IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දහනායක පන්නයේ පත්වීම් සහ අස්කිරීම්

මේ දිනවල මාධ්‍යයෙන් අසන්නට දකින්නට ලැබෙන රජයේ ඇතැම් ඉහළ තනතුරු දරන්නන් ඉවත් කිරීම් හා නව පත්වීම් සම්බන්ධයෙන් හටගෙන තිබෙන්නේ විචිකිච්ඡාවකි. ආණ්ඩුව ගතවූ වසර දෙකට ඇතැම් වැදගත් රාජ්‍ය ආයතනවලට මේ වන විට සභාපතිවරුන් තුන් දෙනකු වරින් වර පත්කර ඇති අවස්ථා ගණනාවකි. සමහර මාධ්‍ය වාර්තාවලට අනුව ඇතැම් සභාපතිවරුන් තනතුරින් ඉවත් කර ඇතැයි දැනගෙන ඇත්තේ මාධ්‍ය නිවේදන මගිනි. සමහර ඇමැතිවරුන් ද තමන් යටතේ ඇති රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ පත්කිරීම් හෝ ඉවත් කිරීම් ගැන මැසිවිලි නගන්නේ තමන් නොවිමසා මෙවැනි දේ සිදුකෙරෙන බව කියමිනි.

පසුගියදා බෙහෙවින් අර්බුදකාරී තත්ත්වයට පත්වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඉවත් කළ රජය අලුතෙන් සභාපතිවරයකු පත් කළේය. පැයකින් පමණ පත්වීම අවලංගු කොට නැවත ඉවත් කළ සභාපතිටම තනතුර නැවත පිරිනැමීය. එලෙස පැයක් ලිට්රෝ සභාපති ධුරය හෙබවූ රේණුක පෙරේරාගේ හිත හොඳ කිරීම සඳහා ඔහු නැවතත් මිල්කෝ සමාගමට පත් කළේය. එහෙත් රේණුක පෙරේරා මිල්කෝවට පත්වන තෙක් තමන් ඉවත් වී හෝ ඉවත් කර නැතැයි එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ සඳහන් කර ඇත. වරාය අධිකාරියට මේ රජය යටතේ පත්වූ තුන්වැනි සභාපතිවරයා මේ සතියේ පත් කෙරිණි. මුලින්ම එම තනතුර හෙබවූයේ කීර්තිමත් අවංක හමුදා නිලධාරයකු ලෙස ප්‍රකට වන ජනරාල් දයා රත්නායකයි. ඔහු හිටි අඩියේ එම තනතුරින් ඉවත් කොට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කළේය. ඒ සමඟ වරාය සභාපති ධුරයට කෘතහස්ත වරාය විශේෂඥයකු වන කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල පත් කළේය. එහෙත් එම තනතුර ලබා මාස කිහිපයක් තුළ ඔහු නොදැන මේ කෘතහස්ත නිලධාරියා වෙනුවට වෙනත් පත්වීමක් සිදු කළේ විෂය භාර අමාත්‍යවරයාගේ නිර්දේශය මත යැයි සඳහන්ය.

වත්මන් රජය බලයට පත්වන විට ජනතාව මෙවැනි අපභ්‍රංස තත්ත්වයක් අපේක්ෂා කළේ නැත. විධිමත් ලෙස රාජ්‍ය ආයතන පාලනය කළ හැකි දක්ෂ අවංක නිලධාරීන් ඒවාට පත්කරනු ඇතැයි යන්න ජනතා පැතුම විය. ජනාධිපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුස්සන් තෝරාගැනීම ගැන ද සමාජය සතුටට පත් විය. එහෙත් වෙනත් ආණ්ඩුවලටත් වඩා අමාත්‍යවරුන්, ලේකම්වරුන් හා සභාපතිවරුන් අතර අභ්‍යන්තර ගැටුම් වත්මන් ආණ්ඩුව කාලයේ උග්‍රව ඇති බව පෙනේ. ඒ නිසා හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩබ්ලිව්. දහනායක මහතා කැබිනට් අමාත්‍යවරුන් එක රැයෙන් අස් කළ, පත් කළ ආකාරයට රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද තනතුරුවලින් ඉවත් කිරීමත්, නව පත්කිරීම් සිදුකිරීමත් කැපී පෙනිණි.

අතීතයේ මෙරට පැවති ආණ්ඩුවලින් උදාහරණ සපයා ගතහොත් කුමන ප්‍රශ්න තිබුණද රාජ්‍ය ආයතනවල ඉහළ නිලධරයන් මේ ආකාරයට වෙනස් කළේ නැත. අධ්‍යාපන ලේකම් ධුරය හෙබවූ එම්.ජේ. පෙරේරා, රාජ්‍ය පරිපාලන ලේකම් වූ ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන, මුදල් ලේකම් වූ ආචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න, විදේශ ලේකම් වූ ඩබ්ලිව්.ටී. ජයසිංහ වැනි මහත්වරු ආණ්ඩු ගණනාවක් යටතේ රජයේ ඉහළම තනතුරු හෙබවූහ. එබඳු රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ ලැයිස්තුවක් සඳහන් කළහොත් එය විශාල ලේඛනයක් වනු ඇත. මෙම උදාහරණ අප පෙන්වා දෙන්නේ අතීතයේ සිදු කළ දේ අදත් සිදු කළ යුතු බව කීමට නොවේ. කිසියම් රාජ්‍ය ආයතනයක් ස්ථාවරව පවත්වාගෙන යාමට ස්ථාවර නායකත්වයක් ස්ථාපිතව තිබීමේ වැදගත්කම අවධාරණය කරනු පිණිසය.

අතීත රාජ්‍ය සේවාවේ දුම්රිය සේවය ගැන කතා කරන විට අදත් තතු දත් අය එහි ‘රම්පාල’ යුගය ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරති. කලකට පෙර වරාය හා නාවික අමාත්‍ය ධුරය හෙබවූ කෘතහස්ත දේශපාලනඥයකු වන ලලිත් ඇතුළත්මුදලි මහතා වරාය අධිකාරිය ලොව කීර්තිමත් වරායක තත්ත්වයට පත් කළේ ප්‍රවීණ පරිපාලන නිලධාරි විමල් අමරසේකරගේ සභාපතිත්වය යටතේය. එවන් ආයතනවලට අද කෙරෙන පත්කිරීම් ජාඩියට මූඩිය මෙන් වන අපූරු ඒවාය.

ආණ්ඩුවක් යනු දේශපාලන සංවිධානයකි. එහි බලය දරන්නෝ දේශපාලන පක්ෂ නියෝජනය කරති. එහෙත් රටක ආණ්ඩුවක් ස්ථාපිත කළ විට පටු දේශපාලනය ඉක්මවා යන රාජ්‍ය තාන්ත්‍රික කෘතහස්තභාවයක් ඊට තිබිය යුතුය. විනය රැකීම මෙහිදී ප්‍රධානය. එහෙත් අද දක්නට ලැබනෙ සමහර සිදුවීම් ගැන විමර්ශනාත්මකව බලන විට දක්නට ලැබෙන්නේ ආණ්ඩුකරණයේ ආධුනික බවකි. මෙයට හේතුව කුමක්දැයි අපි නොදනිමු. මැතිසබයේ මෙන්ම ආණ්‍ඩුවේ මැති ඇමැතිවරුන්ගේ කතා සහ ක්‍රියා දෙස බලන විට විනය ඇත්තේ පොතේ පමණක් දැයි ප්‍රශ්න කරනු වටී. ඇතැම් අමාත්‍යාංශවල සුපිරි ඇමැතිවරු සිටිති. තවත් තැන්වල සුපිරි ලේකම්වරු සිටිති. ඔවුහු ඇමැතිවරුන් තඹයකට මායිම් නොකරති. එවැනි රාජ්‍ය ආයතන ප්‍රධානීහීහු ද වෙති. ඒ අතර ඇමැතිවරුන් ආණ්ඩුවේ තීරණවලට එරෙහිව නඩු දමති. ආණ්ඩුවේ ප්‍රධානියකු වන අගමැතිවරයා එම නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු කරති. තවත් ඇමැතිවරු රජයේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බලු බැණුම් බණිති. එහෙත් මේවා ගැන සොයා බැලි යුතු අය නොඇසූ කන්ව සිටිති. ජනතාවට ද උත්තර නැති ප්‍රශ්නයක් වී ඇත්තේ එයයි. රටේ පවත්නා ආර්ථික පීඩනය නිසා මෙලෙස ගරාවැටුණු විනය ගැන අවධානය දක්වන්නට ජනතාවට වෙලාවක් නැත. එය ආණ්ඩුවට අස්වැසිල්ලකි.

ආණ්ඩුවක් පවත්වාගෙන යන විට ගන්නා වූ සියලු තීරණවල අවසාන ඵල ලාභියා ජනතාව විය යුතුය. ජනාධිපතිතුමා කෙතරම් අවංක වුවත් ඔහුගේ පිරිවර තුළ එම අවංකභාවය නොමැති නම් මඟ වරදින්නට හොඳටම ඉඩකඩ ඇති බව කිව යුතුය. විශේෂයෙන් දූෂණය, වංචාව ඉහවහා ගොස් ඇති සමාජයක ජනතාව තෘප්තිමත් කරන ආණ්ඩුකරණයක් කළ හැක්කේ අඩුම තරමින් රට හරි මඟ ගෙන යන්නට සමස්ත ආණ්ඩු කැප වුවහොත් පමණි. එසේ නොකර මැති ඇමැතිවරුන්ගේ ජරමරවලට අතහිත දෙන රාජ්‍ය නිලධාරීන් ඉහළ පුටුවලට පත්කර ගනිමින් රටත් ජාතියත් උච්ඡ ස්ථානයකට පත් කරන්නට තැත් කිරීම දැලෙන් සුළං බැදීමක් හා සමාන නොවේදැයි ප්‍රශ්න කිරීම යුක්ති සහගතය.

(***)



අදහස් (3)

දහනායක පන්නයේ පත්වීම් සහ අස්කිරීම්

සිසිර Monday, 24 January 2022 02:26 PM

නුසුදුසු ආකාරයට පත්වීම් ලැබ ගත් විට සුදුසු ආකාරයෙන් නික්ම යාමක් අපේක්ෂා කල නොහැක. මා අසා ඇති ආකාරයට ඉතා ඈත දී පොලිස්පති වරයා .,ජේ ආර් යුගයේ බාහිර පුද්ගලයකු අමාත්‍යාංශ ලේකම් යනාදී ලෙස මෙසේ පත් කෙරුනා.දැන් අඩුගානෙ මේ අය හොඳ නැත්නම් අයින්වත් කරනවා.ඉස්සර නෑකම් නිසා සදාකාලිකව ඉන්නවා .. නිසංසල මුහුදේ ඕන කෙනෙක් කැප්ටන්..... මේ වගේ අමාරු කාලෙක වැඩ බැරි අය නිකම්ම පේන්න ගන්නවා.. ගොන්පාර්ට් වලින් ම ජීවත් වෙන්න බැහැ. ඉතින් ක්ෂණිකවම යන්න වෙනවා. රම්පාල මහතා ., සිරිවර්දන මහතා වගේ අය නියම විදියට පත්වී ආවා ඒ නිසා හිටියා ..ඒත් රම්පාල 70 ආන්ඩුව( මහලොකු ප්‍රගතිශීලි ආන්ඩුව )ඇදලා දැම්මා එලියට. අපි වගේ දියුනු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති ආර්ථිකයක් නැති. පුද්ගල වන්දනා දේශපාලනයක් ඇති කුලය ජාතිය ප්‍රමුඛ කරගත් රටක මීට වඩා බලාපොරොත්තු වන්න බැහැ...අයිතිකාරයාට ඕන විදියට පත්තරේ නොලිව්වොත් කතෘ ත් නොදන්වාම ගෙදරම තමයි....

:       0       3

rocky Tuesday, 25 January 2022 06:45 AM

අද දේශපාලුවෝ කියන්නේ රටේ අයිතිකාරයෝ.

:       0       1

Sunil Thursday, 27 January 2022 06:03 AM

අද රට පාලනය කරන ගොන් හැතිකරයට රාජ්‍ය පරිපාලනය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11006 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site