සිරිපා හිමේ හාස්කම් ගැන කතා කරද්දී සිරිපා කරුණා කරන්නට ඇති මාර්ග හතෙන් යන එන අයට සිදුවු අපුරු සිදුවීම්ද ජනප‍්‍රවාදයේ පවතී. සිරිපා කරුණා කරන මාර්ග හතක් ඇතත් ඉන් ප‍්‍රධානත්වය ගන්නේ තුනකි. නල්ලතන්නිය- හැටන් මාර්ගය, රත්නපුර පලාබද්දල මාර්ගය සහ කුරුවිට එරත්න මාර්ගය එම ප‍්‍රධාන මාර්ගයි. දෙහෙනකන්ද- මූක්කුවත්ත මාර්ගය, දැරණියගල මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් හපුතලේ විහාරතැන්න මාර්ගය සහ මරේවත්ත හරහා රාජමලේ මාර්ගය සෙසු මාර්ගයි. 1987 වර්ෂයට පෙර, සිරිපා වන්දනා වාරය ආරම්භ කරන බව සංකේතවත් කරන සුමන සමන් දෙවියන්ගේ රූපය වැඩම කළේ රත්නපුර ශ‍්‍රී පලාබද්දල රජමහා විහාරයේ සිටය. අදමෙන් වැඩි කලඑළියක් නොතිබුණද උදුවප් මහේ පුර පොහෝය දිනයට පෙර දිනයේ මළුවට වැඩම කරවන ලද්දේ ද ඊළග අවුරුද්දේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පසුවදා සිරිපා සමය අවසන් කර සමන්දෙව්රුව ආපසු වැඩම කරවන ලද්දේ ද අභිමානවත්වු පෙරහරකිනි. සිරිපා වන්දනා වාරය ආරම්භ වීමට නියමිත උදුවප් මාසයේ පුර පසළොස්වක පොහොය දිනට පෙර මෙම මාර්ග වන්දනාකරුවන්ගේ පහසුව පිණිස එළිපෙහෙළි කිරීම ඒ මාර්ග පළමුවෙන් හමුවන ගම්මානවල වැසියන් විසින් ස්වේච්ඡුාවෙන් සිදු කිරිම අතීතයේ සිරිතක්ව තිබු බව පැරැණ්නෝ කියති. අද නම් ප‍්‍රධාන මාර්ගතුන එළිපෙහෙළි කරන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙනි. මේ අකාරයට කලකට ඉහතදී මාලිබොඩ මාර්ගය සිරිපා වන්දනා වාරයට පෙර එළිපෙහෙළි කරන්නට ගමේ වැඩිහිටියන් පිරිසක් පියවර ගත්හ ඔවුන්ට සහායට තරුණයන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ. ගල්ලෙන්වල නැවතී උයා පිහාගෙන කා මේ මාර්ගය එළි පෙහෙළි කිරීම වැසියන්ගේ සිරිතකි. වලේබඩ මාර්ගය දෙමළමළහීීන්නේදි සිරිපා මලූවට යන එරත්න පාරට එක්වෙයි. එතැන සිට මාලිබොඩට එළිපෙහෙලි කිරීම මාලිබොඩ වැසියන් විසින් සිදුකරනු ලබයි. දෙමළමළහීන්නෙන් පටන්ගෙන පහළට එළිකරගෙන ඒම සාමාන්‍ය සිරිතයි. දින දෙකක් ගතවන මේ වැඩයට රාත‍්‍රී නවාතැන් ගෙන වැඩ අවසන්කර ආපසු ඒම ඒ කණ්ඩායමේ සිරිතයි. එසේ නවතින්නේ මාර්ගයේ ඇති ‘‘විලේලෙන’’ සහ ‘‘ගෙග්ලෙන’’ නමින් හදුන්වන ගල්ලෙන් දෙකේය. ආහාර පිසීමේදී පිළී වර්ග භාවිත නොකරන අතර අඩුම තරමින් මළ ගෙදරක්වු නිවසක කෙනෙක් එකි මරණය සිදුවී මාස තුනක් ගතවී නැත්නම් මෙම කටයුතුවලට සාභාගි නොවේ. -එක ගමනක් පාර සුද්ද කරන්න ගමේ අය ගියා. ? වෙනකම් පාර සුද්දකරලා දෙවෙනි දවසේ රාත‍්‍රිය ගතකරන ‘‘ගෙග්ලෙනට’’ එන්න හම්බවුණේ නෑ මහ ධාරානිපාත වැස්සක් වැහැලා ග`ග ගැලූවා. එගොඩ හිටිය කට්ටිය බඩගින්නෙම ‘‘විලේලෙනේ’’ රැය පහන් කළා. හේතුව හොයලා බලද්දී මළගෙදරක් වුණ ගෙදරක කෙනෙක් ගිහිං ඉදිම කියල ඒ අයට අවබෝධ වෙලා තිබුණා”. ඒ වගේම තමයි ‘‘හිමේ’’ ගරන්න කියලා පිටස්තරින් ආව කට්ටියක් ගමේ කිහිප දෙනෙකුත් එක්ක කැලේට ගියා. වලමිමැටිවිළකෙළවර හිමේ වත්ත කිට්ටුවට තමයි  මේ ආපු අය හරක් මසුත් අරං ගරන්න  ගිහිං තියෙන්නේ.  කොහොමහරි මේ අය වාඩියක් ගහගෙන නතරවෙලා.  අර ගෙනාපු මසුත් උයාගෙන කාලා. මස් ගෙනාපු කෙනා වාඩියෙන් එළියේ ඉන්නැද්දී කළු මිනිහෙක් වාඩියට එනවා දැකලා. වාඩියට ගිහින් බලද්දී වාඩිය ඇතුලේ සේරම විනාශ කරලාලූ. මිනිහා හොදටම බයවෙලා. ගමේන් ගිය අය කිව්වාලූ ඒ කොටියා තමා ඇවිත් තියෙන්නේ කියලා. ඒ ඇහුවම අර මිනිහට උණ ගැනිලා. එවේලේම ආපහු එන්න පිටත්වෙලා. ඒ වුනාට ගමට එන පාර කිහිප සැරයක්ම වරද්දලා. උණ හැදුන මනුස්සයා ගමේදි විකාර කියවන්න පටන් අරං. ආපු මිනිස්සු ඒ කෙනා එක්කං ගියා ගියාමලූ. ඊට පස්සේ මිනිහට වුණ දෙයක් දන්නේ නැතිලූ. ඒ වගේම කට වරද්දාගැනීම ද සිරිපා අඩවියේදි නොකළ යුත්තක් බව පරැුන්නන්ගේ විශ්වාසයයි. වරක් ගමෙන් ගිය වන්දනා නඩයක හිටිය මැදිවියේ මවක් සිරිපා මළුව පෙනෙද්දී ‘‘අනේ මටනම් බෑ’’ කියලා පාරේ පඩියක වාඩි වුණ බවත් ඇය බෙඞ්ෂීට් එකක දෙපැත්තට ලීයක් දමා එහි හොවා හැරමිටිපානට එනතෙක උස්සන් ආබවත් අතීත මතක සිහිපත් කරමින් ගැමියෙක් පැවසීය. දශක ගණනාවක් සිරිපා මළුවේ මුරකරුවකු ලෙස සේවය කළ පලාබත්ගල ගමේ කේ.පී.කර්තේලිස් මහතා මීට වසර කිහිපයකට පෙර මට හමුවිය. ඒ වන විටත් ජිවිතයේ සැදෑ සමය ගෙවමින් සිටි ඔහු ඉතා ප‍්‍රිමනාපයෙන් යුතුව මා සමග සිරිපා අඩවියේ අමතක නොවන සිදුවීම් රැසක් පැවසුවේය. මේ වන විට ඔහු ජිවතුන් අතර නැතත් ඔහුගේ කතාවල සටහන් මා සතුව ඇත. පලාබත්ගලින් සිරිපා මළුවට යන අඩිපාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට වන්දනාකරුවන්ට ගිමන් හරින්නට තැනු මැස්සක් විය. ඒ මැස්සේ හරිබරි ගැහී ඔහු කතා කරන්නට විය. ‘‘මම දැන් වසය හින්දා මට දින වකවානු හරියට නිච්චි නෑ. මතකේ හැටියට හතළිස් දෙකේ විතර වෙන්න ඇති. සිරිපා වන්දනා වාරය ඉවර කරලා පෙරහරින් සමන්දේව රූපය පලාබත්ගල පන්සලට වැඩම කරවනවා. මේ ගමන හරිම වෙහෙසකර එකක්. ඉතින් පෙරහරේ ආපු පිරිසට මහන්සි හින්දා පලාබත්ගල ජේමිස් මුදලාලිගෙ කඬේ ළග ටිකක් ගිමන් හැරලා යමු කියලා කට්ටිය යෝජනා කළා. සමන් දෙවියන්ගේ රූපය සහිත බර කරේ තියගෙන හිටපු කෙනා ඒක කඬේ මැස්සක් උඩ තිබ්බා.’’ ‘‘ගිමන් හරින්න ගතවුනේ කෙටි කාලයයි. එකපාරටම අහස අදුරු කළා. මහ හුළගක් ආවා. අනෝරා වැස්සක් පටන් ගත්තා. දැන් වහිනවා වහිනවා පායන්නෙම නෑ. කාටවත් මොකද වුණේ කියලා හිතාගන්න බෑ. වැස්ස එන්න එන්නම වැඩියි. ගස් කරකවලා හුළග හමනවා. අකුණු ගහනවා’’ ‘‘කපු මහත්තුරුයි ආපු හැමෝමයි කතාවෙනවා මොකද එහෙම වුණේ කියලා. පස්සේ බලද්දී සමන්දෙවි හාමුදුරුවන්ගේ රූපෙ තියලා තිබුණේ කඬේ කරවල මැස්ස උඩ. ඊට පස්සේ පිරිස අතර හිටිය කෙනෙක්  ස`දුන් කිරිපැන් ටිකක් හදලා සමන්දෙවි පිළිමය ඒ හදුන් කිරිපැන්වලින් නෑව්වා. නාවලා ඒ මනුස්සයා පිළිමය කර තියාගත්තා. ඊට පස්සේ තමයි වැස්ස තුරල් වුණේ.’’ කර්තේලිස් සීයා මේ කතාව කියන අතර තුර ඔහු තමන්ගේ රැළිවැටුණ හම ඇති අත පෙන්වමින් ‘‘ඒ සිද්ධිය මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා මහත්තයෝ’’ යැයි දත්නැති කටින් කී ආකාරයට මට අද ද හොදට මතකය. ඒ වගේමයි සමහර මිනිස්සු වැරදි කරලා සිරිපා අඩවියේ හැංගිලා ඉන්න පුලූවන් කියලා හිතනවා. එහෙම හිතලා එනවා. ඒවුනාට ඒ අයට මෙහෙ ඉන්නබෑ. කර්තේලිස් සීයා තවත් අපූරු කතාවකට මුලපිරුවේය. ‘‘මේ සිද්ධියෙ දින වකවානු මට මතක නෑ. පල්ලෙහා දිහා මනුස්සෙක් අවාරේ සිරිපා කරුණා කරන්න කියලා ගමට ආවා. අවාරේ සිරිපා කරුණා කරනවා කියන එක හරිම අවදානම්. මොකද මිනිස් පුලූටක් නෑ. සතා සරුපයෝ නිතරම එහා මෙහා යනවා. ඒ කාලේ ඒ ඇත්තන්ගේ වාරෙනේ.’’ ‘‘මේ මනුස්සය ගමට ආපු වෙලාවෙ පන්සලේ ලොකු හාමුදුරුවො අහල ඇයි අවාරෙ යන්නේ. වැසක් එහෙම ආවෝත් අතරමං වෙයි. අම්බලම් නෑ. නොයන එක හොදයි කියලා. නමුත් මිනිහා ගණන් අරං නෑ. මිනිහා මළුවට යනවා කියලා ගියා. හැබැයි ආපහු අවේ නෑ. පස්සේ හොරණ දිහා මිනිස්සු වගයක් මාසයකට දෙකකට විතර පස්සේ අර මනුස්සයා හොයාගෙන ආවා. ඇඳගෙන හිටපු ඇඳුම්වල පාටිනුත් කියපු හැඩහුරුකමිනුත් මේ කියන්නේ අර හිමේට ගිය කෙනා ගැන වෙන්න ඇති කියලා අනුමාන කළා.’’ ‘‘ගමේ අය විස්තරේ කිව්වා. ඒ වුනාට හොයාගන්න බැරිවුණා. ගමේ අය හිතුවේ හැටන් පාරෙන් බහින්න ඇති කියලා. සිරිපා වන්දනා වාරේ කඩයක් ගත්ත කට්ටිය දර කපන්න කැලේට ගියාම ඇටකටු වගයක් හම්බවෙලා. පොලීසියෙන් ඇවිත් බලද්දී ඇටකටු ළග තිබුණ ඇදුම්කෑලි වලින් හදුනාගත්තා ඒ අර මනුස්සයා කියලා. එයා මොකක්හරි අපරාධයක් කරලා මෙහෙ ආවා කියලා තමයි ආපු මිනිස්සු කිව්වේ. මැරුණේ කොහොමද දන්නේ නෑ. මංමුලා වෙලා කැලේ ගිහිං අතරමං වෙලා කන්න නැතුව මැරුණද දන්නේනෑ.’’ කර්තේලිස් සීයා කීවේය. සමනළ අඩවියේ අලි ඉන්න නමුත් අලි ඇහැට දැකපු අය ඉන්නව නම් ඒ කිහිප දෙනෙක් පමණි. අලි බෙටි  ඕනැතරම් දැකිය හැකි නමුත් අලියෙකු පණපිටින් සිරිපා අඩවියේදි දැක ගැනීමත් භාග්‍යයකි. සිරිපා අඩවියේදී අලියෙකුගෙන් මනුෂ්‍යයෙකුට කරදරයක් වුවායැයි වාර්තාවක් නම් ලැබී නැත. එහෙත් සිරිපා අඩවියේ වෙසෙන අලින්ද මිනිස් ක‍්‍රියාකාරකම් නිසා දිවිපිදු අවස්ථා ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. මීට වසර කිහිපයකට පෙර රත්නපුර පොලිසියේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපතිව කටයුතු කළ පොලිස් පරීක්‍ෂක රොහාන්  ඕලූගල මහතා ඇතුලූ කණ්ඩායමක් කළ එවැනි පරීක්‍ෂණයකදී සිරිපා අඩවියේ මහ කැලෑවක තිබී  අලියෙකුගේ ඇට සැකිල්ලක් සොයා ගත්තේය. සමන් දෙවිදුන්ගේ වාහනය වූ සුදුඇතාගේ ඇටසැල්ල එය බවට කටකතාවක්ද එම වකවානුවේ පැතිර ගියේය. එහෙත් වෛද්‍ය පරීක්‍ෂණ අනුව එම ඇටසැකිල්ල ඇතෙකුගේ නොව අලියෙකුගේ බව තහවුරු විය.