IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම

දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් “බතල කොළ කටින් හිටවන” හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිළිවෙළක් තිබුණි නම් අද වනවිට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. පාන්දර අවදි වී තේ හදන්නට ළිප ගිනි ඇවිලවීමෙන් පසු, වේලකට සෑහෙන කුඩා පිටි පැකැට් එකක් ගන්නට වෙළඳසලට යන තරමට ප්‍රශ්නය ව්‍යාකූල වී තිබේ. දශක හත අටකට කලින් ඇති තරම් කිරි ආහාර තිබුණ රටක් අවසානයේ දී පත් ව ඇති තැන ශෝක ජනකය.

ආණ්ඩු ගණනාවක් කිරි වලින් රට පොහොසත් කරන්න උත්සහ ගෙන තිබේ. පෞද්ගලික අංශයේ ව්‍යවසායකයෝ ද ප්‍රයත්නයක නොයෙදුනා නොවෙති. දේශීය ආයෝජකයන් සමග එකතු වූ විදේශීය සමාගම් මගින් ද  මේ සම්බන්ධයෙන් වෑයම් කර ඇත. කිරි පිටි ගෙන්වන්නට බිලියන ගණන් මුදල් වැය කෙරේ. ලබන වසර සඳහා අය වැය ද දේශීය කිරි ගොවියා ශක්තිමත් කරන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉතාම වැදගත් පියවරකි. දෙනුන් සැපයීමෙන් හෝ අතට දෙන අඩු පොලී ණය මුදලකින් පමණක් කාරිය කෙරෙන්නේ නැත. ගව සම්පත දියුණු කරන ප්‍රායෝගික සැලැස්ම මෙරට ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති වලට අනුව ගළපා ගැනීමට හැකියාවක් තිබිය යුතුය.

පොහොර හා කිරි අවශ්‍යතාවට එල ගවයන් ඇති කළ එකල කුඹුරු අස්වද්දන්නට මහත් ප්‍රයෝජනයක් ගත්තේ මී ගවයන්ගෙන්ය. මී කිරි නිෂ්පාදන කළේ ද මී දෙනුන්ගේ කිරිවලින් ය. භාණ්ඩ ප්‍රවාහනයට ද, ගමන් බිමන් වලට ද කරත්තවල බඳින ලද පුහුණුකරන ලද එල ගවයන් යොදා ගත්හ. හණ තැබීම, ලාඩං ගැසීම, ගෙජ්ජි බැඳීම පමණක් නොව ගැල් බැඳගෙන කරන බඩු ප්‍රවාහනය ද මෙරට ජන සංස්කෘතියේ වැදගත් කොටසක් විය. කුඹුරට මැසිම යොදවා අස්වද්දන අතර භාණ්ඩ ප්‍රවාහනයට මෝටර් රථය එකතු  වී තිබේ. ගමන් බිමන් වෙනුවෙන් කරත්තයක් දකින්නට නැත. ගවයන් ඇති කිරීමෙන් ලබන අතුරු වාසි ගිලිහෙන සමාජයකින් කිරි දොවා ගැනීමට පමණක් ආදායමක් ඉපැයිය නොහැකිය. වාණිජ වශයෙන් කිරි නිෂ්පාදනය කරන රටවල එයට සමාන්තරව මස් නිෂ්පාදනය ද කරගෙන යන බව සඳහන් කළ යුතුය. පස් පවු වලින් වැළකී සිටින බෞද්ධ ජනතාව බහුලව ජීවත්වන රටක කිරි පමණක් ලබාගෙන මස් නිෂ්පාදනය අත්හැර ගවපාලනයෙහි යෙදීම පහසු නැත. ගව ඝාතනය නීතියෙන් තහනම් කරන නීති පනවන ලද කාලවකවානුවක් බව ද මතක් කර දිය යුතුය. කිරි නිපදවීමට ගවයන් ඇතිකරන ගොවියකු අවසානයේ දී මුහුණ දෙන ප්‍රශ්න අතර වියපත් ගවයන් නඩත්තුව ද අතිරේක බරක් විය හැකිය.   

ඉන්දියාවේ ශ්වේත විප්ලවය කලාපයේ කටයුතු සම්බන්ධව ආදර්ශයකි. එරට ජාතික කිරි දිනයක් තිබේ. ආචාර්ය වාර්ගේෂ් කුරීන් ඉන්දියාවේ ක්ෂීර විප්ලවයේ පියා සේ සලකන අතර ඔහු සිහිකරමින් කිරි දිනය වාර්ෂිකව පවත්වයි. ලෝකයේ විශාලතම කිරි ගොවිපොළ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹෙන්නේ කුඩා ගොවියන්ගෙන් ය. එපමණක් නොවේ අද ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදනය කරන තැනට ඉන්දියාව කැඳවන පියවරක් විය. කිරි සමිති පිහිටුවන ලද අතර පසුව එය කිරි ගොවි සමුපකාරයක් බවට හැරවීය. දිනපතා එකතු කරන දියර කිරි කම්හල්වලට යැවෙන පියවර අවසානයේ රට පුරා බෙදා හැරේ. කිරි පානය කිරීම සෑම ඉන්දියානුවකුගේ ම දෛනික ආහාරයේ වියදම අඩු සහ ඉතාම වැදගත් පෝෂණීය කොටසක් වී තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් කිරි නිෂ්පාදනය ආශ්‍රිත වෘත්තීන් හි නිරතය. අපනයනය හෙයින් එරට විදේශ ආදායමෙන් කොටසක් බව ද සඳහන් කළ යුතුය.

සත්ව පාලනයෙහි නිරත පිරිස තෝරා ඔවුන් කිරි ගවයන් ඇති කිරීමට නැඹුරු කළ හැකිය. රටට අවශ්‍ය තරම සලකා බලා දියර කිරි නිපදවන්නට බැරිකමක් නැත. පර්යේෂකයන් ඉදිරිපත් කරන කරුණු වලට මතධාරීන් එකතු විය යුතුය. අවශ්‍ය පහසුකම් සලසන තීරණ ඉතා වැදගත්ය. ඉඩම් හා තෘණ භූමි සම්බන්ධ ගැටලු පවතී. මුලින් සඳහන් කළ කරුණු අතරට ඒවා ද එකතු විය යුතුය. කිරි ගොවියන්ට ඉඩම් නැත. ආයෝජනයට ඉදිරිපත් වන පිරිසට ද එය ප්‍රශ්නයකි. අවශ්‍ය ඉඩම් පවරන  තීරණ ගැනීම අවශ්‍යය. කුඩා ව්‍යවසායකයන් පමණක් නොව ඔවුන් සම්බන්ධ කෙරෙන මහා පරිමාණ ගොවිපොළ ක්‍රමයක් ද අවශ්‍ය වනු ඇත.

 

(***)



අදහස් (0)

දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 572 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site