පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට එදා දැඩි මහජන විරෝධය නිසා 2007 දී අකුලාගත් වයඹ පළාත් වාරිකළමනාකරණ ප‍්‍රඥප්තිය නැවත වටයකින් දැන් පළාත් සභා කාරක සභාවට ඉදිරිපත් වී ඇත. එම නව ප‍්‍රඥප්තියට එදා තිබූ මූලික අරමුණු එසේ තිබියදීම යම් පැටලිලි සහිත වගන්ති සහ ආයතන පද්ධතියක් ද ඇතුළත්කොට ඇත. එදා ප‍්‍රඥප්තියේ 5 වැනි වගන්තිය මගින් පළාතේ වැව්, ජලාශ ඇතුළු  ඕනෑම වාරි ක‍්‍රමයක් හෝ පද්ධතියක් පුනරුත්ථාපනය, සංවර්ධනය හෝ සංරක්‍ෂණය නැමැති ලේබලය අලවා පුද්ගලික ආයතනයකට පැවරීමට ප‍්‍රතිපාදන සලසා තිබිණි. එමෙන්ම එදා ප‍්‍රඥප්තියේ 13 වැනි වගන්තිය මගින් ජලය සඳහා ගොවියාගෙන් මුදල් අයකිරීමට ද එම පෞද්ගලික සමාගම් වලට ඉඩ සලසා තිබිණි. එසේ වුවත් මධ්‍යම රජය යටතේ වසර 15 කට අධික කාලයක් තිස්සේ ගෙන ඒමට උත්සාහ කළ පනතේ වත් ඍජුව පුද්ගලික අංශයට ජල සම්පත් පවරා දීමට ප‍්‍රතිපාදන සලසා නොතිබිණි. එම පනත මගින් උත්සාහ කළේ ගොවි සමාගම් වලට ජල අයිතිය පවරා පසුව එම ගොවි සමාගම් මගින් පෞද්ගලික සමාගම් වලට අන්සතු කිරීම හෝ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ජල අයිතිය පෞද්ගලීකරණය කිරීමටය. ඒ අනුව 2007 දී ජල අයිතිය ඍජුව පුද්ගලික අංශයට පැවැරීමට යෝජනා කිරීම යනු ජල අයිතිය විකිණීමේ ක‍්‍රියාවලිය තව පියවරක් ඉදිරියට යෑමක් ලෙස සලකා මහජනයාගේ දැඩි විරෝධය ඊට එල්ලවිය. ඒ නිසා දැන් පරණ කේක් ගෙඩියට අයිසින් දමා අලූත් ප‍්‍රඥප්තියක් ගෙන එන බව මතුපිටින් පෙන්වීමට උත්සාහ කොට ඇත. එනම් පෞද්ගලික සමාගම් මගින් ගොවියාගෙන් ජල බදු අය කිරීමට ඇති ඉඩ අහෝසි කොට ඒ වෙනුවට ඊනියා ජල කළමනාකරණ කමිටුව හෙවත් ජල කළමනාකරණ ගොවි සමාගම මගින් මුදල් අයකිරීමට ප‍්‍රතිපාදන සලසා ඇත. එහෙත් පෞද්ගලික සමාගම් වලට ජල අයිතිය ගිවිසුම් ගතව බදු දීමට තිබෙන ප‍්‍රතිපාදන එලෙසම ඉතිරිකොට ඇත. කෙසේ වෙතත් ඒ මගින් පනතට එරෙහිව එදා එල්ල වූ චෝදනා වලින් නිදහස් විය හැකි යයි පනතේ පීතෘවරුන් කල්පනා කළා විය හැක. එහෙත් ඔවුන් එසේ අඩියක් පිටුපසට ගත් බව පෙන්වුවත් ප‍්‍රඥප්තියේ මූලික අරමුණින් අඩියක්වත් එහා මෙහා වී නැත. නව ප‍්‍රඥප්තියේ 22 වැනි වගන්තිය මගින් පිහිටුවනු ලබන වාරි කළමනාකරණ හා සංවර්ධන කමිටුව නාමිකව කමිටුවක් ලෙස හැඳින්වුව ද එය නීත්‍යානුකූල සංස්ථාපිත ආයතනයක් හෙවත් සමාගමක් ලෙස කටයුතු කරන ව්‍යුහයකි. මෙම ආයතනයට පෞද්ගලික ආයතන සමග ගිවිසුම් වලට එළඹිය හැකි අතර ඒ මගින් ගොවියාගේ ජල අයිතිය මුදල් බවට පත්කිරීමට විශාල බලතල ප‍්‍රමාණයක් ලබා දී ඇත. පළමුවෙන්ම එම ආයතනයට ජල අයිතිය මුදල් බවට පත්කිරීමට විශාල බලතල ප‍්‍රමාණයක් ලබා දී ඇත. පළමුවෙන්ම එම ආයතනයට ජල බද්දක් ලෙස හෝ වාරි ජලය සඳහා වන ගාස්තුවකට හිලව්වක් ලෙස ගොවියාගේ අස්වැන්නේ කොටසක් ලබාගැනීමට බලය දී ඇත. එසේම අවශ්‍ය නම් ”සී ප්ලේන්” බැස්සවීම සඳහා  ඕනෑම වැවක් බද්දට දී මුදල් අයකිරීමට ද මෙම ”ගොවි සමාගමට” බලය ඇත. එසේ ගිවිසුම් මගින් ජල සම්පත් බදු දීමේදී ඒවා ටෙන්ඩර් කොට වැඩිම මිල ලබාදෙන සමාගමට පැවරීමට ද බලය ඇත. ඒ සියල්ලටම වඩා මහජනයා ගොවිතැන් සඳහා හෝ ගෘහස්ථ භාවිතාව සඳහා ළිඳක් කපා ජලය ලබාගතහොත් ඒ සඳහාද බදු අය කිරීමේ බලය මෙම ඊනියා වාරි කළමනාකරණ කමිටුව හෙවත් ගොවි සමාගමට ලබා දී ඇත. ඒ අනුව භූගත ජලය අවශ්‍ය නම් මහා පරිමාණ සමාගමකට වගාව සඳහා හෝ බෝතල් කිරීම සඳහා විකුණා මුදල් ලබා ගැනීමට ප‍්‍රතිපාදන සලසා ඇත. පසුගිය කාලය පුරාම ජල අයිතිය විකිණීම ලෙස හැඳින්වූයේ මෙම ක‍්‍රියාවලිය මිස අන් යමක් නොවේ. ඒ ආකාරයට ජල කලමනාකරණ කමිටු විසින් උපයන මුදල් පළාත් පොදු අරමුදලට බැර කිරීමට පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. එම අරමුදල් වලින් නඩත්තු වියදම් ලෙස 70% ක් පොදු අරමුදලට ලබාදියයුතුය. ඒ අනුව අනාගතයේදී පළාතේ වාරි පද්ධති නඩත්තු කිරීම සඳහා මුදල් ලබාගන්නේ ගොවියාගෙන් ජලබදු අයකිරීමෙන් සහ ගොවියාගේ ජල අයිතිය බාහිර පාර්ශ්ව වලට විකිණීමෙන් බව ඉතා පැහැදිලිය. එහිදී ග‍්‍රාමීය වාරිමාර්ග කලමනාකරණ ඒකකයට එම මුදල් ලබාදිය යුතු බව පනතේ සඳහන් වුවත් එවැන්නක් පනත මගින් පිහිටුවා නැත. පනතේ අරමුදල් ලබාගැනීම සඳහා පිහිටුවා ඇත්තේ ග‍්‍රාමීය වාරි කළමනාකරණ මණ්ඩලයයි. කෙසේ වෙතත් ග‍්‍රාමීය වාරි මාර්ග තිරසාර නඩත්තු අංශයක් පිළිබඳව පනතේ සඳහන් වුවත් එය පිහිටුවන ආකාරය පිළිබඳව පනත මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ අරමුදල් එම ආයතනයට ලබාගන්නවා යැයි උපකල්පනය කළත් ඒවා නීත්‍යානුකූලව යා යුත්තේ ග‍්‍රාමීය වාරි කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන පොදු අරමුදලටය. ඒ අනුව බලන විට සංකල්පීය වශයෙන් පමණක් නොව මෙම ප‍්‍රඥප්තිය තාක්‍ෂණික වශයෙන් ද ඉතා දුප්පත් සහ දුර්වල ප‍්‍රඥප්තියක් බව පැහැදිලිය. වාරි කළමනාකරණ සහ සංවර්ධන කමිටු වල අරමුදලින් 70% ක් යන්න ප‍්‍රඥප්තියේ සඳහන් වන්නේ ගොවි සංවිධානයෙන් අරමුදල් 70% ක් ලබාගත යුතුය යනුවෙනි. ගොවි සංවිධාන පිහිටුවන්නේ ගොවිජන පනත මගින් වන අතර ඒවායේ අරමුදල් භාවිතා කරන ආකාරය පිළිබඳ ප‍්‍රතිපාදන එම පනත මගින් සලසා ඇත. එසේම මෙම පනත මගින් නිලධාරීන් තමාගේ පිඟානට ඇති තරම් බෙදාගැනීමට ද කිසිදු ලජ්ජාවකින් තොරව ප‍්‍රතිපාදන සලසාගෙන ඇත. ගොවියාගේ අස්වැන්නෙන් කොටසක් ලබාගෙන පිහිටුවන එම ”වැඩවසම් අරමුදලින්” ග‍්‍රාමීය වාරි කළමනාකරණ මණ්ඩලයේ නිල සභාපති වන අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ වියදම් පියවා ගැනීමට ද බලය ලබාදී ඇත. පනත අනුව වාරි කළමනාකරණ කමිටු හෙවත් සමාගම් වල සාමාජිකත්වය දරන්නේ ගොවීන් සහ ඉඩම් හිමියන්ය. නමුත් එම ආයතනයේ සියළු ක‍්‍රියාකාරකම් සහ පරිපාලන පටිපාටි පාලනය කිරීමේ බලය පළාත් වාරි මාර්ග අධ්‍යක්‍ෂවරයාට ප‍්‍රඥප්තිය මගින් පවරා ඇත. ඒ අනුව ඒවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන කමිටු වලට වඩා නිලධාරීන් විසින් යටත් කළ හෙවත් නිලධාරීන්ගේ නියෝග මත ක‍්‍රියාකරන සමාගම් බවට පත්වේ. ඒ අනුව එම ගොවි සමාගම් සහ ජල අයිතිය මිලදී ගැනීමට බලා සිටින සමාගම් අතර ගනුදෙනු කාගේ උවමනාව අනුව සිදුවනු ඇතැයි ද සමාන්‍ය ජනතාවට පහසුවෙන් උපකල්පනය කළහැක. එසේම, වාරි ව්‍යුහයන් සහ ඒ ආශ‍්‍රිත ගොවි බිම් පරිසර පද්ධතියක් ලෙස කළමනාකරණය කළ යුතුය යන තාක්‍ෂණික පිළිගැනීම මත පිහිටා වාරි කළමනාකරණ සංවර්ධන කමිටු වලට අමතරව වාරි පද්ධති සංවර්ධන කළමනාකරණ සහ සංවර්ධන කමිටු නමින් බොහෝ දුරට එක හා සමාන කමිටු වර්ග 2 ක් පනත මගින් පිහිටුවා ඇත. ඒ මගින්, හිතා මතා පැටලිල්ලක් ඇති කිරීම සහ වාරි කළමනාකරණ සංවර්ධන කමිටුවල ව්‍යාපාරික සොභාවය සැඟවීම අරමුණු කලාදැයි යමෙකුට සැක උපදවිය හැක. කෙසේ වෙතත් පනතේ ප‍්‍රතිපාදන මඟින් පැවති කමිටුවල එම පද්ධතියට අදාළ පාරිසරික සහ අනෙකුත් තාක්ෂණික වගකීම් අයත් වන අතර සාමාන්‍ය ජල කළමනාකරණ සහ සංවර්ධන කමිටු වලට ජල අයිතිය මුදල් කිරීමේ වගකීම පැවරී ඇති බව පැහැදිලිව පෙනේ. යටත් විජිත පාලකයින් විසින් 1946 දී වාරිමාර්ග ආඥා පනත ක‍්‍රියාත්මක කිරීමේදීවත් උත්සාහ නොකළ ආකාරයට ඉතා දුෂ්ඨ ලෙස ගොවියා පීඩාවට පත්කිරීමේ ප‍්‍රතිපාදන මෙම ප‍්‍රඥප්තියට ඇතුළ්කොට ඇත. ඒ අනුව ගොවියා තමාට වෙන්කර දෙන ඇළ මාර්ග සුද්ද කිරීම අතපසු කලහොත් ඒ සඳහා වන වියදම් ගොවියාගෙන් අයකර ගත හැක. ඊට අමතරව එතැනින් ඉදිරියට ගොස් ගොවියා උසාවියට ඉදිරිපත් කොට නඩු ඇසීමකින් තොරව රු. 50,000 ක දඩයක් ගැසීමට සහ මාස 6 කට සිරගෙට යැවීමට ප‍්‍රතිපාදන මෙම ප‍්‍රඥප්තිය මගින් සලසා ඇත. එපමණක් නොව ජල බදු ලෙස ගොවියාගේ අස්වැන්නෙන් කොටසක් ලබාගැනීමේදී එම ප‍්‍රමාණය තීරණය කරන්නේ අදාළ ප‍්‍රදේශයේ වාරි කළමනාකරණ සංවර්ධන කමිටුව හෙවත් සමාගම මගිනි. ගොවියා එසේ නියම කළ අස්වැන්නේ කොටස නොගෙවුවහොත් මහේස්ත‍්‍රාත් උසාවියේදී නඩු අසන්නේ නැතිව ඉහත සඳහන්කළ දඩ මුදල් සහ සිර දඬුවම් පැනවිය හැක. මෙහිදී මතුවන හාස්‍යජනකම සහ ඛේදජනකම තත්ත්වය වන්නේ පනත මගින් කළමනාකරණය කිරීමට යෝජිත සංකීර්ණ සහ පුළුල් කළමණාකරණ ව්‍යුහය සහ පටිපාටි කළමනාකරණය සඳහා එසේ ගොවියා පීඩාවට පත්කොට උපයන මුදලත් සෑහෙන්නේ නැති විය හැකිවීමය. මෙවැනි නව පනතක අවශ්‍යතාවය පිළිබඳ විමසන විට උසස් නිලධාරීන් පවසන්නේ තිබෙන නීති ප‍්‍රමාණවත් නොවන බවය. ඇත්ත වශයෙන්ම සද්භාවයෙන් ජල සම්පත කළමනාකරණය කිරීමට නම් අප රටේ ලෝකයේ කිසිදු රටක නැති තරමට ශක්තිමත් නීති පද්ධතියක් පමණක් නොව පරිපාලන පද්ධතියක් සහ දැනුම් පද්ධතියක්ද ඇත. එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට ගොවියාගේ ගෙල මිරිකන ආකාරයේ නීති නම් දැනට ලංකාවේ නැත. ඒ එවැනි නීති ගෙන ඒමට මීට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ දේශපාලනඥයින්ට ධෛර්යයක් නොතිබීම නිසාය. නමුත් රාජ්‍ය නිලධාරින්ට නම් ඒ ධෛර්යය  ඕනෑවටත් වඩා තිබෙන බව මේ පනත නැවත කරළියට එන ආකාරය හොඳින් සොයා බැලීමේදී පෙනී යයි. සමහර විට මේ ලියුම්කරු දේශපාලකයින් නිදොස්කොට නිලධාරින් දඬුකඳේ ගැසීමට උත්සාහ කරන බවට චෝදනාවක් එල්ල විය හැක. එහෙත් සත්‍ය තත්ත්වය වන්නේ දේශපාලකයන් නිලධාරින්ට වඩා මහජන මතයට සංවේදී වන බවයි. ජල බදු ගෙවීම සඳහා අස්වැන්නෙන් කොටසක් දීම අතපසු කරන ගොවියා දඩ ගසා හිරගෙදර යවන පනතකට සිහිබුද්ධිය ඇති දේශපාලකයකු කැමැතිවනවාද? එවිට එසේ සිහිබුද්ධිය නැති පිරිස් දේශපාලකයින් අතර  ඕනෑතරම් සිටිනවා යැයි තර්කයක්ද ඉදිරිපත් විය හැක. කෙසේ වෙතත් ඔවුන් නිලධාරීන් අයිසින් දමා දෙන පරණ කේක් ගෙඩිය මහජනයාට ඉදිරිපත් කිරීමට පෙර රස නොබැලීමේ වරදින් හෙවත් පනත ගැඹුරින් අධ්‍යයනය නොකිරීමේ වරදින් ඔවුනට නිදහස් විය නොහැක. වසර 5 කට පසුව මේ පනත නැවත කරලියට ගෙන ඒමට වළිකන ආර්ථික ඝාතකයා පළාත් සභාවේ නිලධාරින් අතර සැරිසරන බවට සැකයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට 1985 දී ආරම්භ වූ ජල අයිතිය පුද්ගලීකරණය කිරීමේ ක‍්‍රියාවලියට චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සහ රනිල් වික‍්‍රමසිංහ සමයේදී උච්ච ස්ථාන වලට ළඟාවිය. එහෙත් ප‍්‍රබල මහජන විරෝධය නිසා එහි ප‍්‍රායෝගික නියමුවන් වූ සරත් අමුණුගම සහ ජයවික‍්‍රම පෙරේරා වැනි ප‍්‍රබල ඇමැතිවරුන්ට පවා මහජන විරෝධය හමුවේ ඒ ලෝක බැංකු න්‍යාය පත‍්‍රය අකුලා ගැනීමට සිදුවිය. මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලනය තුළ ජාතික මට්ටමින් එම ක‍්‍රියාවලියට නැවත පණදීමක් සිදු වුනේ නැත. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා ඒ සඳහා සිහින් කෙඳිරිලි හඬක් නැගුවද ඔහුටද අඩියක් පෙරට තැබීමට ධෛර්යයක් තිබුණේ නැත. එහෙත් දේශපාලන යක්කු පයතැබීමට බිය තැන්වල නිලධාරී යක්කු පිනුම් ගසන බවට අපට රටේ බොහෝ අත්දැකීම් ඇත. දැන් ජාතික මට්ටමින් කළ නොහැකි වූ දේ පලාත් මට්ටමින් මතුවන්නේ කුමන යක්කු නිසාදැයි ස්ථිරවම කිව නොහැක. කෙසේ වෙතත් ජාතික මට්ටමේ යක්කුන්ට වඩා පළාත් මට්ටමේ යක්කු උපක‍්‍රමශීලීත්වය අතින් දුප්පත් බව පැහැදිලිව පෙනේ. ඒ අස්වැන්නේ කොටසක් ජල බදු ලෙස ඉල්ලීම සහ එම නියෝග පැහැර හරින්නන් හිර ගෙදරට යැවීම වැනි ප‍්‍රතිපාදන ඊට සාක්‍ෂි දරයි. කෙසේ වෙතත් පළාත් ප‍්‍රඥාප්තියක් ලෙස ඉදිරිපත් වන දුප්පත් ප‍්‍රයත්නයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට අප රටේ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. ඒ නිසා එය මහජනයාට බේරා ගැනීමට සිදුවන්නේ දේශපාලන වේදිකාවේදීමය. මෙම ප‍්‍රඥප්තිය වයඹ පළාත් සභාවේදී සම්මත වුවහොත් එය අනෙක් පළාත්, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලට ඉතා නරක ආදර්ශයක් සපයනු ඇත. ඒ මගින් ඉතා පැහැදිලිවම ජාතික මට්ටමේදී මීට පෙර ගෙනඒමට උත්සාහ කළ පනතින් සිදුවිය හැකිව තිබූ විනාශයට වඩා වැඩි විනාශයක් සිදුවේ. බොහෝ විට උතුරු නැගෙනහිර බෙදුම්වාදී බලවේග අනාගත ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා උපාංගයක් ලෙස යොදා ගන්නේ ව්‍යවස්ථාමය ගැටුමය. එහිදී ජල කළමනාකරණ ආශ‍්‍රිත ව්‍යවස්ථාමය ගැටුම් වලට විශේෂ ස්ථානයක් හිමිවනු ඇත. පළාත් අතර ජලය බෙදාගැනීම සඳහා වන ගැටුම බෙදුම්වාදී ගැටුම්වල විශේෂ පැතිකඩකි. එදා බෙදුම්වාදී බලවේග මාවිල්ආරුවලදීද උත්සාහ කළේ එවැනි ජලය බෙදාගැනීමේ සම්මුතියක් සඳහා ජාත්‍යන්තරය මැදිහත් කර ගැනීමටය. ඒ අනුව රටට එරෙහිව ඉතා සූක්‍ෂම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් දියත් වන මේ මොහොතේ ගොවියාගේ වෛරය අවුලූවන සහ බෙදුම්වාදයට උඩගෙඩි දෙන ජල කළමනාකරණ ප‍්‍රඥප්තිය පිළිබඳව මහජනයාට හෝ විපක්‍ෂයට කලින් ආණ්ඩු පක්‍ෂය කල්පනා කළ යුතු බව අපගේ විශ්වාසයයි. 2007 සිට ගෙවුනු අවුරුදු 5 තුළදී එම ප‍්‍රඥප්තිය නැති නිසා අහස කඩා වැටී හිස දෙපලූවූ ආණ්ඩු පක්‍ෂයේ දේශපාලකයකු සිටී නම් ඔහුට පමණක් මහජනතාව සමාව දෙනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය