IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දිරිය දියණිය චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජුනි 29 වැනිදා ඇගේ 80 වැනි ජන්ම දිනය සැමරුවාය. 1994 නොවැම්බයේදී ශ්‍රී ලංකාවේ පළමුවැනි විධායක ජනාධිපතිනිය බවට පත් වෙමින් ඇය ඉතිහාසය අලුතෙන් ලියා තැබුවාය. චන්ද්‍රිකා යන නාමයෙන් ජනාදරයට පාත්‍රවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 ජනාධිපතිවර්ණය ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 62ක් ලබා  ජයග්‍රහණය කළාය.

ඉන් අනතුරුව 1999 දෙසැම්බරයේ පැවති ජනාධිපතිවරණයද, ඡන්දවලින් සියයට 51ක් ලබා ඇය නැවත ජනාධිපති පදවියට පත් වූවාය. චන්ද්‍රිකා කුමාරතුංග 1994 නොවැම්බරයේ සිට 2005 නොවැම්බර් මාසය දක්වා වසර 11ක් ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියේ සේවය කළාය.

ජනාධිපති තනතුරට පත්වීමට පෙරාතුව චන්ද්‍රිකා අගමැතිවරිය ලෙස තුන් මාසයක් සේවය කළාය. 1994 අගෝස්තු මාසයේ ඈ අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමද තවත් වැදගත් ලෝක වාර්තාවක් වූයේය. සිය මවුපියන් රටේ අගමැති ධුරය දැරූ මෙරටේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වූවාය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වූ ඇගේ පියා 1956 සිට 1959 දක්වා එවකට ලංකාවේ අගමැතිවරයා වූයේය. ඇගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක 1960 සිට 1965 දක්වාත්, 1970 සිට 1977 දක්වාත් අගමැති ධුරය හෙබවූවාය.

වෛවර්ණවූ මුත් මතභේදාත්මක දේශපාලන පෞරුෂයකින් හෙබි චන්ද්‍රිකා කුමාරතුංග වෙත ජනතාවගෙන් මිශ්‍ර ප්‍රතිචාරයක් මතු වූයේය. ඇතැම්හු ඇයට ආදරය කරමින් ඇය අගය කළෝය. තවත් අයගේ අප්‍රසාදයට හා වෛරයට ඇය පාත්‍ර වූවාය. කළ යුතු ඇතැම් දෑ නොකිරීම  හා නොකළයුතු ඇතැම් දෑ කිරීම යන සමහර ඍණාත්මක ක්‍රියා සම්බන්ධයෙන් චන්ද්‍රිකා දෝෂසහගත නොවේ යයි කිව නොහැකිය. ජනප්‍රියව තේරී පත්වීමෙන් අනතුරුව බලය හෙබවූ බොහෝ දේශපාලන නායකයන් සම්බන්ධයෙන් මෙය බොහෝ දුරට සත්‍ය වන්නේය. බලය ඉල්ලීම කාව්‍යාත්මක ලෙස වාචිකව කළ හැකි මුත් පාලනය කළ යුත්තේ ක්‍රියාවෙන් යථාර්ථවත්  වෙමිනි.

1994 බලයට පත්වෙද්දී චන්ද්‍රිකාට සාමයේ දේව දූතිකාව ලෙස ජය ඝෝෂා නැගුණේය. ඇය මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනේ සාමය හා සංහිඳියාව ගෙන එන වේදිකාවකයි. දමිළ ඊළාම් විමුක්ති  කොටි (LTTE) සමග පැවති කුරිරු යුද්ධය සාකච්ඡාමය විසඳුමකින් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සදහමට නිමාවට පත් කරතැයි අපේක්ෂා කෙරිණි. කෙටි කාලයකින් අනතුරුව කනගාටුදායක ලෙස නැවත යුද්ධය පුපුරා ගියේය. දීර්ඝ කාලයක් පුරා පැවැති එම යුද්ධය සාමය  උදෙසා වූ යුද්ධයක් ලෙස නම් කෙරුණු අතර ඒ හේතුවෙන් බොහෝ දෙනා මරුමුව වැටී මහත් විනාශයක් සිදු වූයේය. යුදකාමී උකුස්සියක් බවට පත්වූ සාමයේ පරෙවි ඩේනුව ලෙස චන්ද්‍රිකා විවේචනයට ලක් වූවාය. අතීතයේදී ඒ සම්බන්ධයෙන් මමද ඇයව විවේචනයට ලක් කළෙමි.

මෙම අතීත විවේචන එසේ තිබියදී මම නිතරම චන්ද්‍රිකා හිතකර ධනාත්මක අයකු ලෙස සලකා ඇත්තෙමි. ඇය ජනාධිපති ධුරයට පත්වීමට පෙර කාලයේ ඇය බෙහෙවින් අගය කරන්නකු වූ මම ඇගේ සාම  වෑයටම දැඩි ලෙස සහයෝගය දුනෙමි. 1995 අප්‍රේල් මාසයේදී සටන් විරාමය උල්ලංඝනය කොට නැවත යුද්ධය පටන් ගැනීම සම්බන්ධයෙන් මම අතිශය දරුණු ලෙස එල්ටීටීඊය විවේචනය කළෙමි. මා කැනඩාවේ ටොරොන්ටෝ නුවර පවත්වාගෙන ගිය මට හිමිව තිබූ මවිසින් සංස්කරණය කරන දමිල සති පුවත්පතටත් මටත් එරෙහිව එල්ටීටීඊ කඳවුරේ අනුගාමිකයන් විසින් ගෙන ගිය සතුරු ව්‍යාපාරයේදී මම ඊට වන්දි ගෙවූයෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස 1996 අප්‍රේල් මාසයේදී පුවත්පතේ කටයුතු නවතා දැමීමට මට සිදුවිය.

යුද්ධය උත්සන්න වූ විට කටයුතු වෙනස් වූයේය. යුද්ධයට ඇත්තේ ඊටම හිමි කුරිරු තර්කයක් හා මරණීය ගාමක බලයකි. ප්‍රමුඛ ලෙස දමිළ බස කතා කරන උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුද ගිනි ඇවිළී යද්දී සාමාන්‍ය දමිළ ජනයාට එයින් අතිශය දුක්පීඩා ගෙන දුන්නේය. එවැනි තත්ත්වයක් තුළ මම ජනාධිපති කුමාරතුංග දැඩි ලෙස විවේචනය කරන්නෙකු බවට පත් වූයෙමි.

 

දමිල ජාතික ප්‍රශ්නය:

ඇතැම් ගැටලු සම්බන්ධයෙන් විවේචනයට ලක් කරන අතරම දමිළ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් සැලකූ විට මම චන්ද්‍රිකා සිය හදවත නිසි තැන ඇත්තියක් ලෙස සැලකීම අඛණ්ඩව කරගෙන ගියෙමි. ඒකාලයේ බොහෝ අවස්ථාවල ඒ ගැන මම ලියා ඇත්තෙමි. මම නිරන්තරයෙන්ම  මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග එකිනෙකා සමග සන්සන්දනය  කළ අතර එම සසඳා බැලීම් තවමත් වලංගුය.

දමිළ ජනතාව සමග අර්ථවත් ලෙස බුද්ධිමය හා චිත්තවේගී අයුරින බලය බෙදා ගැනීමට මහින්ද රාජපක්ෂ විරුද්ධ වගට මම අදහස් පළ කළෙමි. මේ සම්බන්ධයෙන් ගත් විට රනිල් වික්‍රමසිංහ චිත්තවේගී අයුරින් බලය බෙදැ ගැනීමට විරුද්ධ අයෙකි. කෙසේ වුවද කල් පවත්නා සාමයක් හා ආර්ථික සමෘද්ධිමත් භාවය උදා කරගත හැක්කේ උපරිම ලෙස බලය ද බෙදා හැරීමෙන් වග රනිල් වික්‍රමසිංහ විශ්වාස කරයි. චන්ද්‍රිකා ඊට වෙනස්ය. බුද්ධිමය වශයෙන් හා චිත්තවේගී අයුරින් බලය බෙදා ගැනීම හා  සමානාත්මතාව වෙනුවෙන් ඇය අව්‍යාජ ලෙස පෙනී සිටියාය.

එවැනි උත්තම ගණයේ මානසිකත්වයකින් පසු වුවද නිතරම අවශ්‍ය වූ දමිළ ජනතාවට උපරිම බලය බෙදා දීම හා සාමානාත්මතාව පිරිනැමීමේ කාර්යය චන්ද්‍රිකාට  කරන්නට නොහැකි වූයේය. ඒ වෙනුවට ඈ යුද්ධයේ පැටළී අමාරුවේ වැටුණාය. එයින් ඈ ශ්‍රී ලංකාවේ වඩාත් නිවැරැදිව සිතන ජනතාවගෙන් සහ දමිළයන්ගෙන් හුදෙකලා වූවාය.

එසේ වූයේ මන්දැයි හා එසේ වූයේ කෙසේ දැයි මා පසුව දැනගත් දෙයින් අනතුරුව පහළ වූ ඥානයෙන් මට අවබෝධ වූයේය. මෙම ලිපියේ අවධානය යොමු වනුයේ ජූනි 29 වැනිදාට යෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ජන්ම දිනය වන බැවින් ඉහත කී කාරණය එම අරමුණට අදාළ වන්නේ නැත.

 

දේශපාලන පවුල්

දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවලට දේශපාලන පෙළපත් පොදු ලක්ෂණයකි. දේශපාලන පවුල් බිහිවෙමින් වර්ධනය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් වූ අතර චන්ද්‍රිකා ද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන පෙළපතකට අයත් වූවාය. බ්‍රිතාන්‍ය පාලනය තුළ ව්‍යවස්ථාපිත ය රාජ්‍ය සභාවක් හරහා ලංකාවට ලැබුණේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආකාර කිහිපයක් පමණකි. මැතිවරණ පටන් ගත් විට එකම පවුලේ සාමාජිකයන් තනතුරු බලාපොරොත්තු වීම ප්‍රායෝගිකව  සිදුවන්නක් වූයේය. යටත්විජිත බැඳීම්වලින් නිදහස ලබා පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය එළඹීමත් සමග දේශපාලන පෙළපත් සංකල්පය තවදුරටත් වාසි ලබා ගන්නා බව පෙනී ගියේය. පළාත් පාලන ආයතනවල සිට උත්තරීතර ව්‍යවස්ථාදායකය දක්වා විවිධ මට්ටමේ තනතුරුවලට දේශපාලන පවුල්වල උදවිය පත්වීම බෝවෙන්නට ගත්තේය.

ශ්‍රී ලංකා දේශපාලන භූමි තලයේ ජාති, ආගම්, කුල භේද ආදිය තිබියදීම පවුල් දේශපාලනයද සුපුරුදු ලක්ෂයක් බවට පත්වූයේය. ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්වල ලැයිස්තුව නැගෙනහිර අබ්දුල් මජීඩ්ලාගේ පටන් ඉංග්‍රීසි හෝඩියේ A අකුරෙන් පටන්ගෙන පිළිවෙළින් දකුණේ යාපා අබේවර්ධනලා දක්වා පහළට යෑමෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්වභාවය තුළ පවුල් බන්ධනයන්ට ජනවාර්ගික බව බාධාවක් නොවූ බව හෙළිදරව් වේ.

ජාතික, පළාත්, දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස යන විවිධ මට්ටම්වල විවිධ වර්ගයේ දේශපාලන පෙළපත් ඇත. මෙම පෙළපත්වල විවිධ තරාතිරම්වලින් විවිධ ප්‍රදේශවල පැතිර පවතී. ප්‍රාදේශීය හා උප ප්‍රාදේශීය වශයෙන් බොහෝ දේශපාලන පවුල් පැතිර ඉන්නා අතර ශ්‍රී ලංකාවේ බොහෝ දුරට ජාතික මට්ටමේ බලය ගොඩනගා ගෙන දේශපාලන අධිපත්‍ය පවත්වාගෙන ඇත්තේ පවුල් තුනක් පමණකි.

එයින් පළමු වැන්න ඩී.එස්. සේනානායක, ඔහුගේ පුත්‍ර ඩඩ්ලි සේනානායක හා බෑනා වූ සර් ජෝන් කොතලාවල සමග ජේ.ආර්. ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන පවුල් සාමාජිකත්වය දක්වා දිවෙන බෝතලේ පෙළපතයි.

ඊළඟට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඔහුගේ භාර්යාව වූ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක, දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පුත්‍ර අනුර බණ්ඩාරනායක යන අයගේ හොරගොල්ල පෙළපතයි. තුන්වැන්න දොන් ඇල්වින් (ඩී.ඒ.) රාජපක්ෂලාගේ මැදමුලන පරපුරයි. ඩී. ඒ. රාජපක්ෂගේ පුත්‍ර, චමල්, මහින්ද, ගෝඨාභය සහ බැසිල් සමග මුණුපුරු නාමල්, ශෂින්ද්‍ර සහ නිපුණ යන සියල්ලෝ දේශපාලන බලය උරගා බලා ඇත්තෝය.

 

බණ්ඩාරනායක පෙළපත

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහ මුදලි සහ රත්වත්තේ දිසාවේගේ මිණිබිරියයි. ඇගේ පියා වූ  සොලමන් බණ්ඩාරනායක හා සිරිමා රත්වත්තේ මවගේ විවාහය පහත රට සහ උඩරට සිංහල ප්‍රභූ පවුල් දෙකක් අතර දේශපාලන ඒකාබද්ධවීමක් ලෙස එවකට පිළිගැනීමකට ලක්විය. එම විවාහ මංගලෝත්සවය අලුත් දේශපාලන පෙළපතක ආරම්භය වූයේය. එය කෙතරම් මනරම් අශ්චාර්යවත් දේශපාලන පෙළපතක් වීද.

1948 සිට 2008 දක්වා නිදහස ලැබීමෙන් පසු ගතවූ පළමු 60 වසර තුළ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ හෝ සෙනට් සභාවේ) 1959  සැප්තැම්බර් සිට 1960 ජූලි දක්වා මාස 10ක කාලය හැරුණු  කල නිතරම බණ්ඩාරනායකවරයෙක් හිඳ තිබේ. එම පවුලේ සාමාජිකයෝ අගමැතිවරුන් ලෙස අවුරුදු 21ක් සිටියහ. ජනාධිපති ලෙස අවුරුදු 11ක් සහ විරුද්ධ පක්ෂ නායකයන් ලෙස වසර 14ක් රැඳී සිටියහ.

පවුල් පදනමේ දේශපාලනය ශ්‍රී ලංකාවේ සාර්ථක වීමේ සංකල්පය ආරම්භ  වූයේ බණ්ඩාරනායකලාගෙන් නොව සේනානායකලාගෙනි. ඒ 1951 දී පියා වූ දොන් ස්ටෙෆාන් සේනානායකගෙන් හිස්වූ අගමැති තනතුරට ඔහුගේ පුත්‍ර ඩඩ්ලි සේනානායක පත්වීමෙනි. ඉන්පසු බණ්ඩාරනායකගේ වාරය පැමිණයේ බණ්ඩාරනායකලාගේ වැන්දඹු බිරිඳ වූ සිරිමාවෝ 1960 ජූලි මාසයේදී අගමැති තනතුරට පත්වීමෙනි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1959 දී ඝාතනය කරනු ලැබීය. 17 වසරක් පුරා ඉන්දියාවේ අගමැති ධුරය දැරූ ජවහල් ලාල් නේරු 1964දී මිය ගියේය. ඔහුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි 1966 අගමැති බවට පත්වූවාය. නේරුලා සහ බණ්ඩාරනායකලා දේශපාලනිකව මෙන්ම පෞරුෂය අතින්ද එක සමාන වූවන් යයි සලකනු ලැබීය.

 

නේරු - බණ්ඩාරනායක

නේරු, බණ්ඩාරනායක, ඉන්දිරා සහ සිරිමා ඔවුන්ගේ දරුවන් වූ රජිව්, සංජය, සුනේත්‍රා, චන්ද්‍රිකා හා අනුර සමග එකට පෙනී සිටින සුප්‍රසිද්ධ ඡායාරූපයක් තිබිණි. නේරු සහ බණ්ඩාරනායක දෙදෙනා අග්‍රාමාත්‍ය පදවිය දැරූ කාලයේ ගන්නා ලද මෙම ඡායාරූපය සම්බන්ධයෙන් රසවත් කතාවක් විය. එහෙත් ඉක්මනින්ම සිරිමා සහ ඉන්දිරා ද අගමැතිවරියෝ බවට පත්වූහ. ඔවුන්ගේ දරුවන්ගෙන් පළමුව අගමැති ධුරයට පත්වන්නේ කවුරුන්ද යන්න එවකට පැන නැගුණු ප්‍රශ්නයකි.

බණ්ඩාරනායක සොයුරියන් ලෙස සුනේත්‍රා සහ චන්ද්‍රිකා යන දෙදෙනාම අනුරට වඩා වැඩිමල් වූ අතර අනුර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔවුන් දෙදෙනාම යම් තරමක දේශපාලන කටයුතුවල නියැළී සිටියහ. එසේ වුවද ඒ අතරින් පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත් වූයේ අනුරයි. ඒ 1977 ඔහු වයස අවුරුදු 28 පසුවෙද්දීය. ඊට අවුරුදු 6කට පසුව වයස අවුරුදු 34දී ඔහු විරුද්ධ පක්ෂ නායකයා බවට පත් වූයේය.

ඔහුගේ පියා 1952 සිට 1956 දක්වා අග්‍රාමාත්‍ය ධුරයට පැමිණීමට පෙර විරුද්ධ පක්ෂ නායකයා වූයෙන් අනුර ද ඒ ආකාරයෙන් අගමැති ධුරයට පත් වෙතැයි බලාපොරොත්තු තැබිණි. එහෙත් එසේ සිදු වූයේ නැත.

 

ශ්‍රී ලංකා මහජන පක්ෂය

අනුරගේ සොහොයුරිය චන්ද්‍රිකා තම ස්වාමියා වූ විජය කුමාරතුංග සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී වෙන්ව ගොස් අලුත් පක්ෂයක් වූ ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා ගත්තාය. 1988 ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇගේ ස්වාමියා ඝාතනය කළ පසුව චන්ද්‍රිකා සිය කැමැත්තෙන්ම රටින් පිටව ගොස් ලන්ඩනයේ වාසය කළාය.

කෙසේ වුවද වසර කිහිපයක් ඉක්ම ගිය පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූවාය. මෙයින් අනුර සහ චන්ද්‍රිකා අතරත්, අනුර සහ සිරිමාවෝ අතරත් දැඩි ආතතියක් හට ගත්තේය. තම දියණියගේ වාසියට ක්‍රියා කරන බවට සිය මවට චෝදනා කළ අනුර ශ්‍රීලනිපයෙන් ඉවත්ව ගොස් එහි පරම එදිරිවාදී පක්ෂය වූ එජාපයට එක් වූයේය.

ශ්‍රීලනිප ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ 1994 බලයට පැමිණි විට අගෝස්තු මාසයේ අගමැති ධුරයට පත් වූයේ චන්ද්‍රිකාය. එම වසරේ නොවැම්බරයේ ජනාධිපතිවරණයට තරග කළ ඇය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තාය. එවර අග්‍රාමාත්‍ය පදවියට පත්වූයේ සිරිමාය. පළමුව අගමැති ධුරයට පත්වූ යුවළ ලෙස හා ස්වාමියා හා බිරිඳ ද ලෙස ඉතිහාසයට එක්වූ බණ්ඩාරනායක පළමුවෙන් පියා මව හා දියණිය ලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ එකම පවුලේ තිදෙනා ලෙසත් පළමු ජනාධිපති දියණිය සහ අගමැති මාපිය යුවළ ලෙසත් ඉතිහාසයට එක්වී වාර්තා තැබුවෝය.

 

ඇගේ  මවුපියන්ගේ දේශපාලනය:

චන්ද්‍රිකාගේ දේශපාලනයේ වඩාත් ප්‍රශංසනීය ලක්ෂණය වූයේ ඇගේ දෙමාපියන් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවූ දේශපාලනයෙන් ඉවත්ව ඈ නැවුම් පිළිවෙතක් අනුගමනය කිරීමයි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව අනුසාරයෙන් ගත්විට මෙය විශේෂයෙන් කැපීපෙනෙන්නක් වූයේය.

දමිළ සුළුතරය ඉදිරියේ සිංහල බහුතර වාදී දේශපාලනයේ නියැළුණු  පළමු වැදගත් සිංහල දේශපාලන නායකයා වූයේ චන්ද්‍රිකාගේ පියාවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන්න රහසක් නොවේ.

වාසිදායක අස්වැන්නක් නෙළාගනු පිණිස ජාතිය දෙබෑ කරමින් එකම රාජ්‍ය නිල භාෂාව සිංහල පමණක්ය යන ප්‍රතිපත්තිය බණ්ඩාරනායක භාවිත කළේය. හෙතෙම කෙටිකාලීන දේශපාලන වාසි ලබා ගැනීම පිණිස හිතාමතාම ජාතිවාදී කතිකාව ඉදිරියට ගෙන ආවේය.

චන්ද්‍රිකාගේ මෑණියන් වූ සිරිමාවෝ බණ්ඩාරනායක ද ඇගේ සැමියාගේ අඩිපාරේ යමින් සිංහල හිතවාදී ප්‍රතිපත්ති අනුගමනය කළාය. උතුරේ සහ  නැගෙනහිර අහිංසක (ප්‍රචණ්ඩකාරී නොවූ) ජනයා විසින් ගෙන ගිය සත්‍යග්‍රහ විරෝධතාව කඩාකප්පල් කිරීම පිණිස ඇය හමුදාව යෙදවූවාය. දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නියැළුණු වෙනත් ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ දමිළ ක්‍රියාධරයනුත් ඇය මාස ගණනවක් පනාගොඩ පිහිටි හමුදා නිවාසවල මිලිටරි අඩස්සියේ රඳවා තබා ගත්තාය.

සිරිමාවෝ පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය. කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලින් සමන්විත එක්සත් පෙරමුණට නායකත්වය  දුන්නාය. මෙම පක්ෂය ජාතිවාදී මතවාදය අනුගමනය කොට ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එජාප රජයට බාධා පමුණුවමින් විරුද්ධ පක්ෂයේ රැඳී සිටියේය. විශේෂයෙන් එම එජාප රජය දිස්ත්‍රික් සභා යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ජාතිවාදී ස්ථාවරයක පසුවෙමින් එම බාධා කිරීම් කළහ.

1970 දී ඇය නැවත අගමැති ධුරයට පත් වූ විට බණ්ඩාරනායක මැතිනියගේ රජය, දමිල සිසුනට සරසවි වරම් ලැබීමට හා වෙනත් උසස් විද්‍යාතනයන්ට ප්‍රවේශවීම සඳහා ඉහළ ලකුණු ප්‍රමාණයක් ඉල්ලා සිටින ප්‍රමිතිකරණය හඳුන්වා දුන්නේය. සිරිමාවෝ ආණ්ඩුව ඒකීය රාජ්‍යයක් සහ  බුද්ධාගමට සාඩම්බර තැනක් පිරිනැමීම තහවුරු කරන අලුත් ව්‍යවස්ථාවක්ද හඳුන්වා දුන්නේය. අනෙකුත් මර්දනකාරී පනත් අතර හදිසි නීති රෙගුලාසි යටතේ දමිළ තරුණයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ පනතද විය.

ස්වාමියා සහ භාර්යාව යන  බණ්ඩාරනායක යුවල ජනවාර්ගික භේදය පුළුල් කිරීම සහ දමිළ බෙදුම්වාදය අනියම් ලෙස දිරිමත් කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු බව සිතන බොහෝ අය වෙති. පවුලේ ඉතිහාසය මෙසේ වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇගේ දෙමාපියන් නිරත වූ දේශපාලනයේ නියැළුනේ නැත. ඇය වඩා ප්‍රගතිශීලී අදහස් දරන මිථ්‍යා විශ්වාසවලින් මිදුණු තැනැත්තියක් වූවාය.

 

අන්තගාමී නොවූ අදහස් දැරීම

චන්ද්‍රිකා හා සුනේත්‍රා යන දෙදෙනාම  දක්ෂිණාංශයට සමීප අදහස් දැරුවේ යයි පෙනී ගිය ඔවුන්ගේ සොයුරු අනුරට වෙනස්ව යමින් අන්තගාමී නොවූ වාමවාදී අදහස් දැරූහ. චන්ද්‍රිකාගේ දේශපාලන මතවාදය තවදුරටත් රැඩිකල්කරණයට ලක් වූයේ ඈ ප්‍රංශයේ උපාධි අපේක්ෂකයකුව සිටි බැවිනි. එය බටහිර විශ්වවිද්‍යාලවල සිසුන් අතිධාවනකාරී ලෙස විප්ලවීය ක්‍රියාකාරකම් සහිත අරගලවල නියැලුණු කාල පරිච්ඡේදයයි.

තතු දන්නා මිතුරන් කියන ආකාරයට සිනමා නළු දේශපාලනඥ විජය කුමාරතුංග මුණගැසී ඔහුට ආදරය කොට ඔහු සමග විවාහ වීමෙන් අනතුරුව චන්ද්‍රිකාගේ දේශපාලන රැඩිකල්කරණය විශාල වෙනසකට ලක්වී තිබේ. එය පන්තිය, කුලය හා ආගම යන සීමා අබිබවා ගිය විවාහයකි. දෙදෙනාම වඩාත් ප්‍රගතිශීලී ලෝක ද්‍රෘෂ්ටීන් බෙදාහදා ගැනීම වඩාත් වැදගත් කාරණයකි. විජය කුමාරතුංග, චන්ද්‍රිකාගේ ජීවිතය වඩාත් යහපත් ආකාරයෙන් හා වඩාත් බහුවිධ ආකාරයෙන් වෙනසකට ලක් කළේය.

 

විජය කුමාරතුංග

විජය කුමාරතුංග යන නාමයෙන් ප්‍රචලිතව සිටි කෝවිලගේ විජය ඇන්තනි කුමාරතුංග සීදුවේ උපත ලැබුවේ 1945 ඔක්තෝබර් 9 වැනිදාය. විජය මා බෙහෙවින් ආසා කළ අගය කළ හා ගෞරව කළ චිරස්ථායි දැක්මක් සහිත වඩාත් ප්‍රියමනාප පෞරුෂයකින් හෙබි අයෙක් වූයේය. ඔහු ශ්‍රී ලංකාව සියල්ල අන්තර්ගත බහුවාර්ගික සමානාත්මතාවයෙන් හෙබි, බහුත්වවාදී රටක් බවට පරිවර්තනය විය යුතු බව කල්තියා දුටු මිනිසෙකි. ප්‍රභාවත් මෙම දිවයිනේ ඉරණම වඩාත් ධනාත්මක ලෙස වෙනස් කිරීමේ හැකියාව ඔහුට ඇති බවට විශ්වාසය තබමින් ජනතාව විසින් මහත් ආදරය කරනු ලැබූ මිනිසා ඔහුය. ජීවිතයේ පූර්ව භාගයේදීම නින්දිත ලෙස ඝාතනය කරනු නොලැබුවේ නම් එම සිහිනය බිඳ නොවැටෙනු ඇත.

රංගනය ඔහු පිළිගැනීමට ලක්වූ වෘත්තිය වූ නමුත් දේශපාලනය විජය කුමාරතුංග විසින්ම තෝරාගනු ලැබූ වෘත්තියයි. වාම නැඹුරුවක් ඇති මතවාදයක් හිමිව මහාචාර්ය කාලෝ ෆොන්සේකාට සමීප ඥාති සම්බන්ධතාවක් ඇතිව සිටි විජය සිය තරුණ සමයේදී ලංකා සමසමාජ පක්ෂයේ කටයුතුවලට හවුල් වූයේය. පසු  කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු ඔහු කටානේ සංවිධායකයා බවට පත් වූයේය. කටාන මැතිවරණ කොට්ඨාසයට 1977 ජූලි මාසයේදී මැතිවරණයේදී එජාපයෙන් විජයපාල මෙන්ඩිස් සමග තරග වැදී හෙතෙම පරාජයට පත් වූයේය. සැවොම දන්නා පරිදි 1977 මැතිවරණයේදී ශ්‍රීලනිපය, එජාප අතින් දරුණු පරාජයට ලක්විය. කටාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත්වූ විජයපාල මෙන්ඩිස් විජය කුමාරතුංග වැඩි ඡන්ද 4212කින් පරාජයට පත් කළේය. විජයපාල ඡන්ද 23,950ක් ලැබූ අතර විජය ලබා ගත්තේ ඡන්ද 19738කි. මැතිවරණ පරාජය ලැබුවද විජය ශ්‍රීලනිප දේශපාලනයේ උද්‍යෝගයෙන්  රැඳී උන්නේය.

ශ්‍රීලනිපයේ ප්‍රමුඛ පවුල හා විවාහ සම්බන්ධතාව ඇතිකර ගනිමින්  හෙතෙම 1978 පෙබරවාරියේ ඔහු ආදරය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග අතිනත ගත්තේය. විජයගේ මරණයෙන් දශක කිහිපයකට පසු ඇයට පළමු වරට විජය මුණගැසුණේ 1977දී මහනුවරදී බව චන්ද්‍රිකා පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබිණි. ඔහුගේ චිත්‍රපට කිහිපයක් ඇය ඉන් පෙර දැක තිබුණද අනුර බණ්ඩාරනායක මුලින්ම විජයව චන්ද්‍රිකාට හඳුන්වා දුන්නේ 1977 කටාන මැතිවරණ  කොට්ඨාසයේ අපේක්ෂකයා ලෙසයි. සියලුම ශ්‍රීලනිප අපේක්ෂකයෝ මහනුවර පැවැති පක්ෂයේ සම්මන්ත්‍රණයකට සහභාගි වී සිටියහ.

ඉන්පසු එවකට චන්ද්‍රිකා පදිංචි වී සිටි හොරගොල්ල වෙත විජය කිහිප වතාවක් පිවිසියේය. කටාන ශ්‍රීලනිප සංවිධායකයා පක්ෂ නායිකාවගේ දියණියට සිය මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන රැස්වීම් වලට පැමිණෙන ලෙස ආරාධනා කරන්නට ගත්තේය. 1977 ජූලි මාසයේදී  ශ්‍රීලනිපය දැවැන්ත පරාජයක් අත්වින්ඳ ද විජය නොකඩවා ජාතික හා අන්තර්ජාතික දේශපාලන කාරණා සාකච්ඡා කරන මුවාවෙන් චන්ද්‍රිකා මුණගැසෙන්නට පැමිණියේය.

 

ලෙස්ටර් සහ හෙක්ටර්

මෙම සාකච්ඡා චමත්කාරජනක ප්‍රේම වෘත්තාන්තයක් ලෙස මල් ඵල දැරුවේය. ඔවුහු 1978 පෙබරවාරි 20 වැනිදා විවාපත් වූහ. විජය වෙනුවෙන් සක්ෂියට අත්සන් කරන්නට චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් පැමිණි අතර හිටපු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව චන්ද්‍රිකා වෙනුවෙන් පැමිණියේය. එය අමුත්තන් 19 දෙනකු පමණක් සහභාගි වූ ඉතා චාම් උත්සවයක් විය.

විවාහයෙන් පසුව රොස්මීඩ් පෙදෙසේ අංක 63 දරණ නිවසට  විජය, චන්ද්‍රිකා සමග පදිංචියට පැමිණියේය. ඉන්පසුව ඔවුහු ගොරගොල්ලේ කිංසි පාරේ නිවසකටත් අනතුරුව කිරුලපනේ පොල්හේනේගොඩ පාරේ නිවසටත් පදිංචියට පැමිණියෝය. විජය හා චන්ද්‍රිකාට දරුවන් දෙදෙනකු ලැබුණු අතර දියණිය යසෝදරා 1979  උපත ලැබූ අතර පුතු විමුක්ති 1982 දී උපත ලැබුවේය. දැන් ඔවුන් දෙපලම බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරු වෙති. විජය සහ චන්ද්‍රිකා ඔවුන්ගේ 10 වැනි විවාහ සංවත්සරය 1988 පෙබරවාරි 20 වැනිදා මහ ඉහළින් සැමරීමට කටයුතු සැලසුම් කරගෙන සිටියහ. එහෙත් ඛේදයකි. ඊට දින හතරකට පෙර විජය ඝාතනය කරනු ලැබුවේය.

 

දේශපාලනයේ නියැළීමට අදිමදි කළ තැනැත්තිය

චන්ද්‍රිකාගේ ඇතැම් විවේචනයන් ඈ  ගැන කුමක් කීවද චන්ද්‍රිකා දේශපාලනයේ නියැළීම අදිමදි කළ තැනැත්තියකි. ඇගේ පියාත් ස්වාමියාත් දේශපාලනය හේතුකොට ගෙන ඝාතනය කරන ලද බව සිහිපත් කළ යුතුය. ඇයද ඝාතන තැතකට ගොදුරුවී ඇගේ ඇසක් අහිමි කර ගත්තාය. ඇගේ අදිමදිකම් පසෙක තිබියදී චන්ද්‍රිකා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ යුතුකම පිළිබඳව හැඟීම කරණකොට ගෙනය. ඇගේ පියා විසින් ආරම්භ කොට ඇගේ මෑණියන්  විසින් පෝෂණය කරනු ලැබූ පක්ෂයට යහපත් නොවන මගක යමින් මෙතෙක් කාලයක් විරුද්ධ පක්ෂයේ රැඳෙන්නට සිදු වූයේය. ඇගේ ස්වාමියාගේ දේශපාලන දැක්ම යථාවක් කිරීමේ  නොනිමි මෙහෙවර ඉටු කිරීමෙන් ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ නොනිමි කාර්යභාරයක් තවදුරටත් ඉටුකළ යුතුව තිබිණි. රට වැරැදි දිසාවකට ගමන් කරමින් තිබූ අතර නායකත්වයේ වෙනසක් අවශ්‍ය වූයේය. හිටපු කැබිනට් අමාත්‍යවරයකු වූත් චන්ද්‍රිකා හිතවාදියකු වූත් මංගල සමරවීර වරක් කියා සිටියේ චන්ද්‍රිකා එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පෙරළා පැමිණ දේශපාලනයේ නිමග්න වූයේ ඇයට දෛවය අඬගසන වග ඇයට දැනුණු නිසාය.

දශක දෙකකට පෙර පළවූ ටයිම් සඟරාවක ඇලෙක්ස් පෙරී සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙම කාරණය පැහැදිලි වූයේය. එවිට ඈ පැවසූයේ මෙම කාරණයයි. කිසිම පුද්ගලයකු නැතිවම බැරි අයකු යයි මා සිතන්නේ නෑ. එහෙත් යම් රටක ඉතිහාසය තුළ යම් ආකාරයක අවස්ථානුකූල අවස්ථා පැන නැගෙන විට ඓතිහාසික ක්‍රියාදාමයට නායකත්වය දෙන්නට මිනිසුන් කැඳවා තිබෙනවා. මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ඇදෙන්නේ ඒ ආකාරයටය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉරණමේ දියණියකි.

 

ඉරණම රහසේ මුණගැසීම

ඒ මාවතට චන්ද්‍රිකා සිය ඉරණම රහසේ මුණගැසුණේ කෙසේද? ඇය පැසවමින් තිබූ දමිල ජාතික ප්‍රශ්නය විසඳීමට උත්සාහ ගත්තේ කිනම් ආකාරයන්ගෙන්ද? ඇගේ ස්වාමියා සමග බෙදාගත් ප්‍රගතිශීලී  දැක්ම යථාවක් කිරීමට ඈ අසමත් වූයේ ඇයි?

(***)



අදහස් (3)

දිරිය දියණිය චන්ද්‍රිකා

nihal Tuesday, 01 July 2025 01:11 AM

අපේ රටට වින කරපු ගැහැනියක්

:       4       7

අප්පුහාමි ලන්ඩන් Tuesday, 01 July 2025 12:53 PM

අපිත් ඒකාලේ විශ්වාස කලා. රට විනාශ කළ පාදඩයන්ගෙන් එකෙක්

:       4       9

tissa Tuesday, 01 July 2025 02:17 PM

ලංකාවේ ජනතාව විසින් මෙතුමිය දෙවරක් ජනාධිපති ලෙස පත් කිරීම මෙතුමිය ලැබූ විශාල ජයග්‍රහණයක්.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 202 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 703 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site