IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ටින් අංකය හිස් ටින් එකක්ද?

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී “ටින්’ ලෙස ජනප්‍රියව ඇති බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number - TIN)  ලබා ගැනීම අනිවාර්ය වේ.

ඉහත උපදෙස් අනුව ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන අතර, ඔවුහු රු. 50,000 නොඉක්මවන දඩයකටද යටත් වෙති.

ඒ අනුව, ඉහත කාණ්ඩයටම අයත් පුද්ගලයන් බොහෝ දෙනෙක් සහ බදු ගෙවන්නන් ටින් අංකයක් ලබා ගත් අතර, සමහරු තවමත් ටින් අංකයක් ලබා ගැනීමට උත්සාහ කරති. මෙම උපදෙස්වලට අනුකූලවීම සඳහා බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ටින් අංකයක් ලබා ගැනීමට එතරම් උත්සාහ දරන්නේද නැත.

කෙසේ වෙතත්, 2025 අයවැය යෝජනාවලට අනුව, සියලු මූලාශ්‍රවලින් රුපියල් මිලියන 1.8 ට අඩු මුළු වාර්ෂික ආදායමක් ඇති පුද්ගලයන්ට ඔවුන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද අඩු නොකරන ලෙස ඔවුන්ගේ අදාළ බැංකු/බැංකු නොවන මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටීමට සුදුසුකම් ලැබේ. මෙම නිදහස් කිරීම ලබා ගැනීම සඳහා “නේවාසික පුද්ගලයකු විසින් බදු අය කළ නොහැකි තත්වය පිළිබඳ ප්‍රකාශයක්” (ආකෘති පත්‍ර අංක. ISD/WHT/01-E) සුදුසුකම් ලත් අය විසින් තම කාලීන තැන්පතු ගිණුම් පවත්වාගෙන යන අදාළ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම ප්‍රකාශන පෝරමය ඉදිරිපත් කිරීමේදී, ටින් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ. එබැවින්, මුලින් ටින් අංකය ලබා ගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වූ අය, ප්‍රධාන වශයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ, දැන් මෙම රඳවා ගැනීමේ බදු සහනය ලබා ගැනීම සඳහා ටින් අංකය ලබා ගැනීමට අරගල කරමින් සිටිති.

 

එය එතරම් පහසු කටයුත්තක් නොවේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම ටින් අංකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවා ප්‍රෝටලයට වෙත පිවිස හෝ තනි තනිව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට පිවිසීමෙන් පහසුවෙන් ලබා ගත හැකි බවය. කෙසේ වෙතත් මෙම ඊ-සේවා ප්‍රෝටලය හරහා හෝ තනි තනිව පැමිණ ටින් අංකය ලබා ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියන ආකාරයේ පහසු කටයුත්තක් නොවේ.

ටින් අංක නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හෝ නොහැකියාව නිසා විය හැකි බවත්, ටින් අංකය අනිවාර්ය වුවද, ටින් අංකය ඇතුළත් නොකර ඉහත සඳහන් ප්‍රකාශන පෝරමය මූල්‍ය ආයතන වෙත භාර දිය හැකි බවත් 2025 අප්‍රේල් 9 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එහෙත් පුදුමයට කාරණය වන්නේ, මූල්‍ය ආයතන ටින් අංකය නොමැතිව ප්‍රකාශන පෝරමය පිළිනොගැනීමයි. ඒ වෙනුවට, මූල්‍ය ආයතන එම ප්‍රකාශන පෝරමයම නිකුත් කරන්නේ, ගනුදෙනුකරු වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ටින් අංකයක් ලබා ගැනීමට මූල්‍ය ආයතනවලට බලය ලබා දෙන ලෙස පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින අතිරේක කොන්දේසියක් ඇතුළත් කරමිනි.

මෙයින් වක්‍රව කියැවෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාධ්‍ය හරහා මාධ්‍ය හරහා කුමක් ප්‍රකාශ කළද, ටින් අංකයක් නොමැතිව ප්‍රකාශන පෝරමය පිළිගැනීමට මූල්‍ය ආයතන සූදානම් නැති බවයි.

මූල්‍ය ආයතන වෙත ප්‍රකාශන පෝරම භාරදීමේදී ප්‍රකාශකයන් මුහුණ දෙන ගැටලු රාශියකි. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

 ප්‍රකාශන පෝරමය, එය පිරවීමට පෙර චක්‍රලේඛය වෙත යොමුවීමට උපදෙස් දෙයි. මෙය ආරම්භයේදීම නොපැහැදිලි බවක් ඇති කරන්නකි. ප්‍රකාශන පෝරමයේ, චක්‍රලේඛයේ අංකය හෝ නම ලබා දී නොමැත. මූල්‍ය ආයතන මෙම චක්‍රලේඛය ගැන එතරම් හොඳින් නොදන්නා බව හෝ එය ගනුදෙනුකරුවන්ට හෙළි කිරීමට මැළිකමක් දක්වන බවක් පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන්, චක්‍රලේඛකයකින් අදහස් කෙරෙන්නේ චක්‍රලේඛය නිකුත් කරන ආයතනයේ අභ්‍යන්තර භාවිතයයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ජනතාව සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛ තිබේද? එසේ තිබේ නම්, ප්‍රකාශය කරන පුද්ගලයාගේ පහසුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ ප්‍රකාශන පෝරමයේ එය සඳහන් කළ යුතුය.

එකම බැංකුවක එකම ශාඛාවක යමකුට තැන්පතු ගිණුම් එකකට වඩා තිබේ නම්, එක් එක් ගිණුම සඳහා වෙනම ප්‍රකාශන පෝරම පුරවන ලෙස සමහර බැංකු ඉල්ලා සිටී. මෙය සිදුවන්නේ බැංකුවක සෑම ක්‍රියාකාරකමක්ම ඩිජිටල්කරණය කර ඇති යුගයක ය. ඇත්ත වශයෙන්ම ගනුදෙනුකරුවකුට එකම ශාඛාවක හෝ එකම බැංකුවේ තවත් ශාඛාවක ගිණුම් එකකට වඩා තිබේ නම්, පරිගණක පද්ධතිය හරහා ශාඛාව නොසලකා එකම බැංකුවේ ඕනෑම ගිණුමකට ප්‍රවේශවීමට බැංකුවලට හැකි බැවින් වෙනම ප්‍රකාශන පෝරම ලබා දීම අවශ්‍ය නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරැදි ගිණුම් අංකය පමණි. සමහර බැංකු නොවන මූල්‍ය ආයතනද එම ක්‍රියාවලියම ක්‍රියාත්මක කරන අතරම, ඔවුන් තමන්ගේම ශාඛාවක් හෝ එකම බැංකු නොවන මූල්‍ය ආයතනයේ වෙනත් ඕනෑම ශාඛාවක් සමඟ පවත්වාගෙන යන සෑම ගිණුමක් සඳහාම වෙනම ප්‍රකාශන පෝරම ඉදිරිපත් කරන ලෙස පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටී. ගනුදෙනුකරුගේ කඩදාසි වැඩ සහ කාලය නාස්ති කිරීම සලකා බැලිය යුතුය. අපි ජාතියක් ලෙස කඩදාසි රහිත යුගයකට පිවිසෙන විට, මෙම ඩිජිටල්කරණය කරන ලද මූල්‍ය ආයතන ඔවුන්ගේම ගනුදෙනුකරුවන්ගෙන් මෙතරම් පත්‍රිකා ගණනක් ඉල්ලා සිටින්නේ මන්දැයි තේරුම් ගැනීමට අපහසුය.

ඒකාබද්ධ ගිණුම් සඳහා, සමහර බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන එම ඒකාබද්ධ ගිණුම්වල සෑම ඒකාබද්ධ ගිණුම් හිමියෙක්ම වෙන වෙනම ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී. කෙසේ වෙතත්, සමහර බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සියලුම ඒකාබද්ධ ගිණුම් හිමියන් විසින් අත්සන් කරන ලද එක් ප්‍රකාශන පෝරමයක් පමණක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින අතර, එය නීත්‍යනුකූලව පිළිගත් පිළිවෙතයි. එකම ක්‍රියාවලියක් සඳහා ඔවුන් විවිධ පිළිවෙත් අනුගමනය කරන්නේ ඇයි? එමඟින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් කනස්සල්ලට පත්වන්නේ නැද්ද?

 බොහෝ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ප්‍රකාශන පෝරම ඉදිරිපත් කිරීම සඳහා පමණක් බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත පැමිණෙන මෙම ගනුදෙනුකරුවන්ට (ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝය) පහසුකම් සැලසීම සඳහා වෙනම මේසයක් හෝ කවුන්ටරයක් ​​සපයා නොමැත. මිනිත්තු පහකට වඩා ගත නොවන එක් ණය අයදුම්පතක් භාර දීම සඳහා ඔවුන්ට අනෙකුත් ගනුදෙනුකරුවන් සමඟ දිගු පෝලිම්වල පැය ගණනක් නාස්ති කිරීමටද සිදුවේ.

මූල්‍ය ආයතනවල අදාළ යෙදුම්වලට (ඇප්ස්) ප්‍රකාශන පෝරමය ඇතුළත් කිරීමට එම ආයතනවලට උපදෙස් දීමෙන් සහ සහ ප්‍රකාශන පෝරමය මාර්ගගතව ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශකයන්ගෙන් ඉල්ලා සිටීමෙන් පමණක් මෙම ගැටලු බොහොමයක් විසඳා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිය. අනෙක් අතට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ටින් අංකය ඇතුළත් නොකර ප්‍රකාශන පෝරම ඉදිරිපත් කරන ලෙසට මහජනතාවට පැහැදිලි උපදෙස් ලබා දී ඇති විට, මෙම මූල්‍ය ආයතන ගනුදෙනුකරුවන්ගෙන් ටින් අංකය ඇතුළත් කරන ලෙස හෝ ටින් අංකය ලබා ගැනීමට ඔවුන්ට බලය පවරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

 

ප්‍රෝටලය පරිශීලක-හිතකාමී එකක් නොවේ

මීට අමතරව, ටින් අංකය ලබා ගැනීම සඳහා, යමකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවා ප්‍රෝටලය භාවිත කරන්නේ නම්, මෙම ප්‍රෝටලය පරිශීලක-හිතකාමී එකක් නොවන බැවින් ටින් අංකය ලබා ගැනීම එතරම් පහසු නැත.

අනෙකුත් ප්‍රධාන ගැටලු අතර:

මෙම කාර්යය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සපයන ලද පද්ධති හරහා ජනනය කරන අයදුම්පත්‍රයේ, අයදුම්කරුගේ සම්පූර්ණ නම, මුලකුරු සහිත නම, ස්ථිර ලිපිනය සහ පදිංචි ලිපිනය භාෂා තුනෙන්ම (ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ) ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටී. මෙය අපහසු කාර්යයක් වන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම තොරතුරු භාෂා තුනෙන්ම අවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීම තරමක් අපහසුය. පරිශීලකයා කැමති පරිදි එක් භාෂාවක් තෝරා ගැනීමට පවා කිසිදු විධිවිධානයක් හෝ උපදෙස් ලබා දී නොමැත.

 නේවාසික ලිපිනය සහ ස්ථිර ලිපිනය එකක් නම්, ලිපින දෙකම සමාන බව සඳහන් කිරීමට පරිශීලකයාට විකල්පයක් හෝ පහසුකමක් ලබා දිය යුතුය. එවැනි පහසුකමක් සපයා නොමැති අතර, එකම ලිපිනය අනවශ්‍ය ලෙස දෙවරක් ඇතුළත් කිරීමට සිදුවේ.

 “Website URL” ලබා දෙන ලෙස මෙම ඇප් එක මගින් ඉල්ලා සිටී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ටින් අංකයක් ලබා ගැනීමට කැමති පුද්ගලයකුගෙන් මෙම ක්ෂේත්‍රය අවශ්‍ය වන්නේ ඇයි? බොහෝ පරිශීලකයින්ට මෙම වචනවල තේරුම පවා පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාවක් නැත.

 අහම්බෙන් මෙන් යමකු ඉදිරිපත් කිරීමට අවශ්‍ය ලියකියවිලි අමුණන්නේ නැතිනම්, අයදුම්පතේ පහළම (අදාළ ක්ෂේත්‍රයට ආසන්නව නොවේ) “උඩුගත කිරීමට ගොනුවක් සොයන්න” (“Please browse for a file to be uploaded”)  යනුවෙන් දැන්වීමක් දිස්වේ. මෙම වචන සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට තරමක් අපහසුය. මෙම දැන්වීමේ/ප්‍රකාශයේ තේරුම සොයමින් ඉල්ලීමක් කළ විට, ඒ ගැන පැහැදිලි කිරීමක් ලබා දීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය පවා අපොහොසත් වේ. මේ සඳහා “අවශ්‍ය ලේඛනය අමුණන්න” (“Please attach the required document”) යන්න පමණක් පහසුවෙන් ආදේශ කළ හැකිය.

 උපන් දිනය පිරවීම මෙම පෝරමයේ අනිවාර්ය ක්ෂේත්‍රයකි. මෙම අයදුම්පත්‍රයේ උපන් දිනය ඇතුළත් කිරීමට, පද්ධතිය තුළම සපයා ඇති ස්වයංක්‍රීය දින දර්ශනය භාවිත කිරීම අවශ්‍ය වේ. ඔබ ඉපදුණු වර්ෂය ඇතුළත් කිරීම ඉතා කරදරකාරීය. උදාහරණයක් ලෙස ඔබ 1950 වසරේ උපත ලැබුවේ නම්, වර්ෂය නිවැරදිව ඇතුළත් කිරීම සඳහා ඔබ අයිකනය (එම දින දර්ශනයේ වම් ඊතලය) 900 වාරයක් හෝ ඊට වැඩි වාර ගණනක් එබිය යුතුය. මෙයට හේතුව ඔබ එම අයිකනය එක් වරක් එබූ විට, එය ආසන්නතම පෙර වසරට නොව, ආසන්නතම පෙර මාසයට පමණක් ආපසු යාමයි. එබැවින්, ආසන්නතම පෙර වසරට ආපසු යාමට, ඔබ නිරූපකය 12 වතාවක් එබිය යුතුය. එක් වසරකට ආපසු යාමට එය 12 වතාවක් එබීමට අවශ්‍ය වන අතර, ඔබට අවුරුදු 10කට ආපසු යාමට අවශ්‍ය නම්, එය 120 වතාවක් එබීමට සිදුවේ. තවද, ඔබ ඇඟිල්ල චලනය නොකර නිරූපකය ඔබමින් සිටියහොත්, එය චලනය නොවන අතර, එකින් එක එබිය යුතු වේ. මෙය මොනතරම් කරදරයක්ද? ප්‍රෝටලයේ සපයා ඇති දින දර්ශනය හරහා නොගොස් යතුරු පුවරුව භාවිතයෙන් ඔබ, ඔබේ උපන් දිනය ඇතුළත් කළහොත්, “ක්ෂේත්‍ර උපන් දිනය දිනයක් විය යුතුය” (“The field Date of birth must be a date”) යන ප්‍රකාශයක් දිස්වේ. මෙම ප්‍රකාශය තේරුම් ගැනීමට තරමක් අපහසු වන අතර, මෙම ප්‍රකාශය දිස්වන විටකදී ඔබට අයදුම්පත ඉදිරිපත් කිරීමට අවසර නැත. දී ඇති උපදෙස්වලට අනුව, ඔබ කිසියම් උපකාරයක් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළහොත්, එය තවත් වේදනාකාරී අත්දැකීමක් වෙයි. ඊට හේතුව සහායක අංශයේ දුරකතන ඇතුළුව, සියලු දුරකතන නාද වුවත් ප්‍රතිචාරයක් නොමැති වීමයි. ඔබට පිළිතුරක් ලබා ගැනීමට හැකි වුවද, බොහෝ අවස්ථාව පැහැදිලි පිළිතුර වනුයේ “කරුණාකර ළඟම ඇති දේශීය ආදායම් කාර්යාලයට පිවිසෙන්න, ඔබට පහසුවෙන් ටින් අංකය ලබා ගත හැකිය” යන්නයි.

 ඔබ යම් උදව්වක් පතා හෝ ටින් අංකය ලබා ගැනීම සඳහා ළඟම ඇති කාර්යාලයකට ගියහොත්, ඔබට පැය 6-7 කට වඩා වැඩි කාලයක් එහි ගත කිරීමට සිදුවේ. ඊට හේතුව දවස පුරාම පාහේ ටින් අංකය ලබා ගැනීමට අරගල කරන සේවාදායකයන්ගෙන් සියලුම කාර්යාල පිරී තිබීමයි. සමහර විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බොහෝ කාර්යාලවල දැරිය නොහැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සිටින බැවින් ඔබට වෙනත් දිනක පැමිණීමට සිදුවේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාල/පාරිභෝගික සත්කාර ඒකකවල සිටින අසරණ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් සේවාදායකයන්ට සහාය වීමට උපරිම උත්සාහයක් දරයි. එහෙත් බොහෝ පරිශීලකයන් පද්ධතිය ආක්‍රමණය කිරීම හේතුවෙන් ප්‍රෝටලයේ ප්‍රතිචාරාත්මක බව පිරිහී ශුන්‍යයට ගොස් ඇති බැවින්, වට පිට බැලීම හැර වෙනත් කිසිවක් කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.

 එසේම ඔබ ඊ-සේවා පද්ධතිය හරහා ප්‍රවේශ වනවිට බොහෝ විට සිදුවන්නේ තදබදය හේතුවෙන් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි.

කෙසේ වෙතත්, ඔබ, ඔබේ අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කිරීමට සමත් වුවද, මෙම සියලු දුෂ්කරතාවට මුහුණ දෙන විට, ටින් අංකය ලබා ගැනීම සඳහා අවම වශයෙන් වැඩ කරන දින 5 ක් බලා සිටීමට ඔබට සිදුවේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතරම් දිගු කාලයක් ගන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. තවද, තනි ටින් අංකයක් ලබා ගැනීම සඳහා වැඩ කරන දින 5 ක් ගතවීමේ මෙම ප්‍රමාදය හේතුවෙන් ජනතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල වෙත පෞද්ගලිකව පැමිණීමට පෙළඹුණු අතර, එමඟින් තදබදය තවත් උග්‍ර විය.

 

සුදුසු විකල්ප ක්‍රමයක් සොයා ගත යුතුය

ඒ අනුව, ටින් අංකයක් ලබා ගැනීම එතරම් පහසු නොවන බව පෙනෙන්නට තිබේ. ඔබ ටින් අංකය ලබාගෙන ඔබේ ප්‍රකාශන පෝරමය ඉදිරිපත් කරන විට, ඊ-සේවාව හරහා හෝ පෞද්ගලික සංචාර මගින් ටින් අංකය ලබා ගැනීමට එතරම් කාලයක් ගත වන බැවින්, බදු ප්‍රතිලාභවලින් සියයට50 කට වඩා අත්හැර දැමීමට සිදුවේ. එබැවින් ටින් අංකය කඩිනමින් නිකුත් කිරීමට සුදුසු විකල්ප ක්‍රමයක් හෝ ටින් අංකය ලෙස භාවිත කිරීමට පහසුවෙන් ලබා ගත හැකි විකල්ප අංකයක් සොයා ගැනීම අතිශයින් වැදගත් වේ. මේ සම්බන්ධයෙන් අපට ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස භාවිත කළ නොහැක්කේ ඇයි? සාමාන්‍යයෙන් වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුම ජාතික හැඳුනුම්පත ලබාගෙන ඇති අතර, එය වලංගු හඳුනාගැනීමේ ලේඛනයක් ලෙස භාවිත කෙරේ. මුදල් විශුද්ධිකරණ පනත සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ පවා, ජාතික හැඳුනුම්පත වඩාත්ම වලංගු හඳුනාගැනීමේ ලේඛනය ලෙස නීත්‍යනුකූලව පිළිගෙන ඇත.

ටින් අංකයක් නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ බදු ගෙවීමට වගකිව යුතු පුද්ගලයන් නිසි ලෙස හඳුනා ගැනීමයි.

ටින් අංකයේ ඇත්තේ ඉලක්කම් 9 ක් පමණක් වන අතර, X  හෝ V යන අතිරේක අකුරු දෙකක් හැර, 2015 හෝ 2010 ට පෙර නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ ද (නිශ්චිත වර්ෂය අදාළ දෙපාර්තමේන්තුවෙන් සත්‍යාපනය කළ හැකිය) ඇත්තේ ඉලක්කම් 9 ක් පමණි. කෙසේ වෙතත්, 2015 හෝ 2010 න් පසු නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වල ඉලක්කම් 12 ක් ඇත.

එබැවින්, ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස භාවිත කළ හැකි බව හඳුනාගෙන තිබේ නම්, මෙම අකුරු (X  සහ V ) ටින් අංකයෙන් ඉවත් කළ හැකි අතර, 2015 න් පසු නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත්වල උපන් වර්ෂය දැක්වෙන අමතර පළමු ඉලක්කම් 3 ද ටින් අංකයෙන් ඉවත් කළ හැකිය.

අවශ්‍ය නම් විකල්පයක් ලෙස, සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පාහේ අංක 9 කින් යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති බැවින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පමණක් ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස භාවිතා කිරීමට සීමා කළ හැකිය.

මෙම ටින් අංක ගැටලුව නිසි ලෙස හා ඉක්මනින් විසඳා නොගෙන, ඔටින් අංකය අයැදුම් කිරීම තාවකාලිකව කල් දැමීමෙන් තවත් දැවෙන ගැටලු ඊට එකතු වනු ඇත.

(මෙම ලියුම්කරු මහජන බැංකුවේ වසර 34 කට ආසන්න කාලයක් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වසර 6 කට ආසන්න කාලයක් සේවය කර ඇති හිටපු බැංකුකරුවෙකි. සහකාර සාමාන්‍යාධිකාරී - මූලික බැංකුකරණය ලෙසින් මහජන බැංකුවෙන් ලෙස විශ්‍රාම ගොස් ඇති අතර, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බැංකුකරණ උපදේශක ලෙස සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (1976) සහ ශ්‍රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ (2013) සාමාජිකයෙකි.)

 

(***)
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න



අදහස් (0)

ටින් අංකය හිස් ටින් එකක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 111 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 168 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 1476 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 93 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 321 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 374 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1052 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site