්තමානයේත් අපට මුණ ගැහෙනවා, ඒත් අවාසනාව තමයි ඒ ගීත ගයන්න හරිහමන් ගායකයෙක් නෑ. දැන් මේ ගායක ගායිකාවෝ ඉල්ලන්නෙ වන්ද්‍ය පද මාලා. ඒවායේ කිසිම රසයක් නෑ. හොඳ රසිකත්වයක් නැති ගායක ගායිකාවන්ට අලුතින් ලියන රචකයකුගේ හොඳ රචනාවක් තෝරාගැනීමටවත් හැකියාවක් නෑ. ඒ රචනාව වටහාගන්නවත් ඔවුන්ට පුළුවන්කමක් නෑ.
ඉස්සර ජෝතිපාල, මිල්ටන් වගේ අය හින්දි ගීත ගායනා කළේ හොරකම් කරලා නොවෙයි. ඒත් දැන් ඉන්න අය මේවා අන්තර්ජාලය හරහා හොරකම් කරනවා. හොරකම් කරලා තමන්ගේ බවට පත්කරගන්නවා. බුද්ධිමය දේපොළ කොල්ලකන නිර්මාණශීලී හැකියාවක් නැති පිරිසක් තමයි අද මේ සංගීත ලෝකය අරක්ගෙන ඉන්නෙ. මටනම් කිසිම අනාගතයක් පේන්නෙ නෑ මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ. මම මේ කාලෙ සින්දු ලියන්න පටන්ගත්තා නම් මටත් සිද්ධ වෙන්නෙ අඳ ගොළු බිහිරෙක් වෙලා නිහඬව ඉන්නයි. මොකද මේ රැල්ලට අනුගත වෙන්න බෑ. ඒ රැල්ලට අනුගත වෙලා
වැඩක් නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමන් විනාශ වෙන එක විතරයි. මේ රටේ පොදු රසිකත්වයත් ඒ තැනට තල්ලුවෙලා ඉවරයි.
(*** සංවාද සටහන - ගාමිණී කන්දේපොළ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිර්මාණ හොරාකන පිරිසක් කලා ලෝකය අයිතිකරගෙන