”මගේ කාර්යභාරය වන්නේ අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ නායකයා වීම පමණක් නොව එකමුතුකම ප‍්‍රවර්ධනය කිරීමේත් සාමයේත් දුතයා වීමය. මෙම ගැටුමේදී මගේ සංවිධානයේ පැත්ත හෝ ගැනීමට මම කැමති නොවූයෙමි. මා එකමුතුකම දේශනා කරන්නේ නම් මගේම සගයන් මගෙන් ඈත්වීමේ අනතුරක් ඇති වුවද මා රට එක්සත් කරන්නකු ලෙස කි‍්‍රයාකළ යුතුය.” ”අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ සමහර අය තුනෙන් දෙකේ කඩඉම පසු කිරීමට නොහැකිවීම ගැන පසුතැවිලි වුවත් මම එසේ නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම එය මට සැනසීමකි. අපට තුනෙන් දෙකේ බහුතරය ලැබී අනෙක් අයගේ අදහස් නොසලකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ හැකි වූයේ නම් එය ද අපි‍්‍රකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නොව අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ ව්‍යවස්ථාවක් යැයි සමහරුන්ට චෝදනා කිරීමට ඉඩ ලැබෙනු ඇත.”

නෙල්සන් මැන්ඩෙලා

(නිදහස සොයාගිය ගමනක් කෘතියෙන් උපුටාගන්නා ලදී.)
බිහිසුණු වර්ගවාදී යුද්ධයකින් පසු ද, අපි‍්‍රකානු ජාතික රාජ්‍යය ගොඩනඟා ගැනීමට එහි නිර්මාතෘ නෙල්සන් මැන්ඩෙලාගේ පරිකල්පනය සැකසී තිබුණේ මෙලෙසින්ය. ඔහු ජාතියකට පක්ෂයකට කොටු වූයේ නැත. ජාතික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමේදී අපට ඇති වඩාත් නිවැරැදි ආදර්ශයක් ලෙස ද, අපි‍්‍රකාව සැලකිය හැකිය. මෙහිදී විපක්ෂයක් කටයුතු කරන ආකාරය ගැන අපට ඇති ආසන්නතම ආදර්ශය ඉන්දියාවය. ”දිල්ලි ගුවන් තොටුපළින් අප ගමන් ගන්නා ගුවන් යානය උඩු ගුවනට පිවිසෙනවාත් සමඟ අපේ අභ්‍යන්තර වාදබේද අවසන්. එතැන් සිට අප නියෝජනය කරන්නේ ඉන්දියාවයි.” වරක් වත්මන් ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා සුරාජ් එසේ පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔබ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප‍්‍රකාශ කිරීම අනුමත කරනවාද? ”ඔව්. එය ශී‍්‍ර ලංකාවට එරෙහි වීමක් නොවෙයි පක්ෂපාතී වීමක්.” ඇය ශී‍්‍ර ලංකාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දියානු ආණ්ඩුවේ ස්ථාවරය ආරක්‍ෂා කළේ එලෙසින්ය. අපට නම් මේ ආදර්ශ මෙලෝ රහක් නැත. නිදහස ලබා වසර 64 ක් තිස්සේ ”ශී‍්‍ර ලාංකික රාජ්‍යය” ගොඩනඟා ගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. මෙම නොමේරූ දේශපාලනය නිසා අභ්‍යන්තර කැරලි තුනකට මුහුණ දීමට ශී‍්‍ර ලංකාවට සිදුවිය. ඉන් එක් කැරැල්ලක් රට දෙකඩ කර ගැනීමේ බිහිසුණු බෙදුම්වාදී යුද්ධයක් බවට පත්විය. එහිදී අපේම රටේ කොටසක ඇති වූ බිහිසුණු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ මානුෂික මෙහෙයුමට ”මල්ටි බැරල්” වැනි බර යුද අවි පාවිච්චි කිරීමට පවා සිදුවිය. එය දෙවැනි නිදහස ලෙස හඳුනාගත් අපි ඒ නිදහස ද පෙර සේම බුක්ති විඳිමින් සිටිමු. පළමුවැනි නිදහසට වසර 64 ක් සේම දෙවැනි නිදහසේ තෙවැනි වසර අනිද්දා සැමරීමට නියමිතය. එ් සඳහා දැන් සිටම රට ආකර්ෂණීය සූදානමකය. එහෙත් ”ජාතික රාජ්‍යය” නම් ගොඩ නැෙඟන පාටක් පෙනෙන්නට නැත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් රටේ ප‍්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමඟ රජය යළි ඍජු සාකච්ඡාවක් අරඹන්නේ මේ අතරතුරය. එය සාධනීය ප‍්‍රවණතාවකි. ඊට ඇරැයුම ලැබෙන්නේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් වීම ද වැදගත්ය. ජාතික සමගිය මත ගොඩනැෙඟන ජාතික රාජ්‍යයක පුරෝගාමී කාර්යයට මුල පිරිය යුත්තේද බලයේ සිටින රජයයි. ඊට බරක් ලැබෙන්නේ එවිටය. මේ හමුවත් තවත් කළු කෝපි සංග‍්‍රහයක් වේවිද? නැත්නම් යූ.ඇන්.පි.යත් ගාවාගෙන ඊළඟ ජිනීවා සැසියට සූදානම්  වීමක්ද? සමහරු එහෙමත් කල්පනා කිරීමට ඉඩ ඇත. වසර 64 ක් තිස්සේ අපේ රටේ දේශපාලන ගමන දෙස බලනවිට එවන් කල්පනාවල ද වරදක් නොපෙනේ. ”ඇත්තටම යූ.ඇන්.පී. කාරයන්ටත් ලැජ්ජ නෑනෙ. මෙයා ඔක්කොම රවුමේ යවනවනෙ.” සමහරු එසේ සඳහන් කරති. ”කළු කෝපි බිව්වම මොකද රටට යමක් වෙනවනම්.” මෙවන් සාධනීය තැනක යූ.ඇන්.පී.ය සිටී නම් ආරම්භයක් ලෙස මෙම හමුවීම වැදගත්ය. මාධ්‍ය වාර්තා කරන පරිදි ඒ හමුව තේරීම් කාරක සභාව සකී‍්‍රය කිරීම උදෙසාය. මේ වන විට එය යෝජනාවකට පමණක් සීමාවෙලා වාගේය. නැවතත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය වී තිබෙන්නේ ඇයි? උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන එ්ම සඳහාය. එසේ නම් යුද්ධයෙන් පසුව වුවද ජනවාර්ගික ප‍්‍රශ්නයක් තිබෙන බව ආණ්ඩුව පිළිගන්නවාද? එසේ පිළිගන්නේ නැත්නම් තේරීම් කාරක සභාවක් ආණ්ඩුව යෝජනා කරන්නේ නැත. මේ අතර දේශපාලන විසඳුමක අවශ්‍යතාව නොපිළිගන්නා අය ද රජයේ සිටිති. එහෙත් සමස්තය එසේ නොවේ. තේරීම් කාරක සභාවක් හරහා විසඳුමක් සොයා ගැනීම සාර්ථකම ක‍්‍රමයක්ද? තේරීම් කාරක සභාව නියෝජනය කරන්නේ රටේ ව්‍යවස්ථාදායකයයි. මේ නිසා එම ව්‍යවස්ථාදායකය හරහාම විසඳුමක් සොයාගැනීම යථාර්ථවාදීය. එහිදී එතැන එකක් කියා රටට තව දෙයක් කීමට කිසිවකුට අවස්ථාවක් නොලැබේ. රටේ ප‍්‍රධාන පක්ෂ දෙක වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් තමන්ගේ විසඳුම විවෘතවම ඉදිරිපත් කිරීමට සිදුවේ. අනෙක් අයට ද එසේමය. එවිට ජනතාව අබියස කාගේත් සළුපිළි විවර වේ. වෙස් මුහුණු ගැලවේ. මේ නිසා දැනට තිබෙන සාර්ථකම ක‍්‍රමය එයයි. එසේ ලබාදෙන විසඳුම කුමක් වුවද එය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සූදානමින් සිටින බව පෙනේ. එක්සත් ජාතික පක්ෂය සමඟ කළ සාකච්ඡුාවේදී ද එවන් අදහසක් ප‍්‍රකාශ වූ බව එහි මහ ලේකම් තිස්ස අත්තනායක මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබීමත් එය එසේ නොවේ යැයි රජය ප‍්‍රකාශ නොකිරීමත් නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ යෝජනාවට රජයේ නිල අනුමැතිය ලැබෙන බව තහවුරු වෙමින් පවතී. එසේ නම් ජාතික වශයෙන් වැදගත් කාර්යයක් උදෙසා සියලූ වාදබේද පසෙක දමා අරලියගහ මැදුරේ ”කළු කෝපි” බීමේ වරදක් නම් නොපෙනේ. ප‍්‍රශ්නයකට ඇත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඊට කැඳවා ගැනීමය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය මැදිහත් වන බව පෙනේ. එය සාධනීය දේශපාලන ප‍්‍රවණතාවකි. ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ රජය පැවැත් වූ සාකච්ඡුාවලදී කතාබහට ලක් වූ මූලික කාරණා රටට හෙළිකිරීමේ වරදක් නොපෙනේ. එකඟවීම එකකි. එකඟ නොවීමට වුවද සාකච්ඡා කළ හැකිය. ප‍්‍රශ්න දෙස මෙලෙස නම්‍යශීලීව කල්පනා කරන්නේ නම් ගැටලූ ඇතිවන්නේ නැත. අතීතයේ අසාර්ථක වූ බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම, ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුම, 2000 ව්‍යවස්ථාව ආදී මේ කිසිවක් තේරීම් කාරක සභාවක් හරහා පැමිණි යෝජනා නොවේ. මේවා පිළිබඳ අත්දැකීම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ඇත. මේ නිසා ඔහු වැඬේට අතගසන්නේ සීරු මාරුවටය. ආසයි බයයි ගානටය. අත පුච්චා නොගෙනය. අතේ මිටේ සිටින අල්ලේ නැටවෙන කුරුල්ලන් ද බේරාගෙනය. පැරණි නායකයනට වැරදුණු තැන් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඉවක් ඇති බව පෙනේ. ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක හා ජේ.ආර්. ජයවර්ධන යන නායකයන් හැඳින්වූයේ දණහිසේ සිට ඉහළට සම්පූර්ණයෙන්ම මොළේ ඇති අත්දැකීම් බහුල දේශපාලනඥයන් ලෙසයි. ඒවා මොළ නොව මහ මොළ කඳුය. එහෙත් ඔවුහු ද රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට ගොස් වැඬේ වරද්දා ගත්හ. හත්පොළේ ගාගත්හ. ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලනයද ඊට හේතු විය. මේ ඉතිහාසය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අමුතුවෙන් කියාදිය යුතු නැත. බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම ප‍්‍රසිද්ධියේ ඉරා දැමීමට ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක අගමැතිවරයාට සිදුවිය. පළාත් සභා ක‍්‍රමය වුවද ඉන්දු ලංකා ගිවිසුම යටතේ කඩිමුඩියේ සැකසුණු යෝජනාවකි. මේ නිසා මොළේ වැඩියෙන් තිබුණත් දේශපාලන අත්දැකීම්වලින් කෙළපැමිණියත් ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, ජේ.ආර් ජයවර්ධන හා ඩඞ්ලි සේනානායක යන නායකයන් තිදෙනාම වාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමේදී අසාර්ථක වූහ. මේ අය අතුරින් ඩඞ්ලි සේනානායකයන් අවංකය, අහිංසකය. 2000 ව්‍යවස්ථාවට එකඟ නොවීම නිසා තවමත් කන පරිප්පුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට ද නොතේරෙන්න විධියක් නැත. අතීතය කෙසේ වුවද ඔහු දැන් මෙවන් ප‍්‍රශ්න දෙස යථාර්ථවාදීව බැලීමට පටන්ගෙන තිබේ. තවදුරටත් ඔහුට ද්‍රෝහී ලේබල් ඇලවීම දේශපාලනයේ නොදියුණු බව ප‍්‍රදර්ශනය කිරීමකි. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මෙන්ම ඍජුව ජාත්‍යන්තරයට කතා කළ හැකි නායකයෙකි. ඡුන්ද ප‍්‍රතිඵල කෙසේ වෙතත් රනිල්ගේ දැනුම හා අත්දැකීම මෙවන් පුළුල් කාර්යයකදී වැඩදායකය. එහෙත් මේ රටේ නිදන් හොරුන්ට, කොටස් වෙළෙඳ පොළ ගසාකන්නන්ට, රාජ්‍ය බැංකු හිස් කිරීමට මාන බලන අයට රටට මොනවා වුණත් කම් නැත. සමහරුන් හම්බ කරන්නේ හෙට අනිද්දා මේ ආණ්ඩුව බිඳ වැටේවි යැයි සිතලා වාගේය. නැත්නම් ලෝක විනාශය සිදුවේ යැයි සිතලාය. පරම්පරා හතකට හරිහම්බකර ගැනීමට ඔවුහු සැරසෙති. මේ අය නිදැල්ලේ විනාශ කරමින් සිටින්නේ ගමේ ගොඬේ අහිංසක ශී‍්‍ර ලංකාකාරයන්ගේ නැත්නම් ප‍්‍රගතිශීලීන්ගේ බලාපොරොත්තුය. ප‍්‍රාර්ථනාය. ඔවුහු සමහරුන්ගේ මේ මජර වැඩ නිසා කටඋත්තර නොමැතිව සිටිති. ගම්ගොඩවල්වල අසරණ වී සිටිති. පුරාවස්තු නීති විරෝධීව ආණ්ඩුවෙන් හෑරුවත් වැරදිය. පුරාවිද්‍යා නිලධාරීන්ගේ ඍජු සොයා බැලීමකින් තොර නිදන් ගොඩ ගැනීම තහනම්ය. ”ගොඩගෙන තහවුරු කිරීමට නොහැකි නම් ගොඩගන්න එපා” යැයි පුරාවිද්‍යාවේ නියමයක් තිබේ. එ් බව පුරාවිද්‍යාවේ චක‍්‍රවර්තිලාට පත්තරකාරයන් කියාදිය යුතු නැත. රටේ නායකයාට පැරණි සොහොන් කොත්වල හෝ ස්ථූපවල මුරට සිටීමට කාලයක් නොමැත. එහෙත් මේ සියලූ ප‍්‍රශ්න මැද රජවරුන්ගේ ”කඩු”, ”සෙම්බු” සොයන්නෝ කවරහුද? ඒවාට ආරක්‍ෂක රැකවල් යෙදෙන්නේ කෙසේද? යන්න යම් කාලවේලාවක් ගෙන හෝ සොයාබැලීම වැදගත්ය. ආණ්ඩුවේ බැංකු පාඩු ලබන සමාගම්වල තුට්ටු දෙකේ කොටස් වැඩි මිලට තක්සේරු කර ලබාගැනීම හා ඒවා විකුණා ගැනීම හරහා සිදුවන ගිනිදවල් කොල්ල වෙත්නම් එ්වා සොයාබැලීමට ද සිදුවෙයි. නොඑසේ නම් ජනතාව අවසානයේ ගනුදෙනු බේරා ගැනීමට යොමු වන්නේ රටේ නායකයා සමඟය. විධායක ජනාධිපති ක‍්‍රමය අනුන්ගේ කුණුවලටද කරගසන බේරුවල් බොක්කට සමාන කරන්නේ ඒ නිසාය. එය සාධාරණ නැත. එහෙත් රට හැඩගැසී ඇති ආකාරයට වෙන කළහැකි දෙයක් නැත. එක්කෝ ක‍්‍රමය වෙනස් කළ යුතුය. නැතිනම් වෙහෙසකර වුවද හැම හත්ඉලව්වකටම අතදමමින් සොයාබලමින් මේ ක‍්‍රමය පවත්වාගෙන යාමට සිදුවේ. සමහරු ජීවත්වන්නේම ජනාධිපතිවරයාගේ නම විකුණමින්ය. එහෙත්  තම පෞරුෂය මත ඇතිකරගත් ජනතාවගේ විශ්වාසය සොරා ගැනීමට රාජපක්‍ෂික මුවාවෙන් තක්කඩි රෑනක් සූදානම් වන්නේ නම් ඔවුන් නීතියේ රැහැනට කොටුකිරීමද ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුම් ගෙන  එනවා වාගේම වැදගත්ය. එල්.එල්.ආර්.සී. යෝජනා කි‍්‍රයාත්මක කරනවා වාගේම වැදගත්ය. නැතිනම් රටේ ජාතික රාජ්‍ය ගොඩනැඟීමට පෙර ආණ්ඩුවට ජනතාවගේ පිහිට කෙසේ වෙතත් දෙවියන්ගේ පිහිට පැතීමට සිදුවනු ඇත.
වසන්තප‍්‍රිය රාමනායක