IMG-LOGO

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා


කෝප් කමිටුවේ හෙළිවූ කරුණු රටත් දැනගන්න ඕනෑ

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25 ක පමණ ව්‍යාපෘති නවයක් ලැබී ඇතත් අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව මෙතෙක් සලකා බලා හෝ නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පාර්ලිමේන්තුවේ ඇති විවිධ කමිටු වලින් මහජනයාගේ විශේෂ අවධානය යොමුව ඇති කමිටුවක් ලෙස කෝප් කමිටුව හැඳින්විය හැකිය. මෙම කමිටුවේ දී අධීක්ෂණය කරනු ලබන්නේ රාජ්‍යකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වීම එයට හේතුවය. මෙම කමිටුවේ සාකච්ඡා කරනු ලබන කරුණු මාධ්‍යයට තහනම්ව තිබිණි. එහෙයින්ම රාජ්‍ය කරවන ක්‍රියාවලියේ දුර්වලතා අඩුපාඩු, වංචා දූෂණ, ජනමාධ්‍ය හරහා ජනගත නොවීය.

එහෙත් යහපාලන ආණ්ඩු සමයේ දී එම තහනම ඉවත් කෙරුණු අතර එමගින් එහි සාකච්ඡා කෙරෙන කරුණු ජනතාවට දැන ගැනීමට හැකි වී තිබේ. එහෙයින්ම නිදහස ලබා හැත්තෑපස් වසරක් ඉක්ම ගොස් තිබෙන රටේ රාජ්‍යකරණයේ දී ඇතිවන දූෂිත සහ අකාර්යක්ෂම බව ජනතාවට පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබී තිබේ. අපගේ ඉහත ප්‍රවෘත්තියට පදනම් වී තිබෙන්නෙත් එම කමිටුවේ දී සාකච්ඡාවට ගැනුණු කරුණකි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වගකීම යනු කුමක්ද යන්න එම අමාත්‍යාංශයේ නමින්ම පැහැදිලිය. එමෙන්ම සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලියේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ද එම අමාත්‍යාංශයටමය. කරුණු කාරණා එපරිදි වුවද කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙන්නේ එම අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේ දී රුපියල් කෝටි 25ක පමණ ව්‍යාපෘති නවයක් ලැබී ඇතත් අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව මෙතෙක් සලකා බලා හෝ නොමැති බවය.

මේ සම්බන්ධයෙන් රටේ ජනයාට ඇතිවිය යුත්තේ බලවත් සංවේගයකි. මෙම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින්නේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් පිරිස්ය. පෙරළා ඒ ජනතාවට සේවය කිරීම ඔවුන්ගේ වගකීමය. එහෙත් එම වගකීම සම්බන්ධයෙන් එම පිරිස තඹ දොයිතුවක් හෝ වගවීමක් කර නොමැති බව පැහැදිලිය.

රටේ විනාශයට, ආර්ථික අර්බුදයට ආදී වශයෙන් සෑම නස්පැත්තියකටම දේශපාලනඥයන්ට තඩි බෑම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරමින් සිටින ජනතාව අමාත්‍යාංශවලට අරක් ගෙන සිටින අකාර්යක්ෂම හා වගකීම් විරහිත නිලධාරීන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතුය. ජනතාව ද ‘වෙනස්’ විය යුතු වන්නේ එහෙයිනි.

කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙන්නේ බහුබෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාවට 1995 වසරේ දී තිබූ රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ මහනුවර නගර සභාවට දී තිබූ රුපියල් හයකෝටියකට අධික ණය මුදලක් අය කරගෙන නොමැති බවය. එම නිසාම ඒ සම්බන්ධයෙන් නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස කෝප් කමිටුව උපදෙස් දී ඇත.

මේ නොසලකා හැර තිබෙන්නේ මහජනතාවගේ මුදල්ය. ‘මහජනයාගෙන් හොරා කෑ මුදල් ආපසු දියව්’ යනුවෙන් සටන්පාඨ කියමින් ‘සිස්ටම් චේන්ජ්’ ඉල්ලා සිටින ජනයා නොදන්නා රාජ්‍යකරණයේ අකාර්යක්ෂමතාව එපරිදිය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට ස්ථීර අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ අභ්‍යන්තර විගණන නිලධාරියකු නොමැති බව ද කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

‘අභ්‍යන්තර විගණන නිලධාරියකු’ නොමැති විට විගණනය කරන්නේ කෙසේද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවේ. එබඳු විගණනයක් නොමැතිව කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇත්තේ කාටද යන්න ද විමසිය යුතුය. එමෙන්ම මෙම කරුණු අනාවරණය කර ගැනීමෙන් නොනැවතී පසු විපරම් කරමින් මහජනයාගේ මුදල්වලට සාධාරණය ඉටුකිරීම ද කෝප් කමිටුව හමුවේ ඇති වගකීමක් බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (3)

කෝප් කමිටුවේ හෙළිවූ කරුණු රටත් දැනගන්න ඕනෑ

SAM Saturday, 29 July 2023 07:38 PM

කෝප් කමිටුවේ හෙළිවූ කරුණු රටත් දැනගන්න අවශ්‍ය බව සත්‍යයකි. මෙම කෝප් කමිටුවට පැමිණෙන රජය නිලධාරීන් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නා වූ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් පිළිබඳව ගැටළු සහගත වේ. කෝප් කමිටුවේ සභාපතිවරයා, විඝණකාධිපති සහ අනෙක් නිලධාරීන් ප්‍රශ්න කිරීම් වලදී වරෙකට ඇසිය යුතු වන්නේ එක ප්‍රශ්නයක් වුවද, පැමිණ සිටිනා රාජ්‍ය නිලධාරීන් හෝ ආයතන සභාපති වරුන්ගෙන් එකවර පරස්පර විරෝධී ප්‍රශ්න කිහිපයක් ඇසීම තුළින් ඔවුන්ට පිළිතුරු ලබාදීමේ හැකියාවක් නොමැත... සහ ප්‍රශ්න කිරීම් සඳහා පැමිණ තිබෙන්නා වූ දූෂිත දේශපාලකයින් අතරද ඔවුන්ගේ ප්‍රශ්නය හොඳම ප්‍රශ්නය බවට පත්කර ගැනීමට දරනා උත්සාහයක්ද පවතී. සත්‍ය වශයෙන්ම කෝප් කමිටුව මගින් ඉටුවිය යුතු සහ බලාපොරොත්තු වන්නා වූ කරණය සිදුවන්නේ නැත. සිදුවන්නේ කාලය විනාශවීමක් පමණි... එම නිසා COPE සහ COPA කමිටු විසිරුවා හැර දැමිය යුතුවේ. විශ්‍රාම විනිසුරුවරුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර නිසි ක්‍රියාදාමයකට අනුව මෙම ප්‍රශ්න කිරීම් කළයුතු අතර එම කමිටුවට දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සහ අධිකරණ කටයුතු සඳහා යොමුකරවීමටත් බලයක් තිබිය යුතුවේ..

:       0       6

CCThursday, 03 August 2023 09:36 AM

දූෂණ හා වංචා මේ රටින් තුරන් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් මේ රටේ මේ පාලකයන් විසින් සකස් කරයි කියලා කිසිඳු විශ්වාසයක් නැත. 1977 සිට මේ රට සිංගප්පූරුවක් කිරීමට යැයි පවසමින් මේ රටේ වහල් අඳබාල ඡන්ද දායකයින් මේ දෙපිරිස විසින් නොමග යැවීමට එක එක උප්පරවැට්ටි දැමුවා විනා රටට හිතකර ඵලදායී විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දී නැත. දේශපාලනය ආකර්ශණීියම ක්ෂේත්‍රය කරගනිමින් ඒ තුළට සියළු වරප්‍රසාද ගොනු කරමින් දුගී ජනයාට සොච්චමක් ලබා දී ඔවුන් නොමග යවමින් දිගටම ඒ පැත්තට මේ පැත්තට මාරු වෙමින් කෙරෙන දේශපාලනයක් සහ දුගී දුප්පත් යැපුම් මානසිකත්වයක් සහිත ජාතියක් ගොඩනගමින් ඔවුන්ගේ වුවමනාවන් පමණක් තෘප්ත කරවන යාන්ත්‍රණයක් දිගටම ක්‍රියාත්මක කරමින් ඇත. මේ නිසා රටත් රටේ පොදුජනයාත් සදා දුප්පත් භාවයට පත්වන අතර ඔවුන්ට මේ රට දියුණු රටක් වේ යැයි සිහින ලෝකයක් ප්‍රක්ෂේපණය කර ඇති අතර පාලකයින් ඉහළ සිට පහළට රට සම්පත් දූෂිතව වළඳමින් ධනපතියන් බවට පත්වෙමින් ඇත...

:       0       0

පැරකුම් Friday, 04 August 2023 10:56 PM

ඊනියා කමිටු වලින් මෙතෙක් සිදුවූ දෙයක් ඇතිදැයි අපි නොදනිමු. ඒවා කාලය සහ මුදල් කාදමමින් යම් යම් අය සතුටු කිරීමේ උපක්‍රම යොදන බව නම් අපට පෙනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 295 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 593 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site